24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මුහුදු පතුලේ අසිරිමත් ලෝකය

    - Advertisement -

    සුන්දරත්වයෙන් කිසිදු රටකට නොදෙවැනි සමුදුරු තීරයක් ශ්‍රී ලංකාවට හිමි වි තිබේ. බස්නාහිර මුහුදු සීමාවේ වෙරළ තීරය පටු වුව ද නැඟෙනහිර දෙසට වන්නට පිහිටා ඇති වෙරළ තීරය ඉතා පුළුල්ය. එසේ වුව ද සමස්තයක් ලෙස ගත් විට ශ්‍රි ලාංකේය වෙරළ තීරය ඉතා ආකර්ෂණීය බව නිබඳවම රජයන ස්ථානයක් බව නම් නොරහසක්. කොවිඩ් 19 රුදුරු වසංගත තත්ත්වය ලෝ පුරා ව්‍යාප්තියට පෙර කාල වකවානුව තුළ මෙරට සුන්දරත්වය නැරඹීමට පැමිණි විදෙස් සංචාරකයන්ගෙන් වෙරළාශ්‍රිතව පාරිසරික කලාපයන් නිරන්තරවම පිරී ගිය සැටියෙන්ම ඒ බව මනාව අවබෝධ කර ගත හැකිය. විදේශකයන් පමණක් නොව, දේශීය සංචාරකයන් ද තම සංචාරයන් සැලසුම් කිරීමේදී වෙරළබඩ ගමන් මාර්ගයක් ද තම ගමන් පථයට එකතු කර ගැනීමට අමතක නොකරන්නේත් වෙරළාශ්‍රිත පාරිසරික කලාපයක් ඇසුරේ ගෙවා දමනා හෝරාවක් දෙකක් යනු මනසට සහනයක් බව දන්නා බැවිනි.

    - Advertisement -

    සොබාදහම විසින් උරුම කර දී ඇති මෙම සොඳුරු වෙරළ තීරය ආරක්ෂා කරගෙන ඒ වටා දිව යන සමුදුරු කලාපයේ යහපත් පැවැත්ම තහවුරු කිරීමට රටවැසියන් කටයුතු කළ යුතු බව සිහිපත් කළ යුතුය. එසේම සංචරණයට පෙර දෙවරක් සිතා බැලිය යුතු කාලසමයක් අපි ගත කරමින් සිටින්නෙමු. මන්ද යත්: ශීඝ්‍ර ලෙස ව්‍යාප්ත වෙමින් පවත්නා රුදුරු වසංගත තත්ත්වයක් විසින් මිනිසුන් මරු තුරුලට යවනුයේ රොතු බුරුතු පිටිනි. මෙම තත්ත්වයෙන් මිදීමට නම් නිසි පිළියමක් සොයා ගන්නා තුරු ගමන් බිමන් අඩු කර ගෙන නිවසේම රැඳී සිටිම යෝග්‍ය බවට සෞඛ්‍ය අංශ විසින් නිරන්තරවම උපදෙස් දී ඇති පසුබිමක පුරවැසියන් ලෙස අප ඒ සදහා සහාය දැක්විය යුතුය. එවිට නොබෝ දිනකින්ම යළිත් රට සුවපත් වී පාරිසරික සොඳුරු බව විඳ ගැනීම සදහා සංචාරය කිරීමට ඔබට අවස්ථාව උදා වනු ඇත. එතෙක් මේ අයුරින් හෝ පාරිසරික සොඳුරු බව පත් ඉරු අතරින් ඔබ වෙත රැගෙන එන්නටයි මේ සූදානම.

    සිරිලක් සමුදුරු තීරය කියන්නේ මිහිමත දැවැන්තයා වන නිල් තල්මසාගේ සිට පියවි ඇසට නොපෙනෙන බුහුබාවා දක්වා වූ විවිධත්වය සහිත වූ ජෛවීය අගයන් රැසකගෙන් සමන්විත සමුද්‍රීය පාරිසරික කලාපයක් ලෙසත් නම් කළ හැකිය. හික්කඩුව ජාතික උද්‍යානය නම ඇසූ පමණින් බොහෝ සංචාරකයන්ගේ ආකර්ෂණය දිනා ගත් වනජීවී රක්ෂිතයක් ලෙස ප්‍රසිද්ධයි. දකුණු පළාතේ ගාල්ල දිස්ත්‍රික්කයේ හික්කඩුව ප්‍රදේශීය ලේකම් කොට්ඨාසය තුළ පිහිටා ඇති හික්කඩුව ප්‍රදේශයට එම නම භාවිතයට ආවේ කෙළෙසින් ද යන කරුණ සම්බන්ධව සොයා බැලීමේදී දැන ගත හැකි වූයේ අතීතයේ මේ ආශ්‍රිතව ‘හික් ගස්’ බහුල වන රොද ව්‍යාප්තව තිබූ බවයි. ඉදින් කඩුව, යනුවෙන් හඳුන්වන්නේ කැලෑව බැවින් හික් ගස් බහුල කැලෑව යන අරුතැතිව හික්කඩුව නම ව්‍යවහාරයට පැමිණ තිබේ. හික්කඩුව ජාතික උද්‍යානය ප්‍රකාශයට පත් වන්නේ සමුද්‍රීය ජෛව විවිධත්වය සංරක්ෂණය අරබයා වීම මෙහිලා සුවිශේෂත්වයක් ගනියි.

    වර්ෂ 2002 ඔක්තෝබර් මස 08 වැනි දින හෙක්ටයාර් 101.60ක් ජාතික උද්‍යානයක් ලෙස ප්‍රකාශයට පත් වන්නේ අපේ රටේ ප්‍රකාශිත ජාතික උද්‍යාන 26 අතරින් 13 වැනිව ප්‍රකාශිත ජාතික උද්‍යානය ලෙසටයි. එහි මුඛ්‍ය පරමාර්ථය වන්නේ ද සමුද්‍රීය ජෛව විවිධත්ව සංරක්ෂණයය. හික්කඩුව ජාතික උද්‍යානය අයත් වන්නේ නිරිතදිග තෙත් කලාපයටය. එනම් නිරිත දිග මෝසම් සුළං ප්‍රවාහයට සෘජුවම මුහුණ දෙයි. ඊට අමතරව ඊසාන දිග මෝසම් සුළං ප්‍රවාහයෙන් ද වැසි පතනය සිදු වේ. පිළිවෙළින් අප්‍රේල් – ජුනි අතර ක්‍රියාත්මක නිරිත දිග හා සැප්තැම්බර් – නොවැම්බර් අතර ක්‍රියාත්මක ඊසාන දිග මෝසම් වැසි සමයන් තුළ මුහුදු රළ ප්‍රචණ්ඩ ස්වරූපයක් දරයි. එනමුත් වසරේ මුල වියළි කාලගුණික සමයක් මෙම ප්‍රදේශය ඇසුරේ වාර්තා වන බැවින් ජාතික උද්‍යානය පිහිටා ඇති සමුදුරු කලාපය තුළ සංචාරය සඳහා සුදුසුම සමය ලෙස මෙය හැඳින්විය හැකිය. මුහුදු පතුල නැරඹිය හැකි ආකාරයට බෝට්ටු පතුළ වීදුරු ආවරණය සහිතව සකස් කර ඇති යාත්‍රාවකින් ගමන් කිරීමෙන් හික්කඩුව ජාතික උද්‍යානයේ සුන්දරත්වය පියවි ඇසින් නැරඹිමේ අපූර්ව වූ අවස්ථාව සංචාරකයන්ට උදා වේ.

    - Advertisement -

    සමුද්‍රීය ශාක විශේෂයන්ගේ ව්‍යාප්ති කලාපයන් පිළිබඳව අධ්‍යයනය කිරීමේදී හික්කඩුව ජාතික උද්‍යානය ඇසුරේ පුළුල් විවිධත්වය අධ්‍යයනය කළ හැකිය. මුහුදු තෘණ, ඇල්ගී විශේෂ, කොරල් විශේෂ, පරාශ්‍රිත මසුන් ආදි ලෙස හික්කඩුව සමුද්‍රීය ජාතික උද්‍යානය සතු ජෛව විවිධත්වය වෙන වෙනම ගෙන අධ්‍යයනය කළ හැකිය. සමුද්‍රීය ක්ෂීරපායින් අතරේ වඳ වීමේ තර්ජනයට මුහුණපා සිටිනා කැස්බෑ විශේෂයන්ගේ සහ මුහුදු ඌරාගේ කදිම භෝජනාගාරයක් ලෙස ද මුහුදු තෘණ බිම් ප්‍රකටය. මසුන්ගේ අභිජනන බිම් ලෙසත් සමුදුරු පත්ළේ ව්‍යාප්ත කොරල් හා තෘණ බිම් හරහා ඉටු වන සේවය අතිමහත්ය. සමුද්‍රීය ඛාදනය මැඬලන බාධක පරයක් ලෙස පුරා පැය 24 ම හික්කඩුව ජාතික උද්‍යානය ක්‍රියාකාරී බවත් අමතක නොකළ යුතුය.

    හික්කඩුව සමුදුරු පත්ලේ පවත්නා සුන්දරත්වය කොතෙක් ද යත් අප රට සතු සමුද්‍රීය ජෛව විවිධත්වයේ පිළිඹිඹුව හික්කඩුව ආශ්‍රිත සමුදුරු කලාපයේදී මනාව නිරීක්ෂණය කළ හැකිය. කොරල් ව්‍යාප්තිය ගත් කල හික්කඩුව, පරෙවි දූපත වැනි සමුද්‍රීය වනජීවී රක්ෂිතවලට හිමි වන්නේ ප්‍රමුඛස්ථානයයි. ලොව පුරා කොරල් පරයන්හී ව්‍යාප්තිය ගත් කල ආකාර තුනකට ඛාණ්ඩ කළ හැකිය. ඒවායේ පිහිටීම අනුව බාධක පර, ගැටි පර හා අතොලුව ලෙස පැහැදිලි වු වෙනස්කම් රැසක් කොරල් පිහිටීම අනුව හදුනා ගත හැකිය. හික්කඩුව ජාතික උද්‍යාන සමුදුරු පත්ල තුළ පිහිටා ඇති කොරල් අයත් වන්නේ ගැටිපර ඛාණ්ඩයටයි. එය වෙරළ ඛාදනය මර්දනය කිරීමේලා වෙසෙස් වූ ජෛව වැටක් හා සමව ක්‍රියාත්මක වේ.

    මුහුදු පත්ල නන් පැහැයෙන් වර්ණවත් කරන කොරල් නිර්මාණය කරන්නේ බුහුබාවා නමැති පියවි ඇසට පවා නොපෙනෙන ජීවී විශේෂයකි. එබැවින් මෙම ජීවීන් එක්ව මුහුදු පතුල තුළ සිදු කරන්නා වු මේසා විසල් වූ ක්‍රියාවලිය හේතුවෙන් හික්කඩුව ජාතික උද්‍යානය, පරෙවි දූපත ජාතික උද්‍යානය වැනි කොරල් විවිධත්වයෙන් අගතැන්පත් සමුද්‍රීය කලාප බිහි වෙමින් සොබාදහමට එක් කරනා සුමුද්‍රීය ජෛව විවිධත්වය නම් සැබැවින්ම අගනේය.

    - Advertisement -

    කොරල් බිහි වීම සාරාංශගතව දක්වන්නේ නම් සමුද්‍රීය ජෛව විවිධත්වයට නවමු පැහැයක් එකතු කරනා කොරල් සැකිලි තැනීම සඳහා මුහුදු ජලයේ ඇති කැල්සියම් ලවණ ජීර්ණය කිරිමෙන්, ඝන හුණුගල් සැකිලි නිර්මාණය වීම ආරම්භ වේ. සැකිලි ස්‍රාවය බුහුබාවාගේ බහිස්චර්ම සෛලවලින් හෝ මධ්‍යශ්ලේෂයට විසිරී ඇතැම් බහිස්චර්ම සෛලවලින් ද සිදු වන අතර එක් එක් බුහුබාවන්ගේ හැඩය අනුව කොරල් විවිධ වූ බාහිර හැඩහුරුකමින් නිරීක්ෂණය කළ හැකිය. බුහුවාවුන්ගේ හැඩහුරුතාවන් අනුව කොරල් ද බාහිරින් වෙනස් වෙනස් වූ හැඩ සොබාවන්ගෙන් සමන්විතයි. බාහිර පෙනුම අනුව ඒවා නිල් කොරල්, මුහුදු අවාන්, මිනි ඇඟිලි ආදි වූ එදිනෙදා ව්‍යවහාරයේ භාවිතා වන පොදු නම්වලින් ද හඳුන්වන්නේ ඒවායේ පෙනුම මුල් කරගනිමින්ය. හික්කඩුව මුහුදු පතුලේ විසිරි ගිය කොරල් විවිධත්වයෙන් පිරිපුන්ය.

    මෙහිලා අවධානය යොමු කළ යුතු සුවිශේෂි වූ කරුණක් පිළිබඳව ද සඳහන් කළ යුතුය. හික්කඩුව, පරෙවි දූපත හෝ ඒ ආශ්‍රිත සමුදුරු කලාපයේ මුහුදු පතුළේ අත් විඳිය හැකි සොබා සුන්දරත්වය නිර්මාණය වීමේලා විසල් වූ කාලයක් ගතව ඇති බවත්, එසේ වුවත් මිනිස් අතින් සිදු වන විවිධ වු අකටයුතුකම් අබිමුව ඉතා ඉක්මනින් එකී සොබාසුන්දරත්ත්වය වියැකි යෑම සිදු විය හැකි බව ද සිහිපත් කළ යුතුමය. මන්ද යත් කොරල් වැඩීම සම්බන්ධයෙන් සිදු කර ඇති අධ්‍යයනයන්වලදී හෙළිව ඇත්තේ කොරල් විශේෂයන් අතර අවුරුද්දකට සිදු වන වැඩීම ආසන්න වශයෙන් සෙන්ටිමීටර් එකෙනුත් බාගයකටත් අඩු බවය. එනම් බුහුබාවුන් විසින් තනනා සැකිලි බුහුබාවාගේ අවසානයත් සමඟම නැසී යෑමක් සිදු නොවන අතර නව බුහුබාවුන්ගේ බිහිවීමත් සමඟම නව බුහුබාවුන් විසින් නව සැකිලි නිර්මාණය කරමින් වාර්ෂිකව නව සැකිලි ගොනු ලෙසින් එකතු වීම සිදු වේ. කාලාන්තරයක් තිස්සේ සිදු වන මෙම ක්‍රියාදාමයේ අවසන් ඵලයකට උදාහරණයන් ලෙස වර්තමානයේ අපි සුන්දරත්වය අත්විඳිනා කොරල් පර නම් කළ හැකිය. නව කොරල් බිහි වෙමින් පරණ කොරල් සමඟ එක්වෙමින් ශක්තිමත් වූ බදාම ස්තරයන් බවට පත් වීම යන සංසිද්ධිය කාලාන්තරයක් මුළුල්ලේ සිදු වීමෙන් කොරල් දූපත් බිහි වීම සිදු වේ.

    සොබාදහමේ අපූර් වූ මේ සොඳුරු නිමැවුම මුහුදු පාරිසරික සුවතාවේ අඩු – වැඩි වීම කෙරෙහි ඉතා සංවේදී බැවින් සමුද්‍රීය දූෂණය අවම කර ගනිමින් මානව ක්‍රියාකාරකම් සිදු කළ යුතුය. සමුදුරේ සුරක්ෂිත බව ගොඩබිම්වාසීන්ට බෙහෙවින්ම වැදගත්. එබඳ පසුබිමක් හමුවේ ගොඩබිම්වාසී සත්ත්වයන් වන මිනිසුන් විසින් තම කසළාගාරය මහ සමුදුර යැයි සිතා දෛනිකව සමුදුරට එකතු කරනා අපද්‍රව්‍ය සාගරවාසීන්ගේ ජෛව විවිධත්වයට තර්ජනයක් බව යළි යළිත් කිව යුතුමද? රට වට කොට බැදි ආරක්ෂිත පවුරක් හා සම වන කොරල් පරත්, ගොඩබිමට නොදෙවැනි වූ ජෛව විවිධත්වයක් මහසමුදුර සතු බැව් නිහඬවම පවසනා පණිවිඩකරුවන් බඳු සමුද්‍රීය ක්ෂිරපායින් ද එක්ව සොබාසුන්දරත්වයට එකතු කරනා අමිල වූ අගය වචනයෙන් පැහැදිලි කර අවසන් කළ නොහැකිය. එබැවින් ගොඩබිම්වැසි අපි සමුදුරු නිවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට සිත් තබා ගත යුතු වෙමු. සමුදුරු ජෛව විවිධත්වයේ කැඩපතක් බඳ හික්කඩුව ජාතික උද්‍යානය සංරක්ෂණය සඳහාත් පුරවැසියන් ලෙස හැකි පමණින් තම දායකත්වය දීමට ද අමතක නොකළ යුතුය.

    සඳමල් රශ්මි ශ්‍රී බුද්ධික

    ඡායාරූප

    සංජීව එස්.කේ. රත්නායක

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.