24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    පේර වගාවේ පෙරළි කරන කිලෝ පේර

    - Advertisement -

    දකුණු මෙක්සිකෝව සහ මධ්‍යම අමෙරිකාව නිජ බිම කර ගත් පේර ශ්‍රී ලංකාවේ ද ඈත අතීතයේ සිට කැලෑවල වැවෙන පලතුරකි. මුල් කාලයේ වවුලන් සහ කුරුල්ලන් විසින් පේර වගාව ලංකාව පුරා ව්‍යාප්ත කරන්නට ඇත. ඉන් පසු කැලෑවේ පමණක් නොව ගෙවතුවලත් පේර ගහක් දෙකක් දක්නට විය.

    එදා ලඳු කැලෑවල තිබූ හීන් පේර, රතු පේර, ඇඹුල් පේර, සුදු පේර අද එතරම් දකින්නට නැත. කැලෑ කැපීමත් පේර වගා කිරීමේ වැඩපිළිවෙළක් නොතිබූ නිසා සම්ප්‍රදායික පේර වගාව අභාවයට යමින් පවතී. ඒ වෙනුවට නවීන කෘෂි තාක්ෂණය අනුව දෙමුහුන් කළ නව පේර වර්ග රාශියක් ගොවීන්ට හඳුන්වා දී ඇත. සාම්ප්‍රදායික පේර වාණිජ භෝගයක් ලෙස ව්‍යාප්ත නොවූ අතර නව දෙමුහුම් පේර වාණිජ වගාවක් ලෙස ශ්‍රී ලංකාවේ ප්‍රදේශ කිහිපයක දැනට ව්‍යාප්ත වී ඇත. හොරණ රතු, හොරණ සුදු, පුබුදු, ලංකා ජයන්ට්, හොරණ ස්වීට්, බැංකොක් ජයන්ට්, ඇපැල් පේර ආදි වශයෙන් නව දෙමුහුම් පෙර වර්ග රාශීයකි. මේවා අද වෙළෙඳපොළේ හඳුන්වන්නේ ‘කිලෝ පේර’ නමිනි. එක පේර ගෙඩියක් ග්‍රෑම් 400ක් පමණ බර නිසා මෙසේ ව්‍යවහාරයට එන්නට ඇත. සාම්ප්‍රදායික පේර ශ්‍රී ලංකාවේ වියළි, තෙත්, අතර මැදි දේශගුණ කලාපවල ස්වාභාවිකව වැවුණත් දෙමුහුම් පේර අද වියළි කලාපයේ, පුත්තලම, අනුරාධපුරය, මරදන්කඩවල, පොළොන්නරුව වැලිකන්ද වැනි ප්‍රදේශවල මහා පරිමාණයෙන් වාණිජ භෝගයක් ලෙස ව්‍යාප්තව ඇත.

    - Advertisement -

    pasidium Guajava යන උද්භිද විද්‍යා නාමයෙන් හඳුන්වන පේර පලතුරක් ලෙස මෙන්ම ඖෂධයක් ලෙස ද ශ්‍රී ලංකාවේ ප්‍රයෝජනයට ගැනේ. කාබනික ද්‍රව්‍ය සහිත ජලවහනය වන පස පේර වගාවට වඩාත් යෝග්‍යය. වගා කිරීමට සුදුසු පාංශු සංරක්ෂණයෙන් පසු සෙ.මී. 60 x60 x 60 ප්‍රමාණයට වළවල් කපා පැළ සිටුවිය යුතුය. බීජවලින් ලබා ගත් පැළවලට වඩා බද්ධ පැළ වඩාත් සුදුසුය. පැළ සිටුවා වසරකින් ගස් පීදෙනු ඇත. වසර එකහමාරකින් පමණ පසු සාර්ථක අස්වැන්නක් නෙළා ගැනීම ආරම්භ කළ හැකිය. වර්තමානය වන විට ශ්‍රී ලංකාවේ කිලෝ පේර හෙක්ටයාර 400ක්, 500ක් පමණ වගා කර ඇත.

    වසරකට අක්කරයකින් පේර කිලෝග්‍රෑම් 40000ක් පමණ අස්වැන්නක් සපයා ගත හැකි බව ගොවීහු පවසති. පල හටගත් පසු දින 15න් 15ට අස්වැන්න නෙළීම සිදු කරයි. මෑතක සිට පුත්තලම, කල්පිටිය ප්‍රදේශවල කිලෝ පේර වගාව කෘමි උවදුරකට ගොදුරු වෙමින් පවති. ‘නැමටෝඩා’ නමින් හඳුන්වන වට පණු රෝගය සහ ‘ඩයි බැක්’ නමින් හඳුන්වන පසු මැරීමේ රෝගයට ගොදුරු වෙමින් පවති. ඒ සඳහා කෘමි නාශක භාවිත කළත් තවමත් සාර්ථකව මර්දනය කිරීමට නොහැකි වූ බව ගොවීහු පවසති. බොහෝ දෙනෙක් අද කිලෝපේර ගහක් දෙකක් ගෙවත්තේ අලංකාරය සඳහා වගා කිරීමට පුරුදු වී ඇති බව පෙනේ.

    - Advertisement -

    ශ්‍රී ලංකාවේ තවමත් පේර කෑමට ගන්නේ අගය එකතු කළ නිෂ්පාදනයක් ලෙස නොවේ. අපි තවමත් පේර ගෙඩිය ගහෙන් කඩා ගෙන නැත්නම් කඩෙන් මිල දී ගෙන කෑලි කපා ගෙන කන්නට පුරුදු වී සිටිමු. අද බස්වල, බස් නැව්තුම්පොළ වැනි ජනාකීර්ණ ස්ථානවල පේර කෑලි කපා ලුණු මිරිස් දමා අලෙවි කිරීම බහුලව සිදු වේ. ඉන් එහාට ගිය අගය එකතු කළ නිෂ්පාදනයක් ශ්‍රී ලංකාව තුළ සංවර්ධනය වී නැත. එහෙත් ඉන්දියාව, බංග්ලාදේශය, වියට්නාමය වැනි පේර වගාව විශාල වශයෙන් ව්‍යාප්තව ඇති රටවල පේරවලට අගය එක් කළ නිෂ්පාදන රාශියක් වෙළෙඳපොළට නිකුත් කර ඇත. පේර කැබලි ලෙස ටින්වල ඇසිරීමේ සිට ජෑම්, ජෙලි, චට්නි, ක්‍රීම් තැවරු අයිස්ක්‍රීම්, සිසිල් බීම සහ බේකරි නිෂ්පාදන රාශියක් වෙළෙඳපොළට හඳුන්වා දී ඇත. එමෙන්ම වියළි පලතුරක් ලෙස ද ආහාරයට ගැනීමටත් රස කැවිලි වර්ග ද නිෂ්පාදනය කර ඇත. මෙවැනි නිෂ්පාදන ශ්‍රී ලංකාව තුළ ද කරන්නේ නම් පේරවලට ඇති ඉල්ලුම වැඩි වනවා පමණක් නොව විදේශ විනිමය උපයා ගැනීමේ හොඳ ව්‍යාපාරයක් වනු ඇත. කෙසේ නමුත් ශ්‍රී ලංකාවේ සම්ප්‍රදායික හීන් පේරවලට තිබුණ ඉල්ලුම අඩු වී කිලෝ පේර ජනප්‍රිය වෙමින් පවති.

    පේර ආහාරයට ගැනීමෙන් විටමින් මෙන්ම ඛනිජ ලවණ ඇතුළු පෝෂ්‍ය පදාර්ථ රාශියක් අප ශරීරයට ලැබේ. පේරවල ආහාරමය තන්තු කැල්සියම්, යකඩ, මැග්නීසියම්, සින්ක්, පොටෑසියම්, සෙලනියම්, අඩංගුය. එමෙන්ම විටමින් බී,බී1 ,බී2,බී3 ,බී11 සහ විටමින් ඊ සහ කේ වලින් ද සමන්විතය. පේර ප්‍රති ඔක්සිකාරකයක් ලෙස ක්‍රියා කිරීමට අවශ්‍ය Leocopene,Lutein,Crypoxalein, යන රසායනික සංඝටක අඩංගුය. පේර පැණි රස, තිත්ත රස, කහට රස හා ඇඹුල් රස ඇතුළු රස කීපයකින් යුක්තය. පේරවල ඇති විස්මිත ගුණය බොහෝ දෙනෙක් නොදෑනීම පෙර සඳහා ඇති ඉල්ලුම කෙරෙහි බලපා ඇත. තන්තු බහුල ආහාරයට ගැනීමෙන් බඩගින්න අඩුවේ. පේර සෙම් රෝගවලට හිතකර වේ. උදුරය ආශ්‍රිත රෝග, පෙණහලු රෝගවලට ගුණදායක බව ආයුර්වේදයේ සඳහන් වේ. එමෙන්ම ස්ථුලතාව ඇති අයගේ ශරිරියේ බර අඩු කර ගැනීමට ප්‍රයෝජනවත් වේ.

    නිතර පේර කෑමට ගැනීමෙන් ආහාර ජීර්ණ ක්‍රියාවලිය හොඳින් සිදුවේ. විටමින් A ඇති නිසා ඇසේ මෙන්ම සමේ සෞඛ්‍ය තත්ත්වය මනාව වැඩි දියුණු වේ. පේර කොළ තම්බා බීමෙන් ශරීරයේ සීනි මට්ටම අඩු වන අතර මුඛයේ බැක්ටීරියා විනාශ කරනු ලබයි. ප්‍රතිඔක්සිකාරක ගුණය නිසා පිළිකා සෛල පැතිරීම වළක්වන අතර ප්‍රතිශක්ති පද්ධතිය සවිමත් කරයි. ආයුර්වේදයට අනුව පේර රෝග රාශියකට ප්‍රත්‍යක්ෂ ප්‍රතිකාරයකි. රෝගවලට ඔරොත්තු දීමේ හැකියාව, පිළිකා වැළැක්වීමේ ගුණය, සමේ සෞඛ්‍ය තත්ත්වය සුරක්ෂිත කරන නිසා තරුණ පෙනුම ආරක්ෂා කර ගැනීමට පේර හොඳ ආහාරයකි. දියවැඩියා රෝගීන්ට තරමක් පැසුණු පේර ගුණදායක බව ආයුර්වේදයේ කියැවේ.

    - Advertisement -

    පේරවල ආහාරමය තන්තු බහුල නිසා මල බද්ධය වළක්වයි. අන්ත්‍රගත පිළිකා වළක්වයි. අර්ශස් රෝගීන්ට හිතකර පලතුරකි. සෙම්ප්‍රතිශ්‍යාවට ඉතා ගුණදායකය. පේර කොළ තැම්බූ වතුර තුවාල පිරිසුදු කිරීමට හොඳ විෂබීජ නාශකයකි.

    පේරවල පොටෑසියම් බහුල නිසා අධි රුධිර පීඩන රෝගීන්ට මෙන්ම හෘදය රෝගීන්ට හිතකරය. එමෙන්ම කොපර් සහ යකඩ අඩංගු නිසා රතු සෛල නිෂ්පාදනය වැඩි කරයි. රක්තහීනතාව වළක්වයි.

    ශ්‍රී ලංකාවේ ලඳු කැලෑවල ස්වාභාවිකව වැවී වවුලන් සහ කුරුල්ලන් විසින් ව්‍යාප්ත කළ ඌන භාවිත පලතුරක් වූ පේර නවීන කෘෂි තාක්ෂණය මඟාන් දෙමුහුන් කර කිලෝ පේර නිෂ්පාදනයත් සමඟ ගමට සීමා වූ පේර නගරයේ ද ඉතා ජනප්‍රිය රසවත් පලතුරක් බවට පත් වී ඇත.

     

    (බණ්ඩාරවෙල කහගොල්ල, ප්‍රාදේශීය කෘෂිකර්ම පර්යේෂණ ආයතනයේ විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ කෘෂිකර්ම උපදේශක රත්නපාල ජයලත් මහතා සමඟ කරන ලද සාකච්ජාවක් ඇසුරෙනි)

     

    කෝනාර එම්. ගුණපාල

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.