24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    සකුරා චමින්ද ගැන දුක හිතෙන කතාවක්

    - Advertisement -
    ජුනි 3, 2021

     

    චමින්ද රණසිංහ යනු හදවතේ ගායකයෙකි. ඔහුගේ ඒ නම වෙනුවට සකුරා චමින්ද කියා සංගීත ලෝලීන් අදටත් ඔහු අමතන්නේ ඒ ළෙංගතුකම නිසාමය. කලක් ප්‍රසංග වේදිකාවේ නැතුවම බැරි චරිතයක්වූ චමින්ද වඩාත් ජනප්‍රිය වන්නේ සීදුව සකුරා කණ්ඩායමේ නිත්‍ය ගායකයා හැටියටය. මල් එතනෝ ප්‍රිය මල් එතනෝ, රටා දාලා පැදුර වියපන්… ඔහුගේ ජනප්‍රියම ගීයයි. එය මේ වන විට වෙනත් සංගීත කණ්ඩායම් රැසක් ගායනා කරනු ලබන්නේද එහි ඇති රසවත්කම සහ ජනප්‍රියත්වය නිසාය. 2014 වර්ෂයෙන් පසුව ප්‍රසංග වේදිකාවෙන් මදකට සමුගත් චමින්ද වත්මනෙහි යළිත් කතාබහට ලක්වුණු චරිතයක් බවට පත්ව ඇත්තේ එක්තරා දොම්නස දනවන කරුණක් නිසාය. ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුළින් නිතර කතා බහට ලක් විය. ඔහු ඒ පිළිබඳ සරසවියට කියූ කතාවයි මේ.

    - Advertisement -

     

    චමින්ද මම අතරින් පතර ප්‍රශ්න අහන්නම්, මේ කතාව ඔබටම කියාගෙන යන්න අප ඉඩ දෙනවා..

     

    - Advertisement -

    මං හිතනවා වර්තමානයට එන්න කලින් මගේ අතීතය ගැන චුට්ටක් කතා කළොත් හොඳයි කියලා. මම මුලින්ම සංගීතය ක්ෂේත්‍රයට එන්නෙ 90 දශකයේ එවර්ෂයින් කියන සංගීත කණ්ඩායමක් එක්ක. ඊට පස්සේ 91දී සෙවනප් සංගීත කණ්ඩායමට මම සම්බන්ධ වෙනවා. ෆ්ලෑෂ්බෑක් ආරම්භ කරපු මුල් යුගයේ ඒ කියන්නේ 1992 විතර ඒ සංගීත කණ්ඩායමට එකතු වෙලා 95 වෙනකන් මම එහි ඉන්නවා. ඊට පස්සේ සුපර් මේරියස් කණ්ඩායමට සම්බන්ධ වුණා. ඔය අතරේ තමයි 1998 වර්ෂයේ සීදුව සකුරා සංගීත කණ්ඩායමට මට එන්න කියලා ආරාධනා ලැබෙන්නේ. එතැන් පටන් වසර ගණනාවක් එහි නිත්‍ය ගායකයා විදිහට මම ප්‍රසංග දහස් ගණනකට සහභාගී වනවා. සකුරා කණ්ඩායමේ නායකයා අජිත් විතානගේ. අජිත් අයියලත් එක්ක අපි රට වටේ යනවා. හැමදාම ෂෝස්. ඉතින් මම ඒ එක්ක අසීමිත ජනප්‍රියත්වයක් ලබනවා. ප්‍රසංග වේදිකාවට නැතිවම බැරි කෙනෙක් විදිහට මම ඒ කාලේ හිටියේ. මම ලබපු ජනප්‍රියත්වය නිසා මාව සකුරා චමින්ද කියලා හඳුන්වන්න පටන් ගත්තා. අදටත් ඒ නම එහෙම්ම තමයි. එක දිගට ප්‍රසංගවලට සහභාගි වෙලා වෙලා මට වෙසෙසයි. ඒකත් එක්ක මට පොඩි විවේකයක් අවශ්‍යයි කියලා හිතෙනවා. ඇත්තටම මනුෂ්‍යයෙක් විදිහට මට වුවමනාව තිබුණේ මගේ පවුලත් එක්ක ටික කාලයක් ජීවිතය ගත කරන්න. එතකොට මගේ වයිෆ්ට පළවෙනි බබා හම්බවෙන්න හිටියේ. ඔය කියන්නේ 2005 අවුරුද්දේ විතර. ඉතින් මම හිමීට සංගීත ක්ෂේත්‍රයෙන් සමුගන්නවා මගේ පවුල වෙනුවෙන් කාලය ගත කරන්න. වසර පහක් විතර පහක් එහෙම කාලය ගත වෙලා යද්දී 2006 දී විතර, අපේ පවුලේ කට්ටියත් එක්ක දළදා මාලිගාව වඳින්න ගිහිල්ලා එන අතරතුරදී දුරකථන ඇමතුමක් එනවා පර්පල් රේන්ජ් කණ්ඩායමේ නායක සේනක ක්‍රිස්බන්ගෙන්. ඔහු මට කතා කරලා කියනවා අහවල් දවසේ ඒගොල්ලන්ගෙ සංගීත කණ්ඩායමේ ෂෝ එකක් තියෙනවා, ඒත් කණඩායමේ ගායකයා එදාට එන්න විදිහක් නැති හින්දා මට උදව්වක් විදිහට එයට සහභාගි වෙන්න පුළුවන්ද කියලා. මම එයට සහභාගි වෙන්න තීරණය කළා. එදා මම ෂෝ එකේ ගායකයා විදිහට කටයුතු කරලා ප්‍රසංගය රසවත් කළා. එය ඉවරවෙලා සේනක මගෙන් ඇහුවා චමින්ද අයියේ ඔයාට කීයක් ඕනද කියලා. මම කිව්වා, මම ආවේ සල්ලි බලාගෙන නෙමෙයි ඕගොල්ලන්ට කරන උදව්වක් විදිහට. ඔයා අද එකතු වෙච්ච ගාණෙන් සියලු දෙනාට ගෙවලා ඉතුරුවෙන්නේ සත පනහද ඒක මට දෙන්න කියලා. එදා ඉඳලා මට පර්පල් රේන්ජ් සංගීත කණ්ඩායමේ නිතර ඔය වගේ ආරාධනා ලැබෙන්න ගත්තා.

     

    ඊට පසුව ඔබ ආයේ ආයෙ සංගීත ක්ෂේත්‍රයෙන් ඉවත් වෙනවා නේද?

    - Advertisement -

    ඔවු. ඒක වුණේ 2010 දි විතර මගේ පියාගේ අභාවයත් සමඟ. මට සංගීත ක්ෂේත්‍රයේ ඉදිරියට කටයුතු කරන්නට බැරි වෙනවා. ඊට පස්සෙ මම එස්.එම්.එස් කියලා කණ්ඩායමක් හදා ගත්තත් ඒක කෙටි කාලයකින් නැවැත්තුවා. මම සංචාරක ව්‍යාපාර පැත්තට යොමු වුණා. එහෙම වුණේ මගේ පවුලත් සමග වැඩිපුර ජීවිතය ගත ගත කරන්න. මොකද මගේ පවුලෙට මම ගොඩක් ආදරෙයි.

    වෘත්තිමය ජීවිතය පැත්තෙන් කොතරම් දේවල් අහිමිව වුණත් මගේ පවුල තමයි මට අන්තිමට ඉතුරු වෙන්නේ කියලා මම දැනන් හිටියා.

     

    අපි දැන් වර්තමානය ගැන කතා කළොත්?

    මම ලොකු කම්පනයකට පත් වෙලා මේ දවස්වල ජීවිතේ ගෙවන්නේ. එහෙම වුණේ මගෙ බිරිය කැන්සර් එකක් කියලා දැනගත්තු වෙලාවෙ ඉඳලා.. මම මුලින් ම ඒ පණිවිඩය දැන ගත්තු මොහොතේ මම ඇයට ඒ ගැන කිව්වේ නෑ. එදා රෑ එළි වෙනකම් මම ඇඬුවා. මගේ බිරිඳට මම පණ වගේ ආදරෙයි. එහෙම කෙනෙකුට මේ වගේ දෙයක් සිදුවීම මට අදහගන්න බැහැ. මම රෑ තිස්සෙම කඳුළු සැලුවට පාන්දර මම තීරණය කළා දුක් වෙවී ඉඳල වැඩක් නෑ කියලා. එහෙම ඉන්න එක බිරිඳටත් කරන ලොකු සිත් වේදනාවක්. මම ධනාත්මකව හිතන්නට පටන් ගත්තා. ඇය සතුටින් තියන්න පුළුවන් ඒ දේවල් ගැන හිතුවා. මේ රෝගයත් එක්ක ඇගේ හිසේ කෙස් ගැලවුණා. මේ හේතුවෙන් බිරිය අපේ හිතවත් අයට මුහුණ දෙන්න ගෙදරින් එළියට බහින්න, දැඩි චකිතයකින් හිටියේ. මගේ රසික රසිකාවෝ දන්නවා මම කොණ්ඩෙ වවලා හිටියේ කියලා සහ මම කොණ්ඩයට කොච්චර ආදරේද කියලා. ඒ ඔක්කොම පැත්තකින් තියලා මගේ කොණ්ඩය කපා දැම්මා. ඇය හා සමානව පෙන්නයි මම මගේ කොණ්ඩෙ කැපුවෙ. මම සහ ඇය එහෙම ඉන්න පින්තූර සමාජ මාධ්‍යයන් ඔස්සේ හුවමාරු වෙන්න පටන් ගත්තා. මට නිතර දුරකතන ඇමතුම් ආවා. ජීවිතය කියන්නෙ හරි පුදුමාකාර දෙයක්. කාලයක් තිස්සේ මම සංගීත කණ්ඩායම් ගණනාවක හිටියත් මම එයින් ඉවත් වුණේ කිසිම කෙනෙක් එක්ක අමනාපයකින්නම් නෙමෙයි. ඒ වගේම සල්ලි බලාගෙන මම කවදාවත් ෂෝ වලට ගියේ නැහැ. මොකද අපේ දෙමව්පියෝ අපිට දීල තිබුන දේවල් ටිකක් තියෙනවා. ඒ නිසා අපි හොඳට කාලා බීලා ජීවත් වුණා. නමුත් මේ බිරියගේ අසනීපයත් එක්ක බෙහෙත් වලට සෑහෙන්න වියදම් යනවා. මම කරමින් හිටපු සංචාරක ව්‍යාපාරය බිඳ වැටුණා මේ කොරෝනා නිසා. ඒ වගේම මට යන්න ෂෝස්වත් නැහැනෙ. හැබැයි ඉදිරියේදී මම සංගීත කණ්ඩායමකට සම්බන්ධ වෙලා වැඩ කටයුතු කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මගේ ඉඩමක් තියෙනවා ඒකත් විකුණන්න හදන්නේ බිරියගේ අසනීපයට බෙහෙත් ගන්න. මේ වෙලාවේ මම ඉල්ලීමක් කරන්න කැමැතියි. හැබැයි ඒ අසරණකමකට නෙමෙයි. මම මේ වෙනකොට ලොකු ජීවිත අරගලයක ඉන්නෙ. ඉතින් මගෙ සහ බිරියගේ ආදරය ජීවිත කාලය පුරාම පවත්වාගෙන යන්න උදව්වක් කරන්න කැමැති අය ඉන්නවානම් මේ වෙලාවෙ ලොකු පිනක්. මම මගේ ගිණුම් අංකය දෙන්නම්. නම සී. පී. රණසිංහ. ගිණුම් අංකය 024020207039. හැටන් නැෂනල් බැංකුව මීගමුව..

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.