24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    රටම එක්සේසත් කළ අභීත නායකත්වය

    - Advertisement -

    මේ ලිපිය ලියන මෙහොත වන විට ඊශ්‍රායලය විසින් “ගාසා තීරයට” දැවැන්ත යුද ප්‍රහාර එල්ල කරමින් සිටී. “ගාසා තීරය” යනු ඊශ්‍රායලය සහ පලස්තීනය වෙන් කෙරෙන දේශ සීමාව බව කවුරුත් දනී. ගාසා තීරයට එල්ල කරනු ලබන ඊශ්‍රායලයේ ප්‍රහාර හමුවේ මේ වන විට “ගාසා තීරයේ” වැසියන් දහස් ගණනක් අසරණව සිටී. දැනට වසර 12 කට පෙර ශ්‍රී ලංකාවේ ද ගාසා තීරය සිහිගන්වන සුළු බිම් කඩ රැසක් තිබිණි. ඒ උතුරු නැඟෙනහිර අප කවුරුත් දන්නා පරිදි මායිම් ගම්මාන නමින් හඳුන්වන ලද ප්‍රදේශයි.

    උතුරු නැඟෙනහිර මායිම් ගම්මානවල පදිංචිව සිටි සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව එදා ගාසා තීරයක අත්දැකීම් විඳිමින් සිටියදී දකුණේ සිංහල, දෙමළ , මුස්ලිම් ජනතාව ද ජීවත් වූයේ වරින් වර “ගාසා තීරයේ“ වැනි අත්දැකීම් විඳ ගනිමිනි.. බස් බෝම්බ, දුම්රියේ ඇටවූ බෝම්බ, දේශපාලනඥයන් සහ මහජනතාව ඉලක්ක කර ගත් මිනිස් බෝම්බ කොයි මොහොතේ පුපුරා යනු ඇත්දැයි සැකයක් කා තුළත් තිබිණි. මහ බැංකු බෝම්බ ප්‍රහාරය, තෙල් ටැංකි ඉලක්ක කර ගත් කොටි ප්‍රහාර, කොටි ගුවන් යානා කොළඹ අහසේ ප්‍රහාර කීපයක් සඳහා උත්සාහ කිරීම අද “ගාසා තීරය“ එදා අපට සිහි ගන්වයි. එහෙත් ඒ බිහිසුණු යුගයේ කතාව මතකයේ ඇත්තේ කීයෙන් කී දෙනාට ද යන්න තම හෘද සාක්ෂියට තට්ටු කර විමසා බැලීම ද මේ මොහොතේ වටී.

    - Advertisement -

    සෘජු තීරණ

    ශ්‍රී ලාංකීය ජන ජීවිතය, සමාජ ආර්ථික, දේශපාලනික වශයෙන් මෙරට වසර 30 කට වැඩි කාලයක් ආපස්සට තල්ලු කරනු ලැබු සාපලත් ඒ බිහිසුණු යුද්ධය නිමා වූයේ 2005 වසරේදී මෙරට පස්වන විධායක ජනාධිපති ධුරයට පත් වූ මහින්ද රාජපක්ෂයන්ගේ එඩිතර සහ සෘජු තීන්දු තීරණ නිසා බව අවිවාදයෙන් මුළු මහත් රට වැසියන්ම පිළිගන්නා වු කරුණකි. මෙරට ජනතාවට අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස හිමි වූ 1948 වසරේ පෙබරවාරි 04 වැනිදාට වඩා දේශපාලනික, සමාජීය, ආර්ථික වශයෙන් දෙවැනි නිදහස උරුම වූයේ 2009 වසරේ මැයි 19 වැනිදා බව කීවොත් එය පරම සත්‍යයකි.

    ඉතිහාසය අමතක කොට සාර්ථකව රටකට නැඟී සිටිය නොහැකිය. වරක් ඉතිහාසය කන්ටදැයි එක්සත් ජාතික පක්ෂයේ නායකයෙක් අසා තිබිණි. නමුත් ඉතිහාසයකින් තොරව රටකට වර්තමානයක් සහ අනාගතයක් නොමැති බව කවුරුත් පිළිගත යුතු න්‍යායකි.

    - Advertisement -

    සිවුවන ඊළාම් යුද්ධය නිමා කිරීම උදෙසා පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන්ගෙන් ලැබුණු දේශපාලන නායකත්වය නොවන්නට ප්‍රභාකරන්ගේ ඊළාම් සිහිනය බොඳ නොවන්නට ඉඩ තිබිණි. 1975 වසරේදී යාපනය නගරාධිපති ඇල්ෆ්‍රඩ් දොරෙඅප්පා ඝාතනය කිරීමෙන් ප්‍රභාකරන් විසින් එල්.ටී.ටී.ඊ සංවිධානයේ ම්ලේච්ඡ ඝාතන සමඟින් ත්‍රස්තවාදී ක්‍රියා ආරම්භ කරන ලදී. එතැන් සිට කොටි සංවිධානයේ සංවිධානගත ත්‍රස්තවාදය ක්‍රම ක්‍රමයෙන් වර්ධනය විය.

    ඒ සඳහා මෙරට බලයට පත් වූ විධායක ජනාධිපතිවරු සිවු දෙ‍ෙනකුටම සාර්ථකව මුහුණ දීමට නොහැකි විය. ඒ ගැන සුළු විග්‍රහයක් හෝ කිරීම වටී.

    මෙරට ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර් ජයවර්ධන එල්.ටී.ටී.ඊ සංවිධානයේ නැඟීම හමුවේ අසරණ වූ අවස්ථා එමටය. ජේ.ආර් ජයවර්ධන බලයට පත් වූ පසුව කොටි සංවිධානයේ බෙදුම්වාදී ත්‍රස්තවාදය දෙස බැලුවේ සතුරු අදහසිනි. නමුත් එවකට ඔහුට මුහුණ දෙන්නට සිදු වූ විදෙස් මැදිහත්වීම් නිසාවෙන් රාජ්‍ය ප්‍රතිපත්ති වෙනස් කිරීමට සිදු විය. අවසානයේ ජේ.ආර්. ජයවර්ධනයන්ට සිදු වූයේ අකමැත්තෙන් වුව ද සාමයට අත වනමින් තිම්පු සාකච්ඡා සඳහා අවතීර්ණ වීමටය.

    - Advertisement -

    අනතුරුව ජේ.ආර්. ජයවර්ධන ආණ්ඩුව ඉන්දීය හමුදාව සහ පසුව උතුරු නැඟෙනහිර මහ ඇමැතිවරයා බවට පත් වූ වර්ධරාජා පෙරුමාල් හරහා ඇති කර ගන්නට උත්සාහ කළ ඊනියා සාමය ජේ.ආර්. ජයවර්ධන ජනාධිපතිවරයාට පසුව බලයට පැමිණි රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයා විනාශ කරනු ලැබුයේ කොටි සංවිධානයට අවි ආයුධ සහ බංකර් ඉදි කිරීමට සිමෙන්ති ලබා දෙමිනි. කෙසේ වෙතත් ප්‍රභාකරන්ට යුදමය අතින් ශක්තිමත් වීමට සහාය දුන් රණසිංහ ප්‍රේමදාස ජනාධිපතිවරයාට ප්‍රභාකරන්ගේ සහචරයකු අතින්ම සිය දිවි ගමන නිමා කරන්නට සිදු වුයේ 1993 වසරේ මැයි 01 දා ආමර්විදීයේදීය.

    නව බලාපොරොත්තු

    ඉන් අනතුරුව මෙරට තෙවැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වූ ඩී.බී විජේතුංග කොටි සංවිධානය යුදමය අතින් පරාජය කළ යුතුය යන අදහස දැරූවෙකි. ඔහු ජනාධිපති ධුරය දැරූ කෙටි කාලයේදී නැඟෙනහිර පළාතේ යම් යම් යුද ජයග්‍රහණ ලබා ගැනීමට හැකි වුවද පසුව යළිත් එල්.ටී.ටී.ඊ සංවිධානය විසින් නැඟෙනහිර පළාතේ බලය අත්පත් කර ගැනීමට සමත්විය.

    1994 වසරේදී මෙරට ජනතාවට නව බලාපොරොත්තු ලබා දෙමින් සිවුවන විධායක ජනාධිපතිවරයා බවට පත් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සියයට 61 ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගනිමින් බලයට පත් වූයේ උතුරු නැඟෙනහිර ගැටලුව විසඳන බවට මෙරට ජනතාවට ලබා දුන් විශ්වාසය හමුවේය. එහෙත් ඇගේ පාලන කාලයේදී රාජ්‍ය නොවන සංවිධාන සහ ඒ මත යැපෙන මාධ්‍යවේදීන් කණ්ඩායමක් බිහි වීම හරහා සෘජු තීන්දු තීරණ ගෙන උතුරු නැඟෙනහිර ගැටලු විසඳීමේ මග ඇහිරී ගියේය. චන්ද්‍රිකා ජනපතිනිය විසින් සාමයට අත වනමින් “සුදු නෙළුම්” ව්‍යාපාරය මඟින් දකුණේ සිට උතුරට තවලම් ගිය ද ඒ කිසිවක් සාර්ථක විසඳුම් බවට පත් නොවීය. චන්ද්‍රිකා කොටි සංවිධානය විශ්වාස කළ ද ඇගේ විශ්වාසයේ සීමාව අවසන් වූයේ 1999 ජනාධිපතිවරණයේදී කොළඹදී පැවැති ජන රැලියකදී ඇගේ එක් ඇසක් අහිමි කරමිනි. එක් ඇසක් තුවාල සහිතව ජනතාව හමුවට පැමිණි චන්ද්‍රිකා එවර අනුකම්පාවේ ඡන්ද සමඟින් යළිත් සිය දෙවන ධුරයේ වැඩ බාර ගත්ත ද, ඉන් පාඩමක් ඉගෙන ගත්තේ නැත.

    ඉන් අනතුරුව චන්ද්‍රිකා බණ්ඩාරනායක රජයට එරෙහිව එස්.බී. දිසානායක ඇතුළු මන්ත්‍රීවරු පිරිසක් එක්සත් ජාතික පක්ෂයට එකතු වීම නිසා චන්ද්‍රිකා ආණ්ඩුව බිඳ වැටීම නිසා පැවැති මහා මැතිවරණයේදී රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බවට පත් විය. රනිල් ප්‍රමුඛ එක්සත් ජාතික පක්ෂය යළිත් වරක් ඊනියා සාම මඩ ගොහොරුවේ ගිලි ගියේය. කොටි සංවිධානය සමඟ සාම සාකච්ඡා ආරම්භ කරන ලදී. රනිල් සහ කොටි සංවිධානයේ නායකයා ස්ථාන දෙකක සිට සාම ගිවිසුමකට අස්සන් තබන ලදී. එය කොටි සංවිධානයේ නැඟීමේ තවත් සංධිස්ථානයක් බවට පත් විය. කොටි සංවිධානයට නිල වශයෙන් පාලන බලය හිමි ප්‍රදේශ හිමි විය. කොටි පොලිසි, කොටි බැංකු, කොටි අධිකරණ ශාලා නිල වශයෙන් පිළිගැනීමට ලක් විය. ඒ අතරතුර කොටි සංවිධානය සිය ආයුධ බලය වැඩි කර ගත්හ.

    රනිල් වික්‍රමසිංහගේ සාම ගිවිසුමට පින් සිදු වන්නට කොටි සංවිධානයට අවි ආයුධ ඇති තරම් රැස් කර ගැනීමට අවස්ථාව ලැබිණි. නවීන තාක්ෂණික පණිවුඩ හුවමාරු උපකරණ, මුදල්, නැව්, සැහැල්ලු ගුවන් යානා සහ රාජ්‍ය නොවන සංවිධානවල සහාය ලබා ගැනීමට හැකි විය. සියලු යුදමය සම්පත් අතින් බලවත් වුවත් කොටි සංවිධානයට පිරිස් බලයේ යම් අඩුපාඩුවක් තිබිණි. ඒ සඳහා ප්‍රභාකරන් විසින් ළමා සොල්දාදුවන්ගෙන් සමන්විත බළකායක් නිර්මාණය කළේ ද රනිල් වික්‍රමසිංහගේ සාම ගිවිසුමට මුවා වෙමිනි.

    අලුත් වෙනසක්

    2004 වසරේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ගොඩනඟා යළිත් වරක් චන්ද්‍රිකා බණ්ඩාරනායක විසින් නව රජයක් පිහිටුවීය. එහි අගමැතිවරයා බවට පත් වූයේ මහින්ද රාජපක්ෂයන්ය. මහින්ද රාජපක්ෂයන් 2005 වසරේ පැවැති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූයේ ලාංකීය ජනතාවට නව වෙනසක බලාපොරොත්තු ලබා දෙමිනි. 2005 වසරේදී චන්ද්‍රිකා ජනපතිවරිය සිය ධුරයෙන් සමුගන්නා තෙක්ම ඇයට කොටි සංවිධානයට එරෙහිව සෘජු තීන්දු තීරණ ගැනීමට නොහැකි වූවා යැයි කිව හොත් නිවැරැදිය.

    2005 ජනාධිපතිවරණය ද මෙරට දේශපාලනයේ වැදගත් සන්ධිස්ථානයක් විය. ප්‍රභාකරන්ට අවැසි වූයේ ජනාධිපතිවරණයේදී යුදමය විසඳුමක් ගැන විශ්වාස කළ හැකි මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා වනු දැකීම යැයි කිව හොත් නිවැරැදිය. ඒ මහින්ද රාජපක්ෂයන් ගැන ප්‍රභාකරන්ට තිබු වැරැදි අවබෝධය නිසා විය හැකිය. ඒ වන විට අන්තර්ජාතික සහයෝගය සහ අනුග්‍රහය ලබා ගෙන සිටි ප්‍රභාකරන් විශ්වාස කරනු ලැබූයේ මහින්ද රාජපක්ෂයන් යුද්ධයේදී අතපසුවීම් සිදු කර ගත් පසුව ලෝක බලවතුන්ගේ සහායෙන් පහසුවෙන්ම “දෙමළ ඊළාම් රාජ්‍යය“ ලබා ගැනීම පහසු වනු ඇති කියාය.

    එහෙත් පස්වන විධායක ජනාධිපති මහින්ද රාජපක්ෂයන් 2005 වසරේදී සීරු මාරුවට උතුරු නැඟෙනහිර ගැටලුව කළමනාකරණය කිරීමට පටන් ගත්තේය. ඒ වන විටත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව විසින් ඇති කර ගෙන තිබු සටන් විරාම ගිවිසුම ක්‍රියාත්මක වෙමින් පැවැතිණි. එකල නෝර්වේ සාම නියෝජිතයන් කොළඹ සහ වන්නියේ කටයුතු කරමින් සිටි සමයක් විය. මහින්ද රාජපක්ෂ ආණ්ඩුව පළමුව සාම සාකච්ඡා සඳහා අවතීර්ණ වූයේ පැවැති පරිසරය අනුවය.

    කෙසේ වෙතත් මහින්ද රාජපක්ෂයන් ජනාධිපති ධුරයට පත් වු පසුව රාජ්‍ය නායකයා ලෙසත් ත්‍රිවිධ හමුදාවට අණ ලබාදෙන සේනාධිනායකයා ලෙසත් උතුරු නැඟෙනහිර ගැටලුවට ස්ථීරසාර විසඳුමක් ලබා දෙනු ඇතැයි පොදු මහජනතාව අතර විශ්වාසයක් ගොඩනැඟි තබිණි. ඒ සමඟම මහින්ද රාජපක්ෂයන් ත්‍රිවිධ හමුදාව අතර සම්බන්ධීකරණය පවත්වා ගැනීම සහ යුද සැලසුම් පිළිබඳව අධීක්ෂණය කිරීමේ ආරක්ෂක ලේකම් තනතුරට සිය සොයුරු වත්මන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් තෝරා ගැනීම සුවිශේෂී කටයුත්තක් වීය. විසි වසරක හමුදා සේවයෙන් විශ්‍රාම ලබා සිටි ගෝඨාභය රාජපක්ෂයන් ආරක්ෂක ලේකම් ධුරයට පත් වීමත් සමඟම ත්‍රිවිධ හමුදාවේ මුහුණුවර ශක්තිමත් කිරීමට කටයුතු රැසක් ආරම්භ කළේය. ඒ අනුව ත්‍රිවිධ හමුදාවේ පිරිස් බලය වැඩි කිරීමටත් නවීන යුධ උපකරණ ත්‍රිවිධ හමුදාවට ලබා ගැනීමටත් ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ නිර්දේශයෙන් සේනාධිනායකයා ලෙස මහින්ද රාජපක්ෂයන් අවශ්‍ය දේශපාලන සහයෝගය ලබා දුන්නේය.

    2006 ජුලි 20 වැනිදා නැඟෙනහිර පළාතේ මාවිල්ආරු සොරොව්ව වසා දමා කොටි ත්‍රස්තවාදීන් විසින් සිංහල , දෙමළ, මුස්ලිම් වැසියන් 15000 පමණ ජීවිත ප්‍රාණ ඇපයට ගෙන සටන් විරාම ගිවිසුම කඩ කිරීම ආරම්භ කරන ලදී. පානම සහ මුතුර් දෙසින් බර අවි ප්‍රහාර හමුදාව වෙත එල්ල විය. ඒ අනුව කොටියාට තේරෙන භාෂාවෙන් පිළිතුරු දීමට මහින්ද රාජපක්ෂයන් තීන්දු කරනුයේ ඒ මොහොතේදීය. ඒ අනුව මාවිල්ආරු සොරොව්ව මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුම ආරම්භ කෙරිණි. 2006 අගෝස්තු මස 08 වැනිදා වන විට හමුදාව විසින් මාවිල්ආරු සොරොව්ව සම්පූර්ණයෙන්ම මුදා ගැනීම සිදු විය.

    ඒ සමඟ ඇති වූ ජයග්‍රාහී මානසිකත්වයත් සමඟ නැඟෙනහිර පළාතේ සාම්පූර්, වාකරේ වෙරුගල්ආරු, තොප්පිගල බලය තහවුරු කර ගනිමින් ත්‍රිවිධ හමුදාව නැඟෙනහිර පළාතේ බලය තහවුරු කර ගත්හ.

    2007 වසර ආරම්භයේදී ත්‍රිවිධ හමුදාව උතුරේ මානුෂීය මෙහෙයුම සාර්ථක කර ගනිමින් මන්නාරම, සිලාවතුර , යෝධවැව, වෙඩිතලතිව්, තුනුක්කායි, මල්ලාවි, පුනරීන්, පරන්තන්, කිලිනොච්චි, මුලතිව් මුදා ගනිමින් උතුරේ මානුෂීය මෙහෙයුම ජයග්‍රාහී අවසානයක් කරා මෙහෙය වීය.

    යුද්ධයට තිත

    අවසානයේ කොටි සංවිධානය පරන්තන් පුදුකුඩුරිප්පු කුඩා භූමියකට කොටු විය. ඒ සමඟම ත්‍රස්තවාදීන් සාමාන්‍ය ජනතාව ලක්ෂ 03 පමණ ප්‍රාණ ඇපයට ගත්හ. ඒ අනුව ප්‍රාණ ඇපයට ගත් ජනතාව මුදා ගැනීමේ අරමුණින් 2009 පෙබරවාරි 12 වැනිදා යුද මුක්ත කලාපයක් රජය විසින් ප්‍රකාශයට පත් කළේය. කෙසේ වෙතත් ත්‍රිවිධ හමුදාව මානුෂීය ආකාරයට සලකමින් සාමාන්‍ය ජනතාව මුදා ගැනීම සිදු කළහ. ඒ කොටි සංවිධානයේ මරාගෙන මැරෙන ප්‍රහාර ඇතුළුව බිහිසුණු වාතාවරණයක් යටතේය. 2009 මැයි 19 වැනිදා උදෑසන කොටි නායක වේළුපිල්ලේ ප්‍රභාකරන්ගේ ප්‍රාණය නිරුද්ධ සිරුර නන්දිකඩාල් කලපුවෙන් සොයා ගැනීමත් සමඟම වසර 30 ක කුරිරු යුද්ධයට තිත තැබිණි.

    අද විජයග්‍රහණයේ 12 වැනි වසර සමරන මේ මොහොතේ යුද, ගුවන්, නාවික, සෙබළු මෙන්ම පොලිසියේ සහ සිවිල් ආරක්ෂක බළකායේ සියලු සාමාජිකයන් අභිමානයෙන් සිහිපත් කළ යුතුය. සමස්තයක් ලෙස වසර තිහක් පැවැති යුද්ධයේ කුරිරු බව කියා පානුයේ ත්‍රිවිධ හමුදාවේ සෙබළු 29000 ක් පමණ මවුබිමේ ඒකීයභාවය රැකීම උදෙසා දිවි පුදා තිබිමය. එමෙන්ම 2006 වසරේ සිට 2009 දක්වා යුද්ධයේදී දිවි පිදු සෙබළු ගණන 5900 කට ආසන්නය.

    අමෙරිකාවේ එෆ්.බී.අයි. ආයතනයට එල්.ටී.ටී.ඊ සංවිධානය ලෝකයේ භයානකම ත්‍රස්තවාදී සංවිධානය ලෙස නම් කර තිබිණි. යුද, ගුවන් සහ නාවික හමුදා බලයෙන් සන්නද්ධ වූ කොටි සංවිධානය පරාජය කිරීම අපහසු වූයේ කොටි සංවිධානය දෙමළ ඩයස්පෝරාව මඟින් ලොව බලවත් රටවල ද දේශපාලනික වශයෙන් සිය සංවිධානයට සෘජු සහ වක්‍ර ආකාරයෙන් සහාය ලබා ගැනීමට සමත්ව තිබීම නිසාය.

    එවැනි බලගතු යුදමය සහ දේශපාලන සහාය සහිත සංවිධානයක් පරාජය කිරීම සම්පූර්ණයෙන්ම ත්‍රිවිධ හමුදාවන්ට සිදු කළ නොහැක්කක් බව ඉතිහාසයේ අවස්ථා කීපයකදීම සනාථ වී තිබේ. යුද්ධයේ තීරණාත්මක අවස්ථාවන්හිදී ඉන්දියාවේ බලපෑම් නිසා කොටි සංවිධානය ශක්තිමත් වූ අවස්ථා තිබේ. එමෙන්ම 1987 වඩමාරච්චි මෙහෙයුමේදී කොටි නායක ප්‍රභාකරන් දිවි ගලවා ගත්තේ ද ඉන්දියාව මැදිහත් වූ නිසාය.

    එවැනි පරිසරයකදී පස්වන විධායක ජනාධිපති සහ සේනාධිනායකයා ලෙස යුද්ධයේ ජයග්‍රහණය උදෙසා මහින්ද රාජපක්ෂයන් ගත් එඩිතර තීන්දු තීරණ සහ දේශපාලන නායකත්වය අසම සමය. ජේ.ආර් ජයවර්ධන, ඩී.බී විජේතුංග, රණසිංහ ප්‍රේමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක යන විධායක ජනාධිපතිවරු සිවු දෙනා සහ එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අගමැති රනිල් වික්‍රමසිංහ යන කිසිවකුටත් සෘජු උතුරු නැඟෙනහිර ත්‍රස්තවාදය පරාජය කිරීම සඳහා දේශපාලන නායකත්වයක් ලබා දීමට නොහැකි වූ බව ඉතිහාසය සාක්ෂි දරනු ලබයි. 

    ශක්තිමත් නායකත්වය

    වේළුපිල්ලේ ප්‍රභාකරන් මෙරට රාජ්‍ය නායකයන් සිවු දෙනකුම රැවටීමට ලක් කළ බව කීවොත් එහි වරදක් නැත. මන්ද යත් සාම සාකච්ඡා සහ සටන් විරාම මඟින් ප්‍රභාකරන් දේශපාලනමය වශයෙන් සහ යුදමය වශයෙන් ශක්තිමත් විය. එහෙත් ප්‍රභාකරන්ගේ රැවටීමට ලක් නොවූ එකම රාජ්‍ය නායකයා මහින්ද රාජපක්ෂයන් බව කිව යුතුය. ඒ ඔහු සතුව ඇති විචක්ෂණශීලී බුද්ධිය, දූරදර්ශී නායකත්වය, නොපසුබස්නා ගතිය සහ එඩිතර බවය.

    නැඟෙනහිර පළාත ජයග්‍රහණය කළ පසුව උතුරු පළාත මුදා ගැනීමේ මානුෂිය මෙහෙයුම දියත් වෙද්දී මහින්ද රාජපක්ෂ ආණ්ඩුව දේශපාලන වශයෙන් දුර්වල කිරීමේ මෙහෙයුමක් ආරම්භ විය. ඒ කොටි හිතවාදී විදෙස් රටවල සහ කොටි හිතවාදී කල්ලි සහ රාජ්‍ය නොවන සංවිධානවල මෙහෙය වීමෙනි. ඒ අවස්ථාව මහින්ද රාජපක්ෂයන් දේශපාලනමය වශයෙන් කළමනාකරණය කළේ හිටපු අමත්‍ය බැසිල් රාජපක්ෂයන්ගේ ද සහාය ඇතිවය. කරු ජයසුරිය එ.ජා.ප නියෝජ්‍ය නායකයා සමඟ එ.ජා.ප පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 17 ක් ආණ්ඩුවට පැමිණියේ ඒ අනුවය. එපමණක් නොව උතුරු මානුෂිය මෙහෙයුම් ප්‍රධාන කොටි මර්මස්ථානයක් අල්ලා ගත් සැණින් දකුණේ විවිධ වැඩ වර්ජන ඇති විය. ඒ සියල්ල දේශපාලනික වශයෙන් කළමනාකරණය කිරීමට රාජ්‍ය නායකයා ලෙස මහින්ද රාජපක්ෂයන් සමත් විය.

    විජයග්‍රහණයේ නියමුවා

    මහින්ද රාජපක්ෂයන්ගේ සෘජු දේශපාලන නායකත්වය කියා පාන වඩාත් වැදගත්ම අවස්ථාව වූයේ 2009 අප්‍රේල් මස 24 වැනිදාය. ඒ වන විට කොටි සංවිධානය උතුරු පළාතේ ඉතාම කුඩ භූමි ප්‍රදේශයකට සීමා වූ අවස්ථාවය. ප්‍රභාකරන් බේරා ගැනීමේ අරමුණින් සටන් විරාමයක් යෝජනා කිරීමට බ්‍රිතාන්‍ය විදේශ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් සහ ප්‍රංශ විදේශ ඇමැති බර්නාඩ් කුෂ්නර් ලංකාවට වහා පැමිණියහ. අඩුම තරමින් කොළඹදී හෝ විදෙස් ඇමැතිවරු හමු නොවූ මහින්ද රාජපක්ෂයන් සටන් විරාමය එකහෙළාම ප්‍රතික්ෂේප කරන බව ඇඹිලිපිටියේදී විදේශ ඇමැතිවරු දෙපළ හමුවේ නොපැකිළව ප්‍රකාශ කළේය. ප්‍රභාකරන් පණ පිටින් හෝ මළ කඳ හමුවන තුරු යුද්ධය නිමා නොවන බව ප්‍රකාශ කිරීමට තරම් දේශපාලන පෞරුෂයක් මහින්ද රාජපක්ෂයන්ට තිබිණි.

    අද අප විජයග්‍රහණයේ 12 වන සැමරුම සමරන මොහොතේ යුද ජයග්‍රහණයේ එඩිතර දේශපාලන නායකත්වය මහින්ද රාජපක්ෂයන් සතුව නොතිබෙන්නට 1987 දී වඩමාරච්චි මෙහෙයුමේදී දින දෙක තුනකදී ප්‍රභාකරන් අල්ලා ගැනීමට තිබු අවස්ථාව එවකට ජනාධිපති ජේ.ආර් ජයවර්ධන ඉන්දියාවේ බලපෑමට බිය වී නැවැත්වු ආකාරයට මහින්ද රාජපක්ෂයන් බ්‍රිතාන්‍ය සහ ප්‍රංශ විදේශ ඇමැතිවරුන්ගේ බලපෑමට නතු වූවා නම් අදටත් ප්‍රභාකරන් ජීවතුන් අතරය.

    ජේ.ආර්, ප්‍රේමදාස, විජේතුංග සහ චන්ද්‍රිකා යන විධායක ජනාධිපතිවරුන් යටතේ ද ත්‍රිවිධ හමුදාවේ දක්ෂ යුද විරුවන් සිය කාර්ය භාරය අකුරටම ඉෂ්ට කළේය. එහෙත් කොටි සංවිධානය පරාජය කිරීමට ඩෙන්සිල් කොබ්බෑකඩුව, විජය විමලරත්න ඇතුළු වසර 30 ක ඉතිහාසයේ බිහි වූ ත්‍රිවිධ හමුදාවේ යුද සෙන්පතියන්ට නොහැකි වූයේ යුද ජයග්‍රහණයන් උදෙසා අවශ්‍ය සෘජු දේශපාලන නායකත්වය නොලැබීමය. යුද ජයග්‍රහණයේ සැබෑ විරුවා මහින්ද රාජපක්ෂයන් වන්නේ ඒ නිසාය.

    චන්දන බණ්ඩාර, 
    සභාපති,
    ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට අනුබද්ධ වාණිජ කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය,
    ලේක්හවුස්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.