24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    පරිසරයට මිතුරාන රැක ගත යුතු වතුරාන

    - Advertisement -

    දිවයින පුරා පවතින සෑම ස්වාභාවික පරිසර පද්ධතියකම වැදගත්කම මෙතෙකැයි කියා නිම කළ නොහැකිය. මෙම පරිසර පද්ධති තුළ වැඩෙන අසීමිත ශාක ගහනය විසිනුයි මිනිසා ඇතුළු සත්ත්වයන් ජීවත් කරවීමට අවශ්‍ය ප්‍රාණ වායුව වන ඔක්සිජන් වායුව සපයනු ලබන්නේ. එනම් ගොඩබිම පරිසරයේ ඇති හරිත ශාක ගහනය මගින් 30%ක ඔක්සිජන් වායු ප්‍රතිශතයක් සැපයෙන අතර සාගර පරිසර පද්ධතිය තුළ වූ හරිත ඇල්ගාවන් මගින් ඉතිරි 70%ක ප්‍රමාණය සැපයේ.

    ශ්‍රී ලංකාවේ සිදු වන වන සංහාරය සමඟින් වන ගහනය පසුගිය දශකය තුළ ඉතා ශීඝ්‍රයෙන් පහත ගොස් ඇති අතර ඉතිරිය හෝ රැක නොගත හොත් තවත් වසර 50 කින් පමණ අපට ඔක්සිජන් අඩුවීම හේතුවෙන් ශ්වසනය කිරීමට අපහසුතා ඇති විය හැකිය. එවිට භාවිතය සඳහා දියර ඔක්සිජන් බෝතලයක් ද යන එන ගමනේදී රැගෙන යෑම නොවැළැක්විය හැකිය.

    - Advertisement -

    එවන් පසුබිමක තෙබුවන, දොඩන්ගොඩ සහ තුඩුගල යන ප්‍රදේශ මායිම් කොට ගනිමින් පවතින ‘ඊරියාන්ගල වතුරාන’ නමැති අක්කර 107ක පමණ වපසරියකින් යුත් භූමි ප්‍රදේශය පිළිබඳව විශේෂ අවධානයක් යොමු විය යුතු කාලය එළැඹ ඇත.

    මෙම වතුරාන භූමිභාගය මඟින් පාරිසරික වශයෙන් සිදු කරනු ලබන මෙහෙය මෙතෙකැයි කියා නිම කළ නොහැකි අතර එමඟින් පරිසරයට දී ඇති අලංකාරය ද අපමණය. මෙහිදී සඳහන් කළ යුතු වැදගත් කරුණු අතුරින් එකක් වනුයේ ගංවතුර සමයේදී බෝම්බුවල, තුඩුගල, දොඩම්ගොඩ යන ප්‍රදේශයන් එම ව්‍යසනයෙන් වළක්වනු ලබන එකම ආරක්ෂකයා ලෙස මෙම වතුරාන කටයුතු කිරීමයි. එනම් මෙම පාරිසරික පද්ධතිය ගංවතුර සමයේ එන අතිරික්ත ජලකඳ රඳවා ගනිමින් හා ඉතා සෙමෙන් නිදහස් කිරීම තුළින් අවට ප්‍රදේශවලට ගංවතුරෙන් වන හානිය ඉතාම අවම කරයි. ඒ හේතුවෙන් කෘෂිකාර්මික ප්‍රදේශයක් වන බෝම්බුවල ගම්මානයේ මෙන්ම අවට ගම්වල ද කුඹුරු හා අනෙකුත් වගාවන් සුරක්ෂිත වේ. ඊට අමතරව එක්තරා මට්ටමකට ජලය ගබඩා කර තබා ගැනීම හේතුවෙන් මේ ප්‍රදේශයේ භූගත ජල මට්ටම ප්‍රශස්ත මට්ටමක පවත්වා ගෙන යයි. මෙය කෘෂිකාර්මික කටයුතු වලදී වැදගත්ම සාධකයයි. තවද වියළි කාලවලදී කරදිය එක් වීමෙන් ඇති වන කිවුල් ජලය කළු ගඟ දිගේ ඉහළට ගලා යෑමද අවම කරයි.

    මෙසේ දැනට ජලය ගබඩා කොට තිබෙන ප්‍රදේශය අතීතයේ ඉතා සරුසාර වෙල් යායක්ව පැවතිය ද වරින් වර පැමිණි ගංවතුර උවදුරු හේතුවෙන් ඒවා පුරන් වී ඇත. අද එම මුළු යායම එකම තණ නිල්ලක් මෙන් ඈතට දිස් වන අතර ඒ තුළ ඉතා අලංකාර දසුන් දක්නට ලැබේ. මේ වන විට බෙරු නම් තෘණ වර්ගය ඉතා ශීඝ්‍රයෙන් පැතිරී ඇති අතර විවිධ පන් වර්ගද, ඕලු, මානෙල්, සැල්වීනියා වැනි ජලජ ශාක ද එහි බොහෝය. ඒ අතරම අතීතයේ එහි වගා කරන ලද මා වී පඳුරු ද පැරණි වගාවේ නශ්ඨාවශේෂ ලෙස තැනින් තැන අදත් දක්නට ඇත.

    - Advertisement -

    පොකුණු පාරිසරික පද්ධතිය හා

    මත්ස්‍ය ප්‍රජාව

    අතීතයේ ගමේ තරුණ පිරිස් විනෝදය සඳහා ස්නානය පිණිස යොදා ගත් සුන්දර පොකුණු කිහිපයක් ද වේ. ඒවා ‘ඕලු වළ’, ‘යකා වළ’, ‘මහ ඇළ’ වැනි නම්වලින් හැඳින්වෙන අතර ඒවාට නම් ලැබූ ආකාරය පිළිබඳව විවිධ පුරාවෘත්ත ඇත. උදාහරණයක් ලෙස එක් පොකුණක් මධ්‍යයේ තොවිල් තටුවක් ගෙනැවිත් තැබීමෙන් පසුව ඊට ‘යකා වළ’ යැයි නම පටබැඳුණු අතර ගමේ පින්කමක් අවස්ථාවක ඉවත දැමූ ඕලු මල් බීජ අහුරක් ගෙන ඇවිත් විසුරුවා හැරීමේ ප්‍රතිඵලයක් ලෙස ඕලු ශාකය පොකුණේ ව්‍යාප්ත වීමෙන් තවත් පොකුණක් ‘ඕලු වළ’ යැයි නම් කෙරිණි.

    - Advertisement -

    මෙම පොකුණු තුළ ශ්‍රී ලංකාවට ආවේණික වූ මත්ස්‍ය ගහනයක් නිරුපද්‍රිතව වෙසේ. මඳ වේලාවක් නිසංසල ව ඒ දෙස නෙත් යොමා සිටින්නෙකුට මත්ස්‍යයින්ගේ පිනුම්, කරණම් නෙත් පිනවන දර්ශනයකි. ලූලා, කනයා, හඳයා, බුලත් හපයා, කාවයියා, හුංගා, වලයා වැනි නොයෙක් මිරිදිය මසුන් ගැවසෙන මේ ප්‍රදේශයේ ජලාශය අසල ඇති වැඩුණු ගස්වල මූල පද්ධතිය අතර ඇති බෙන උන්ගේ වර්ගයා බෝ කිරීමට ඉතා උචිත වූ පරිසරයකි. අතීතයේ බොහෝ අය විනෝදය පිණිස මෙන්ම ආහාරය පිණිස මසුන් ඇල්ලීමේ කටයුතුවල නියැළුණු මේ පෙදෙසට අදත් කිහිප දෙනෙක් හෝ ඒ කටයුතු සඳහා පිවිසෙති. මත්ස්‍යයින්ගේ පමණක් නොව විවිධ ඉදිබුවන්ගේ ද මෙම ප්‍රදේශය නිවහනකි. කෙටියෙන් සඳහන් කළොත්, මිරිදිය මත්ස්‍ය ප්‍රජාවට විෂ සහිත ද්‍රව්‍යන්ගෙන් තොරව ආරක්ෂිතව ජීවත්වීමට හැකි සුන්දර පරිසරයකි, ඊරියාන්ගල වතුරාන.

     

    පක්ෂි ගහනය

    මේ ගැන සඳහන් කරන විට, වතුරාන ප්‍රදේශය එක්තරා කුඩා කුරුලු අභය භූමියක් යැයි කිව හොත් නිවැරදිය. එහි ඇති පුරන් වූ කුඹුරු යාය, වටුවා, කොරවක්කා, මාන කොකා ඇතුළු විවිධ කොකුන් වර්ග ආදි විවිධ පක්ෂීන්ට නිරුපද්‍රිතව බිජු දමා, ඒවා රකිමින් තම පැටවුන් සුරක්ෂිතව බෝ කර ගත හැකි අගනා පරිසරයකි. කුඹුරු යාය වටා තිබෙන වන වදුල, මාදං, රතඹලා, හිඹුටු ආදි පලතුරුවලින් ගහන බැවින් පක්ෂීන්ට නිරුපද්‍රිතව රිසි සේ තම ආහාරය මෙම කැලෑ රොදින් සපයා ගත හැකිය. ඒ වන වදුල තුළට පිවිසි විට, ඕනෑම තද හිරු රැස් පතිත වන මොහොතක පවා දැනෙනුයේ පුදුමාකාර සිසිලසක් සහ සුන්දරත්වයකි. උදෑසන කාලයේ ගම දෙසට පියාසර කළ කුරුලු රංචු උන්ගේ ලැගුම්හල් කරා පැමිණ සතුටින් නඟන හඬ ඉතා කන්කළුය. අතීතයේ මොනරු එහි නො වුව ද, අද වන විට සංක්‍රමණික මොනර රංචු වරින් වර එහි දිස් වේ. එපමණකුදු නොව වැදගත්ම කරුණක් වන්නේ සංක්‍රමණික පක්ෂීන්ගේ ද තෝතැන්නක් බවට ඊරියාන්ගල වතුරාන පත්ව තිබීමයි. ඔවුන් ශීත රටවල ශීත කාලය එළඹීමත් සමඟ වතුරාන ප්‍රදේශයට සංක්‍රමණය වී නිදහසේ ගත කිරීමට හුරු වී ඇත. තවද මෙම ප්‍රදේශය සමනලුන්, බත්කූරන්, මී මැස්සන් වැනි කෘමි සතුන්ගේ ද වාස භූමියකි.

     

    සිව්පා සත්ත්ව ප්‍රජාව

    මේ පිළිබඳව සඳහන් කරන විට, දැනට වල් ඌරන්, මීමින්නන්, ඉත්තෑවුන්, නරින්, සාවුන් සහ වල්වැදුණු මී ගවයින් ද මෙම ප්‍රදේශයේ දක්නට ලැබේ. දහවල් කාලයේ මෙම වන වදුල තුළ නිදහසේ ගත කරන මේ සත්තු රාත්‍රී කාලයේ ගම්මානවලට සේන්දු වෙති. විටෙක මෙම සත්තු බෝගවලට හානි කළ ද පරිසරයේ සුන්දරත්වය රැක දීමට මෙන්ම සමතුලිතතාව පවත්වා ගැනීමට බෙහෙවින් දායක වෙති.

    වෘක්ෂලතාවෝ

    මිරිදිය පාරිසරික පද්ධතියක වැඩෙන බොහෝ ශාක වර්ගවලින් මේ බිම් පෙදෙස අනූනය. කඩොලාන පරිසරයක ඇති කිරල ශාකයට සමානකම් දක්වන, වල් ආතා ශාක මේ ප්‍රදේශය තුළ ගහනය. අමතර වශයෙන් ආහාරයට ගැනෙන මීවන, දිය බෙරලිය, පොතු පළා, කැබෙල්ල, කීකිරිඳිය ආදී ශාක බහුල වන අතර වරින් වර ගැමියෝ ඒවා නෙළා ගෙනැවිත් ආහාරයට ගැනීමට අදටත් පුරුදු වී සිටිති. තව ද කොතළ හිඹුටු වැනි අප රටට ආවේණික වටිනා ඖෂධීය ශාක ද මේ භූමිය තුළ දැක ගත හැකිය.

    යම් හෙයකින් මොනයම් හෝ හේතුවක් නිසා අනාගතයේදී මේ වතුරාන, සුන්දර පරිසර පද්ධතිය විනාශමුඛයට පත් වුව හොත් එය මිහිකත නොඋසුලන අපරාධයක් වනු ඇත. එසේ වුව හොත් මෙවන් සුන්දර පරිසර පද්ධතියක් කෙසේ කෙදිනක යළි නිර්මාණය කරන්න ද?

    මෙවන් සුන්දර භූමි ප්‍රදේශයක් රක්ෂිත ප්‍රදේශයක් ලෙස යළි වෙනස් කළ නොහැකි සේ ප්‍රකාශයට පත් කළ හොත් එය ඉදිරි අනාගතය සඳහා පරිසරය වෙනුවෙන් කරනු ලබන මහඟු දායාදයක් වනු ඇත.

     

    සේපාල ඒකනායක

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.