24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    පිච්චි­ලාද මැරුණේ පුච්ච­ලාද මැරුවේ

    - Advertisement -
    24 ජූලි, 2021

    න්තර්ජාලය ඔස්සේ අවුරුදු 15ක දැරියක් අලෙවි වූ බව අසන්නට ලැබී එහි උණුසුම යන්නටත් පෙර තවත් එවැනිම ශෝචනීය කතාවක් කරළියට ආවේය. ඒ හිටපු ඇමති පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුදීන්ගේ නිවසේ සේවය කරමින් සිටියදී බාල වයස්කාර දැරියක් ගින්නෙන් පිලිස්සී මිය යෑමේ කතාවය. පසුගිය සතිය මුළුල්ලේම දැරිය මිය යාම ගැන මාධ්‍යයෙන් බොහෝ කතා බහ ඇතිව තිබුණි. ඒ කතාවේ සුල මුල සොයා ගියෙමු.

     

    - Advertisement -

    හැටන් ඩයගම පදිංචි ජෙයරාජ් ජූඩ් කුමාර් සහ රාජමනික්කම් රංජනීට දරුවන් හය දෙනෙක් සිටියහ. එයින් පස් දෙනෙකු ගැහැනු දරුවන්ය. එක් පිරිමි දරුවෙකි. පවුලේ තෙවැන්නා ඉෂාලිනී ය. ඉෂාලිනී අධ්‍යාපනය ලැබුවේ 7 වසර දක්වා පමණි. පවුලේ ආර්ථික අපහසුතා ඇයගේ අධ්‍යාපනය අතර මඟ නතර කර දමන්නට විය.

    පසුගිය වසරේ ඇති වූ පළමු කොරෝනා රැල්ල නිසා ඉෂාලිනීගේ පියාට කිසිදු ආදායම් මාර්ගයක් නොවීය. මේ නිසා පවුලේ ආර්ථික තත්ත්වය එන්න එන්නම පහත වැටුණේ වෙනත් ආදායම් මාර්ගයක් නොවීම නිසාය. ලබා ගත් ණයතුරුස් පවා ඉල්ලාගෙන ණයහිමියන් පැමිණීම නිසා පවුලට තවත් කරදර බාධා ඇති විය. මේ නිසා ඇද වැටුණු පවුලේ දරිද්‍රතාවය යම් ලෙසකින් හෝ අකා මකා දැමීමට කුමන හෝ ක්‍රියාමාර්ගයක් ගැනීමට අවශ්‍ය විය. ඉෂාලිනීට බාල තවත් කුඩා දැරියන් තිදෙනකු සිටි නිසා ඉෂාලිනීගේ මවට නිවසක මෙහෙකාරකමකට පවා යන්නට නොහැකි විය. ඩයගම වත්තේ තැරැව්කරුවකු අවස්ථා කිහිපයකදී ඉෂාලිනීගේ මවට පවසා තිබුණේ නිවෙසක වැඩකටයුතු කළ හැකි නම් කොළඹ ගෙදරක රැකියාවක් සපයා දෙන්නට හැකි බවයි.

    එහෙත් වැඩිවියට පත් නොවූ දැරියන් තිදෙනකු සිටියදී නිවසින් බැහැර යන්නට ඇයට හැකි නොවීය. පවුලේ ආර්ථික තත්ත්වය දිගින් දිගටම පල්ලම් බසින විට මෙන්ම ණය හිමියන්ගේ කරදර නිසා ඉෂාලිනී කොළඹ යවන්නට මවුපියෝ තීරණය කළහ. ඒ පසුගිය 2020 වසරේ ඔක්තෝබර් මාසයේදීය. කොළඹ ඉහළ පෙළැන්තියේ අය හා සබඳකම් ඇති පෙරුමාල් හා කතාබහෙන් අනතුරුව ඩයගම වත්තේ තැරැව්කරුවකු වන සොන්නයියා ඉෂාලිනී කැඳවා ගෙන යන්නට තීරණය කෙළේය. ඒ වන විට ඇයට වයස අවුරුදු 15කි. ඇය රැගෙන යන්නේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසට බවද ඔහු හෙළි කෙළේය. වගකිව යුතු මන්ත්‍රීවරයෙක් නිසා මවුපියන්ටද බයක් සැකක් තිබුණේ නැත. ඇයට ලබා දෙන්නට පොරොන්දු වූ මාසික වැටුප රුපියල් 25,000කි.

    - Advertisement -

    ඉෂාලිනී රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසට බාරදීමෙන් පසු ඇය විසින් මවට හා පියාට කතා කර තමන්ට කන්න බොන්න ලැබෙන බවත් නිවසේ ගැටලුවක් නොමැති බවත් පවසා ඇත. ඒ ඇය නිවසට පැමිණ සතියක් දෙකක් පමණ ගත වූ පසුවය.

    එහෙත් ඉන් පසුව ඇයගෙන් කතාබහක් නොලැබුණු අතර මවුපියන් විසින් ඇමතුම් ලබා ගත්තද රිෂාඩ් බද්යුද්දීන්ගේ බිරිය ඉෂාලිනීට දුරකථනය ලබා දුන්නේ එහෙමත් අවස්ථාවකය. ඒ සෑම අවස්ථාවකම ඉෂාලිනී පිළිතුරු දෙන විට ඇය අසලින්ම කවුරුන් හෝ සිටිනා බව මවුපියන්ට තේරුම් ගොස් තිබේ. එමෙන්ම පොරොන්දු වූ පරිදි වැටුප් ගෙවා නොමැති අතර මාසිකව පොරොන්දු වු රුපියල් 25,000 වෙනුවට මසක රුපියල් 20,000ක මුදලක් පමණක් ඇයට ලබා දී ඇති බව වාර්තා වේ.

    පසුව නිවසට කතා කළ ඉෂාලිනී මවට පැවසුවේ රිෂාඩ්ගේ බිරිය තමන්ට අඩම්තේට්ටම් කරන හෙයින් එහි වැඩ කටයුතු කළ නොහැකි බවත් තමන් නිවසට කැඳවාගෙන යන ලෙසයි.

    - Advertisement -

    ඇයගේ දුක්ඛිත තත්ත්වය තේරුම් ගත් මවුපියන් තැරැව්කරු සොන්නයියා සමඟ ඩයගම සිට කොළඹ 07 බෞද්ධාලෝක මාවතේ පිහිටි රිෂාඩ්ගේ නිවසට පැමිණ තිබේ.

    එහෙත් එසේ පැමිණි අවස්ථාවලදී රිෂාඩ්ගේ බිරිය, ඉෂාලිනී බලන්නට ඔවුන්ට අවකාශ ලබා දී නැත. යළිත් දුරකථනයෙන් මවුපියන්ට ඉෂාලිනී පැවසුවේ නිවසේ කරදර බවත් ඉක්මනින් තමන් නිවසට රැගෙන යන ලෙසයි.

    පසුව ඉෂාලිනීගේ මව පැමිණ රිෂාඩ්ගේ බිරියට පවසා ඇත්තේ දුව නිදහස් කර එවන ලෙසත් මෙහෙකාරකමට තමන් පැමිණෙන බවයි.

    ඉෂාලිනීගේ උප්පැන්නය

    එසේ වුවත් රිෂාඩ්ගේ බිරිය ඒ සඳහා අවකාශ ලබා දුන්නේ නැත. ඉෂාලිනී බැලීමටවත් ඇයට ඉඩ දී නැත.

    එවන් පසුබිමක දියණිය වෙනුවෙන් ශෝක වෙමින් සිටි මවුපියන්ට පසුගිය 3 වැනිදා දැන ගන්නට ලැබුණේ කිසි විටක බලපොරොත්තු නොවූ ආරංචියකි. ඒ ඉෂාලිනී සිරුරට ගිනි තබා ගෙන ඇති බවයි. මවුපියෝ ඒ ගැන දැනගත් විට කලබල වී කොළඹ එන්නාහ. එහෙත් සංචරණ සීමා ඔවුනට බාධාවක් විය.

    පිලිස්සුම් තුවාල සහිතව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ ඉෂාලිනී ජීවිතයත් මරණයත් අතර සටනක නියැළෙමින් සිටියාය. මවුපියෝ හැඬූ කඳුළින් තම දියණිය වෙනුවෙන් පශ්චාත්තාප වූහ.

    ඉෂාලිනී ගිනි තබා ගත් බව පැවසෙන ස්ථානයේ තිබී භූමිතෙල් බෝතලයක් හා සිගරට් දල්වන ලයිටරයක් සොයා ගැනුණි.

    මාධ්‍ය මඟින් ඇය වෙනුවෙන් හඬ එළි කළ හෙයින් මවුපියන්ට යම් අස්වැසිල්ලක් විය. එහෙත් දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි ඉෂාලිනී පසුගිය 15 වැනිදා මිය ගියාය. ඉෂාලිනීගේ කතාව එයයි.

    ඉෂාලිනී උපත ලබා ඇත්තේ 2004 වසරේ නොවැම්බර් මස 12 වැනිදාය. ඒ අනුව ඇය මෙහෙකාරකමට යොදා ගෙන ඇත්තේ වයස අවුරුදු 16වත් සම්පූර්ණ නොවූ බාල වයස්කාර වියේදීය. බාල වයස්කාර දැරියක නිවෙසක මෙහෙකාරකමට යොදා ගැනීම ශ්‍රී ලංකාවේ නීතිය අනුව බරපතළ වරදකි.

    එමෙන්ම මේ දැරිය මවුපියන්ට නොපෙන්වා නිවසේ තබා ගැනීම මානව හිමිකම් උල්ලංඝනය කිරීමකි. එමෙන්ම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේදී තහවුරු වී ඇත්තේ ඇය කාලාන්තරයක් තිස්සේ අතවරයට ලක්ව ඇති බවයි. ඇය බද්යුද්දීන්ගේ නිවසට පැමිණීමට පෙර කිසිදු ආකාරයක සබඳතාවක් නොතිබුණු බවට මේ වන විට අනාවරණය වෙමින් පවතී. ඉෂාලිනීගේ මවද තම ප්‍රකාශය මඟින් ඒ බව පෙන්වා තිබේ.

    මේ වන විට පොලිස් කණ්ඩායම් හතරක් පමණ විශේෂ විමර්ශන කටයුතු සිදු කරන අතර බොරැල්ල පොලිසිය මඟින් පළමුව අනාවරණය කරගත යුතු කරුණු නිසි ලෙසින් විමර්ශනය කර නොමැති බව වාර්තා වේ. විශේෂයෙන්ම ඉෂාලිනී පිලිස්සී මිය යාමට හේතුව කුමක්ද යන්න පොලිසියට තවමත් අභිරහසකි.

    වයස අවුරුදු 16ක් වන ඉෂාලිනීට කොළඹ මාර්ග ගැන අවබෝධයක් නැත. එමෙන්ම ඇයට භූමිතෙල් ලැබුණේ කෙසේද? රිෂාඩ්ගේ නිවසේ භූමිතෙල් භාවිත කරන ළිප් තිබෙනවා යැයි යම් අයකු කියනවා නම් එය කෙතෙක් දුරට විශ්වාස කළ හැකිද? එමෙන්ම ඇයට සිගරට් දල්වන ලයිටරයක් ලැබුණේ කෙසේද?

    නිවසින් එළියට නොගිය ඉෂාලිනීට මේවා ලැබුණේ කෙසේද? නැත්නම් සපයා දුන්නාද? එසේත් නැත්නම් කවුරුන් විසින් හෝ විමර්ශකයන් නොමඟ යවන්නට තැබු ඒවාද? ඇය අතවරයට ලක් වූයේ කාගෙන්ද?

    ඇය අතවරයට ලක් වූ බව වසන් කළ අය පැහැදිලිව ඔප්පු වී ඇත. ඇයට මවුපියන්ට හෝ නිසි පරිදි කතා කරන්නට ඉඩ ලබා නොදීම තුළින්ම බොහෝ කරුණු අනාවරණය කර ගත හැකිය. අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන් වන්නේ ඇයගේ සම 72%ක් පිලිස්සී ඇති බවයි. එමෙන්ම ඇය ගැබ් නොගන්නා ලෙසින් අතවරයට පත් කර ඇති බවත් එම අතවර කිරීම කාලයක් තිස්සේම කර ඇති බවත් එහි වාර්තා වේ.

    එසේම ඉෂාලිනී මිය යාමට පෙර ඇයගේ කට උත්තරයකින් ඇය විසින්ම ගිනි තබා ගත් බවට පැවසූ බවටද වාර්තා වී ඇත.

    ඇය ගිනි තබා ගත්තා නම් එයටද ප්‍රබල හේතුවක් තිබෙන්නට ඇත. එසේම ඇයට කවුරුන් විසින් හෝ ගිනි තැබුවාද යන්න තවමත් නිසි පරිදි නොවිසඳුණු අභිරහසකි. ඇසින් දුටු සාක්ෂ්‍ය මත සියල්ල විසදෙන අපේ නීතිය හමුවේ මේ කරුණු කෙසේ විමර්ශනය කෙරේද යන්න නම් ගැටලුවකි.

    ඉෂාලිනීගේ මරණය සැලවීමත් සමඟ අපේ විවිධ සංවිධාන එළියට ආවේය. රිෂාඩ්ගේ නිවස ඉදිරිපිට ජූලි 20 වැනිදා විරෝධතා ව්‍යාපාරයක් එහිදී පවත්වන ලද්දේ මියගිය දැරියට සාධාරණයක් ඉටු කරන ලෙස ඉල්ලමිනි.

    එසේම මේ සිද්ධිය සම්බන්ධයෙන් සාධාරණ හා විධිමත් පරික්ෂණයක් සිදුකළ යුතු බව පවසමින් හැටන් ඩයගම ප්‍රදේශයේ වතු කිහිපයක කම්කරුවන් සහ වෘත්තිය සමිති නියෝජිතයෝද ජූලි 18 වැනිදා සිට ඩයගම ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූහ.

    උද්ඝෝෂණයට සම්බන්ධ වූ පිරිස දැරිය පදිංචිව සිටි වතුයායේ සිට පාගමනින් හැටන් ඩයගම නගරය දක්වා පැමිණියහ. බාල වයස්කාර දැරිය ජිවිතක්ෂයට පත්වීමෙන් පසුව සිදු කරන ලද පශ්චාත් මරණ පරික්ෂණයේදි ඇය ලිංගික අපයෝජනයකට ලක්ව ඇති බවට තහවුරුව තිබෙන නිසා ඊට වගකිව යුතු අය අත්අඩංගුවට ගන්නා ලෙස උද්ඝෝෂණයට එක්ව සිටි පිරිස පැවසූහ.

    රිෂාඩ් බද්යුද්දීන්ගේ කොළඹ නිවසේ මෙහෙකාර සේවයට ගිය දිනයේ සිට මියයන තෙක්ම තම සොහොයුරිය බැලීමට ඔවුන් ඉඩ ලබා නොදුන් බව ඉෂාලිනීගේ එකම සොයුරු ජේ.තිරුප්‍රසාද් එහිදී පැවසුවේය. පසුගිය වසරේ ඔක්තෝම්බර් මස බද්යුද්දීන්ගේ නිවසේ සේවයට ගිය නැගණිය ඉන් පසු නිවසට පැමිණියේ පෙට්ටියෙන් බවද ඔහු පවසයි. තම නැගණිය බැලීමට මවුපියන් සමඟ බද්යුද්දීන්ගේ නිවසට ගියත් ඔවුන් ඇය බැලීමට අවස්ථාවක් නොදුන් බවද ඔහු ප්‍රකාශ කළේය.

    තම නැගණිය ගිනි තියාගත්තා ද නැතහොත් කවුරුන් හෝ ඇයට ගිනි තැබුවාද යන්න සම්බන්ධව මෙන්ම ඇය ලිංගික අපයෝජනයකට ලක්කළේ කවුද යන්න සම්බන්ධ ව පැහැදිලි පිළිතුරු ලැබෙන තෙක් ඉදිරියේදීත් විරෝධතා සිදු කරන බව තිරුප්‍රසාද් කීය.

    ඉෂාලිනීගේ පියා වන ජෙරාඩ් ජූඩ් කුමාර් පැවසුවේ තම දියණිය ගින්දරට දැඩි බියක් දක්වන බවත් ගිනිකූරක් දැල්වීමට පවා ඇය බියක් දක්වන බවයි.

    ඉෂාලිනිගේ අවසන් කටයුතු ජූලි 17 වැනිදා ඇය පදිංචිව සිටි ඩයගම බටහිර කොටසේ වතුයායේ පොදු සුසාන භුමියේදි සිදුකරන ලදී.

    මේ අතර ඇයගේ මරණය සම්බන්ධයෙන් මහජන ආරක්ෂක අමාත්‍ය ආචාර්ය සරත් වීරසේකරයන්ගේ උපදෙස් මත බොරැල්ල පොලිසිය සහ නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයා වෙන් වෙන්ව පරීක්ෂණ ආරම්භ කර ඇත. ඒ අනුව ඉෂාලිනීගේ මරණය සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්ෂණ පැවැත්වීම සඳහා කොළඹ සිට විශේෂ පොලිස් කණ්ඩායමක් පසුගිය 21 වැනිදා ඩයගමට ගොස් ඇත .

    එම විශේෂ පොලිස් කණ්ඩායම පැය 10 ක පමණ කාලයක් දැරියගේ ඥාතීන්ගෙන් ප්‍රකාශ ලබා ගෙන තිබේ.

    ඉෂාලිනීගේ නිවසට එදින පෙරවරු 7.30 ට පමණ පැමිණි එම විශේෂ පොලිස් කණ්ඩායම පස්වරු 5.30 පමණ වන තුරු මෙම විශේෂ විමර්ශන කටයුතු සිදු කර ඇත.

    ඉෂාලිනිගේ මව, පියා, සහෝදරයා සහ ඇය රිෂාඩ් බද්යුද්දීන්ගේ නිවසට රැගෙන ගිය එම වතු යායේ පදිංචි තැරුව්කරු සොන්නයියාගෙන්ද පොලීසිය ප්‍රකාශ ලබාගෙන ඇත.

    එම විශේෂ පොලිස් කණ්ඩායමට අමතරව නුවරඑළිය පොලිස් කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු යටතේ ඩයගම පොලිසියද මේ වන විට ඉෂාලිනිගේ මරණය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇත.

    එමෙන්ම තම දියණියගේ මරණය සම්බන්ධයෙන් සාධාරණය ඉල්ලා මහනුවර මානව හිමිකම් කාර්යාලයට පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමටද මවුපියෝ කටයුතු කළහ.

    මියගිය බාලවයස්කාර දැරිය කාලාන්තරයක් තිස්සේ ලිංගික අතවරයට ලක්ව සිටි බවට අධිකරණ වෛද්‍ය වාර්තාවේ සඳහන්ව ඇතැයි කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය හමුවේ බොරැල්ල පොලීසිය ඉදිරිපත් කළ වෛද්‍ය වාර්තාවේද සඳහන්ව ඇත. විශේෂඥ අධිකරණ වෛද්‍ය එම්. එන්. රුහුල් හක් එහි අත්සන් තබා තිබේ.

    මේ අතර පොලිසිය විසින් දුරකතන වාර්තා 06ක්, දැරිය ප්‍රතිකාර ලැබූ කොළඹ ජාතික රෝහලේ ඇඳ ඉහපත් අංකයට අදාළ වාර්තාවන් සහ රිෂාඞ් බද්යුද්දීන්ගේ පාර්ශ්වයෙන් දැරියගේ ගිණුමට මුදල් ලබාදුන් බැංකු වාර්තා ලබා ගැනීම සඳහා පොලිසිය කළ ඉල්ලීමට අධිකරණයේ අවසරය ලැබිණි.

    බද්යුද්දීන් යනු කුඩා නිවසක පදිංචි අයෙකු නොවේ. ඔහුගේ නිවස පුරාම සීසීටීවී කැමරා සවි කර තිබේ. එම කැමරාවලින් අදාළ පටිගත කිරීම් පොලිසිය ලබා නොගත්තේ ඇයි? මේ දක්වාම එම විමර්ශන කටයුතු නොවී ඇති බවද වාර්තා වේ. නො එසේ නම් ඒවා මකා දැමුවාද, බාල වයස්කාර දැරියක ගිනිගෙන මිය ගිය නිවසක එසේ සීසීටීවී දර්ශන මකා දමා ඇත්නම් එතැනම සාක්ෂ්‍ය පවතින්නේය. පොලිස් කණ්ඩායම් 100ක් යෙදුවත් නිසි සාක්ෂ්‍ය උකහා නොගන්නේ නම් එයින් පලක් නොවේ.

    කෙසේ වෙතත් ඉෂාලිනීගේ මරණය සම්බන්ධ නීතිමය කටයුතු වෙනුවෙන් උපදෙස් ලබා දීමට නියෝජ්‍ය සොලිසිටල් ජෙනරාල්වරයෙක් ඇතුළු කණ්ඩායමක් පත් කිරීමට නීතිපතිවරයා විසින් ඉකුත් සිකුරාදා පියවර ගෙන තිබුණි.

    රිෂාඩ් බද්යුද්දීන් යනු එල්ටීටීඊ යුද සමයේ තම ඇඳුම් කිහිපය සිලි සිලි උරයක දමාගෙන මන්නාරමේ සිට පුත්තලමට ආ දරුවෙකි. රිෂාඩ්ගේ කල්කිරියාව ගැන අපට සතුටු විය නොහැක්කේ විල්පත්තුව වන විනාශය, පාස්කු ප්‍රහාරය ඇතුළු තවත් බොහෝ දේ වෙනුවෙන් ඔහුගේ නම ඈඳී ඇති නිසාය.

    එහෙත් එවැනි අයකු සම්බන්ධ ක්‍රියාවක් ගැන පොලිස් පරීක්ෂණ ඉබාගාතේ යාම නම් කිසිවෙකුට අනුමත කළ නොහැකිය.

     

    (ඡායාරූප : අසේල කුරුළුවංශ)

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.