24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    පෙරටම යමු ශ්‍රී ලංකා

    - Advertisement -
    Author(s): 
    ධම්මික සෙනෙවිරත්න

    යුද්ධය නිමා වී දොළොස් වසරක් ගත වන විට අප කල්පනා කළ යුතු වන්නේ අදටත් එය පැවැතියේ නම් ගත වූ කාලය තුළ තවත් ජීවිත කී දහසක් රටට අහිමි වනු ඇත් ද යන්න ගැනය. කොපමණ නම් විනාශයක් සිදු වනු ඇතිද යන්න ගැනය. යුද්ධය නිමා වීම හේතුවෙන් උතුරේ, නැඟෙනහිර හෝ දකුණේ මව්පියන්ට තම දරුවන් අහිමි වන්නේ නැත. දරුවන්ට පියවරුන් අහිමි වන්නේ නැත. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි වන්නේ ද නැත.

    දශක තුනක් තිස්සේ ඇදෙමින් ගිය යුද්ධයක නිමාව ශ්‍රී ලංකාව විජයග්‍රාහීව සලකුණු කළේ මෙයින් වසර දොළහකට පෙර 2009 මැයි 19 වනදාය. නන්දිකඩාල් කලපුවේදී වේළුපිල්ලේ පිරබාහරන් ඇතුළු ත්‍රස්තවාදී නායකයන්ගේ අවසානය සිදුවීමත් සමඟ එල්ටීටීඊ බෙදුම්වාදී ත්‍රස්තවාදයේ තීරණාත්මක පරාජය සලකුණු විය. වසර දොළහකට පසුව නොපෙනෙන සතුරකු සමඟ සටන් කරමින් වසංගත සමයක් පසුකරමින් සිටිය ද එඩිතර දේශපාලන නායකත්වයක් යටතේ වීරෝධාර ආරක්ෂක හමුදා ජීවිත පරිත්‍යාගයෙන් අත් කර ගත් එම විජයග්‍රහණය කෘතවේදීව හා අභිමානයෙන් යුතුව සිහිපත් කිරීම ජාතික යුතුකමකි.

    - Advertisement -

    එය තවත් වැදගත් වන්නේ එදා එලෙස ත්‍රස්තවාදය පරාජය කළ ද එම බෙදුම්වාදයේ සෙවණැලි, රටින් පිටත සිටිමින් තවමත් ක්‍රියාත්මක වන බැවිනි. එදාද බෙදුම්වාදී ත්‍රස්තවාදයට අනුබල දුන් අන්තර්ජාතික බලවේග අද ද ත්‍රස්තවාදය පරාජය කළ ශ්‍රී ලංකාවට සතුරුකම් කරන බැවිනි. ජීවිත දස දහස් ගණනක් විනාශ වූ මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන් පවා ක්‍රියාත්මක වූ යුද්ධයක් මානුෂීය මෙහෙයුමකින් නිමාවට පත් කිරීම මානව හිමිකම් චෝදනාවලට ලක් කිරීමට තරම් වරදක් වී තිබේ!

    යුද්ධය නිමා කරමින් සියලු ජාතීන්ට මරබියෙන් තොරව නිදහසේ ජීවත් වීමට හැකි පසුබිමක් ඇති කිරීම යුද අපරාධ චෝදනාවලට ලක්වීමට තරම් වරදක් වී තිබේ! 

    තිස් අවුරුද්දක් තිස්සේ එල්ටීටීඊ ත්‍රස්තවාදයට මුහුණ දුන් මෙරට සෑම රජයක්ම එය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමේ වෑයමේ ද වරින් වර නිරත විය. 1990, 1995 , 2002 මෙන්ම 2005දී ද එම සාම සාකච්ඡා හා ප්‍රයත්න බිඳ වැටුණේ එල්ටීටීඊයේ සැබෑ මුහුණුවර ලොවට දක්වමිනි. 1987 ඉන්දු ලංකා ගිවිසුම මෙන්ම 2002 දී ඇති කර ගත් සාම ගිවිසුම ද මෙම ගමන්මඟේ සන්ධිස්ථාන ය. 2001 දී එවක බලයේ සිටි රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා එල්ටීටීඊ නායක වේළුපිල්ලේ පිරබාහරන් සමඟ අත්සන් කළ ගිවිසුමත් සමඟ ගෙවී ගිය වසර කිහිපය තුළ උතුර හා නැඟෙනහිර වෙනම රාජ්‍යයක් නිර්මාණය වීමට ඉතා ආසන්න තත්ත්වයක් තිබිණි. එල්ටීටීඊයට වෙනම පොලිසි, උසාවි, බැංකු ආදිය තිබූ අතර ගොඩබිම් හා මුහුදු යන බලයට අමතරව සුළු මට්ටමක වුව ගුවන් බලයක් ද විය. 2005 දී මහින්ද රාජපක්ෂ අගමැතිවරයා බලයට පත් නොවන්නට ශ්‍රී ලංකාව තවදුරටත් ඒකීය රාජ්‍යයක් නොවන තරමට එල්ටීටීඊ බලය බලසම්පන්න විය. සාම ගිවිසුමට මුවා වී ඔවුන් සෑම ආකාරයකින්ම ශක්තිමත් වූ අතර ශ්‍රී ලංකා ආරක්ෂක හමුදා දුර්වල කොට තිබුණේ සෙබළුන්ගේ චිත්ත ධෛර්යය පවා බිඳ දමමිනි. ‘එල්ටීටීඊය පරාජය කළ නොහැකිය.’ යන මතය ජන සමාජය තුළට ක්‍රමයෙන් හා සියුම්ව කා වද්දමින් තිබුණේ අදීන ජාතියක ඉරණම ඛේදනීය ලෙස නිර්ණය කරමිනි. ඒ වන විට ත්‍රස්තවාදීන් ජනාධිපති රණසිංහ ප්‍රේමදාස ඇතුළු දේශපාලනඥයන් රැසක් ඝාතනය කර අවසන්ය. ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක මරාගෙන මැරෙන ප්‍රහාරයකින් දිවි ගලවා ගැනීමට සමත් විය. හිටපු ඉන්දීය අගමැති රජීව් ගාන්ධි මරා දැමීමට තරම් එල්ටීටීඊය ප්‍රබල මට්ටමක සිටියේය. තමාට පෙර සිටි නායකයන් මෙන්ම මහින්ද රාජපක්ෂ අගමැතිවරයා ද එල්ටීටීඊය සමඟ සාකච්ඡා මඟට පිවිසිණි. එය ඊට පෙර එවැනි ප්‍රයත්නයන්ගෙන් වෙනස් වූයේ එල්ටීටීඊයේ සැබෑ ක්‍රියාකලාපය පිළිබඳ අවබෝධයකින් යුතුව අවශ්‍ය තීන්දු තීරණ ගැනීමට ඔහු සමත් වූ බැවිනි. පෙර තත්වය ඊට වෙනස් විය.

    - Advertisement -

    මාවිල්ආරු සොරොව්ව වසා දැමූ එල්ටීටීඊය සිය ඉරණම සියතින්ම ලියා ගත් බව පැහැදිලිය. අහිංසක ජනතාවගේ ජල අයිතිය රැක දෙමින් ඇරඹි මානුෂීය මෙහෙයුම ඉදිරියටම ගියේය. ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාගේ උපායමාර්ගික ඥානය හා මෙහෙයවීම යටතේ යුද, ගුවන්, නාවික ත්‍රිවිධ හමුදා මෙන්ම පොලීසිය හා සිවිල් ආරක්ෂක බළකාය ද මානුෂීය මෙහෙයුමේ ජයග්‍රහණය සලකුණු වන තුරුම පසුනොබා පෙරට ගියහ. දෙදහස් එකෙන් පසුව සිදු වූ නින්දිත පාවාදීම් හමුවේ ත්‍රස්තවාදීන් විසින් බුද්ධි නිලධාරීන් රාශියක් බිලි ගෙන සිටි අතර බුද්ධි අංශ අඩපණව තිබිණි. 2005න් පසුව යළි එය සක්‍රිය කිරීම ද යුද ජයග්‍රහණයට විශාල පිටුබලයක් විය.

    එල්ටීටීඊය පරාජය කළ නොහැකි යැයි කැට තබා කී විදෙස් රටවලින් එල්ල වූ පීඩනය දරා ගනිමින් එය භූමියේ සටන් කළ රණවිරුවාට දැනෙන්නට ඉඩ නොතබිමින් ඔවුන්ගේ චිත්ත ධෛර්යය ඉහළට ඔසවමින් යුද්ධයට අවශ්‍ය නායකත්වය හා පහසුකම් සැලසීමට සේනාධි නායකයා ලෙස මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා සමත් විය. යුද්ධයේ අවසානය පෙනි පෙනී තිබියදී බ්‍රිතාන්‍ය හා ප්‍රංස විදේශ ඇමතිවරුන් රටටම පැමිණ යුද්ධය නතර කිරීමට බලපෑම් කළ ද ජනාධිපතිවරයා නොසැලිණි. “අපි වෙනුවෙන් අපි” ක්‍රියාන්විතය මඟින් රණවිරුවන්ගේ චිත්ත ධෛර්යය ඉහළටම ඔසවා තැබීම මෙන්ම ත්‍රස්තවාදය පරාජය කරමින් යුද ජයග්‍රහණය ලැබීමට අවැසි ජන මානසිකත්වය ගොඩනැඟීම ද සිදු විය. ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ මෙහෙයවීම යටතේ ඒකාබද්ධ හමුදා ප්‍රධානී මේජර් ජෙනරාල් ජගත් ජයසූරිය ද, ජෙනරාල් සරත් ෆොන්සේකාගේ නායකත්වය යටතේ යුද හමුදාව ද, මේජර් ‍ෙජනරාල් (එවකට බ්‍රිගේඩියර්) කමල් ගුණරත්නගේ නායකත්වයෙන් යුතුව 53 වැනි සේනාංකය ද, බ්‍රිගේඩියර් ප්‍රසන්න සිල්වාගේ නායකත්වයෙන් යුතුව 55 වැනි සේනාංකය ද, මේජර ‍ෙජනරාල් ජගත් ඩයස්ගේ නායකත්වයෙන් යුතුව 57 වැනි සේනාංකය ද, 58 වැනි සේනාංකය බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වාගේ නායකත්වයෙන් සහ බ්‍රිගේඩියර් නන්දන උඩවත්තගේ නායකත්වයෙන් 59 වැනි සේනාංකය ද යනුවෙන් මානුෂීය මෙහෙයුම පෙරට ගියේ පැති පහකිනි.

    කමාන්ඩෝ බළකාය හා විශේෂ බළකාය ද ඊට දැවැන්ත ශක්තියක් විය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව ත්‍රස්තවාදී ඉලක්ක සුන් කරමින් පාබළ හමුදාවන්ට සහාය වූයේ එල්ටීටීඊයේ පරාජය සලකුණු කරමින්. රියර් අද්මිරාල් වසන්ත කරන්නාගොඩ මහතාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා නාවික හමුදාව මුහුදු කොටි බලය බිඳ දැමූ අතර යුද ජයග්‍රහණයේ තීරණාත්මක සාධකයක් වෙමින් එල්.ටී.ටී. ඊයේ දැවැන්ත ආයුධ නැව් කිහිපයක්ම අන්තර්ජාතික මුහුදටම ගොස් විනාශ කර දැමූහ.

    - Advertisement -

    වන්නි මානුෂීය මෙහෙයුමේ අවසන් දින කිහිපයේදී මානව හිමිකම් කඩ විනැයි යුද අපරාධ සිදු විණැයි හඬ නඟන දෙස් විදෙස් බලවේග බිඳ නන්දිකඩාල් කලපුව හා වඩ්ඩුවාකල් දිය පැන්නුම ආශ්‍රිතව අහිංසක දෙමළ සිවිල් වැසියන් දස දහස් ගණනක් ත්‍රස්තවාදී ග්‍රහණයෙන් නිදහස් කර ගත් ලොව විශාලතම ප්‍රාණ ඇපකරුවන් මුදවා ගැනීමේ මෙහෙයුම් අතරට එක් වන එම ක්‍රියාන්විතය ගැන නිහඬ ඇයි? තම ග්‍රහණයේ සිටියදී පලා එන තමන්ගේම ජනයා මරා දමමින් වියරු ලෙස හැසිරුණු එල්ටීටීඊයෙන් එම අහිංසක මිනිස්සුන්ට අභය දානය දීමට රණවිරුවන් ඉදිරියට ගියේ ජීවිත පූජාවෙනි.

    කොපමණ අසත්‍ය චෝදනා ප්‍රබන්ධ කළ ද මේ ඓතිහාසික සත්‍යය කිසිදිනක යටපත් කළ නොහැකි වනු ඇත. එසේම බෙදුම්වාදයෙන් අන්ධ නොවූ එදා එතැන සිටි දෙමළ ජනතාවට ද තම ජීවිත රැක දුන් එම අවසානය අමතක කළ නොහැකිය.

    එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සියල්ලන්ම දෙමළ ජාතිකයන් වුව ද දෙමළ ජාතිකයන් සියල්ලෝම එල්ටීටීඊ ත්‍රස්තවාදිහු නොවෙති.

    එසේම බොහෝ වාර ගණනක් අවධාරණය කර ඇති පරිදි එකී මානුෂීය මෙහෙයුම දෙමළ ජනයාට එරෙහි ක්‍රියාන්විතයක් නොවේ. ශ්‍රී ලංකා හමුදා සටන් කළේ ත්‍රස්තවාදය පරාජය කිරීමට මිස දෙමළ ජනයා පරාජය කිරීමට ද නොවේ.විදේශ අමාත්‍ය ලක්ෂ්මන් කදිර්ගාමර් වැනි කීර්තිමත් ශ්‍රී ලංකා පුත්‍රයන් එල්ටීටීඊය විසින් ඝාතනය කිරීමෙන් ද සනාථ කෙරෙන්නේ එයයි. යුද්ධයෙන් වැඩියෙන්ම පීඩනයට ලක් වූයේ ද දෙමළ ජනයා වන අතර යුද්ධය නිමා කිරීම යනු එම ජනයා ඉන් නිදහස ලැබීම ද වේ. යුද්ධය නිමා වී දොළොස් වසරක් ගත වන විට අප කල්පනා කළ යුතු වන්නේ අදටත් එය පැවැතියේ නම් ගත වූ කාලය තුළ තවත් ජීවිත කී දහසක් රටට අහිමි වනු ඇත් ද යන්න ගැනය. කොපමණ නම් විනාශයක් සිදු වනු ඇතිද යන්න ගැනය. යුද්ධය නිමා වීම හේතුවෙන් උතුරේ, නැඟෙනහිර හෝ දකුණේ මව්පියන්ට තම දරුවන් අහිමි වන්නේ නැත. දරුවන්ට පියවරු අහිමි වන්නේ නැත. බිරින්දෑවරුන්ට සැමියන් අහිමි වන්නේ ද නැත.

    යුද්ධයේ නිමාවටත් පෙරදීම දකුණේ ජනතාවගේ ජන ජීවිතය සාමාන්‍ය අතට හැරුණු අතර යුද්ධය නිමා වූ පසු උතුරේ ජන ජීවිතය ද සාමාන්‍ය අතට හැරුණි. උතුරේ සහෝදර ජනතාව ගොවිතැන්බත් කරමින් රටේ ආර්ථිකයට ද දායක වෙමින් සිටින අතර දරුවෝ යළිත් අධ්‍යාපනයට දස්කම් දක්වමින් සිටිති. උතුර සහ නැගෙනහිර විශාල සංවර්ධනයක් ද සිදුව ඇත්තේ යටිතල පහසුකම් ද දියුණු කරමිනි. ඉන් පල නැතැයි කියන වර්ගවාදී දේශපාලනඥයන් පහසුකම් දියුණු නොවිණි නම් අද කියනු ඇත්තේ කුමක්ද? සාමාන්‍ය ජනයා පිළිබඳ ඔවුන්ට ඇත්තේ අවංක කැක්කුමක් නොවන බව සිය භාවිතාව විසින්ම ටීඑන්ඒ ඇතුළු කණ්ඩායම් පෙන්නුම් කර තිබේ.

    2009 මැයි 19 වන දා ලැබූ ‘විජයග්‍රහණය’ එලෙස හැඳින්විය හැකි වන්නේ කාරණා ගණනාවක් හේතුවෙනි. එම ‘විජයග්‍රහණය’ මගින් බෙදුම්වාදී ත්‍රස්තවාදය යුධමය වශයෙන් පරාජයට පත්කර මව්බිම එක්සේසත් කිරීම සිදු විය.

    යුද්ධය නිසා ජීවිත විනාශ වීම නවතා ගැනීම සිදු විය. එල්.ටී.ටී.ඊයේ මරා ගෙන මැරෙන ප්‍රහාර ද ඇතුළුව දිගින් දිගටම සිදු කළ ම්ලේච්ඡ ප්‍රහාරවලින් මරා දැමුණු කිරි සප්පයන් ද ඇතුළු මිනිස් ජීවිත වෙනුවෙන් යුක්තිය ඉටු කිරීම සිදු විය. තිස් අවුරුද්දක් තිස්සේ මව්බිමේ ඒකීයභාවය වෙනුවෙන දිවි දුන් සහ ඇස් ඉස් මස් ලේ දන් දෙමින් අදට ද සදාකාලිකව ආබාධිත තත්ත්වයේ පසුවන රණවිරුවන්ගේ එම උත්තම පරිත්‍යාගයට ප්‍රණාම පිදීම සිදු විය. සිංහල, දෙමළ, මුස්ලිම් ආදි සියලු ජනවර්ගවලට ශ්‍රී ලාංකිකයන් ලෙස මර බියෙන් තොරව නිදහසේ හුස්ම ගන්නට හැකි රටක් නිර්මාණය කිරීම සිදු විය.

    එල්ටීටීඊ ත්‍රස්තවාදය පරාජය කර මව්බිම එක්සේසත් කිරීම යනු දෙවැනි නිදහස් අරගලය ජය ගැනීම බඳුය. එම නිදහස අර්ථපූර්ණ නිදහසක් වීමට නම් ශ්‍රී ලංකාව ආර්ථික සංග්‍රාමය ද ජය ගත යුතුව තිබේ. සිංහල, දෙමළ, මුස්ලිම් අප සැම ඉදිරිපිට ඇති අභියෝගය එයයි.

    එය ජය ගැනීමේ දී වර්තමානයේ සමස්ත ලෝකයමත් සමඟ ශ්‍රී ලංකාව ද මුහුණ දී ඇති කොවිඩ් – 19 වසංගතයෙන් රට නිදහස් කර ගැනීම ප්‍රමුඛය. එදා විජයග්‍රහණය රැගෙන ආ සේනාධිනායක මහින්ද රාජපක්ෂ මහතා අද අගමැතිවරයාය. එදා ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අද ජනාධිපතිවරයාය. සේනාධි නායකයාය. එදා 53 වන සේනාංකාධිපති මේජර් ‌ෙජනරාල් කමල් ගුණරත්න මහතා අද ආරක්ෂක ලේකම්වරයාය. එදා 58 වන සේනාංකාධිපති බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා මහතා අද යුද හමුදාපතිවරයාය. එදා සිවිල් ආරක්ෂක බළකායට නායකත්වය දුන් විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා අද මහජන ආරක්ෂාව පිළිබඳ ඇමැතිවරයාය. එදා යුද හමුදාවට නායකත්වය දුන් ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා අද විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකි. එදා විජයග්‍රහණයට උර දුන් රණවිරුවන් ඇතුළු තවත් බොහෝ දෙනෙක් අද විවිධ වගකීම් උසුලන්නාහ. වසංගතය ජයගැනීම ත්‍රස්තවාදය පරාජය කිරීමට වඩා වෙනස්ය. මෙවර සතුරා පෙනෙන්නට නැත. එහෙත් නිශ්චිතය. ලොවක් මවිත කරමින් ලොව දරුණුතම හා මිලේච්ඡතම ත්‍රස්තවාදී ව්‍යාපාරය පරාජය කළ ශ්‍රී ලංකාව වසංගත අභියෝගය ද නිසැකවම ජය ගන්නවා ඇත. ඒ සඳහා එදා කැප කිරීම් කරමින් ජනතාව දැක්වූ දායකත්වය මෙදා ද ඊටත් වැඩියෙන් අවැසිය.

    ඡායාරූප-රුක්මාල් ගමගේ

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.