24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    තුර තුර පලතුරු

    - Advertisement -

     

    කුරුලු කලබගෑනිය දෙසවනට පීඩාවක් නොවේ. කොහොමටත් දෙමළිච්චින් රෑන මායාකාරය. කොලු කෙළි රංචුවක් පරිද්දෙන් කෙළිලොල් ය. කිරි අම්මලා වාගේ කට කට සෙයියාවක් නැතිව කෑ කෝ ගසති. එහෙත් කුරුලු නදක් සිත සනහන තරමට මියුරුය.

    - Advertisement -

    ‘‘චූටි පුතා.. යං ද වත්ත පහළට…“

    මා අර අඳින්නේ කුමකටදැයි විමසන නියාවෙන් ඔහු විමසිලිමත් බැල්මක් හෙළුවේ ය.

    ‘‘අනේ යංකෝ…‘‘ යි මම පෙරැත්ත කරයි.

    - Advertisement -

    ‘‘කොස් කඩන්ඩ ද? ගස් ඉඹින්ඩ ද? යි ඔහු එක එල්ලේ ප්‍රශ්න කළේ ය. මම මහ හඬින් සිනාසුණෙමි.

    වත්ත පහළ ගස් ගොම්මනේ සැරි සරන කාල ගසක් බදා වැලඳ එය සනහා එන්නට අමතක කරන්නේ කෙසේ ද? මගේ ඒ සුන්දර රහස මගේ බාලයාට හෙළි කරන්නට මම පසුබට නොවීමි.

    ‘‘මොකද අම්මා ඔය ගහක් බදාගෙන?‘‘

    - Advertisement -

    ඔහු ඒ මද්දහනේදී පුදුමයෙන් ප්‍රශ්න කළේ ය.

    ‘‘එන්නකෝ… ඔයත් බඳා ගන්නකෝ‘‘යි මම ඇරියුම් කළෙමි.

    ‘‘ඇයි? මොකට ද?‘‘

    ‘‘කිව්වට බෑ චූටි. කරල ම බලන්න ඕන.‘‘

    ඔහු කුහුලින් සේම සැකයෙන් මා වෙත ළං විය.

    ‘‘ඇයි? මොකද වෙන්නෙ?‘‘

    ඔහු ගස වැලඳගත්තේ ඒ හැටි කැමැත්තකින් නොවේ.

    ‘‘හරි… දැං…?‘‘ යි ඔහු නොඉවසිල්ලෙන් ඇසුවේ ය.

    ‘‘දැං අහන්නකෝ‘‘

    ‘‘මොනවද?‘‘

    ‘‘ඇහෙන්නෙ නැද්ද අනේ ඔයාට ගහ හුස්ම ගන්නවා…?‘‘

    ඔහු වහා ගස අත් හළේ ය. මා දෙස නෝක්කඩු බැල්මක් හෙළුවේ ය.

    ‘‘මොනවද අම්මා මේ කියන්නේ? පිස්සු කතා…“

    මම මගේ කොල්ලා බදා ගතිමි.

    ‘‘අනේ මගේ චූටියෝ… මං සමහර දවස්වලට අඬන්නෙත් ගහක් බඳාගෙන. ඔළුව අතගාලා සනසන්නෙ නෑ තමා. ඒ වුණාට මට නං අසීමිත සැනසීමක් දැනෙනවා….

    ඔහු මගේ ප්‍රශ්නය නොඉවසමින් ‘‘අතාරින්ඩ අම්මා… අයියෝ මොකද මේ ? යි මැසිවිලි නැඟුවේ ය.

    ‘‘අනේ අනේ… මගේ බඩේ ඉන්න හොඳයි.. කිරි බොන්න හොඳයි.. දැන් ඉතිං ඉළංදාරි වුණාට පස්සේ අල්ලන්නත් බෑ නේද?‘‘ යි මම තරවටු බැල්මක් හෙළුවෙමි.

    ‘‘හරි.. හරි.. දැං අපි ආවෙ කොස් කඩන්නනේ. ගස් බදාගෙන ඉඳලා හරියනව ද? කොස් කඩමුකෝ‘‘

    ‘‘හා එහෙනං පරිස්සමට නඟින්නකෝ‘‘

    ඔහු කොස් ගස දිගේ ඉහළ නැඟෙන අයුරු මා බලා සිටියේ තිගැස්මෙනි. එහෙත් කොලු පැටවකුට ගහකට නැඟ ගෙඩියක් කඩාගත හැකි විය යුතු බව මම කොයි කවදත් සිතුවෙමි.

    ‘‘දිරිච්ච අතුවලට අඩිය තියන්න එපා. හොඳට කල්පනාවෙන් ඉන්න. ගස් නැඟිල්ලත් කලාවක්.. සාස්තරයක්..‘‘යි මම හඬ නඟා කීවෙමි.

    ‘‘ඔව් ඔව්.. අම්මා හොඳට දන්නවනේ… අම්මත් ඉස්සර ගස් උඩමයි කියලා අපට කිරියම්මා කීවා…“

    මම හඬ නඟා සිනාසුණෙමි. එහෙත් මට සහනයක් දැනුණේ මගේ ඉලන්දාරියා කොස් ගෙඩියක් කඩා බිමට බැසීමෙන් පසුව ය.

    ‘‘මොකක් ද අප්පා මේ කොස්ම උයන්නෙ… අම්මගෙ වැඩේම කොස් එක්ක ඔට්ටු වෙන එක. අම්මා නං උයයි.. අපි එපැයි කන්න‘‘

    චූටි පුතා අප්‍රසාදය පළ කළේ ය.

    ‘‘කොස් කොච්චර ගුණ කෑමක් ද චූටියෝ…‘‘

    ‘‘එපා වෙන්නෙ නැද්ද අම්මා සුද්ද කරන්න ගියා ම?‘‘

    ‘‘අනේ නෑ… මං ආසයි අනිත් එක ගස් යට වැටි වැටී යද්ද නිකරුණේ…‘‘

    ඔහු හිනා වෙලා එකඟ විය.

    යහමින් පල හට ගන්නා පලතුරු අස්වැන්න කොතරම් නම් අපතේ යවන්නේදැයි දැක බලා ගන්නට ගංගොඩේ වටයක් කාරක් ගැසීම ප්‍රමාණවත් ය. එහෙත් ඒ පිළිබඳව වගකිව යුත්තන්ගේ අවධානය යොමු නොවීම බලවත් ගැටලුවකි. දේශපාලනඥයා අඳ.. ගොළු බිහිරි වෘක්ෂය රකින්නේ මෙබඳු දෑ අබියස මිස තමන්ගේ සුඛ විහරණයේදී නොවේ..

    අඹ, කොස් හා පේර, අනෝදා, ලාවුළු ආදී අනේක පලතුරු සුලභ මේ වියළි කලාපයට ඒ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක් පිහිටුවීම මහ ලොකු කජ්ජක් නොවේ. ව්‍යවසායකයන් නිර්මාණය කිරීම පිළිබඳව අපේ දේශපාලනඥයා සිහිනෙන්වත් සිතන්නේ ද යන්න ගැටලුවකි. අන්නාසි වගාවේ නිරත වෙමින් විජලනය කරන ලද පලතුරු ආනයනයෙන් තවත් පිරිසකට රැකියා පවා ලබා දුන් දිරිමත් තරුණයකු පිළිබඳව කළ අනාවරණය සම්බන්ධයෙන් නෙත් FM බැලුම්ගල වැඩසටහනට ස්තූතිවන්ත විය යුතුය.

    ධනුෂ්ක කුමාර තරුණ ව්‍යවසායකයෙක් පමණක් නොවේ; නිරවුල් දැක්මකින් මෙරට රැකියා හා විදේශ විනිමය අර්බුදයට විසඳුම් සොයන්නෙකි.

    කෘෂි කර්මාන්තය ප්‍රමුඛ කොටගත් රටක මෙබඳු කර්මාන්ත පිහිටුවිය යුතු බව අමුතුවෙන් කිව යුතු ද? කාබනික වගාව පිළිබඳව හඬ නඟන සමයක ධනුෂ්ක කුමාර මේ හපන්කම සිදු කරන්නේ ද රසායන පොහොර භාවිතයෙන් මුළු මනින් ම තොර වෙමිනි. මෙබඳු හුදෙකලා ප්‍රයත්නයන්ට දිරි දෙමින් පොදුවේ ජාතික ප්‍රතිපත්තියක් සහිතව නව මාන හා නව ඉසව් සොයා යෑමට දේශපාලනඥයා පැකිළෙන්නේ දරිද්‍රතාවය නොනැසී තිබීම වාසියක් කොටස සලකන බැවින් ද? ඕනෑම ජල්ලියක් අල්ලන්නට නම් මහජනයා දරිද්‍රතාවේ කරවටක් ගිලී සිටීම ආශිර්වාදයක් සේ සලකන නිසා ද? ලෝකයේ නව අත්හදා බැලීම් අධ්‍යයනය කරන්නට තියා ඔවුන් නිරත වන විදෙස් සංචාර ආදියෙන් මෙරටට අත්පත් වූ සෙතක් වේද? අසීමිත මුදල් සම්බාරයක් වැය කොට ගෙනා කිසිවක් තිබේ ද?

    සාම්ප්‍රදායික වගාව තුළින් අපේ ගොවියා නඟාසිටුවිය නොහැකි බව වටහා ගනිමින්, යුරෝපයේ ඉල්ලුමට සරිලන ලෙසින් විජලනය කළ පලතුරු ආනයනය කළ නොහැකි බව කියන ධනුෂ්කර කුමාර වැනි ව්‍යවසායකයන් තවත් දිරිමත් කිරීම රජයක වගකීම හා යුතුකම නොවේ ද?

     

    ශාන්ති දිසානායක

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.