24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ඔන්ල­යින් අධ්‍යා­ප­න­යෙන් ගොඩ යන හැටි

    - Advertisement -
    3 ජූලි, 2021

    කොවිඩ් 19 ගෝලීය වසංගතය හේතුවෙන් දින නියමයකින් තොරව පාසල් වසා දැමීමත් සමඟ 4,061,653ක් වන මෙරට සිසු පරපුර ද නිවෙස්වලටම සීමා විය. අධ්‍යාපනය වෙනුුවෙන් ඔන්ලයින් හෙවත් මාර්ගගත අධ්‍යාපනයේ පිහිට පතන්නට ඔවුන්ට සිදු වූයේ ඒ නිසාවෙනි.

     

    - Advertisement -

    මේ වන විට එම ක්‍රමවේදය තුළ හඳුනාගත් ගැටලු රැසකි. ඔන්ලයින් අධ්‍යාපනය විධිමත් කිරීම වෙනුවෙන් සෑම ගමකටම පරිගණක හෝ ටැබ් 10කින් යුතු ග්‍රාමීය සන්නිවේදන පහසුකම් මධ්‍යස්ථානයක් පිහිටුවීම ඇතුළුව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් ඉකුත් සතියේ පියවර කිහිපයක් ගනු ලැබීය. මාර්ගගත අධ්‍යාපනය ඵලදායී බවට පත්කිරීමට එවැනි ක්‍රියාමාර්ග ප්‍රමාණවත්ද? නොඑසේ නම් එම ක්‍රමවේදය සාර්ථක කරගැනීමට යෝජනා කරන විකල්ප ක්‍රමවේද මොනවාද යන්න පිළිබඳව අප පාර්ශ්ව කිහිපයකින් අදහස් විමසුවෙමු.

    ”වසංගතයේ ව්‍යාප්තියත් සමඟ පාසල් වැසී යෑමෙන් පසු ගුරුවරු මාර්ගගත අධ්‍යාපනය ආරම්භ කළේ අධ්‍යාපන අමාත්‍යාංශයේ කිසිදු නිලධාරියකුගේ ඉල්ලීමකට නොවෙයි. එය ගුරුවරු දරුවන් ගැන ආධ්‍ය­ාත්මික හැඟීමෙන් යුතුව උපරිම උත්සාහය සහ කැපවීමෙන් ස්වේච්ඡාවෙන් ගත් ක්‍රියාමාර්ගයක්. ඒ තුළ නොයෙකුත් තාක්ෂණික අඩුපාඩු තිබෙනවා. නමුත් රටේ සමස්ත ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් දරුවන් ගැන මානව හිතවාදීව සිතා බලා ආරම්භ කළ ඉගැන්වීම් කාර්යය ගැන හොයන්න දැන් අධ්‍යාපන බලධාරීන් විවිධ තර්ක ඉදිරිපත් කරනවා. වැටුප් වර්ධක නතර කරන බවට තර්ජනය කරනවා. මේ පිළිබඳව අප සංගමයේ බලවත් අප්‍රසාදය පළ කරනවා. ගුරුවරුන් සිදුකරන කාර්යය පිළිබඳ ධනාත්මක ඇගයීමක් කරනවා වෙනුවට ඔවුන්ගේ මානසිකත්වය පහළ දැමීම නොකළ යුතු දෙයක්.

    මෙම ක්‍රමය සාර්ථකව ඉදිරියට ගෙන යා හැකි ක්‍රමවේදයක් පිළිබඳ ජාතික අධ්‍යාපන ආයතනයේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරින්ට කිසිදු සැලසුමක් තිබුණේ නැහැ. ඒ පිළිබඳ පෙර සූදානමක් සහිතව කටයුතු කළා නම් රට ලොක්ඩවුන් කළත් පාසල් වැසුවත් දරුවන්ට අධ්‍යාපනය නැතිවෙන්නේ නැහැ. ˝

    - Advertisement -

    සමස්ත ලංකා එක්සත් ගුරු සංගමයේ සභාපති යල්වෙල පඥ්ඥාසේකර හිමියෝ එසේ පැවසුවේ මාර්ගගත අධ්‍යාපනයට පෙරමං තැනූ ගුරුවරුන්ට කෘතඥතාව පළ කරමිනි. ඊට අමතරව එම ක්‍රමවේදය තුළ සුලබව දක්නට ලැබෙන ගැටලු පිළිබඳ උන්වහන්සේ මෙසේ පැවසූහ.

    ˝ සියයට 70ක් වගේ පිරිසක් ඔන්ලයින් තාක්ෂණය භාවිත කළත් ඒ නිසා දරුවන් අක්ෂි දුර්වලතාවලට සහ මානසික ආතතියට ලක්වී සිටිනවා. එවැනි හේතු නිසා ඉහත කී සියයට 70න් සියයට 30ක් ඔන්ලයින් අධ්‍යාපනය අතහැර ගොස් තිබෙනවා. ඊට විසඳුමක් ලෙස රටටම පෙනෙන රූපවාහිනි නාළිකාවක් භාවිත කරමින් කිසියම් කාලසටහනක් අනුව සියලුම ශ්‍රේණි සඳහා ඉගැන්වීම් කටයුතු කිරීම එක් ක්‍රමයක්. මේ වන විට රූපවාහිනි නාළිකාවලින් කෙරෙන ඉගැන්වීමේ කටයුතු කෙරුණත් ඒවාත් පන්ති කාමරයේ ඉගැන්වීම් කරන ආකාරයටමයි සිදු වෙන්නේ. එය සාර්ථක නැහැ. රූපවාහිනිය ප්‍රාසාංගික මාධ්‍යයක් නිසා විවිධ ආකර්ෂණීය ක්‍රම භාවිත කරමින් දරුවන් ඒකාකාරී බවින් මිදෙන ආකාරයේ වැඩසටහන් සම්පාදනය කළ යුතුයි. ˝

    ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් පවසන්නේ මාර්ගගත අධ්‍යාපනය යනු දුරස්ථ අධ්‍යාපනයේ එක් ක්‍රමයක් පමණක් බවත් මේ වන විට ඒ මඟින් අධ්‍යාපන කටයුතුවල නියැළෙන්නේ සියයට 30-40ක් පමණක් බවත්ය. සියයට 60ක් පමණ දරුවන්ට මේ වන විට කිසිදු අධ්‍යාපනයක් නැති බව පැවසූ ඔහු ඒ පිළිබඳව වැඩිදුරටත් මෙසේ ද පැවසුවේය.

    - Advertisement -

    වසංගත තත්ත්වය තුළ සම්පූර්ණ විෂය නිර්දේශයම ආවරණය කරන්න හැකියාවක් නැහැ. ඒ නිසා අධ්‍යාපන බලධාරීන් විසින් ඊට ගැළපෙන ලෙස විෂය මාලාව සකස් කළ යුතුව තිබුණා. දැනටමත් ඊට ප්‍රමාදයි. දැන් ඔවුන් ඉදිරිපත් කරන සැලසුම් ද කාලීන ඒවා නොවන බවයි අපේ අදහස. මේ වන විට මාර්ගගත අධ්‍යාපනය තුළ ඉගෙනුම අහිමි වී තිබෙන දරුවන්ට අධ්‍යාපනය ලබාදීමේ ක්‍රමවේදයක් වහාම සකස් කළ යුතුයි.˝

    දැනුම් කළමනාකරණ විශේෂඥ, ආචාර්ය සුජාතා ගමගේ පැවසුවේ මෙය දයාව, අවබෝධය ඇතිව සලකා බැලිය යුතු ප්‍රශ්නයක් බවයි. ඒ පිළිබඳ පැහැදිලි කරමින් ඇය වැඩිදුරටත් මෙසේ ද පැවසුවාය.

    ˝මාර්ගගත අධ්‍යාපනය රටේ සෑම දරුවෙකුටම ලබාගත හැකි ආකාරයට සම්පත් තිබෙනවාද නැද්ද යන්න ආණ්ඩුව නොදන්නා කරුණක් නෙවෙයි. 2019 සංගණන දෙපාර්තමේන්තුවේ වාර්තාව අනුව අන්තර්ජාල පහසුකම් භාවිත කරන්නේ රටේ ජනගහනයෙන් සියයට 30ක් පමණයි. පාසල් යන වයසේ දරුවන් සිටින පවුල්වලින් අන්තර්ජාලය භාවිත කරන්නේ සියයට 48ක් බව ලර්න් ඒෂියා ආයතනය කළ සමීක්ෂණයකින් හෙළිවී තිබෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය අඳ බිහිරි විදිහට හැසිරෙන්නේ මේ සියලු දත්ත දැනගෙනයි. ඔන්ලයින් අධ්‍යාපනය කියලා පන්ති කාමරයක් ඇතුළේ කරන කරන ඉගැන්වීම ම කරනවා නම් ඒක මොනතතරම් මෝඩ ඉගැන්වීමක්ද? පෙළ පොතේ තියෙන දේම නැවත පොත්වල ලිවීම ඵලක් නැති දෙයක්. මේ වෙලාවේ අධ්‍යාපන අමාත්‍යාංශයෙන් කළ යුත්තේ සංක්ෂිප්ත විෂය මාලාවක් සකස් කිරීමයි. ගුරුවරයාට අවශ්‍ය විදිහට ඉගැන්වුම් කාලසටහන සකස් කරගන්න දීලා ගණිතය, විද්‍යාව, සිංහල සහ දෙමළ වැනි ප්‍රධාන විෂයයන් පමණක් හෝ හරියට උගන්වන්න ඉඩ දෙන්න. අනිත් විෂයයන් ව්‍යාපෘති, පැවරුම් විදිහට කරන්න. රූපවාහිනිය බලලා දැනුම හොයගන්න දරුවන්ට ඉඩ දෙන්න. මේ අධ්‍යාපන වැඩසටහන සාර්ථක කරගැනීමට නම් මුලින්ම ගුරුවරුන්ට ලැප්ටොප් ලබාදෙන්න. ගුරුවරුන්ට නිසි ගෞරවය දෙන්න, පහසුකම් සලස්වන්න, අවශ්‍ය මාර්ගෝපදේශ දෙන්න. ඒ වගේම ගුරුවරුන්ට නිදහස දෙන්න, ඔවුන් විශ්වාස කරන්න.˝ යනුවෙන් ද ඇය පැවසුවාය.

    මාර්ගගත ඉගැන්වීම් සඳහා අවශ්‍ය ලැප්ටොප්, ටැබ් ආදිය නොමැති වීමෙන් ගුරුවරුන් ද දුෂ්කරතාවලට මුහුණ දෙයි. මේ ඒ පිළිබඳ ලංකා ප්‍රගති ගුරු සංගමයේ ලේකම් මයුර සේනානායක දක්වන අදහස් ය.

    ගුරුවරුන්ට පාඩම් හදන්න, දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ගැන පසුවිපරම කරන්න ටැබ් එකක් ප්‍රමාණවත් නැහැ. ඒ සඳහා ලැප්ටොප් එකක් තිබිය යුතුයි. ඒ සඳහා බදු රහිත මිලට සහනාධාර කූපන්පතක් මඟින් තමන්ට අවශ්‍ය ලැප්ටොප් එකක් මිලදී ගැනීමට ගුරුවරුන්ට පහසුකම් සලසා දිය යුතුයි. අඩු මිල ඩේටා පැකේජ ලබාදිය යුතුයි. වසංගතය තුළ දරුවා පාසලට නොගෙන්වා ගමේ පන්සල වැනි පොදු ස්ථානයකට ළමුන් කණ්ඩායමක් කැඳවලා ගමේ ඉන්න ගුරුවරු මඟින් අධ්‍යාපන ලබාදීමේ වැඩපිළිවෙළක් සූදානම් කළ හැකියි. පාසලෙන් සිදු කෙරෙන ඔන්ලයින් ඉගැන්වීම්වලට අමතරව රූපවාහිනි මාධ්‍ය සහ ගුවන්විදුලි නාළිකා මඟින් වෙනම අධ්‍යාපන වැඩසටහන් පැවැත්වීම දරුවන්ට ස්වයං අධ්‍යාපනය සඳහා වැදගත් වනවා. විශේෂයෙන් උසස්පෙළ දරුවන්ට පෙළපොත ජාතික අධ්‍යාපන ආයතනය විසින් සකස් කරලා ඊට අදාළ සටහන්, ප්‍රශ්න පත්‍ර ජාතික පුවත්පත් මඟින් ලබාදීමටත් අප යෝජනා කරනවා.˝ අධ්‍යාපන වෘත්තිකයන්ගේ සංගමයේ ලේකම් වසන්ත ධර්මසිරි පැවසුවේ මාර්ගගත අධ්‍යාපනය සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ ගුරුවරුන්ට අධ්‍යාපන බලධාරීන්ගෙන් එල්ල වී ඇති බලපෑම ගැන අප්‍රසාදය පළකරන බවයි.

    ˝කොවිඩ් වසංගතය නිසා පාසල් වසාදැමූ මුල් අවස්ථාවේදී ගුරුවරු ඔන්ලයින් අධ්‍යාපන කටයුතු ආරම්භ කළේ සියයට සියයක් ස්වෙච්ඡාවෙන්. දෙවැනි අදියරේදී ඒ වැඩසටහනට විදුහල්පතිවරුනුත් සම්බන්ධ වෙලා පාසල් පද්ධතියෙන් ගිලිහෙන අධ්‍යාපනයට යම් අත්වැලක් දෙන්න උත්සාහ කළා. අධ්‍යාපන බලධාරින් මාර්ගගත අධ්‍යාපනය වෙනුවෙන් කිසිදු උදවුවක් කරලා නැහැ. නමුත් දැන් අධ්‍යාපන ලේකම් ඇතුළු පරිපාලන නිලධාරීන් ගුරුවරුන් කරගෙන යන මාර්ගගත අධ්‍යාපනය අධීක්ෂණය කිරීම ආරම්භ කර තිබෙනවා. අපි මෙය දකින්නේ අනිසි බලපෑමක් විදිහටයි. කොවිඩ් වසංගතය නිසා පළමු වරට පාසල් වැහුවේ 2020 මාර්තු 13 වැනිදා. එදා ඉඳන් ආණ්ඩුව මොකක්ද මේ වෙනුවෙන් කළේ? අධ්‍යාපන අමාත්‍යාංශය ඉතාම අකාර්යක්ෂමයි. දැන් අධ්‍යාපන ලේකම් වැඩපිළිවෙළක් සකස් කර තිබුණත් එය මාර්ගගත අධ්‍යාපනයට විකල්පයක් නොවෙයි. දවසකට පැය 8-9ක් කුඩා උපකරණක් දෙස බලාගෙන සිටීමෙන් දරුවන් අක්ෂි රෝගීන් බවට, මානසික ආතතියට ලක්වී තිබෙනවා. විශේෂඥ වෛද්‍යවරු පවා මේවා ගැන කතා කරන්නේ නැහැ. අපි ඔවුන්ගෙන් ඉල්ලා සිටිනවා දරුවන් වෙනුවෙන් හඬ අවදි කරන්න කියලා. ˝

    මාර්ගගත අධ්‍යාපනයේ වාසි සහ අවාසි , උපයෝගිතාව පිළිබඳ ගැඹුරු සාකච්ඡාවක් පවත්වා තීන්දු තීරණ ගන්නා ලෙස අධ්‍යාපන බලධාරින්ට සහ ප්‍රතිපත්ති සම්පාදකයන්ට යෝජනා කරන බව ද හෙතෙම පැවසීය.

    ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ සඳහන් කළේ අධ්‍යාපන ගැටලු සම්බන්ධයෙන් යෝජනා ඉදිරිපත් කිරීමට ඔවුන්ගේ සංගමය අධ්‍යාපන බලධාරින් සමඟ දිගින් දිගටම සාකච්ඡාවක් ඉල්ලා සිටියද එය නොලැබුණු බවයි. පසුගිය ජුනි 11 වැනිදා පළමු වතාවට රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත විසින් ඔවුන් සාකච්ඡාවකට කැඳවූ බවත් ඔහු පැවසීය. මාර්ගගත අධ්‍යාපන‍යෙන් ගිලිහී ඇති සිසුන් දරුවන් පිළිබඳ ග්‍රාම නිලධාරි වසම් මට්ටමින් විදුහල්පතිවරුන් සම්බන්ධ කරගෙන නිසි විමර්ශනයක් කළා නම් අඩුපාඩු තිබෙන දරුවන්ට උපකරණ සහ ඩේටා ලබාදිය හැකි වැඩපිළිවෙලක් සකස් කිරීමේ හැකියාව තිබූ බව ද ඔහු පැවසීය. මේ අවස්ථාවේ සංවර්ධන කටයුතු තාවකාලිකව නතර කර හෝ බිඳවැටුණු අධ්‍යාපනය නඟා සිටුවීම අවශ්‍ය බව ද ඔහු අවධාරණය කළේය.

     

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.