24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    ස්වර්ණා වර්ණ ගැන්වූ එලීසා

    - Advertisement -
    ජුනි 10, 2021

     

    චාමික හත්ලහවත්තගේ “මකරට” (2014) නාට්‍යයෙහි එලීසාගේ භූමිකාවද මගේ ප්‍රස්තුතයට අදාළව බැහැර කළ නොහැක්කකි. “මකරට” වූ කලී රුසියානු නාට්‍යවේදී යෙව්ජිනි ෂොවාට්ස්ගේ “ඊඩඥ ච්පචඨධද”(1944) නම් වූ සුප්‍රකට නාට්‍යය පාදක කොට ඊට නව්‍ය අර්ථකථනයක් ලබා දෙමින් චාමික විසින්ම රචනා කරන ලද්දකි. ඉන් බොහෝ කලකට පෙර යෙව්ජිනි ෂොවාට්ස්ගේ “ඊඩඥ ච්පචඨධද” අනුවාදය කොට ආචාර්ය හෙන්රි ජයසේනයෝ “මකරා” (1973) නාට්‍යය නිර්මාණය කළහ. මතුපිටින් බැලූ කල්හි පෙනෙනුයේ මේ නාට්‍යය සුලබ සුරංගනා කතාවක් ලෙසිනි. එහෙත් මේ වූ කලී ගැඹුරු සමාජ යථාර්ථයක් ගැබ් කොට ගත් නාට්‍යයකි. යථාර්ථවාදයෙහි (අඥචතඪඵථ) හා මනස්සෘෂ්ටියෙහි (ජ්චදබචඵර) සුසංයෝගයකි, මෙහි දක්නා ලැබෙනුයේ.

    - Advertisement -

    1944 යෙව්ජිනි ෂොවාට්ස්ගේ නාට්‍යයේ මංගල දර්ශනයෙන් පසු රුසියාවේ පාලක නිලධාරීහු මෙය වාරණය කළහ. 1956 එරට කම්කරු පන්තිය මේ නාට්‍යය යළිත් වේදිකා ගත කරන ලෙස ඉල්ලමින් බල කර සිටි බැව් පෙනේ. “ඊඩඥ ච්පචඨධද” සංවේගාත්මක අර්ථයක් ජනනය කළ නාට්‍යයකි. රටකට අරක් ගත් බියකරු, විසකුරු මකරකු ගැන මේ නාට්‍යයෙන් කියැවේ. ඔහු රටේ සිටින කන්‍යාවන් බිලි ගනිමින් මුළු රටම භීතියට පත් කළේය. මේ අතර මකරා, එලීසා නම් කන්‍යාව බිලිගැනීමට සූදානම් වේ. මකරා මරා දමා ඇය බේරා ගැනීමට ලාන්ස්ලොට් නමැති තරුණයා ඉදිරිපත් වනුයේ මේ අවස්ථාවේදීය. ලාන්ස්ලොට් මකරා සමඟ සටන් වැදීමට සූදානම් වේ. “මා සමඟ සටන් සටන් කිරීමට මම නුඹට ආයුධ සපයනවා. ඒවායින් සටන් කරන්න” යැයි මකරා මෙහිදී ලාන්ස්ලොට් හට කියනු ඇසේ. එහෙත් ඔහු සැපයූ ආයුධ කිසිදු වැදගැම්මකට නැති මළ කෑ බෙලෙක් කබල්ය. අවසන ලාන්ස්ලොට් මකරාට පහර දෙනුයේ කම්කරුවන් විසින් සපයන ලද ආයුධවලින් බැව් පෙනේ. මේ සටනෙන් පැරදී මකරා මියයයි. මේ අතර එතෙක් මකරාට සුවච කීකරු වී බැල මෙහෙවර කළ නිලධාරීහු “මකරා මැරුවේ ලාන්ස්ලොට් නොව තමා” යැයි කියමින් පුරවැසියන් බිය ගන්වමින් එලීසා බිල්ලට ගැනීමට වෙර දරති. එහෙත් ලාන්ස්ලොට් යළිත් පැමිණ ඔවුන් පරදවා එලීසා සහ රට බේරා ගනී.

    ආචාර්ය හෙන්රි ජයසේනගේ මුල් නිෂ්පාදනයේ දී එලීසා ලෙස රඟපෑවේ ප්‍රකට මානව හිමිකම් ක්‍රියාකාරිනියක, විචාරිකාවක, ගායන ශිල්පිනියක වූ සුනිලා අබේසේකරය. ලාන්ස්ලොට් ලෙස රඟපෑ ධර්මසිරි බණ්ඩාරනායකගේද මකරා ලෙස රඟපෑ එල්සන් දිවිතුරගමගේද පුරපති ලෙස රඟපෑ දයා අල්විස්ගේද රූපණ ප්‍රතිභා ප්‍රභා මෙහිදී අමතක කළ නොහැකිය. ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “මකරා” නාට්‍යයෙහි දක්නා ලැබෙන ලාන්ස්ලොට් පවසන දෙබස් ඛණ්ඩයක් මේය.

    “පූසෝ ! මේ අහපං ! උඹ දන්නේ නෑ මාව, මම කුරුලු පිහාටුවක් වගේ හෑල්ලුයි. හුළගෙ පාවෙලා යන්ඩ පුළුවන් මට. මිනිස්සුන්ගේ අතුරු අන්තරා ගැන සොයා බලන එක මගේ රාජකාරිය. එහෙම කරන්ඩ ගිහින් හුඟක් තුවාල කරගෙනත් තියෙනවා මම. සුළු තුවාල දහනමයයි. දරුණු තුවාල පහයි. එලොව ගිහින් මෙලොව එන විදිහෙ තුවාල තුනයි. එහෙත් මම කුරුලු පිහාටුවක් වගේ හෑල්ලු හින්ද, මී හරකෙක් වගේ මුරණ්ඩු හින්ද පූසො මට කියාපන් මොකද වුණේ කියල, මේ ගෙදර මිනිස්සුන්ව ඔය කරදරෙන් බේරගන්න පුළුවන් වුණොත් එහෙම මට ? ඔන්න ඔහෙ ඕක කියල දාපං යෝද…යෝ….මොකක්ද උඹේ නම ?

    - Advertisement -

    ආචාර්ය හෙන්රි ජයසේන විසින් පරිවර්තනය කරන ලද “මකරා” නාට්‍යයේ පිටපත 1972 වසරේ ග්‍රන්ථයක් ලෙස පළ කෙරිණි. යෙව්ජිනි ෂොවාට්ස්ගේ නාට්‍ය කෘතියෙන් හෙළි වූ ජීවන දෘෂ්ටිය මෙලෙස පිඬුකොට දැක්විය හැකිය.

    1.ප්‍රබල මිනිස් ගුණාංග වූ ස්නේහය, ආදරය ඉන් වහනය වේ.

    2.එසේම කෲර සතුන්, කෲර මිනිසුන්, දුෂ්ටයන්ගේ යථාර්ථයද එහි පිළිබිඹු කෙරේ. මොවුහු අභ්‍යන්තරිකව බිය පත් දුර්වල සත්වයෝ වෙත්. එකී දුර්වලත්වය වසා ගනු වස් ඔවුහු සමාජයට කෲරකම් කරත්. මේ දුර්වලකමින්, දුෂ්ටත්වයෙන්, බියගුලුකමින් ඔවුන් මුදවා ගත යුතුය.

    - Advertisement -

    3.එසේ කළ නොහැකි නම් අහිංසක ජනයා ඔවුන්ගෙන් මුදා ගත යුතුය.

    ලාන්ස්ලොට්ගේ චරිතය රූපණය සඳහා ආචාර්ය හෙන්රි මුලින් තෝරා ගෙන සිටියේ ප්‍රවීණ රූපණවේදී නිශ්ශංක දිද්දෙණියන්ය. ඒ අරභයා නිශ්ශංක දිද්දෙණිය සූරීහු වරක් මා සමඟ මෙසේ පැවසූහ.

    “හෙන්රි මාව යථාර්ථවාදී රූපණ ශෛලියෙන් හසුරුවන්න උත්සාහ කළත් ඔහු සෑහීමට පත් වුණේ නැහැ. පසුව ඒ සඳහා ධර්මසිරි බණ්ඩාරනායක තෝරා ගත්තා. නමුත් මේ නාට්‍යයෙන් මාව ඉවත් කරන්න ඔහු කැමැති වුණේ නැහැ. මාත් මේ නාට්‍යයට ප්‍රිය කළා. ඒ නිසා මෙහි වෙනත් චරිතයක් රඟපෑවා. දිගින් දිගටම මා රඟපෑවේ ශෛලිගත නාට්‍යවලයි. සංගීතය, නර්තනය, රංගනය මා ඇතුළත සංයෝග වී තිබුණා. සංගීතය, නැටුම් නොමැතිව මගේ ක්‍රියාවන් මතු නොවන තත්ත්වයක් තිබුණා”.

    මේ ලිපිය සඳහා ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “මකරා” නාට්‍යයේ සේයාරුවක් සෙවීමට මට බොහෝ වෙහෙස වෙන්නට සිදු විය. ආචාර්ය හෙන්රිගේ පුත් මා හිතාදර සුදාරක ජයසේනගෙන් මා මෙය විමසා බැලූ විට ඔහු එය වෙහෙස වී සොයා බලා පැවසුවේ මෙහි කිසිදු සේයාරුවක් තමා සතුව නොමැති බවය. ප්‍රවීණ නාට්‍ය රංගවේදී නිමල් ජයසිංහයෝ මෙහිදී මගේ පිහිටට ආහ. ඔහු “මකරා” හී එදා පූසාගේ භූමිකාවත් ආචාර්ය හෙන්රිගේ “හුණුවටයේ කතාව” හී ෂව්වාගේ, පූජකවරයාගේ චරිතත් රැඟු චූලා කාරියවසම් ප්‍රවීණ නාට්‍ය රංගවේදියා වෙත මා යොමු කළේය. එතුමෝ “මකරා” හී දුර්ලභ ඡායාරූපයක් මවෙත එවූහ. “හුණුවටයේ කතාව” හී නිමල් ජයසිංහ, චූලා කාරියවසම්, සුදාරක ජයසේන යන තිදෙනාම රඟපෑහ. ඔවුන් තිදෙනා කළ ඒ උපකාරය මා හට සිහිපත් කළේ “හුණුවටයේ කතාව” හීම එන මේ සුප්‍රකට කියුමය.

     

    “යුගයක වුවද නැහැවුණු

    කඳුළින් ලෙයින් මුළු ලොව

    කාරුණික වූ අය

    වෙසෙති ඉඳහිට වාසනාවන්”

     

    ආචාර්ය හෙන්රි ජයසේනයන්ගේ “මකරා” නාට්‍යයෙහි ලාන්ස්ලොට් ලෙස රඟපෑ ධර්මසිරි බණ්ඩාරනායකයන් පසුව මේ නාට්‍යය ඇසුරෙන් නිර්මාණයක් කිරීමට උත්සුක වූයේය. එහිදී ඔහු හෙන්රි ජයසේනයන්ගෙන් පිටපත ඉල්ලා සිටි නමුත් නොයෙක් හේතු මත ඊට කැමැත්ත පළ කළේ නැත. එහෙයින් ධර්මසිරි මුල් කෘතිය වූ යෙව්ජිනි ෂොවාට්ස්ගේ “ඊඩඥ ච්පචඨධද” නාට්‍යය පිටපත සිංහලයට පරිවර්තනය කිරීමට ලාංකේය සාහිත්‍යයේ ශ්‍රේෂ්ඨ පරිවර්තකයකු වූ සිරිල් සී. පෙරේරා සූරීන්ට ඇරැයුම් කළේය. ධර්මසිරි බණ්ඩාරනායකගේ “මකරාක්ෂයා” (1985) නාට්‍යය බිහි වුණේ මේ ආකාරයෙනි. ඔහු මෙහිද තමාට හුරු පුරුදු ලාන්ස්ලොට්ගේ භූමිකාව නිරූපණය කළේය. ආචාර්ය හෙන්රිගේ “මකරා” නාට්‍යයේ පුරපති ලෙස රැඟු දයා අල්විස්, ධර්මසිරිගේ “මකරාක්ෂයා” හීද පුරපති වූ බැව් මා හට පැවසුවේ ප්‍රවීණ නාට්‍ය රංග ශිල්පී නිමල් ජයසිංහයන්ය. එය නළුවකුගේ රංග ජීවිතයේ විශේෂ අවස්ථාවකි. එවර රාජ්‍ය නාට්‍ය උලෙළේ මේ නාට්‍යය උදෙසා සම්මාන රාශියක් (හොඳම නිෂ්පාදනය – ධර්මසිරි බණ්ඩාරනායක, හොඳම පරිවර්තන රචනය – සිරිල් සී. පෙරේරා,හොඳම සංගීතය – ප්‍රේමසිරි කේමදාස, හොඳම වේදිකා සැරසිලි – ලෙනාඩ් කුරේ, හොඳම ඇඳුම් නිර්මාණය – ධර්මසිරි බණ්ඩාරනායක) හිමි විය.

    “මකරාක්ෂයා” පළමු නිෂ්පාදනයේ එලීසා වූයේ මෙරට සිනමාවේ මහා රූපණවේදිණියක වන ස්වර්ණා මල්ලවාරච්චිය. වේදිකාවේ මෙතෙක් ඇයගේ සුවිශේෂිතම චරිත නිරූපණය වූයේ “මකරාක්ෂයා” නාට්‍යයෙහි එලීසාය. එහෙත් සිනමා ක්ෂේත්‍රයට තමාගේ තිබූ වැඩි නැඹුරුව හා කාර්යබහුලත්වය හේතු කොට ඇය මඳ කලෙකින් මේ නාට්‍යයෙන් ඉවත් වූවාය. ඉන්පසු රමණී බර්තෝලමියුස් අකාලයේ මියයන තුරු එලීසාගේ භූමිකාව රැඟු බැව් අමතක නොවේ. මෑත භාගයේ ඒ භූමිකාව නිරූපණය කරන ලද්දී යශෝධා විමලධර්ම විසිනි. ප්‍රවීණ රූපණවේදිණී ස්වර්ණා මල්ලවාරච්චි “මකරාක්ෂයා” හි එලීසා නිරූපණය කළ බව ප්‍රකට නමුත් ඉන් ඉහත ඈ නාට්‍ය ද්වයක රඟපෑ බැව් දන්නෝ කවරහුද ?.

    ස්වර්ණා “සත්සමුදුර” (1967) චිත්‍රපටයෙන් සිනමාවට ප්‍රවිෂ්ට වූ පසු “හන්තානේ කතාව” (1969), “තුන් මං හන්දිය” (1970), “නිම් වළල්ල” (1970) යන චිත්‍රපටවල රඟපෑමෙන් ප්‍රකට වී සිටියාය. 70 දශකයේ මුල් භාගයේ ධම්ම ජාගොඩ සූරීන් ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාව ආරම්භ කළ අවස්ථාවේ එහි පළමු ශිෂ්‍ය කණ්ඩායමට රවීන්ද්‍ර රන්දෙණිය, සුමින්ද සිරිසේන, බුද්ධදාස විතානාරච්චි ඇතුළු පිරිසට ස්වර්ණා මල්ලවාරච්චිද අයත් වූ බව අද අප්‍රකටය. දේශනවලට සහභාගි වීමෙන් පසු ශාස්ත්‍ර පිපාසිත රවීන්ද්‍ර සහ ස්වර්ණා ලයනල් වෙන්ඩ්ට් රඟහලේ ආපණ ශාලාවට හෙමින් ඇදී සිසිල් බීම තොල ගාමින් සවන් යොමා සිටින්නෝ කුමකටද ? රංග ශිල්ප ශාලිකාවේ එකල දේශන පැවැත් වූ මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර ,ආචාර්ය හෙන්රි ජයසේන, ධම්ම ජාගොඩ, අයිරාංගණී සේරසිංහ, ගුණසේන ගලප්පත්ති, මහාචාර්ය සිරි ගුනසිංහ, නාමෙල් වීරමුනි, චන්ද්‍රසේන දසනායක, චිත්‍රසේන, පණ්ඩිත් අමරදේව, මහගම සේකර, මහාචාර්ය සුචරිත ගම්ලත්, මහාචාර්ය ජේ.බී. දිසානායක, බන්දුල ජයවර්ධන, මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර, ජෝ අබේවික්‍රම, මහාචාර්ය ඒ.ජේ. ගුණවර්ධන, මහාචාර්ය අනුර වික්‍රමසිංහ, මහාචාර්ය ගාමිණි හත්තොටුවේගම, මනෝ බ්‍රේකන්රිජ්, දයා අල්විස්,ජයන්ත අරවින්ද, බැසිල් මිහිරිපැන්න, මිරැන්ඩා හේමලතා, මහාචාර්ය තිස්ස කාරියවසම්, ජයසුමන දිසානායක, මහින්ද ඩයස්, ආර්.ආර්.සමරකෝන්, පර්සි කොලොන්තෝමේ වැනි විශිෂ්ට ගණයේ කලාකරුවන්, විද්වතුන් ඉක්බිතිව ආපණ ශාලාවට ගොඩ වැදී නොයෙකුත් කලා මාධ්‍ය අරභයා තර්ක, විතර්ක, විසංවාද නඟද්දී මෙකල දක්නට විරල මේ ජංගම විශ්වවිද්‍යාලවලින් ශාස්ත්‍ර ඥානය අවශෝෂණය කරගන්නෝ රවීන්ද්‍ර හා ස්වර්ණාය. පසුකලෙක රවීන්ද්‍ර – ස්වර්ණා පළමුවරට හොඳම නළුවා සහ හොඳම නිළිය ලෙස (දඩයම – 1983 චිත්‍රපටය උදෙසා) සරසවිය සම්මානයට පාත්‍රවීම මේ පසුබිම යටතේ දෛවෝපගත සිදුවීමකි. ධම්ම ජාගොඩ සූරීන් “මුහුදු පුත්තු” (1972) නාට්‍යය යළිත් නිර්මාණය කළ අවස්ථාවේ එහි සාරාගේ ප්‍රමුඛ භූමිකාව සුනේත්‍රා සරච්චන්ද්‍ර රැඟුවාය. ඇය ඉවත් වීමෙන් පසුව රවීන්ද්‍ර රන්දෙණිය හා සුමින්ද සිරිසේන සමඟ මේ ප්‍රධාන භූමිකාව ස්වර්ණා මල්ලවාරච්චිද රඟපෑ බව අද බොහෝදෙනා නොදනිති. සුප්‍රකට විචාරක පිලිප් කුරේ එකල ඉභදඤචර ධඡඵඥපමඥප පුවත්පතේ ඇගේ සේයාරුවක්ද සමඟ මේ පිළිබඳ විචාරයක් ලීවේය. පණ්ඩිත් අමරදේවයෝ ධම්මගේ “මුහුදු පුත්තු” සංගීතවත් කරමින් ඒ උදෙසා අභිනව ගීත නිර්මාණය කළහ. එවක සංගීත විද්‍යාලයේ ඉගෙනුම ලැබූ රෝහණ වීරසිංහ, බන්දුල විජේවීර සහ මාලිනී බුලත්සිංහල මේවා ගැයුමට එක් වූවෝය. එහෙත් ගුණසේන ගලප්පත්තිගේ “මුහුදු පුත්තු” (1962) උදෙසා සෝමදාස ඇල්විටිගලයන් නිර්මාණය කළ ගීත තරම් ඒවා ජනකාන්ත වූයේ නැත.

    ආර්.ආර් සමරකෝන් සූරීන් ස්වර්ණාට මුල් වරට හමු වූයේ ලයනල් වෙන්ඩ්ට් රංග ශිල්ප ශාලිකාවේදීය. ඔහු “අහසින් වැටුණු මිනිස්සු” නාට්‍යයේ දියණියගේ චරිතය රඟපෑමට ස්වර්ණාට ඇරැයුම් කළේ ඒ චරිතය එවක රඟපාමින් සිටි ප්‍රේමා ගණේගොඩ විදෙස් ගත වූ බැවිනි. ඒ අනුව කෙටි කලක් ස්වර්ණාද විදෙස් ගත වන තෙක් මෙහි දියණියගේ චරිතය ඇය (රංජිත් යායින්න සහ චන්ද්‍රා කළුආරච්චි සමඟ) රඟපෑවාය. ඒ කොළඹ ලයනල් වෙන්ඩ්ට්, ලූම්බිණි සහ මහනුවර පැවැත්වූ දර්ශන ත්‍රිත්වය සඳහා පමණි.

    කලකට පසු නැවතත් ලංකාවට පැමිණි ස්වර්ණා සිනමාවටද එක් වූවාට පසු “මකරාක්ෂයා” හි එලීසා ලෙස වේදිකාවේ දැක ගන්නට ලැබිණ. ඉන්පසු මෙතෙක් ඇය වේදිකා නාට්‍ය රංගනයට දායක වූයේ නැත. එහෙත් ස්වර්ණා වර්ණ විභූෂිත “එලීසා” මෙකලද ප්‍රේක්ෂකයෝ අමතක නොකරති.

     

    ඉතිරි කොටස ලබන සතියේ…

    ඉතිරි කොටස ලබන සතියේ…

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.