24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    යුද බිමේ තාත්තා

    - Advertisement -

    යුද විජයග්‍රහණයේ 12 වැනි සැමරුම ඉමහත් අභිමානයෙන් පවත්වන මේ මොහොතේ තිස් වසරක් පුරා මාතෘ භූමිය කොටි ත්‍රස්තවාදීන්ගෙන් නිදහස් කර දීමේ සටනට දැවැන්ත මෙහෙවරක් ඉටු කළ අපේ කාලයේ යුද සෙන්පතියකු පිළිබඳව මේ කෙටි සටහන තබමි. ඔහු නමින් ලුතිනන් ජෙනරාල් ඩෙන්සිල් ලක්ෂ්මන් කොබ්බෑකඩුවය. අද අප භුක්ති විඳින මේ නිදහසේ ප්‍රධාන පෙළේ කොටස්කරුවකු වන්නේ ඩෙන්සිල් කොබ්බෑකඩුව සෙන්පතිතුමාය. එදා මුළු උතුරම ප්‍රභාකරන්ගේ අණසක යටතේ පැවැති අතර උතුරු, නැඟෙනහිර මුළුමනින්ම ඊළාම් රාජ්‍යයක් සේ කොටි සංවිධානයේ පාලනයට නතු කර ගත්තේය. උතුරු, නැඟෙනහිර මායිම් ගම්මානවල ජීවත් වූ සිංහල, මුස්ලිම් ජනතාව දහස් ගණනින් අමු අමුවේ ඝාතනය කරන්නට ප්‍රභාකරන් කොටි ත්‍රස්තයන්ට උපදෙස් ලබා දුන්නේය. කිරි දරුවන්, ගැබිනි මව්වරු පමණක් නොව බෞද්ධ භික්ෂූන් වහන්සේ, මුස්ලිම් පූජකවරුන් ඉතා දුකසේ ගොවිතැන් බත් කර ජීවත් වූ අහිංසක ගම්වැසියන් බුරුතු පිටින් කපා කොටා වෙඩි තබා ඝාතනය කරන්නට තරම් මේ නරුම කොටි නායකයා සාහසික විය. එතැනින් නොනැවතුණු ප්‍රභාකරන් ආරක්ෂක හමුදාවන්ට මඟ රැක සිට ප්‍රහාර එල්ල කළේය. දිනෙන් දින උතුරේ හමුදා කඳවුරුවලට පහරදී ඒවා විනාශ කළ අතර, ත්‍රිවිධ හමුදාවේ සහ පොලිසියේ රණවිරුවන් දහස් ගණනින් විනාශ කළේය. බිම් බෝම්බ, ක්ලේමෝ, ජොනී බට්ටන් බඳු මර උගුල් අටවා අපේ රණවිරුවන් බුරුතු පිටින් ඝාතනය කරන්නට විය. මෙවන් අවාසනාවන්ත තත්ත්වයක් රට තුළ පැවැති මොහොතක සෙන්පති කොබ්බෑකඩුව සිය දකුණු පාදය ඉදිරියට තබා උතුර බලා ගමන් කළේ ප්‍රභාකරන් සමඟ කොටි සංවිධානය මුළුමනින්ම මේ ලක් දෙරණින් අතුගා දමනවාය යන ස්ථිර හා දැඩි අධිෂ්ඨානයකිනි.

    ඒ අනුව 1987 කොටි නායක ප්‍රභාකරන් කොටු කර ගැනීමේ දැවැන්ත මෙහෙයුමක් කොබ්බෑකඩුව සෙන්පතිවරයාගේ නායකත්වයෙන් ක්‍රියාත්මක කළේය. මේ සඳහා යුද, ගුවන්, නාවික හා පොලිස් විශේෂ කාර්ය බළකායන්හි රණවිරුවන් දහස් ගණනක් එක් වූහ. මෙම දැවැන්ත ක්‍රියාන්විතය ඓතිහාසික වඩමාරච්චි මෙහෙයුම ලෙස ඉතිහාසගත වූ සුවිශේෂී මෙහෙයුමක් වූ අතර, ප්‍රභාකරන් කොටු කර ගත් මුල්ම මෙහෙයුම ලෙස එය ඉතිහාසයට එක් විය. එහෙත් එවකට පැවැති රජයේ හා විදෙස් බලපෑම් මත එම මෙහෙයුම අවසානය දක්වා ඉදිරියට ගෙන යෑමට කොබ්බෑකඩුව සෙන්පතිවරයාට නොහැකි විය.

    - Advertisement -

    ඉන් අනතුරුව 1990 දී නැඟෙනහිර පළාතේ කොටි බලය සුනු විසුනු කිරීමේ තවත් මෙහෙයුමක් ඔහු ක්‍රියාත්මක කළේය. එය ‘ක්ලීන් ස්වීප්’ නම් විය. ඉන්පසු අලිමංකඩ කඳවුර යළි අත්පත් කර ගැනීම සඳහා ‘බලවේගය’ නම් වූ මෙහෙයුම ද ඔහු විසින් ක්‍රියාත්මක කළේය. එසේම ‘ෆයිනල් කවුන්ට් ඩවුන්’ නම් වූ උතුර මුදා ගැනීමේ තවත් මෙහෙයුමකට කොබ්බෑකඩුව සෙන්පතිවරයා මෙහෙයවීමෙන් ක්‍රියාත්මක කළේය. මේ අභීත රණකාමියාගේ මෙහෙයුම් සියල්ලෙන්ම මූලික අරමුණ වී තිබුණේ රණවිරුවන්ගේ ජීවිත රැකගනිමින් කොටි ත්‍රස්තවාදීන් රැසක් එකවර විනාශ කර ඔවුන් අල්ලා ගත් භූමිය නැවත හමුදා පාලනයට නතු කර ගැනීමය.

    යුද බිමේ ‘තාත්තා’ ලෙස රණවිරුවන් අතර ඉමහත් ගෞරවයක් හිමි කර ගත් මේ අභීත සෙන්පතිවරයා රණවිරුවන්ගේ සුභසාධනය, ඔවුන්ගේ දුක සැප සොයා බලමින් ඔවුන් සමඟම බංකර්වල ගස්, ගල්, වනාන්තරවල ජීවත් වෙමින් මේ මාතෘභූමිය රැකගැනීම සඳහා දැවැන්ත මෙහෙවරක් කළ අභීත සෙන්පතිවරයෙකි. කෙසේ හෝ මේ අභීත රණවිරුවා සමඟ මෙහෙයුම් රැසකට නායකත්වය දුන් බ්‍රිගේඩියර් විජය විමලරත්න සෙන්පතිවරයා ද යාපනය අරාලි තුඩුවේදී පුපුරාගිය බෝම්බයකින් ජීවිතක්ෂයට පත් විය. එම බෝම්බ ප්‍රහාරය අදටත් විසඳාගත නොහැකි කුමන්ත්‍රණයක් ලෙස ඉතිහාසයට එක්වී ඇත. බ්‍රිගේඩියර් විජය විමලරත්න මහතා ගජබා රෙජිමේන්තුව බිහි කළ නිර්මාතෘවරයාය. කෙසේ වෙතත් මේ ලක් දෙරණ කොටි ත්‍රස්තවාදීන්ගෙන් බේරා ගැනීමේ සටනට උර දී මව්බිම වෙනුවෙන් දිවි පිදූ තිස්දහසකට ආසන්න රණවිරුවන් සමඟ මේ අභීත සෙන්පතිවරුන් දෙදෙනා ද සිහි කර උත්තමාචාර දැක්වීම 12 වැනි විජයග්‍රාහී සැමරුම සිදු කරන මොහොතේ අප කාගේත් පරම යුතුකම වනු ඇත.

    රත්නසිරි පතිරණ

    - Advertisement -

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.