24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ක්විෂොට්ගේ අමෙරිකානු සංචාරය

    - Advertisement -

     

    ලේඛක වෘත්තියේ ඇති එක් විශේෂතාවක් වන්නේ, ලේඛකයාට ජීවත්වීම සඳහා තම ජීවිතය පිළිබඳව නිරන්තර පරීක්ෂාවෙන් යුතුව සිටින්නට ලැබීම ය.‘

    - Advertisement -

    මෙය, සල්මන් රෂ්ඩිගේ කියමනකි. රෂ්ඩි සම්බන්ධයෙන් එය දෙයාකාරයකින් බලපෑවේ ය. ඔහුට ජිවිතය ගැන මෙන්ම තම ජීවිත ආරක්ෂාව ගැන ද පරීක්ෂාවෙන් සිටීමට සිදු විය.

    ‘‘සැටර්නික් වර්සස්‘ නමැති ග්‍රන්ථයේ සඳහන් ඇතැම් කරුණු තුළින් ඉස්ලාම් ආගමට අපහාසයක් වන්නේය යන චෝදනාව මත ඉරානයේ ජනපති කොමේනි, රෂ්ඩිගේ හිසට මිලක් නියම කළේ ය. එනිසා මරණයේ සෙවණැල්ල රෂ්ඩි පසු පසින් ඇදෙන්නට වූ අතර ඔහුද තැන තැන යමින් අප්‍රකටව වෙසෙමින් මේ දක්වාම ජීවිතය රැකගෙන සිටී. ඒ අවදානම ද සැලකීමට ගත් කල සල්මන් රෂ්ඩිගේ ජීවිතය ද නිමාවක් නොකළ නවකතාවක් බඳු ය.

    රෂ්ඩි ඉපදී දෙමසකින් ඉන්දියාව දෙකඩ වුණි. ඔහු අයත් වූයේ කාශ්මීර – මුස්ලිම් පවුලකට ය. රෂ්ඩිගේ කේම්බ්‍රිජ් අධ්‍යාපනය ලත් නීතිඥයෙකි. ව්‍යාපාරිකයෙකි. මව ගුරුවරියකි.

    - Advertisement -

    රෂ්ඩිට සොහොයුරියෝ තිදෙනෙකි. එහෙයින් බාල වියේ සිටම ඔහුට ‘ගැහැනු ලෝකය‘ එතරම් අමුත්තක් නොවී ය. පසු කලෙක රෂ්ඩිගේ ලෝකයට ද නීත්‍යනුකූල ගැහැනුන් සතර දෙනකුම වරින් වර ඇතුළු වුණි.

    වයස 14දී රෂ්ඩිද උසස් අධ්‍යාපනය සඳහා එංගලන්තය බලා නැව් නැංගේය. එහි දී ඔහු නතර වූ බෝඩිමේ සිටියේ පිරිමි ළමයින් පමණක් වීම රෂ්ඩිට නොරිස්සුවේ ය.

    ගුවන් විදුලිය, චිත්‍රපට හා පොත්පත් පමණක් තිබූ පිරිසරයක (එකල රූපවාහිනිය හා දුරකථන ආදිය නොවූයෙන්) ළමා විය ගෙවූ රෂ්ඩි පොත් ගුල්ලෙකු බවට පත් විය. ඔහු පියා හොඳ කතාන්දර කියන්නෙකි. කියවීම හා කතන්දර ඇසීම තුළින් තම පරිකල්පන ශක්තිය පිබිදෙන්නට පටන් ගත් බව රෂ්ඩි පසු කලෙක පැවසීය. බොහෝ සෙයින් කියවීම නිසා ම ඔහුට ද ලේඛකයකු වීමට සිත් විණි.

    - Advertisement -

    1975දී ඔහුගේ ප්‍රථම නවකතාව Grimus ප්‍රකාශයට පත් විය. අර්ධ විද්‍යා ප්‍රබන්ධයක් වූ එයට විචාරක පාඨක දෙපාර්ශ්වයෙන් ම හොඳ ප්‍රතිචාර නොලැබුණි. ක්‍රම ක්‍රමයෙන් සාර්ථකත්වයට ළඟා වන රෂ්ඩි, පස් වතාවක් බුකර් සාහිත්‍ය සම්මානය සඳහා නිර්දේශ වෙයි. ඔහුගේ දෙවැනි නවකතාව වූ “Midnights Children” (1981) බුකර් සම්මානයට පාත්‍ර විය. විශිෂ්ට නවකතාවක් වූ එය රෂ්ඩිට විශාල කීර්තියක් ලබා දුන්නේ ය. බුකර් සම්මානයේ 25 හා 40 වැනි සංවත්සර දෙකකදීම ‘මිඩ්නයිට්ස් චිල්ඩ්රන්‘‘ එතෙක් එම සම්මානය දිනූ කෘතීන්ගෙන් හොඳම කෘතිය ලෙස ද තෝරා ගැනුණි.

    වෙ‍ෙළඳ ප්‍රචාරණ ක්ෂේත්‍රයේ ද නියුක්තව සිටි රෂ්ඩි ඔගිල්වි සහ මේතර් නමැති සුප්‍රසිද්ධ ප්‍රචාරණ ආයතනයේ පිටපත් රචකයකු ලෙස සේවය කළේ ය. එකල ඔහු අතින් ලියැවුණු වෙ‍ෙළඳ ප්‍රචාරණ පාඨ අද පවා ප්‍රසිද්ධය. දැනට 74 හැවිරිදි සල්මන් රෂ්ඩි අමෙරිකා හා බ්‍රිතාන්‍ය ද්විත්ව පුරවැසියෙකි. මහ රැජින වෙතින් ඔහුට නයිට් සම්මානයක් ද පිරිනැමුණි. පාකිස්ථානය හා ඉරානය වැනි මුස්ලිම් රටවල් එයට රාජතාන්ත්‍රික ලෙසම විරෝධය ප්‍රකාශ කළේය.

    ඉංග්‍රීසීන්ට වඩා හොඳින් ඉංග්‍රිසිය, නිර්මාශීලී ලෙස භාවිතයට ගැනීමේ දක්ෂතාව ඇති අන්‍ය ජාතික ලේඛකයින් අතර සල්මන් රෂ්ඩිට ද ඉදිරිපෙළ අසුනක් හිමි වෙයි. ඔහුගේ භාෂා ශෛලිය විචිත්‍රය. උපහාසාත්මක ආධ්‍යාන ශෛලිය ඉතිහාසය පුවත් හා සම්මිශ්‍රිත මායා යථාර්ථවාදී බවක් ගනී.

    රෂ්ඩිගේ 14 වැනි නවකතාව වන ‘ක්විෂොට්‘ ඉහත කී කරුණු සනාථ කෙරෙන විශිෂ්ට නිර්මාණයකි. 2019දී එය බුකර් සම්මානය සඳහා නිර්දේශ වුණි.

    එහි නමින් ම ඉඟි කෙරෙන පරිදි රුෂ්ඩිගේ නවකතාව, ස්පාඤ්ඤ සාහිත්‍යයේ සම්භාව්‍ය කෘතියක් ලෙස සැළකෙන මිගුවෙල් ද සර්වාන්කේසි ගේ දොන් ක්වික්සෝට් (Don Quixote la Mancha) හි ප්‍රති නිර්මාණයකි.

    1605 සහ 1615 වැනි ඈතකදී දෙකොටසක් වශයෙන් ලියැවුණු ‘දොන් ක්වික්සෝට්‘ ලෝක සාහිත්‍යයේ ප්‍රථම නවීන නවකතාව ලෙස ද සැලකේ. මහින්ද කරුණාරත්යන් විසින් 60 දශකයේදී එහි සංක්ෂිප්ත පරිවර්තනයක් ‘විලම්බීත‘ මැයින් ප්‍රකාශයට පත් කෙරුණි. ම විසින් ‘දොන් ක්වික්සෝට්‘ ගුවනන් විදුලි නාට්‍යයක් ලෙස රචනා කරන ලදුව අධ්‍යාපන සේවයේ වැඩසටහනක් තුළින් ප්‍රචාරය කෙරුණි.

    සර්වාන්තේස්ගේ නවකතාව උපහාස රසයෙන් පිරුණකි. මෙහි කතා නායකයා, ලා මන්ඩා නමැති පළාතේ පදිංචිව වංශවත් පරපුරකින් පැවත එන දිළිඳු පුද්ගලයකි. අලොන්සෝ කුවික්සානෝ නමැති ඔහු පැරණි නයිට්වරුන්ගේ වීර වික්‍රමයන් දැක්වෙන පොත් අධික ලෙස කියැවීමෙන් හිස අවුල්කර ගත්තෙකි. තමන්ද එම වීරවරයින්ගේ ගමන් මාර්ගයෙහි යා යුතු යැයි තීරණය කරන ඔහු දොන් ක්වික්සෝට් නමින් වීර චරිතයකට ආරූඪ වෙයි. අසල්වැසි අසරණ ගැමියකු වන සන්ඩො සන්සා තම සහායකයා බවට පත් කර ගනී. තම ප්‍රේමවන්ත කුමාරිය ලෙස අසල ගොවිපළක වෙසෙන ගැමි තරුණියක පත්කර ගනී. (ඒ බවක් ඇය නොදනී) වැහැරී ගිය වියපත් අශ්වයාද සූදානම් කර ගන්නා, ක්වික්සෝට් රණවිරුවා‘ මළ කෑ කෝටරයක්‘ අතැතිව අයුක්තියට හා අසාධාරණයට විරුද්ධව සටන් කිරීම සඳහා ගමන් අරඹයි.

    මෙතැන් සිට ඇරඹෙන්නේ ඔහු සන්ඩො පස්සා මුහුණ පාන හාස්‍යජනක සිදුවීම් මාලාවකි.

    රෂ්ඩිගේ නවකතාවේ ඉපිද අමෙරිකාවේ වෙසෙන්නෙකි. ඔහු රහස් පරීක්ෂක නවකතා කීපයක් ලියුව ද ඒ හැම අසාර්ථක වෙයි. වෙනස්ම ආකාරයක කතාවක් ලිවීමට අදහස් කරන ඔහු ඉස්මයිල් ස්මයිල් නමැති චරියක් මවයි. ඔහු ඉන්දියානු ජාතික සංචාරක ඖෂධ අලෙවිකරුවෙකි. විවිධ රූපවාහිනී වැසටහන් බැලීමේ ආශාවෙන් යුතු ස්මයිල් සල්මා. ආර් නමැති පැරණි බොලිවුඩ් නිළියකට පෙම් බඳී. ඇය නිව්යෝක්හි රූපවාහිනී නාලිකාවක වැඩසටහනක පෙනී සිටින්නියකි.

    ස්මයිල් ඇයට පෙම් හසුන් යවන්නේ ‘ක්වික්සෝට්‘ යන ආරූඪ නමකිනි. සර්වාන්තේස්ගේ සන්ඩෝ සන්සා සිහි ගන්වමින් ස්මයිල්ට ද ඔහු සිතින් මවා ගත් ‘සන්ඩො‘ නමැති පුතකු සිටී. ස්මයිල් තම පුතාද කැටුව චවලට් වර්ගයේ පැරණි මෝටර් රථයේ නැඟී අමෙරිකාව පුරා සංචාරයෙහි යෙදෙයි. සර්වාන්තේස්ගේ උපහාසාත්මක වීර වික්‍රම තුළ සමකාලීන ස්පාඤ්ඤ සමාජය පිළිබිඹු වූවාක් මෙන්ම රෂ්ඩිගේ ඉස්මයිල් ස්මයිල්ගේ සංචාරයන්ද උපහාසය හා හාස්‍ය තුළින් නූතන අමෙරිකාවේ යථාර්ථය දක්වයි.

    ‘ක්විෂෝට්‘ හි මුල් පරිච්ඡේදයෙන්ම මෙසේ සඳහන් වෙයි.

    දකුණු ආසියාවෙන් පැමිණි දුඹුරු ජනයාට අමෙරිකානු ඉතිහාසය තුළ හිමිව තිබුණේ ව්‍යාකූල සහගත ත්ත්වයකි. විසිවැනි සියවසේ මුල්භාගයේදී ක්වික්ෂෝට් සහ ඔහුගේ ඥාති සහෝදර වෛද්‍ය ආර්. කේ. ස්මයිල්ගේ මුතුන් මිත්තන්ට අමෙරිකාව තුළ පදිංචිවීමට හෝ රැකියා කිරීමට එරට සංක්‍රමණික නීතියෙන් ඉඩක් ලැබුණේ නැත. 1917 දී සම්මත කරගෙන තිබූ නීතියක් අනුව ‘හින්දුන්‘ නමින් හැඳින්වුණු දකුණු ආසියානුවන්ට මහා අමෙරිකානු ජාතිය තුළට ප්‍රවිෂ්ට වීමට කිසිදු අවසරයක් නොවීය. ඊට විසිතුන් වසරකට පසු වර්ෂයකට ඉන්දියානුවන් සයදෙනෙකුට පමණක් අමෙරිකානු පුරවැසිභාවය ලැබීමට ඉඩකඩ සැලසුණි. 1965දී සංක්‍රමණික නීති වඩාත් ලිහිල් වුණි. ඉන්දියානුවන්ට මෙන්ම අප්‍රිකානුවන්ටද අමෙරිකාවේ දොරටු විවෘත වුණි.

    එහෙත්, මේ නිදහස 1987දී යළිත් අවදානමකට ලක් කරමින් පර්සි නගරයෙහි විසූ ඉන්දියානු – අමෙරිකානුවෙක් සුදු අන්තවාදීන්ගේ ප්‍රහාරයන් එල්ල වන්නට විය. පුවත්පත්වල පවා ඉන්දියානු සංක්‍රමණිකයන්ට පහර දිය යුතු බව කියැවෙන ලිපි පළ කෙරුණි.

    පහර කෑමට ලක් වූ ඉන්දියානුවෙක් මිය ගියේ ය. තවකෙක් ‘කෝමා‘ තත්ත්වයට පත් විය. නිවාස කොල්ලකෑමත්, රාත්‍රි කාලයේදී පහරදීම්වලට ලක්වීමත් පැතිරුණි.

    2001 සැප්තැම්බරයේදී සිදු වූ නිව්යෝර්ක් ප්‍රහාරයෙන් පසු (Twin Towers Attack) ඉන්දියානුවන් තමන් මුස්ලිමුන් (ඉස්ලාමිකයන්) නොවන බව අඟවනු වස් “Dont Blame me I’am Hindu” යනුවෙන් සඳහන් ටී ෂර්ට් හඳින්නට පටන් ගත්හ. තල්පාව පැළඳගත් ඇතැම් සීක ජාතිකයින් පහර කෑමට ලක්වූයේ ඔවුන් මුස්ලිමුන් යැයි වරදවා වටහා ගැනීමෙනි. කැබ් රථවල “God Bless America” යනුවෙන් සඳහන් ස්ටිකර ඇලවුණි. ඉන්දීය සම්භවයකින් යුත් ලේඛකයාට ද තම ආරූඪනාමයෙන් (සෑම් ඩුචෑම්ප්) පෙනී සිටීම වඩා ආරක්ෂිත බව හැඟී යයි.

    පරිච්ඡේද විසි එකකින් සමන්විත කොටස් තුනකින් යුත් මෙම නවකතාවෙහි දී සැබෑ චරිත හා පරිකල්පිත චරිත යනුවෙන් දෙවර්ගයක් හමුවන නමුදු, ඒ සෑම දෙනාම රෂ්ඩිගේ පරිකල්පන ගර්භය තුළින්ම බිහි වූවන් ය. එක් විචාරකයකු මෙම ප්‍රබන්ධය හැඳින්වූයේ ආඛ්‍යානයක් තුළ පිහිට වූ ආඛ්‍යානයක් ලෙස ය. තවකෙකුට එය සිහිනයක් තුළ දුටු සිහිනයකි.

    ‘ක්විෂොට්‘ නවකතාව කියවන්නකුට වරින් වර එහි කතුවරයා ද හමුවන්නේ බ්‍රෙෂ්ට් නාට්‍යයන්ට සුපුරුදු දුරස්ථකරණ රංග රීතිය සිහිගන්වමිනි. පාඨකයා කතාවට ආකර්හණයට එම ලෝකයම පිවිසෙනු වෙනුවට තමා කියමින් සිටින්නේ නවකතාවක් බව ඔහුට වරින් වර සිහිකැඳවීමට ලේඛකයා වගබලා ගනී.

    ක්වික්සෝට් නමැති 70 හැවිරිදි ඖෂධ අලෙවි නියෝජිතයා වෙසෙන්නේ සිහින ලෝකයකය. දුර ගමනක් යන විටෙක ඔහු තම පුතුට රියැදුරු අසුන බාරදී කෙටි නින්දක යෙදීමට කැමතිය. එහෙත් ඔහුට සැබෑ ලොවේදී පුතෙකු නැත.

    ඔහුට තම ඥාති සහෝදරයාගේ බිරියගෙන් ‘බුරියානි‘ භෝජන සංග්‍රහයකට ඇරැයුම් ලැබෙයි. ඔහු තම පෙම්වතිය වන ජනප්‍රිය රූපවාහිනී තාරකාවද කැඳවාගෙන එන්නදැයි අසයි. එහෙත් සැබෑ ලොවෙහි ඔහුම එබඳු සුරූපි පෙම්වතියක් නැත.

    70 හැවිරිදි වියේ පසුවන මිනිසකුට ඕනෑම දෙයක් සිදුවිය හැකි යැයි ක්විෂොට් නිතරම සිතයි. කියයි. රෂ්ඩිගේ නවකතාව (පොදුවේ ඔහුගේ ප්‍රබන්ධ) කියවන පාඨකයන් සම්බන්ධයෙන්ද මෙම කියමන සාධාරණ වෙයි. ඔහුගේ නිර්මාණ තුළ ඕනෑම දෙයක් සිදුවිය හැකිය. පාඨකයා ‘සිහියෙන්‘ යුතුව කියැවිය යුත්තේ එහෙයිනි.

     

    කපිල කුමාර කාලිංග

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.