24 C
Colombo
Sunday, June 20, 2021
More

    Latest Posts

    කොම්පෝස්ට් පොහොර භාවිතය අභියෝගයක් ද?

    - Advertisement -

    කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයේ හා භාවිතයේ මූලධර්මයන්ට දිගු ඉතිහාසයක් ඇත. එය රෝම අධිරාජ්‍ය සමයටත් එහා දිවෙන්නකි. ගොවි යුගය තුළ ජිවත් වූවන් දැනුවත්ව හෝ නොදැනුවත්ව දිරාපත් වන කෘෂි භෝගවල ශේෂ වූ කාබනික ද්‍රව්‍ය තම ගොවි බිම් තුළම ගොඩ ගසා ගෙන පසු කන්නයේදී පස සාරවත් කිරීම සඳහා ඒවා ස්වාභාවිකවම දිරාපත් වීමට ඉඩ හැර භාවිතයට ගැනීම එහි ආරම්භයයි. මෙය චක්‍රීය ක්‍රියාවලියක් වූ අතර ද්‍රව්‍ය ගොඩ ගසා ගැනීමට වෙන් වූ භුමි ප්‍රමාණයක් ද යොදා ගැනිණි. කාබනික ද්‍රව්‍ය දිරාපත් වන විට එහි සිදු වන රසායනික වෙනස්කම් පිළිබඳ විද්‍යානුකූල දැනීමක් නොමැතිව ඔවුන් ක්‍රියා කළ මුත් තම ගොවිබිම තුළ වගා කරන ලද ශාක කොටස් ඒ සඳහා යොදා ගැනීම නිසා එම බිමට හා පරිසරයට අහිතකර කිසිදු ප්‍රතික්‍රියාවක් නොවී චක්‍රීයව පස සරු වන බව නම් ඔවුන් දැන සිටින්නට ඇත.

    ප්‍රාථමික වශයෙන් මෙහි මූලධර්මය සැලකු විට ගොවිබිමෙන් ගොවි බිමට වගා කිරීමට සුදුසු භෝගයන් වෙනස් වූ විට හායනය වූ පසේ සාරය එම බිමේම වගා වූ ශාක කොටස් ප්‍රතිචක්‍රීකරණය මඟින් ආපසු ලබා ගැනීමට හැකි බව පසක් කර ගෙන තිබිණි. එය ස්වයංපෝෂිත පොහොර භාවිතයක මූලාරම්භය විය. කෙටි කාලයක් තුළ වෙහෙසකින් තොරව ගොවි බිම් සරු කරන ක්‍රමවේදයක් මේ තුළ ගැබ් විය.

    - Advertisement -

    එහෙත් එළිමහනේ වර්ෂාවට නිරාවරණය වෙමින් වූ ස්වාභාවික ක්‍රියාවලියෙන් එහි යම් යම් පෝෂ්‍ය පදාර්ථ ඉවත් වන බවක් හෝ රෝගකාරක පරපෝෂිතයන් හා ජීවීන් ඉන් බිහි විය හැකි බවට අදහසක් මුල් අවධියේ ඔවුන් තුළ නොතිබිණි.

    පෙරදිග ධාන්‍යාගාරය

    ශ්‍රී ලංකාවේ ඉතිහාසය ගැන සලකන විට ධාන්‍ය වගාව සම්බන්ධයෙන් කිසියම් පොහොර භාවිතයක් හෝ පාංශු සංරක්ෂණ වැඩපිළිවෙළක් මෙරට ද තිබෙන්නට ඇති බව නම් නිසැකය. එසේ නැතිනම් මෙරට පෙරදිග ධාන්‍යාගාරය වීමට තරම් අස්වැන්න සරු වීමට හේතුවක් වැව් ජලයට අමතරව තිබිය නොහැකිය.

    - Advertisement -

    කාලයාගේ ඇවෑමෙන් නවීකරණය වූ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදිතය හා භාවිතය එහි රසායනික ක්‍රියාකාරකම් සහ වෙනස්කම් ද සැලකිල්ලට ගෙන ගොවි බිම් හා වගාවන්ට සරිලන ලෙස යොදා ගෙන කාබනික ගොවිපළ ක්‍රමය බටහිර රටවල 20 වන සියවස ආරම්භයේදී ඇති විය. ගොවි බිමේ ද්‍රව්‍ය පමණක් නොව අපතේ යන නාගරික හා වෙනත් කාබනික ද්‍රව්‍ය ද කොම්පෝස්ට් බවට පරිවර්තනය කිරීමේ ක්‍රමවේදය දියුණුවට පත් වූයේ ඉන් පසුවය. පාංශු හායනයට හා ඛාදනයට එරෙහිව නැතිවී ගිය පෝෂ්‍ය පදාර්ථයන් හා ව්‍යුහය නැවත ලබා ගැනීමට ස්වාභාවික පොහොරක් වශයෙන් කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය හා භාවිතයට අපරදිග මෙන්ම පෙරදිග රටවල් ද ක්‍රමයෙන් නැඹුරු විය. ජෛව ගතික ගොවිපළවල් අද ලොව පුරා බිහි වී ඇත.

    ශ්‍රී ලංකාව තුළ 1960 දශකය දක්වාම කාබනික පොහොර හා සාම්ප්‍රදායික පොහොර භාවිතයෙන් ආහාර භෝග වගා කරනු ලැබුව ද එයින් පසු ලොව පුරා පැන නැඟුණු හරිත විප්ලවයට සමගාමීව භෝග අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වැඩි වැඩියෙන් රසායන පොහොර භාවිතයට වගාකරුවන් උන්නදු කරනු ලැබූ අතර එය ආපසු හැරවීම අද අපට සිදුව ඇති අභියෝගයකි.

    දීර්ඝ කාලීන වශයෙන් රට කාබනික පොහොර භාවිතයෙන් අප රට ස්වයංපෝෂිත කිරීමේ අවශ්‍යතාවය අවිවාදයෙන් පිළි ගත යුත්තකි. අක්‍රමවත් කෘත්‍රිම පොහොර භාවිතය නිසා පාංශු,පරිසර හා සෞඛ්‍ය වශයෙන් රටට සිදුව ඇති හානිය තක්සේරු කළ නොහැකිය. විශේෂයෙන් පිළිකා හා වකුගඩු රෝග මත ජනතාවට සිදුව ඇති හානිය ඉමහත්ය. පසේ සාරයට හිතකර ක්ෂුද්‍ර ජීවින් ද මේ වන විට වඳ වී ගොසිනි. එය යථා තත්ත්වයට පත් කිරීමට මෙරටින්ම එම ජීවීන් උත්දනය කළ යුතුව ඇත. රසායනික පොහොර ආනයනය කිරීමට මෙන්ම එය සහනාධාර ලෙස බෙදා දීමට ද විශාල පිරිවැයක් රටට දැරීමට සිදු වේ.

    - Advertisement -

    ඝන ද්‍රව්‍ය කළමනාකරණය

    කාබනික පොහොර නිෂ්පාදනය මෙරට තුළ දිරි ගැන්වීමට රාජ්‍ය මැදිහත් වීම සහිත ව්‍යාපෘති කීපයක්ම පැවති අතර ඝන ද්‍රව්‍ය කළමනාකරණය ද ඒ අතරම විය. මේවායේ පරමාර්ථය වූයේ පස සංරක්ෂණය හා භෝග වගාවන්ට කාබනික පොහොර යොදා ගැනීමට වඩා නාගරිකව හිසරදයක්ව ඇති අපද්‍රව්‍ය ඉවත් කිරීමට පිළියමක් සෙවීමය. කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය ඉදිරියට නොගියේ ඒ සඳහා ඉල්ලුමක් නොවූ බැවිනි. තැන තැන ගොඩ ගැසෙන කුණු කඳු හා අගයක් ලබා ගත හැකි ද්‍රව්‍ය නිකරුණේ මහ පොළොවට පස්

    කිරීම හා දහනයට ලක් කිරීම මඟින් පෙනී යනුයේ මෙහි බලපෑමය. දිගු කාලයක සිට කාබනික පොහොර භාවිතය ගැන මෙරට තුළ කතිකාවතක් තිබුණ ද ඒ සඳහා ඉල්ලුමක් ඇති කරන වැඩපිළිවෙළක් පැවතියේ නැත. කෘත්‍රිම පොහොර ගෙන්වීම තහනම් කිරීම මඟින් වර්තමානයේ ඒ සඳහා අවස්වථාවක් ලැබී ඇතත් පොහොර නිෂ්පාදනය සඳහා ජාතික මට්ටමේ වැඩපිළිවෙළක් මේ වන විට සැකසී නැත.

    දිගු කාලයක් තිස්සේ භාවිත කරන ලද කෘත්‍රිම රසායනික පොහොරවලට හුරු වූ ගොවි බිම් හා වගාවන් ඉන් මුදාගෙන ස්වාභාවික කාබනික පොහොර භාවිතයට යොමු කිරීමත් කෘත්‍රිම පොහොර එකවර නැවැත්වීමෙන් ආදේශකයට පවතින ඉල්ලුම සපිරීමත් කෙටි කාලයක් තුළ කළ හැකි වේ ද යන්න අභියෝගාත්මක වන්නේ මහා පරිමාණව කළ යුතු පොහොර නිෂ්පාදනයේ පවතින සංකීර්ණ ක්‍රියාවලිය හේතුවෙනි.

    එහෙත් මෙම පරිවර්තනයේ පවතින යෝග්‍යත්වය මත කෙටි, මධ්‍ය හා දිගුකාලීන වැඩපිළිවෙලක් යටතේ එම අභියෝගය ජය ගත යුතුව ඇත.

    අපතේ යන ද්‍රව්‍ය සඳහා අගය එකතු කරනු ලබන්නේ බාහිරව නොව කාබනික පොහොර සැකසීමේ ක්‍රියාවලියෙනි. එහිදී එම ද්‍රව්‍ය වියෝජනයට ලක් වී ශාක සඳහා හියුමස් තත්ත්වය අඩංගු පොහොරක් නිෂ්පාදනය වේ. වියෝජන ක්‍රියාවලිය නිසි ලෙස කළමනාකරණය කිරීමෙන් වඩාත් ජෛව හා පරිසර හිතකාමී පොහොරක් ලෙස මෙය යොදා ගත හැකිය. කෘත්‍රිම රසායනික පොහොරවල අඩංගු පෝෂ්‍යත්වය වියදම් රහිතව ස්වාභාවිකව ලබා ගත හැකි වීම මෙහි විශේෂත්වය වන අතර එහි පෝෂ්‍ය පදාර්ථ ස්ථාවරය. ශාකයන්ට වැලදෙන රෝග සඳහා ප්‍රතිශක්තියක් ඒ මඟින් ලබා දෙන අතර විනාශකාරී කෘමින් ද මර්දනය කරයි. කාබනික පොහොර පසෙහි සාරවත් බව මෙන්ම එහි ඇති ජලය රඳවා ගැනීමේ ධාරිතාවය ද ඉහළ නංවයි. කෘත්‍රිම පොහොර යෙදූ විට මෙන් පස වියළී යෑමේ ස්වභාවය ඉන් ඇති නොවේ.

    කුටුම්බයන්ට සීමා වූ බඳුන් ක්‍රමය

    මෙම පොහොර සැකසීමේ ක්‍රියාවලිය හා තාක්ෂණය කුටුම්බයන්ට සිමා වූ බඳුන් ක්‍රමයේ සිට වෘත්තීය මට්ටමේ කළමනාකරණය සහිත විධිමත් ක්‍රමයන් කරා විහිදී ඇත. කාබනික ද්‍රව්‍ය ඛණ්ඩනය වී කොම්පෝස්ට් බිහි වීම සඳහා ජලය, ඔක්සිජන්, කාබන් හා නයිට්‍රජන් මනා ලෙස මිශ්‍ර විය යුතුය. මෙය තාක්ෂණික ක්‍රියාවලියක් වන අතර මෙහිදී හිතකර ක්ෂුද්‍ර ජීවින් වර්ධනය වී කාබනික ද්‍රව්‍ය කොම්පෝස්ට් බවට පත් වේ.

    මහා පරිමාණ වශයෙන් හා වාණිජ වශයෙන් කොම්පෝස්ට් නිෂ්පාදනය කිරීමත් කෘත්‍රිම හා රසායනික පොහොර වෙනුවට ඒවා භාවිත කිරීමට ජාතික වැඩ පිළිවෙළක් සැකසීම හා ක්‍රියාත්මක කිරීමත් එතරම්

    පහසු කාර්යයක් නොවන අතර ඉතිහාසය ආරම්භයේ සිදු වූවා මෙන් විද්‍යාත්මක ප්‍රවේශයකින් තොරව මෙය කළ හැකි යැයි සිතීමත් ප්‍රඥාගෝචර නොවේ. මේ සඳහා විමධ්‍යගත ලෙස කාබනික ද්‍රව්‍ය එකතු කිරීමත් මධ්‍යගත පාලනයක් යටතේ ඒවා ක්‍රියාත්මක කිරීමත් අවශ්‍ය වේ.

    මූලික වශයෙන් පදාර්ථයන්ගෙන් පොහොසත් ද්‍රව්‍ය එක්රැස් කර ලබාදීමේ වැඩපිළිවෙල කුටුම්බයන්ගේ සිටම ආරම්භ කළ හැකිය. යෝග්‍ය ලෙස ඒවා අතරමැදි ක්‍රියාවලියකට ලක් කොට භාරදීමේ අවස්ථාව ඔවුන්ට ලබා දීම උචිතය. ඒ සඳහා මිලක් නියම කිරීමෙන් හා එකතු කිරීමේ මධ්‍යස්ථාන පහසුකම් ලබා දීමෙන් ජනතා සහභාගිත්වය ද මේ සඳහා උනන්දු කළ හැකිය. එහෙත් අවසන් ප්‍රමිතියෙන් යුතු පොහොර නිෂ්පාදනය ඔවුන්ගෙන් බලාපොරොත්තු විය නොහැකිය. එය මනා කළමනාකරණයෙන් හා පරීක්ෂාවෙන් සපිරිය යුතු දෙයක් වේ. නිසි පදාර්ථයන් හා සංඝටකයන්ගෙන් යුතු ප්‍රමිති ගත පොහොර පසෙහි තත්ත්වය හා වගාවේ වර්ගීකරණය අනුව විවිධත්වයෙන් යුතුව සම්පාදනය කිරීම කළ යුතු වීම එයට හේතුව වේ. රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ව්‍යවසායකත්වය ජාතික මට්ටමින් මෙයට අවශ්‍ය වේ.

    ස්ථාපිත වූ සංවිධාන

    බලධාරී ආයතන මඟින් කුටුම්බයන්ගේ සිට නිෂ්පාදනාගාර දක්වා ක්‍රියාවලිය පසු විපරමට ලක් කිරීමත් ක්‍රියාකරුවන් දැනුම්වත් කිරීමත් සංඝටක නිබඳවම රසායනික පරීක්ෂාවන්ට ලක් කිරීමත් පර්යේෂණ ඇතුළු කළමනාකරණයත්, රාජ්‍ය හා පෞද්ගලික අංශය එකතුව ස්ථාපිත වූ සංවිධාන මඟින් සිදු කළ හැකිය. මේ සඳහා නව නීති සම්පාදනය කිරීමත් පවතින නීති සංශෝධනය කිරීමත් අවශ්‍ය වේ. උදාහරණ වශයෙන් නාගරික ඝන අපද්‍රව්‍ය කළමනාකරණයේ අයිතිය දැනට පවතින්නේ පළාත් පාලන ආයතන වෙතය. මහා පරිමාණ වශයෙන් හා ක්‍රමවත්ව කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනයට පහසුකම් හා හැකියාව නැති එම ආයතන සමඟ ඒකාබද්ධ වීම හෝ අවශ්‍ය ප්‍රමාණයට සංකීර්ණ ක්‍රියාවලීන් සහිත අවසන් අදියරේ පාලනයේ අයිතිය හා මැදිහත්වීම මධ්‍යම රජයට හා තෝරා ගත් පෞද්ගලික ආයතනයන්ට ලබා ගත හැකි පරිදි නීති සම්පාදනය කිරීම යෝග්‍යය. නාගරික පවිත්‍රකරණයට හානි නොවන පරිදි මෙය සිදු විය යුතුය.

    නයිට්‍රජන් හා කාබනික සංඝටක සහිත අපතේ යන ද්‍රව්‍ය එක්රැස් කිරීම හා යම් මට්ටමකට ක්‍රියාවලිගත කිරීම කුටුම්බ හා ප්‍රාදේශීය මට්ටමින් කළ හැකිය. සත්ව පොහොර රසායනික සංඝටක සහිත වුව ද, ඒවා එසේම භාවිත නොකොට ජාතික කොම්පෝස්ට් නිපදවීමේ ක්‍රියාවලියට දායක කර ගැනීමෙන් එහි අගය වැඩි දියුණු කර ගත හැකිය. ගොවීන්ගෙන් ඒවා මිල දී ගෙන මධ්‍යස්ථානගත ක්‍රියාවලියට යොමු කිරීමෙන් කුටුම්බයන් හා කුඩා ගොවිපළවල අපතේ යන කුකුල් හා අනෙකුත් සත්ත්ව පොහොර සඳහා අගයක් ගෙන දීමට ද මේ මඟින් හැකියාව ලැබේ.

    කාබනික පොහොර ආනයනය

    එහෙත් අතීතයේ මෙන් නොව දිගු කලක් කෘත්‍රිම පොහොරවලට හුරු වූ හා හැඩගැසුණු පස හා වගාවන් සඳහා මහා පරිමාණ හා වාණිජ වශයෙන් කොම්පෝස්ට් යොදා ගැනීම සිමා මායිම් ඇතුව කළ යුතු දෙයක් වේ. එය

    පූර්ණ වශයෙන් ආදේශ කිරීම හෝ කලක් යන තුරු වගාවන් තෝරා ගෙන ප්‍රතිශත වශයෙන් ආදේශ කිරීම හෝ කළ හැකිය. රසායනික පොහොර භාවිතය කෙටි කලක් තුළ සම්පූර්ණයෙන් නවතා දමන්නේ නම්

    පුර්ණ ආදේශනය සඳහා පොහොර නිෂ්පාදනය මෙරටේ සිදු කිරීම අවශ්‍ය වේ. රටේ සමස්ත අවශ්‍යතාව සඳහා සරිලන ගුණාත්මක පොහොර නිෂ්පාදනයක් ඇති කිරීම හා එයට වගාකරුවන් යොමු කිරීම ක්ෂණිකව කළ හැකි ද යන්න අවිනිශ්චිතය. එසේම කාබනික පොහොර ආනයනය කිරීම විකල්පයක් නොවන්නේ ඒවායේ ගුණත්වය හා අපගේ පසට හා පරිසරයට ගැළපෙන පොහොර තෝරා ගැනීම අපහසු වන බැවිනි.

    වාණිජ වශයෙන් බිහි වන විදේශ කාබනික පොහොරවල මෙරට ශාකවලට මෙන්ම ජිවිතවලට ද අවදානම් සහිත සංඝටක අඩංගු විය හැකිය. විශේෂයෙන් මහා පරිමාණ සත්ත්ව ගොවිපළ ආශ්‍රිත පොහොරවල තිබිය හැකි ප්‍රතිජිවී සංඝටක අනර්ථකාරීය. රසායන ද්‍රව්‍ය භාවිතයෙන් බිහි වූ ශාක කොටස් හා අපතයන් කාබනික අමුද්‍රව්‍ය ලෙස ගෙන කරන නිෂ්පාදිත ද නිසි සාරයෙන් යුතු නොවේ. ඒ නිසා අපේම නිෂ්පාදනයක් අප රටේ භූමියට හා වගාවන්ට යොදා ගැනීමේ ප්‍රතිපත්තියක් මුල සිටම අනුගමනය කිරීම යෝග්‍ය වේ. මෙම අභියෝගාත්මක කාර්යය සඳහා කෙටි, මධ්‍ය හා දිගුකාලීන වැඩපිළිවෙලක් අවශ්‍ය වන්නේ එබැවිනි.

     

     

     

     

     

     

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.