24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ලොකු බබාගේ කතා වස්තුව

    - Advertisement -

     

    ඇමීලියා පවුලේ එකම බබා. අම්මයි තාත්තයි දෙන්නම ඇමීලියාට කියුවෙ බබා කියලා. බබෙක් වෙන එක වෙන ඕනම කෙනෙක්ට වගේම ඇමීලියාටත් ගෙනාවේ අසීමාන්තික සන්තෝසයක්. එයාට හිත පුරෝලා ආදරේ ලැබුණා. වෙන වුවමනා එපාකම් ඔක්කෝමත් ඉල්ලන්නත් ඉස්සරවෙලා සම්පූර්ණ වුණා. එක බෝනික්කෙක් ඉල්ලුවම තාත්තා බෝනික්කො දෙන්නෙක් ගෙනාවා. අම්මා තුන් වේලටම කෑම කැව්වා. අම්මගෙයි තාත්තගෙයි මැද්දට වෙලා, උණුහුමට ගුළිවෙලා ඇමීලියා රෑට සැපට නිදාගත්තා. ආදරේ වැස්සක් වගේ වැටිලා ඇමීලියාව සන්තෝසෙන් තෙතබරිත කළා. ආදර වැස්ස කියන හැඟීමම ඇමීලියාට අරගෙන ආවෙ සන්තෝසයක්.

    - Advertisement -

    ඇමීලියා ටිකෙන් ටික උස ගියා. අම්මයි තාත්තයි වැඩට යන හන්දා එයා පුංචි සන්දියේ ඉඳලම දවල් වරුව ගත කළේ බබාලා බලාගන්න තියෙන ආයතනයක. එතන ඇමීලියා වගේ තව හුඟක් පුංචි ගෑනු ළමයි වගේම පිරිමි ළමයිනුත් සෙල්ලම් කළා. ඒ යාළුවො අතරෙ ඇමීලියාටත් හොඳම යාළුවෝ වගේම, එච්චර කිට්ටු නැති යාලුවොත් හිටියා. ඒ සමහර යාලුවොන්ගෙ අම්මලා තාත්තලා ගෙදරට අලුත් බබාලා අරගෙන ආවය කියලා ඇමීලියාට ඒ යාළුවො කැඩිච්ච බබා භාෂාවෙන් කියුවා. අලුත් බබාලා ලැබිච්ච යාලු බබාලා හිටියෙ හිත පිරිච්ච සන්තෝසෙන්. එයාලා අලුත් බබාලගෙ වර්ණනාව හැමෝටම කියුවා. ඇමීලියාගෙ හිත ඇතුලෙ ඉදලා කවුරු හරි කෙනෙක් “මටත් අලුත් බබෙක් ඕනේ” කියලා කියනවා ඇමීලියාට ඇහුණා.

    යාළුවො කියන කතන්දර ඇතුළෙ නොකියන කතන්දරත් තියෙන්නෙ පුළුවනිය කියලා ඇමීලියාට හිතුණෙ අලුතෙන් බබාලා ලැබිච්ච සමහර යාළු මූණු වල හීනියට ඇදිලා තිබිච්ච ලා අළු පාට දුක රේඛා දැකපු හින්දයි.

    ඒත් ඒ ලා අළුපාට ඉරි දැක්කාට පස්සෙත් අමීලියාගෙ හිතේ අලුත් බබෙක් වෙනුවෙන් ඉපදිච්චි ආසාව ඒ විදිහටම තිබුණා.

    - Advertisement -

    ඇමීලියා ගෙදර ගිහින් යාළුවන්ගෙ අලුත් බබාලා ගැන අම්මත් එක්කලා කියුවා. අම්මා ඇමීලියා එක්ක දවසෙ විස්තර කතා කරන එක පුරුද්දක් කරගෙන තිබුණේ. තමන්ටත් අලුත් බබෙක් ඕනය කියලත් ඒ අලුත් බබා මල්ලියෙක් නොවී නංගියෙක් වෙනවා නම් තමන් හුඟක් කැමතිය කියලත් ඇමීලියා අම්මා එක්කලා කියුවා.

    ” අපි බලමුකෝ පුතේ ” කියලා හිනා වුණාට ඇමීලියාට නංගියෙක් ගෙනල්ලා දෙනවමය කියලා අම්මා පොරොන්දු වුණේ නෑ. ඒ හන්දා බාබි බෝනික්කියෙක් ගේනවට වැඩිය නංගියෙක් හරි මල්ලියෙක් හරි ගේන එක අමාරු ඇතිය කියලා ඇමීලියා හිතා ගත්තා.

    කාලෙ ගත වෙලා ගියා. අම්මයි තාත්තයි ඇමීලියා ළඟට අරගෙන අලුත් බබෙක් පවුලට එක්කාහු වෙන්න ඉන්නවය කියන සුබ ආරංචිය කියුවේ ඔය අතරෙ දවසකදියි. ඇමීලියාගෙ හිත බැලුම් පුම්බන තරගෙදි හයියෙන් පිම්බෙන බැලුම්බෝලයක් වගේ සන්තෝසෙන් පිම්බුණා.

    - Advertisement -

    ඊට පස්සෙ ඇමීලියාගෙ ජීවිතේ වෙනස් වුණා. අම්මගෙ බණ්ඩිය ටික ටික ලොකු වුණා. ඇඟේ පතේ අමාරු හන්දා ඇමීලියාට තනියෙන් ඇඟ සෝදගන්න, තනියෙන් බත් කන්න පුරුදු වෙන්නය කියලා ඇමීලියාගෙ අම්මා නිතරෝම කියුවා. අම්මා කවන බත් වගේ රහට හැන්දෙන් බත් කන්න බැරිය කියලා කොච්චර කියුවත් ඇමීලියාගෙ අම්මා ඒවා ඇහෙන්නෙ නෑ වගේ හිටියා. ඇදේ මැද්දෙ රෑට නිදිය ගත්ත ඇමීලියාට තමන්ගෙම කියලා පුංචි හුරුබුහුටි ඇදක අයිතිකාරයෙක් වෙන්න ලැබුණා. ඇදේ අතුරලා තිබිච්චි ලස්සන ඇද ඇතිරිල්ල ගැන හිතේ ඇතිවෙච්චි ආසාවට අලුත් ඇදට නිදාගන්න ගියාට මොකද රෑ වෙද්දි අම්මගෙයි තාත්තගෙයි උණුසුම නැති අඩුව ඇමීලියාට දැනුණා.” මට ඕනෙ ඔයාල දෙන්නා මැද්දෙ නිදියන්න” ඇහෙන නෑහෙන සද්දෙන් ඇමීලියා කියුවා.

    ඔය හැම වෙනස්කමක්ම අස්සෙත් අලුත් බබා එනකල් ඇමීලියා ආසාවෙන් මඟ බැලුවා. ඇමීලියාට සන්තෝසෙ අරගෙන සන්තෝස පොදියක් වෙච්චි රෝස පාට නංගි බබා ගෙදර ආවෙ ඔය අතරෙයි. අම්මා තමන් ඉල්ලපු විදිහටම නිල් පාට සන්තෝස පොදියක් අරගෙන එන්නෙ නැතුව රෝස පාට සන්තෝස පොදියක් අරගෙන ආපු එක ගැන ඇමීලියා හිටියෙ සන්තෝසෙන්.

    ඇමීලියාට අම්මලා ” බබා” කියලා කතා කරනවා වෙනුවට ” ලොකු බබා” කියලා කතා කරන්න පටන් ගත්තා.

    ඊට පස්සෙ අම්මට හරියට වැඩ තිබුණා. කිරි දෙන්න, නැපි මාරු කරන්න, නංගි බබාගෙ ඇඟ හෝදන්න වගේ අලුත් වැඩ කන්දරාවක් ඒ ලැයිස්තුවේ තිබුණා. “පිරිමි ගෙදර වැඩ කරන්නෙ නෑ. එයාලා ඉන්නෙ හම්බ කරන්න” කියන කාරණාව බොහොම තදින්ම විශ්වාස කරපු හින්දා ඇමීලියාගෙ තාත්තා ගෙදර වැඩ වලට අම්මට ඒ හැටි උදව් වුණේ නෑ. බබා හම්බුණාට පස්සෙ ඇමීලියාගෙ අම්මට නිවාඩු හම්බුණා. ඒත් ” අම්මට ඉස්සරට වැඩිය වැඩ” ඇමීලියාට එහෙම හිතුණා.

    අම්මාගෙ මූණෙ හැම තිස්සෙම දුඹුරු පාට තරහා ලකුණු තිබුණා. තරහෙන් හිටියෙ කාත් එක්කද කියලා ඇමීලියාගෙ අම්මාවත් දැනගෙන හිටියෙ නෑ. ඒත් ඉස්සර වාගෙ අම්මත් එක්ක කතා කරන්න ඇමීලියා බය වුණා. එයා එයාගෙ පුංචි ඇදේ ඉදගෙන හිතින් මවා ගත්ත යාළුවොත් එක්ක තනියෙන් සෙල්ලම් කරන්න පුරුදු වුණා. කොටින්ම ඇමීලියා තනි වුණා. ඒත් එයාගෙ හිතේ අලුත් රෝස පොදිය ගැන තිබිච්ච ආදරේ අඩු වුණේ නෑ.

    අම්මා අලුත් බබෙක් ආවම ලොකු බබාගෙ හිත හදන්නෙ කොහොමද වගේ ලොකු පොත් කියෙව්වා. ඒත් ඒ පොත්වල තියෙන දේවල් ඇත්තටම අත් හදා බලන්න ඇමීලියාගෙ අම්මට වෙලා තිබුණෙ නෑ.

    සමහර යාළු අම්මලා කියුවා කියලා ඇමීලියාගෙ අම්මා ඇමීලියාට අලුත් බබාගෙ කක්කා රෙදි නැපි හෝදන්න දුන්නා. එහෙම දුන්නම සහෝදර බැඳීම වැඩි වෙනවා කියලා ඇමීලියාගෙ අම්මට එයාගෙ යාළු අම්මලා කියලා දීලා තිබුණා. ඇමීලියා නංගි බබාගෙ කක්කා රෙදි හේදුවේ එච්චර කැමැත්තකින් නෙමෙයි. ඒත් එහෙම කළාම පොඩි වෙලාවකට හරි අම්මගෙ මූණෙ සන්තෝසෙ පිරෙනවා කියලා එයා දැකලා තිබුණා. ඒ සතුටු හිනාවට තියෙන ආසාවට ඇමීලියා නංගි බබාගෙ කක්කා නැපි හේදුවා.

    වැහි වළාකුල ඇමීලියාගෙ ආකාසෙ පුරාවට එක්කාහුවෙල තිබුණට ඇමීලියාගෙ ලෝකෙට ඇත්තටම වැස්සෙ එක්තරා දුක දවසකදියි. නංගි බබාගෙ දත් එනකොට හපන සෙල්ලම් බඩුවක් ඇමීලියා කටේ දාලා හැපුවෙ ඒකෙ තියෙන සීතල සුවේ නංගිගෙ කටට දැනෙන්නෙ කොහොමද කියලා විඳගන්න තියෙන ආසාවටයි. ඒ එක්කලාම පිටිපස්සෙන් හරි සද්දෙන් පිට මැද්දට වැදුණු පාරෙන් ඇමීලියාගෙ පිටට වැඩියෙන් හිත රිදුණා. “නංගිගෙ බඩුවලින් සෙල්ලම් කරන්න එපා කියලා කියලා තියෙනවා නේද ළමය” අම්මා හරි සද්දෙන් ඇමීලියාට බැන්නා.

    එයාගෙ හිත ආයෙ පිරියම් කරන්න බැරි වෙන්නම ඉරුණා.

    ඇමීලියා දැන් ලංකාවෙ නෑ. එයා ලොකු රස්සාවක් කළාට අම්මත් එක්ක ඒ හැටි ඇයි හොඳයියක් නෑ. පුංචි කාලෙ හිත්වල ඇතිවෙන සමහර තුවාල ලොකු වුණාමත් සනීප වෙන්නෙ නෑ.

    ඒත් ඇමීලියා තාමත් නංගිට ආදරෙයි. එයාගෙ හොඳම යාළුවත් නංගියි. ඒ අම්මා හිතපු විදිහට නංගිගේ කක්කා නැපි හෝදපු හන්දා නම් නෙමෙයි. මුලින්ම දැකපු දවසෙම නංගි බබාගෙ කිරි හිනාවට ඇති වෙච්චි ආදරේ හන්දයි.

     

    දසුනි හෙට්ටිආරච්චි

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.