24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ටයර් සෑය සහ නිරෝ­ධා­ය­නය

    - Advertisement -
    24 ජූලි, 2021

    “ඔන්ලයින් එකෙන් අධ්‍යාපනය ලබාදෙනවා කියලා කිව්වට දරුවන් හුඟ දෙනෙකුට ඉන්ටර්නෙට් පහසුකම් නැහැ. ඒ දරුවෝ ගස්, ගල් උඩ නගිනවා, වතුර ටැංකි උඩ නගිනවා. මේ දරුවන් ගැන කිසිම කැක්කුමක් මේ ආණ්ඩුවට නැහැ” කියමින් පසුගිය දිනවල පාර්ලිමේන්තුව තුළදීත් ඉන් පිටතදීත් ආණ්ඩුව පට්ට ගැහුවේ වර්තමාන විපක්ෂයයි.පාර්ලිමේන්තුවේදී විශේෂ ප්‍රකාශ සිදු කරමින් 27(2) ස්ථාවර නියෝග යටතේ ප්‍රශ්න අසමින් ඔන්ලයින් අධ්‍යාපනය දිගට හරහට විවේචනය කළේද විපක්ෂයයි. ඔවුන් පැවසුවේ ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් ආණ්ඩුව කිසිවක් සිදුකර නොමැති බවයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක ඇතුළු ඔවුන්ගේ වෘත්තීය සමිති දිගට හරහට ආණ්ඩුවට පහර දුන්නේ ඔන්ලයින් අධ්‍යාපනය අසාර්ථක බව ප්‍රකාශ කරමිනි.

     

    - Advertisement -

    නමුත් යථාර්ථය එය නොවුවද විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ කෙසේ හෝ සටන් පාඨයක් පමණි.‍ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ලක්ෂ 43 ක් පමණ පාසල් දරුවන් ඉගෙන ගන්නා අතර දෙලක්ෂ හතළිස් තුන් දහසක් පමණ වන ගුරු භවතුන් ඔන්ලයින් අධ්‍යාපනය වෙනුවෙන් ඉගැන්වූයේ මහත් උනන්දුවකිනි. එම අධ්‍යාපන ක්‍රමයේ යම් යම් ප්‍රශ්න නැතුවා නොවේ. ලෝක වසංගතයක් ක්‍රියාත්මක වන විට ලෝක තත්ත්වය ද එසේය.

    මෙරට ද ඔන්ලයින් අධ්‍යාපනයේ තිබෙන ගැටලු විසඳීමට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඩිජිටල් පහසුකම් අමාත්‍යාංශය එක්වී කඩිනම් පියවර රැසක් ගත් බව නො රහසකි. ගස්, ගල් උඩ, වතුර ටැංකි උඩ සිට ඔන්ලයින් අධ්‍යාපනය හැදෑරූ සිසු දරු දැරියන් වෙනුවෙන් සම්පත් මධ්‍යස්ථාන 2000 කට අධික ප්‍රමාණයක් රටපුරා ස්ථාපිත කළේ කිසිම දරුවෙකුට ඔන්ලයින් අධ්‍යාපනය බාධාවකින් තොරව හැදෑරීමටය.

    දිවයිනේ ස්ථාන සීමිත ප්‍රමාණයකට ඔන්ලයින් පහසුකම් නොමැතිවීම දැනගත් විපක්ෂය එය සටන් පාඨයක් කරගෙන දිගටම ආණ්ඩුවට පහර ගැසුවේය. නමුත් අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්ගේ උපදෙසින් සුසිල් ප්‍රේමජයන්ත රාජ්‍ය අමාත්‍යවරයා සහ නාමල් රාජපක්ෂ අමාත්‍යවරයා ඔන්ලයින් අධ්‍යාපනය සඳහා ගැටලු පවතින ප්‍රදේශ හඳුනාගෙන වහාම විසඳුම් ලබාදීමට කටයුතු කර තිබුණි.

    - Advertisement -

    ඊට අමතරව ඇතැම් දුෂ්කර ප්‍රදේශවල පාසල්වලට කේබල් පද්ධති ද යොදා ඔන්ලයින් ගැටලුවලට ස්ථිරසාර විසඳුමක් ලැබුණු පසුව විපක්ෂය නියෝජනය කරනු ලබන ගුරු වෘත්තිය සමිතිවලට විපක්ෂයේ එම දේශපාලනඥයන්ගෙන් උපදෙස් ලැබුණේ කෙසේ හෝ වෙනත් සටන් පාඨයක් යොදාගෙන හෝ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ගුරුවරුන් ඉවත් කර ගැනීමටයි.

    මේ සඳහා කුමක් හෝ එල්ලීමට ලංකා ගුරු සංගමය ඇතුළු ව‍ෘත්තීය සමිතිවලට අවශ්‍ය වී තිබුණි. ඔවුන් ඒ සඳහා තෝරා ගත්තේ සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනතයි. එම පනත හරහා ඔවුන්ට අවශ්‍ය වූයේ අධ්‍යාපනය පෞද්ගලීකරණය වී පෞද්ගලික විශ්වෙවිද්‍යාල හතු පිපෙන්නා සේ බිහිවෙන බවට ප්‍රචාරයන් සිදු කිරීමටය.

    එය එසේ නොවන බව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා ඉතා පැහැදිලිවම ප්‍රකාශ කර තිබියදී ඇතැම් ගුරු වෘත්තීය සමිතිවලට අවශ්‍ය වූයේ බලහත්කාරයෙන් උද්ඝෝෂණ සිදු කිරීමටය. ඔන්ලයින් වැඩේ සාර්ථකව ක්‍රියාත්මක කිරීම සඳහා සම්පත් මධ්‍යස්ථානවලට තොරතුරු තාක්ෂණික ගුරුවරුන් ද දිවයින පුරා යොදවා තිබූ අතර ටැබ් යන්ත්‍ර ද අදාළ සිසුන් වෙත ලබාදීමට කටයුතු කර තිබුණි.

    - Advertisement -

    මුළු රට පුරාම ඔන්ලයින් අධ්‍යාපනය සාර්ථකව ක්‍රියාත්මක වන බවට ලැබුණු තොරතුරු නිසා යම් ප්‍රමාණයකට විපක්ෂය ද කලබලයට පත්ව සිටියේ ඔවුන්ගේ සටන් පාඨවලට ක්‍රම ක්‍රමයෙන් වටිනාකමක් නොලැබෙමින් පැවති නිසා ය. එන්නත්කරණය නිසි පරිදි සිදුවන විට සෞඛ්‍ය අංශ වැඩ වර්ජනයකට යොමු කිරීමට විපක්ෂයට අවශ්‍ය වුව ද යුද හමුදාව ක්ෂණිකව මැදිහත්වී එන්නත්කරණය නිසි පරිදි සිදු කිරීම නිසා එම කාලකණ්ණි ආස්වාදය සමඟ දේශපාලන වාසිය ලබාගැනීමට විපක්ෂයට නොහැකි විය.

    “හමුදාකරණය සිදුවෙනවා, රට ඒකාධිපති පාලනයකට යනවා” කියමින් විපක්ෂය කෑකෝ ගසන්නේ එම නිසා ය.

    විපක්ෂයට අවශ්‍ය වී ඇත්තේ හමුදාව, හමුදා කඳවුරුවලට පමණක් සීමා කොට තැබීමට ය. එවිට රටේ පොදු මහජනතාව උකසට තබා විපක්ෂය ඇතුළු ඇතැම් වෘත්තිය සමිතිවලට ඕනෑම පිස්සුවක් නැටිය හැකි ය. එහි අරමුණ රට අරාජික කිරීමය. එන්නත්කරණය කඩාකප්පල්කර එය සිදු කිරීමට ‍ නොහැකිවූ නිසා අල්ලා ගත්තේ පොහොර කතාව සහ ඔන්ලයින් ය.

    “යුද හමුදාව එන්නත්කරණය කළාට, ගුරුවරුන් ඔන්ලයින්වලින් ඉවත් වුණොත් යුද හමුදාවට උගන්වන්න බැහැ නේද” යනුවෙන් විපක්ෂයේ ඇතැම් දේශපාලනඥයින් සහ ඇතැම් වෘත්තීය සමිති ප්‍රකාශ කළේ හමුදාවට අවඥා සහගත සිනහවකින් ද සංග්‍රහ කරමිනි.

    රසායනික පොහොර වෙනුවට කාබනික පොහොරවල වටිනාකම ගොවි ජනතාව ඇතුළු මේ රටේ පොදු මහජනතාව ක්‍රම ක්‍රමයෙන් තේරුම් ගනිමින් සිටින නිසා හැමදාම ගොවියා රසායනික පොහොර වෙනුවෙන් ක‍ඩේ යැවීමට නොහැකි බව දැන් දැන් විපක්ෂය ද තේරුම් ගනිමින් සිටී.

    ඒ නිසා විපක්ෂයට තිබුණු එකම විකල්පය කිසිදු සාධාරණ හේතු‍වක් නැතුව හෝ ඔන්ලයින් අධ්‍යාපනයෙන් ගුරුවරුන් ඉවත් කරගැනීමටය.

    ඒ සඳහා සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල පනත ඔවුන්ට හොඳ තුරුම්පුවක් වී තිබුණු අතර ආසි වාසි ද සමඟින් ඔවුන්ට අවශ්‍ය කාඩ් අත ලබාදීමට ඇතැම් පොලිස් නිලධාරීන් ඉතා උනන්දුවෙන් කටයුතු කරන ආකාරයන් දක්නට ලැබුණි.

    ඇතැම් පොලිස් නිලධාරීන් වයසක ගුරු මාතාවන් උස්සාගෙන ආවේ ටී.වී. කැමරාවලට ඉතා හොඳින් එම දර්ශන පථය ද හසුකර ගැනීමට හැකිවන පරිදිය.

    එම දර්ශන උපයෝගි කරගනිමින් උපරිම වාසියක් ලබාගැනීමට ජෝශප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා කටයුතු කළේ එය විපක්ෂයේ දේශපාලන ඉඩෝරයට කාලයකින් පැමිණි පොද වැස්සක් බව කියාපාමිනි.

    ඉන්දියාව දැඩි ඛේදවාචකයකට ලක්කර කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදය සහිත කොරෝනා ආසාදිතයින් මෙරටින් සොයා ගැනීම ක්‍රම ක්‍රමයෙන් වැඩිවන විට සමාජය වඩාත්ම පරිස්සම් විය යුතු අවස්ථාවකදී සජිත්, අනුර, රනිල් ඇතුළු විපක්ෂයේ වුවමනාවට ජෝශප් ස්ටාලින්ලා, රවි කුමුදේශ්ලා, මහින්ද ජයසිංහලා, සමන් රන්නප්‍රියලා එකට පාරට බැස්සේ නි‍රෝධායන නීති රීතිවලට පයින් ගසාය.

    ඔවුන්ට අවශ්‍ය වූයේ කෙසේ හෝ සිරගත වීමට හෝ නිරෝධායනය වීමට ය. එසේ වූ විට ඔවුන් නිදහස් කරන තුරු ඔන්ලයින් අධ්‍යාපනයෙන් ගුරුවරුන්ට ඉවත්විය හැකි සටන් පාඨය ඔවුන් කල්තියාම සූදානම් කරගෙන තිබුණි. ඔවුන්ට අවශ්‍ය සටන් පාඨය ඉතා අප‍ූරුවට ඔවුන්ම සකස් කරන ලද තිර පිටපත අනුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා පොලිසිය නොමසුරුවම කටයුතු කර තිබුණි. නමුත් එක් පැත්තකින් පොලිසියට ද දොස් පැවරිය නොහැක. නිරෝධායන නීතියට අනුව එය කඩ කරන සියලුම පිරිස් අත්අඩංගුවට ගෙන අදාළ දඬුවම් ලබාදෙනවා නම් ජෝශප් ස්ටාලින්ලා ඇවිල්ලා තියෙන්නේ හ‍ඳෙන් හෝ වෙනත් ග්‍රහලොවකින් ද?

    ලෝකයේ දරුණුතම වසංගතයක් ලොව පුරා පැතිර පවතිද්දී නි‍‍රෝධායන නීති උල්ලංඝනය කරමින් කො‍රෝනා ව්‍යාප්තවීම වැඩි කිරීමට දායක වන විපක්ෂයක්, දායක වන වෘත්තිය සමිතියක් තිබුණා නම් එය තිබෙන්නේ මෙරට පමණි.

    කෙතරම් දේශපාලන වශයෙන් බංකොලොත්වී සිටිය ද කෙතරම් දේශපාලන වාසි ලබාගැනීමට හැකියාව තිබුණ ද ලෝකයේ කිසිම රටක විරුද්ධ පක්ෂයක් ශ්‍රී ලංකාවේ මෙන් කොරෝනාව ගරානාවක් කරගන්නේ නැත.

    ඒ ආකාරයෙන් කටයුතු කරපු විපක්ෂයක්, වෘත්තිය සමිතියක් ප්‍රකාශ කළ කතා මේ රටේ අතිබහුතරයක් ගුරුවරුන් අනුමත කළේ නැත. ඔවුන් පුළුවන් හැටියට ඔන්ලයින් තාක්ෂණය ඔස්සේ සිසු දරු දැරියන්ට ඉගැන්වූයේ ඔවුන්ගේම දරු දැරියන් කොට සලකාගෙනය.

    නමුත් එම ගුරු දෙවිවරුන් ද අධෛර්යට පත් කරමින් සජිත් ප්‍රේමදාසලාගේ, අනුර කුමාර දිසානායකලාගේ වුවමනාවට ජෝශප් ස්ටාලින්ලා, මහින්ද ජයසිංහලා ඉතා කැමැත්තෙන් ම නිරෝධායන නීති උල්ලංඝනය කරමින් විරෝධතා පැවැත්වූයේ ඇයි? එය ලක්ෂ 43 ක් සිසු දරු දැරියන් හෝ ලක්ෂ 2 ½ ක් පමණ වන ගුරු මහත්ම මහත්මීන් වෙනුවෙන් සිදුකරන ලද විරෝධතාවක් නොවන බව මේ වනවිට ඉතා හොඳින් පැහැදිලිව පෙනේ. දරුවන් ගස් ගල් උඩ නගිනවා. දරුවන් වතුර ටැංකි උඩ නගිනවා යනුවෙන් කෑමොර ‍දුන් සජිත් ප්‍රේමදාසලා, අනුර කුමාර දිසානායකලා ඔන්ලයින් ඉගැන්වීමේ ක්‍රමයෙන් ගුරුවරුන් ඉවත් වීමට ගත් තීරණය ගැන කියන්නේ මොනවාද? ඔවුන් අද පමණක් නොව එදත් දරුවන් වෙනුවෙන් ඇද හැලුවේ කිඹුල් කඳුළු බව ඉතිහාසය පිරික්සන විට ඉතා මැනවින් පෙන්නුම් කෙරේ.

    අද සජිත් – අනුර වාගේ ම එදා ප්‍රේමදාස – වි‍ෙජ්වීර සුසංයෝගයෙන් ද මෙරට අධ්‍යාපන ක්ෂේත්‍රය අංශ රැසකින් ම විනාශ වූ බව රහසක් නොවේ. එදා සිදුවූ දෙය අද හෝ අනාගතයේදී සිදුවන්නට නොහැකි බවට ලබාදිය හැකි සහතිකය කුමක්ද?

    1988 – 1990 භීෂණ යුගය ගැන අමුතුවෙන් කිව යුතු නොවේ. ජනතා විමුක්ති පෙරමුණට හිතවත් වෘත්තිය සමිති නායකයින්ගේ උපදෙස් මත ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් නොවූ ගුරුවරුන්ට අද කිසිවක් කිරීමට ජනතා විමුක්ති පෙරමුණට නොහැකි වුණාට එදා ඔවුන්ට හිතවත් දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය තිබුණා නම් සිදුවන්නේ කුමක්ද?

    අනිවාර්යයෙන් ම ඔන්ලයින් අධ්‍යාපනයෙන් ඉවත් නොවන ගුරුවරුන්ට විදුහල්පතිවරුන්ට එසේ නම් හිමිවන්නේ මරණ දඬුවම නොවේද?

    එදා භීෂණ යුගයේදී දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ අණ පිළි නොපැද්ද විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට දුන් අමානුෂික වධ බන්ධනවලින් අනතුරුව ඔවුන් ඝාතනය කළේ කටවල්වලටම වෙඩි තබාය. නැතහොත් මහ පාරේ හන්දිවලදී බෙල්ල කපාය. එදා ගුරු දෙවිවරුන්ට දේශප්‍රේමී ජනතා ව්‍යාපාරය සැලකුවේ එලෙසය.

    වර්තමාන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාසගේ පියාණන් වන රණසිංහ ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයාගේ පාලන සමයේ දී මෙරට විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, සිසු දරු දැරියන්ට, විශ්වවිද්‍යාල සිසුන්ට, විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට පමණක් නොව සරසවි අධ්‍යාපනයේ නිරතවූ භික්ෂුන් වහන්සේට පවා සැලකුව හැටි මේ වනවිට සමහරුන්ට අමතක වී ගොස් තිබෙන බවක් පෙනේ.

    සර් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය ඇති කරන්නේ ආරක්ෂක අංශ සාමාජිකයන්ට ද අධ්‍යාපන සුදුසුකම් අනුව විශ්ව විද්‍යාල අධ්‍යාපනය ලබාදීමේ අරමුණෙනි. එය කිසිදු වරදක් නැත.

    යුද්ධය පැවැති තීරණාත්මක අවධියේදී වෛද්‍ය බළකාය බොහෝ විට ශක්තිමත් වූයේ වෛද්‍ය පීඨයෙනි.

    ඒ වගේම විනය ගරුක සමාජයකට කොතලාවල වැනි ආරක්ෂක විශ්ව විද්‍යාලද තිබිය යුතුය. එහි පවතින විනය නිසා හැමදාමත් සරසවිවල තරුණ තරුණියන්ට පිස්සු නැටිය නොහැක.

    ඉතිහාසය දෙස බලන විට කෙතරම් පිරිසක් විශ්ව විද්‍යාල අධ්‍යාපනයේදී කාලකණ්ණි කරගෙන තිබේද? ඊට ප්‍රධානතම හේතුව බංකොලොත් දේශපාලන පක්ෂවල අතකොලු බවට විශ්ව විද්‍යාලවල සිසු සිසුවියන්ට වසර ගණනාවක් තිස්සේ ම සිදුවන නිසාය.

    එවැනි තත්ත්වවලට කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල වැනි ආයතනවලින් වැට බැ‍ඳෙන නිසා බංකොලොත් දේශපාලන පක්ෂ එවැනි ආයතන බිහිවනවාට අකමැතිය. එසේ වූවිට දේශපාලනයට විශ්වවිද්‍යාල තුළ ඉඩක් හිමි නොවන බව ඔවුන් සහසුද්දක්සේ දන්නේය.

    නමුත් වර්තමාන තරුණ පරපුර බොහෝ බුද්ධිමත් ය‍‍. එක් පැත්තකින් ඔවුන් රැවටීම තරමක් අසීරුය. සිසුන් පාරට බැස්සවීමට කෑමොර දෙන ඇතැම් දේශපාලන නායකයින්ගේ දුවලා, පුතාලා අධ්‍යාපනය හදාරන්නේ විදේශ රටවල පෞද්ගලික විශ්ව විද්‍යාලවල බව දැන් දැන් ඉතා හොඳින් පැහැදිලිය.

    තමාගේ පුතා පෞද්ගලික විශ්වවිද්‍යාලයක අධ්‍යාපනය හදාරන බව ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රබලයෙකු වන කේ.ඩී. ලාල්කාන්ත ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේ ය.

    කේ.ඩී. ලාල්කාන්ත ජනතා විමුක්ති පෙරමුණේ වෙනත් නායකයින්ට වඩා අවංකය. රිය අනතුරක් සිදුවූ අවස්ථාවකදී බීමත්ව සිටි බව ද ඔහු පිළිගත්තේය. නමුත් විදේශ රටවල අධ්‍යාපනය හදාරන දරුවන් සිටින තවත් ජනතා විමුක්ති පෙරමුණේ නායකයින් සිටින අතර ඔවුන් ලාල්කාන්ත මෙන් ඒවා ප්‍රසිද්ධියේ ප්‍රකාශ නොකරන බව අප්‍රසිද්ධ රහසකි.

    දැන් මෙම පිරිස චෝදනා කරන්නේ කොරෝනාව මුල් කරගනිමින් ආණ්ඩුව වෘත්තිය මර්දනය කිරීමට කටයුතු කරන බවකි. ආණ්ඩුවට එසේ අවශ්‍ය නැත. උද්ඝෝෂකයින්ට උද්ඝෝෂණය කිරීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලය අසලම ඉඩම් කොටසක් වෙන්කර ලබාදුන්නේ වර්තමාන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසිනි.

    එසේ නිදහසේ උද්ඝෝෂණ කරමින් එම තොරතුරු ඇති පදම් මාධ්‍ය වෙත ලබාදෙමින් රටේ ජනතාව දැනුම්වත් කිරීමට මෙම වෘත්තිය සමිතිවලට අවස්ථාවක් ලබාදී තිබියදීත් ඔවුන් සෞඛ්‍ය මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් වෙනත් වෙනත් තැන්වලට එක්රොක්වී කටයුතු කිරීමෙන් පෙනී යන්නේ ඔවුන්ගේ අරමුණ උද්ඝෝෂණ පමණක් නොවන බවයි.

    නිරෝධායන නීති කඩමින් ඔවුන්ට අවශ්‍ය වී තිබෙන්නේ බලෙන් හෝ ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන වෙතට ඇදගෙන යන තත්ත්වයක් ඇති කර ගැනීමටයි. නැතහොත් පොලිසිය ලවා බැටන් ප්‍රහාර, රබර් උණ්ඩ හෝ කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරගැනීමටයි. එසේ නොවුණහොත් නිරෝධායන පනත යටතේ හෝ සිරගත කර ගැනීමටයි.

    ඔවුන්ට දරුවන් ඔන්ලයින් තාක්ෂණ ඔස්සේ ඉගෙන ගත්තද නැද්ද ප්‍රශ්නයක් නොවේ. නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑමොර දෙන බොහෝ දෙනෙකුගේ දරුවන් අධ්‍යාපනය හදාරන්නේ පිටරටවලය. නැත්නම් ජාත්‍යන්තර පාසල්වලය. කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයට එරෙහිව කෑ මොර දෙන අය කිසිදු ආකාරයකින් මර්දනය කිරීමට ආණ්ඩුව ක්‍රියාකර නොමැත.

    අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ පිරිසක් පසුගියදා සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයා මුණ ගැසී සාකච්ඡා කළේ විපක්ෂ නායක කාර්යාලයේදීය. එම සිද්ධිය දකින විට සිහිපත් වන්නේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකවරයාගේ පියා එවකට සිටි රණසිංහ ප්‍රේමදාස අගමැතිවරයා මෙන් ම ජනාධිපතිවරයා වශයෙන් කටයුතු කරන විට සරසවි සිසුන්ට සැලකූ ආකාරයයි.

    එදා උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව සරසවි සිසුන් අරගල කරන විට කොළඹ සරසවියේ පද්මසිරි ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඝාතනය කර මරා දැමුවේ 1988 වසරේ ඔක්තෝබර් 22 වැනිදාය. ත්‍රිමාවිතානගේ හා තවත් වෘත්තිය සමිති නායකයින් දෙදෙනෙකුගේ බාගෙට පිලිස්සුණු මළ සිරුරු හමුවූයේ වැල්ලවාය, කොස්ලන්ද මාර්ගයේ එල්.ආර්.සී. ඉඩමක කුණු ගොඩක් උඩ බාගෙට පිලිස්සෙමින් තිබියදීය. ත්‍රිමාවිතාන සමඟ හමුවූ අනෙක් මළ සිරුරු දෙක ඔරුවල වානේ සංස්ථාවේ රංජිත් පෙරේරාගේ සහ ඇඹිලිපිටිය කඩදාසි කම්හලේ ගබඩා අංශයේ සේවක බී.ඩී‍. බන්දුවර්ධනගේ ය.

    මෙම තිදෙනාගේ හිසට පරාල ඇණ ද ගසා තිබූ බව මරණ පරීක්ෂණවලදී හෙළිවිය. එම භීෂණ සමයේදී එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ දැඩි මර්දනය හමුවේ ඝාතනයට ලක්වූ සරසවි සිසුන් සිය ගණනකි. ‍මෙම කාලය තුළදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුන් 107 දෙනෙකු ඝාතනය කෙරිණ.

    කැලණිය සරසවියේ සිසුන් 64 දෙනෙකු ඝාතනය කෙරුණු අතර රුහුණු විශ්වවිද්‍යාලයේ ඝාතනය කෙරුණු ශිෂ්‍ය සංඛ්‍යාව 53 කි. පේරාදෙණිය සරසවියේ වෛද්‍ය, දන්ත සහ පශු වෛද්‍ය සිසුන් 22 දෙනෙකු ද ඝාතනය කෙරිණ. කොළඹ සරසවියේ ඝාතනය කෙරුණු සිසුන් සංඛ්‍යාව 9 දෙනෙකි.

    ඉහත සඳහන් වන්නේ සංඛ්‍යා ලේඛනවලින් සොයාගත් ගණන පමණි. එදා භීෂණ සමයේදී ඝාතනයට ලක්වූ සරසවි සිසුන්ගේ සංඛ්‍යාව මීට වඩා වැඩිවීමට බොහෝ දුරට ඉඩකඩ තිබේ. මෙසේ ඝාතනයට ලක්වූ බොහෝ සරසවි සිසුන්ට අවසන් ගමන් යෑමට සිදුවූයේ ටයර් සෑයවල් උඩය.

    රුහුණු විශ්වවිද්‍යාලයේ සහකාර කථිකාචාර්ය ආචාර්ය සත්‍යපාල වන්නිගම ඝාතනය කළේ 1988 වසරේ පෙබරවාරි 14 වැනිදා ය. සත්‍යපාල වන්නිගමගේ පුළුස්සා දමා තිබූ මළ සිරුර හමුවූයේ අගුණකොළපැලැස්ස, වැටිය ප්‍රදේශයේදීය. සත්‍යපාල වන්නිගමගේ ඝාතනය තමා භාරගන්නා බවට ‘ප්‍රා’ සංවිධානය නමින් පෝස්ටරයන් ද මළ සිරුර අසල දමා ගොස් තිබියදී හමුවිය.

    සත්‍යපාල වන්නිගම එක් උදාහරණයක් පමණි. නීතිඥ විජේදාස ලියනාරච්චි ඇතුළු උගත් බුද්ධිමත් ‍බොහෝ පිරිසක් රටට අහිමිවීම සිදුවූයේ මෙම භීෂණ යුගයේදීය.

    ස්ටැන්ලි විජේසුන්දර ඇතුළු වියතුන් ඝාතනය කෙරුණේ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයෙන්ය. එවකට පැවැති එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුවේ වුවමනාවෙන් සහ දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයේ වුවමනාවන්ට අනුව ඝාතනය කිරීම් සිදු කෙරුණේ තරගයකට මෙනි‍.

    අපට පුදුමය ඒ දේවල් අද සමහරුන්ට අමතක වී තිබීමය. නැත්නම් අමතක වුණා වගේ සිටීමය. අවස්ථාවාදී කුහක දේශපාලනඥයන්ගේ හැටි එසේ බව අපට සිතේ.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.