24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ගමේ කෑම නගරෙ හදන ක්‍රමය මෙන්න

    - Advertisement -

    අද වන විට ලංකාවේ තරුණ තරුණියෝ නොයෙක් වර්ගයේ ආහාර නිෂ්පාදනය කිරීමෙහි නිරත වෙති. කොරෝනා නිරෝධායනයත් මෙහිලා වඩාත් ඉවහල් වන බව පෙනී යයි. අනුන් යටතේ රැකියාව කිරීම වෙනුවට තමන් ඉගෙන ගත් දෙයින් පල ප්‍රයෝජන ගැනීම මෙහි අරමුණ වේ. බොහෝ තරුණ පිරිස ශ්‍රී ලංකාවේ ස්වාභාවිකව හට ගන්නා කොස්, පොළොස් සහ දෙල් මෙන්ම වරකා වැනි පලතුරු වර්ග ද මෙම නව නිෂ්පාදනයන් කිරීම සඳහා යොදා ගනී. මහනුවර ප්‍රදේයේ ජීවත් වන දනුකි බණ්ඩාර ද ස්වෝත්සාහයෙන් නව නිෂ්පාදන අත්හදා බලමින් දේශීය නිෂ්පාදන වෙළෙඳපොළට නව මුහුණුවරක් දෙන්නට උත්සාහ ගන්නියකි.

     

    - Advertisement -

    මොනවද ඔබ කරන්නේ?

    ශ්‍රී ලංකාවේ වැවෙන දේ මම නව ආකාරයකින් වෙළෙඳපොළට නිකුත් කරනවා. කුළුබඩු, අගය එකතු කිරිමක් කරන ලද එළවළු, පලතුරු, සහ විජලනය කරන ලද එළවළු, පලතුරු වගේම බෝතල් කරන ලද එළවළු, පලතුරුත් මීට අයත් වෙනවා. විජලනය කරන ලද දේවල් මම නිකම්ම වෙළෙඳපොළට දාන්නේ නෑ. ඒවාට මම අගය එකතු කිරීමක් කරනවා. දැන් ගොඩක් අය විජලනය කිරීම් කරනවා. මම ඒ නිසා වෙනසක් කළා. ඒ කියන්නේ වෙළෙඳපොළේ බොහෝ විට තියෙන්නේ විජලනය කරපු කොස් විතරයි. මම වෙනසක් විදියට විජලනය කරපු කොස් සමඟ කුළුබඩු පැකට් එකකුත් වෙළෙඳපොළට දානවා. ඕනෑම කෙනකුට කොස් ව්‍යංජනයක් හදා ගන්න ලෙහෙසි ආකාරයට එය තිබෙනවා. ඒ වගේම කළුපොල් මාළුව තිබෙනවා.

    කෑම බීම හැදීම ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. මම ඉන්නේ නුවර. මම නුවර හදන විදියට හදන කුළුබඩු පැකට් එක තමයි අනෙක් නිෂ්පාදන සමඟ යවන්නේ. එතනත් රසයේ වෙනසක් තිබෙනවා. පාරිභෝගිකයාටත් ලෙහෙසියි. කවදාවත් කළු පොල් මාළුව හදපු නැති කෙනකුටත් හරි ලෙහෙසියෙන් ඒ රසටම කළු පොල් මාළුව හදා ගන්න පුළුවනි.

    - Advertisement -

    දැන් ඔබ කළු පොල් මාළුව සඳහා අවශ්‍ය දෑ සකස් කරන්නේ කොහොම ද?

    කොස් ඇට තම්බලා බෝතල් කිරීම වෙනම කරනවා. ඊට පස්සේ කොස් ඇට තම්බලා විජලනය කරලා කුළුබඩු පැකට් එකක් සමඟ කළුපොල් මාළුව වෙනම තිබෙනවා. මේක වෙනස් දෙයක් විදියටයි මම හිතන්නේ.

     

    - Advertisement -

    මේ ආකාරයට වෙනස් විදියට සකස් කරන තවත් ආහාර වර්ග

    තිබෙනවා ද?

    අන්නාසි මාළුවක් හදනවා. ගොඩක් අය අන්නාසි උයලා කන්න කැමති වුණාට උයන්න දන්නේ නැහැ. ඒ නිසා මම අන්නාසි විජලනය කරලා කුළුබඩු පැකට් එකක් සමඟ වෙළෙඳපොළට දානවා. එවිට ඕනෑම කෙනකුට අන්නාසි මාළුව රසට හදා ගෙන කෑමට ගන්න පුළුවනි. ඒ වගේම වරකාවලින් මම කෙටි ආහාරයක් හදනවා. කුඩා දරුවන්ට ටිපි ටිප් වෙනුවට මේ වරකා කන්න පුළුවනි. ටිපි ටිප් කියන්නේ ගොඩක් රසකාරක දාලා හදන දෙයක්. ඒවා දරුවන්ට අහිතකරයි. වරකා වගේ දේශීය දේ මේ හරහා දරුවන්ට පුරුදු කළ හැකියි. කුඩා දරුවාගේ ඉඳලා වැඩිහිටියා දක්වාම හොඳ ආහාර රටාවක් පුරුදු කිරීම තමයි මගේ අරමුණ.

    මගේ මේ නිෂ්පාදනවලට පිටතින් සීනි වර්ග සහ ලුණු එකතු කරන්නේ නැහැ. මේ නිසා දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ කොලෙස්ටරෝල් තිබෙන ඕනෑම කෙනකුට මේවා කිසිදු බියක් නැතිව ආහාරයට ගන්න පුළුවනි. ඒ වගේම රසකාරක, වර්ණකාරක, කල් තබා ගන්නා ද්‍රව්‍ය සහ සුවඳ වර්ග කිසිවක් මගේ නිෂ්පාදන සඳහා යොදා ගන්නේ නැහැ. මේවා සියයට සියයක්ම ස්වාභාවිකයි.

    මේ ආකාරයට දෙන්න මම හිතුවේ අද ගොඩක් මිනිසුන් කාර්යබහුලයි. මම ඒ පිළිබඳව පර්යේෂණයක් කළා. එතැනදී වටහා ගත් දෙයක් තමයි මිනිසුන් කැමති ලෙහෙසියට දෙයක් ගන්නයි.

    කොස්වලට අමතරව දෙල්, කොහිල අල, තිබ්බටු සහ ලාවුළු තිබෙනවා. ලාවුළු කියන්නේ ගොඩක් ගුණදායකයි. ඒවා කන්න ලැබෙනවා අඩුයි.

     

    ඔබ මේ ආහාර වර්ග සකස් කරන්නේ දේශීය වෙළෙඳපොළට ද?

    විදේශීය වෙළෙඳපොළට ද?

    දැනට දේශීය වෙළෙඳපොළ. ගොඩක් අය සිතනවා මේ වගේ දේවල් අපේ රටට හඳුන්වා දෙන්න අමාරුයි කියලා. ඇත්තටම එහෙම නැහැ. ගම්වල අයත් දැන් කොස් කපන්න කැමති නැහැ. මේ නිසා මගේ මූලිකම ඉලක්කය දේශීය වෙළෙඳපොළ. මගේ පෞද්ගලික මතය තමයි ශ්‍රී ලංකාවේ අයට හොඳ දෙයක් කන්න බොන්න දීලා ඉවර වෙලා තමයි පිටරට මිනිස්සුන්ට දෙන්න ඕනෑ කියන එක. අපේ නිෂ්පාදන පිටරටවලට දුන්නාම අපට විදේශ විනිමය එනවා තමයි. එහෙත් අපේ රටේ අයට ගුණාත්මක දේවල් ඉස්සෙල්ලම දීලා තමයි අපි පිටරට අයට දෙන්න ඕනෑ.

    දනුකි බණ්ඩාර

     

    මේ නිෂ්පාදන සඳහා ඔබ අමුද්‍රව්‍ය සපයා ගන්නේ කොහෙන් ද?

    මට මේ අමුද්‍රව්‍ය දෙන්න පිරිසක් මා වටා සිටිනවා. මම එයාලා ඉන්න තැන්වලට ගිහින් බලනවා මේ අය මේවා වවන්නේ කොහොම ද, පල නෙළන්නේ කොහොම ද කියලා. කුළුබඩු දෙන ගොවි පිරිසක් සිටිනවා. මිරිස් දෙන්නේ යාපනයේ ගොවීන්. කහ අම්පාරෙන් ලැබෙනවා. මට ඒවා එයාලගෙන් ගන්න එක ලාභයි. කොස් දෙන්න වෙනම පිරිසක් සිටිනවා. ශ්‍රී ලංකාවේ වටේම මේ පිරිස සිටිනවා. මම එක දවසක් කියනවා එදාට ඒ අය මට මේ අමුද්‍රව්‍ය ගෙනැත් දෙනවා.

     

    විජලනය කිරිම, බෝතල්කරණය සහ ඇසුරුම්කරණය සඳහා ඔබ දැනුම ලබා ගත්තේ කොහොම ද?

    විජලනය කරන්න ඉගෙන ගත්තේ යූ ටියුබ් එක බලලා ඒවා අධ්‍යයනය කරලයි. ඒ වගේම එස්.එල්. ෆුඩ්ස් ආයතනයෙන් මේ දේවල් කරන හැටි ඉගෙන ගත්තා. මේ ආහාර වර්ග එක වර හදන්නේ නැහැ. ඒවා සඳහා පර්යේෂණ කරන්න ඕනෑ. මම ගන්නෝරුවේ ආහාර පර්යේෂණ ආයතනයේ තමයි මෙම පර්යේෂණ සියල්ල කරන්නේ.

     

    මේ වැඩ කටයුතු කෙරෙන්නේ කුමන ආකාරයට ද? ඔබ සමඟ සේවක පිරිසක් සිටිනව ද?

    මුලින්ම මම නුවර මගේ නිවෙසේ තමයි මේ දේවල් පටන් ගත්තේ. පසුව මම ගම්පහ, කිරිඳිවැල නිෂ්පාදනාගාරයක් හැදුවා. අමුද්‍රව්‍ය සපයා ගැනීමේදී මට කිරිඳිවැල ලෙහෙසි නිසා මම මේ ප්‍රදේශය තෝරා ගත්තා. මෙහි වැඩ කරන සේවක පිරිස දහයක්. මීට අමතරව සැපයුම්කරුවන් 18ක් සිටිනවා. ඒත් හැමදේම මම පෞද්ගලිකව බලනවා. මේ හැම නිෂ්පාදනයක් සම්බන්ධව මම වගකිව යුතු නිසා.

     

    මේ දිනවල වෙළෙඳපොළ සම්බන්ධව ගැටලු නැද්ද?

    නැහැ. මේ දවස්වල තමයි මගේ නිෂ්පාදනවලට වැඩි ඉල්ලුමක් තිබෙන්නේ. ගොඩක් අය විවිධ දේ හැදුවට ඒවා විකුණාගන්න අවබෝධයක් නැහැ. මේ සමාජය තුළ සිටින විට අප මේ දේවල් විකුණන විදිය ගැන සිතන්න ඕනෑ. උදාහරණයක් විදියට මේ කොරෝනා කාලේ බඩු විකුණන්නේ වෙනම විදියකට. කොරෝනා නැති කාලේ තවත් වෙනස් විදියකට. ඒ වගෙයි මේවා කෙරෙන්න ඕනැ. පරිසරය සහ මිනිසුන් වෙනස් වෙන විදියට අප වැඩ කරන්න ඉගෙන ගන්න ඕනෑ.

    මේ වෙනස් විදියේ ආහාර රටාවන් ගැන දැන ගැනීම සඳහා [email protected] ඊ මේල් ලිපිනය ඔස්සේ දනුකි බණ්ඩාර මහත්මිය සමඟ ඔබට සම්බන්ධ විය හැකියි.

     

    චතුමී පිටිපන

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.