24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    මගෙ හිත පිරී තිබෙන්නේ ඔහු ගැන සිතුවිල්ලෙන්

    - Advertisement -
    ජුනි 10, 2021

     

    නිරංජලා සරෝජිනී

    - Advertisement -

     

    මෙරට සංගීත ක්ෂේත්‍රය තුළ සුවිශේෂී අනන්‍යතාවයක් ගොඩනඟා ගනිමින්, සුමියුරු ගී තිළිණ රාශියක් ක්ෂේත්‍රයට දායාද කළ ගායන ශිල්පියෙකු වූ අබේවර්ධන බාලසූරිය අප අතරින් වෙන්වී එකළොස් වසරක් ගතවී හමාරයි. එහෙත් ඔහුගේ ආදරණීය ගී හඬ තවමත් අපේ රසික හදවත් ආනන්දයෙන් පුබුදු කරවනවා. මෙරට ගීත ක්ෂේත්‍රය තුළ ඔහු පමණක් නොව අබේ – නිරංජලා යුවළ කළ අපූරු නිර්මාණ රාශිය පිළිබඳ වර්තමානයේ පෙරළා ආපසු හැරී බැලීමේදී ඉන් මෙරට ගීත ලෝලී ශ්‍රාවකයනට රැගෙන ආ ආනන්දනීය ප්‍රබෝධය මෙතෙකැයි කිව නොහැකිය. ඒ නිර්මාණ සියල්ලම මෙරට ශ්‍රාවක සිත් පිනවූවා සේම හරවත් සමාජ මෙහෙවරකට දායකත්වය සපයමින් ඉහළ රසඥතාවයක් වෙත ශ්‍රාවකයා ඔසවා තබන්නටද සමත් වූ නිර්මාණ විය. වර්තමානය වනවිට අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියා පිළිබඳ සොඳුරු මතක සදා හදවතේ රඳවාගෙන ඔහුගේ පිය බිරිඳ නිරංජලාද ගායන දිවියට සමු දී, එහෙත් ක්ෂේත්‍රයට අවැසි මොහොතේ තම දායකත්වය වෙනත් අයුරකින් හෝ ලබා දෙමින් සිය නිර්මාණ ගොන්න සුරකමින් සිටී. අබේවර්ධනයන් පිළිබඳ සොඳුරු මතක මැද 

     

    - Advertisement -

    දිවි ගෙවන ඇය සමඟ පසුගිය දිනක අප කළ කතා බහකි මේ.

     

    අබේවර්ධන බාලසූරිය ගායනවේදියා අපෙන් සමුගෙන ගොස් දැන් වසර 11 ක් ගතවී ගිහින්. ඔහු නොමැතිව ගෙවුණ මේ දිවිය දෙස ආපසු හැරුණොත් ඔබට මොකද හිතෙන්නේ?

    - Advertisement -

    අවුරුදු 11 ක් කියන්නේ මොන තරම් දීර්ඝ කාලයක්ද? මටම හිතා ගන්න බෑ මම මේසා දීර්ඝ කාලයක් ඔහු නොමැතිව කොහොමද හිටියේ කියලා. අසනීපයක් වෙනකොට, වෙනත් බාහිර කරදරයක් වෙනකොට මට හරියට දැනෙනවා මේ තනිකම. ඔහු හිටියා නම් මේ වගේ අවස්ථාවක කොහොමද කි‍්‍රයා කරන්නේ කියලා මට මතක් වෙනවා. ඒ දැනෙන අති විශාල තනිකම, දුක කනගාටුව මම නැති කර ගන්නේ මම බිරිඳක් විදියට ඔහුට උපරිම යුතුකම් ඉෂ්ට කළා නේද කියලා මගේ සිත හදාගෙන. මට හිත හදා ගන්න තියෙන හොඳම විදිය ඔහු අසනීපව ඉන්න කාලේ මම භාර්යාවක් හැටියට මගේ යුතුකම් ඉෂ්ට කරමින් ඔහුව හොඳට බලා ගත්තා. දැන් මම ඒ ගැන සිහිපත් කරලා මගේ හිත හදා ගන්නවා.

     

    ඔබ දෙදෙනා අතර තිබුණු බැඳීම හරිම බලවත්?

    ඔව්. මට ඔහුව හමුවන්නේ මම බොහොම ළාබාල වයසක ඉන්න කාලේ. ඔහු අපේ ගෙදර මුලින්ම එන්න යන්න පටන් ගන්න කොට මම ඉස්කෝලෙ යනවා. අපේ පවුලේ හැම දේම දන්න, පවුලේ සමීප හිතවතෙක් විදියට ඔහු හුඟාක් කල් අපිත් එක්ක හිටියා. අවුරුදු 10 ක් විතර ගියාට පස්සේ තමයි අපේ ඇසුර ආදරයක් බවට පත් වෙන්නේ. දැන් මම ගෙවන හුදකලා ජීවිතය තුළ මේ හැම දෙයක්ම මට යළි යළිත් සිහිපත් වෙනවා. මගේ ජීවිතයට ආදරය විතරක් නොවෙයි මට මහා ආරක්ෂාවක්, රැකවරණයක් සලසපු දැවැන්ත වෘක්ෂයක් එයා. මම ජීවිතය ලබන්නේ එයාගේ සෙවණ යට ඉඳගෙන. මගේ පෞද්ගලික ජීවිතය විතරක් නෙවෙයි මගේ කලා ජිවිතය තුළත් එයා තමයි මට මඟ පෙන්වපු පහන් තරුව. අපි දෙන්නා එකතු වුණාට පස්සේ අපිට පුළුවන් විදියට අපි යහපත් නිර්මාණ කරමින් ක්ෂේත්‍රය පෝෂණය කරන්න දායක වුණා. ඒ හැම නිර්මාණයකම රුව ගුණ තේජස රකිමින් හැකි තරම් සමාජයට වැඩ දායක නිර්මාණ කරන්න අපි පෙළඹුණේ ඔහුට තිබුණු අපූරු දැක්ම නිසා. ඉතින් ඔහු මාව හැර ගිහින් කොයි තරම් කාලයක් ගියත් අපි අතර තිබුණු ආදරණීය බැඳීම් මගේ හිතින් දුරස් වෙන්නේ නෑ. දැන් පුළුවන් හැම මොහොතකම මම කරන්නේ පින් දහම් කරලා එයාව මතක් කරන එක.

     

    ඔබ ගීත ගායනයෙන් සමු ගන්නෙත් ඔහුට කරන ගෞරවයක් හැටියටද?

    ඇත්තටම කිව්වොත් ඔහු අසනීපව ඉන්න කාලේ ඔහුට ටිකෙන් ටික කටහඬ අහිමි වෙලා කතා කරන්න බැරිව ඉන්න කොට මම දැක්කා ඔහු කොයි තරම් කම්පා වුණාද කියලා. ඒ කාලෙම මම හිතා ගත්තා කවද හරි දවසක ඔහු නැති වුණාට පස්සේ මමත් ආයෙත් ගීත ගයන්නේ නෑ කියලා. ඇත්තටම මට හිතුණා මම ඔහු වෙනුවෙන් මගේ කටහඬ පරිත්‍යාග කරනවා කියලා. මම එහෙම කරනවා කියලා ඔහු කවදාවත් දැනගෙන හිටියෙත් නෑ. මට මතකයි ඔහු අසනිප වෙලා ඉන්න කාලේ මහාචාර්ය සුනිල් ආරියරත්නයන් හා නන්දා මාලිනි මහත්මිය අරන් ආවා ‘කිඳුරු කුමාරි’ ගීත ය. ඒත් එයා නැතිවෙන තුරුම ඒක අහන්න කැමැති වුණේ නෑ. මම ඒ වෙලාවේ මටම සපථ කර ගත්තා මම ආපහු සින්දු කියන්නේ නෑ කියලා. අපි දෙන්නා හුඟාක් නිර්මාණ කළා. ලෝකේ බොහෝ රටවල්වල ඇවිදිමින් අපි ගිත ගායනා කළා. සංගීත ප්‍රසංග පැවැත්වූවා. අපේ ශක්ති ප්‍රමාණයෙන් අපි නිර්මාණවලට දායක වුණා. ඉතින් ඒ ඇති නේද? කියලා හිතුණා.

    ඔබ නිරන්තරව ඔහු දකින්න ඔහුගේ සොහොන් කොත ළඟට යනවා නේද?

    ඇත්තටම හැම මාසෙම 26 වැනිදාට මම ඔහුගේ සොහොන් කොත ළඟට යනවා. ඔහු නැති වුණේ 2010 මාර්තු 26 වැනිදාවක. එදා ඉඳන් මේ දක්වා හැම මාසෙම මම 26 වැනිදාට එතැනට යනවා. පහන් පත්තු කරලා ඔහුට පින් දෙනවා. ඒක මගේ හිතට ලොකු සැනසිමක්.

     

    ඔබේ ගීත නම් ඔබේ ඥාති දියණියන් වන අනුරාධා නන්දසිරිත්, සෙව්වන්දි රණතුංගත් ගායනා කරනව නේද?

    ඔව්. මම ඒ දෙන්නට අවසර දිලා තියෙනවා මගේ ගීත ගයන්න.

    අබේවර්ධන බාලසූරිය ගායන ශිල්පියාගේත් මියුරු ගීත රාශියක් තිබෙනවා. ඒවා අපට වෙනත් හඬකින් අහන්න ලැබෙන්නේ නෑනේද?

    ඇත්තටම අබේ ඉන්න කාලේ අනුන්ගේ ගීත ගායනය සම්බන්ධයෙන් එයා බොහොම තදින් හිටපු කෙනෙක්. අබේ – නිරංජලා ගී තැටි 13 ක් කරලා තියෙනවා. ඒත් ඒ බොහෝ නිර්මාණ වෙළෙඳ පොළට දැම්මේ නැත්තෙත් ඒවා හොරකම් කරන නිසා. අපිට දරුවන් නැති වුණාට අපි නිර්මාණ සුරැකුවේ අපේ දරුවන් වගේ. ඉතින් ඒ නිසාම ඒ නිර්මාණ සුරකින්න මම වගකීමෙන් බැඳීලා ඉන්නවා. මගේ 

    ගීත අනුරාධාත්, සෙව්වන්දිත් කියනවා වගේ විශේෂ අවස්ථාවල අබේ ගේ ගීත ජගත් වික්‍රමසිංහ, රෝහණ සිරිවර්ධන වගේ අපේ සමීපතමයින් ලවා ගයවලා තියෙනවා. මම වුණත් කැමැතියි අපේ ගීත ගායනා කරනවට. මේක ලෝබ කමක් නොවේ. නමුත් අයුතු ප්‍රයෝජන ගන්න ඉඩ දෙන්න බෑ.

    මේ ගීත සියල්ලේ සංරක්ෂණ කටයුතු ඔබ අතින් සිද්ධ වෙනවද?

    ඔව්. මා සතුව තමයි ඒ වගකීම තිබෙන්නේ. කාටවත් ලියවිල්ලකින් පවරලා නෑ. මම මේ ගීත සංරක්ෂණය කරනවා වගේම වර්තමානයේ සමාජ මාධ්‍ය ඔස්සේ අද ඉන්න රසිකයන්ට අහන්නටත් සලස්වනවා. මොකද මම විශ්වාස කරනවා 70-80- 90 දශකවල ගීතවල තිබුණු අපූර්වත්වය අද නෑ කියලා. අද අපට ඇහෙන්නේ වෙනම ආරක ගීතනේ. අවර ගණයේ ගීත සමාජගත වෙනකොට එදා අපි කරපු මේ වටිනා නිර්මාණත් අද ඉන්න අයට අහන්න සලස්වන්න අපිට වෙන ක්‍රමයක් නෑ. ඒ හින්දා මුහුණු පොත හරහා හෝ මේ ගීත ජනගත කරන්න මම උත්සාහ ගන්නවා. මේ දේ කරන්නේ කිසිම ලාභයක් බලාපොරොත්තුවෙන් නොවේ. ගීත නොමැරි පවත්වාගන්න ඕන නිසයි. ඉතින් බොහෝ පිරිස් මේකට මට ස්තුති වන්ත වෙලා ප්‍රතිචාර දක්වලා තියෙනවා.

     

    දැන් ඔබගේ කාලය ගත වන්නේ කොහොමද?

    හුදකලා ජීවිතයක් වුණත් ඒ හැම තැනම අබේගේ මතක වලින් පිරිලා. ගීතයක් ඇහුණත් අතීත මකත අතර මම සැරි සරනවා. ඒ දවස්වල වුණත් මට ජීවිතේ මහා බලාපොරොත්තු කන්දක් තිබුණු කෙනෙක් නොවෙයි. බොහොම සරල ජීවිතයක් ගත කරනවා. නමුත් මගේ අතින් පැහැර හැරුණු යුතකමක් විදියට මම සලකන අබේගේ ජීවිතේ ගැන කියවෙන පොතක් කරන්න මේ දවස්වල මම උත්සාහ ගනිමින් සිටිනවා. මා ගැන පොතක් සහ අබේ ගැන පොතක් වශයෙන් පොත් ද්විත්වයක් නිකුත් කරන්න සැලසුම් කරමින් සිටිනවා. මේ පොත් දෙකම සංස්කරණය කරන්නේ සමුද්‍ර වෙත්තසිංහ විසින්. අපි දෙන්නගෙම ජීවන වතගොත, අපේ ගී නිර්මාණ, සුවිශේෂ ඡායාරූප, මෙන්ම ගායන දිවිය පිළිබඳ විවිධ විද්වතුන් විසින් ලියන ලද ලිපි එකතුවකින්ද සමන්විත මෙය පරිපූර්ණ ග්‍රන්ථයක් විදියට අබේගේ උපන්දිනයට හෝ සංවත්සර දිනයට එළි දක්වන්නයි මගේ බලාපොරොත්තුව. ඒත් මේ කොරෝනා වසංගතය නිසා ඒක ප්‍රමාද වෙමින් පවතිනවා.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.