24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ලොවක් ජය ගත් කාබනික ගොවිතැන

    - Advertisement -

    කාබනික ගොවිතැන කෙරෙහි මෙරට ජනතාව හුරුකර වීමේ ව්‍යායාමයක් මේ දිනවල ශ්‍රී ලංකාවේ පවතී. වර්තමාන ජනතාව ඊට හුරු කර විය යුතු වුව ද අපේ පැරැන්නෝ කර ගෙන ගිය ගොවිතැන තුළ පැවතියේ සම්පූර්ණ පරිසරයට හිතකර කාබනික ගොවිතැනයි. කාබනික ගොවිතැන කෙරෙහි ලෝකයේ අනෙක් රටවල පවතින තත්ත්වය පිළිබඳව විමර්ශනය කිරීම මෙම ලිපියේ අරමුණ වේ.

     

    - Advertisement -

    ලෝකයේ කාබනික ගොවිතැන පිළිබඳව මූලික අදහස ඇතිවන්නේ 40 දශකයට කලිනි. ලෝකයේ බොහෝ රටවල් යටත් විජිත ලෙස පැවතීම හේතුවෙන් දෙවැනි ලෝක යුද්ධයත් සමඟ තවචුරටත් යටත් විජිතයක් ලෙස පවතිනවා ද නැද්ද පිළිබඳව අදහස් මතු විය‍. එංගලන්තයට පැවති ගැටලුව වූයේ මෙම යටත් විජිත සමයේ පැවති කෘෂිකාර්මික කටයුතු සොයා බැලීම සඳහා නියෝජිතයන් පත් කිරීමය. සර් ඇල්බට් හොවාර්ඩ් ඉන්දියාවට පත් කළ යැවූ එවැනි නියෝජිතයෙකි. එංගලන්තයේ රාජකීය කොමිසම මින් බලාපොරොත්තු වූයේ යටත් වජිතයක්ව පැවති ප්‍රධානම රටක් සහ විශාලතම රටක් වන ඉන්දියාව තුළ කෘෂිකර්මය දියුණු කරලීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන්නය. සර් ඇල්බට් හොවාර්ඩ් ඉන්දියාවට පැමිණ ඉන්දියාව පුරා ඇවිද එංගලන්තයේ රාජකීය කොමිසමට යැවූ වාර්තාවේ සඳහන් වන්නේ “අපි එංගලන්තය ඇතුළු යුරෝපයේ කරන ගොවිතැනට වඩා ගොවිතැනක් මේ රටේ ඇත. එය සම්පූර්ණ වශයෙන්ම ස්වාභාවිකත්වය පදනම් කර ගෙන කරනු ලබන ගොවිතැනකි. ඒ සඳහා බාහිර යෙදවුම් යොදා ගන්නේ ඉතා අඩුවෙනි. එය සම්පූර්ණ තිරසාර ක්‍රමවේදයත් බැවින් ඒ සඳහා අපේ මැදිහත්වීම ඉතා අඩුවෙන් යෙදවීම ඉතා වැදගත්ය.” යනුවෙනි.

    ගව පාලනය සහ ගොවිතැන

    එපමණක් නොව ඔහු එහි නතර වී ඉන්දියානු කෘෂි කාර්මික ක්‍රමවේදය පිළිබඳව ඉගෙන ගැනීමක් ද කර තිබේ. මෙහිදී ඔහු ඉගෙන ගනු ලබන්නේ ගව පාලනය සහ ගොවිතැන අතර පවතින අනන්‍ය සම්බන්ධතාවයයි. එමෙන්ම මේ හා බැඳුනු අන්තරීක්ෂ බලයක් නොහොත් දෙවියන් හා බැඳනු බලයක් තිබෙන බව ද ඔහු තේරුම් ගෙන තිබේ. රූඩොල්ෆ් ස්කයිනර් නම් තවත් යුරෝපයේ පුද්ගලයකු ද මේ පිළිබඳව සොයා බලා තිබේ. ඔහු දේව ධර්මය පිළබඳව යුරෝපය තුළ විශාල වැඩ කොටසක් කළ කෙනෙකි. මේ වන විට යුරෝපයේ රසායනික ද්‍රව්‍ය භාවිතයෙන් කෙරෙන ගොවිතැන් ක්‍රමයක් ක්‍රියාත්මක වන බව ඔහු මුණගැසීමට පැමිණෙන කණ්ඩායමක් විසින් පවසා තිබේ. මේවා මිනිස් ශරීරයට අහිතකර බව සඳහන් වූ අතර මේ සඳහා කටයුතු කරන්නේ කෙසේ ද යන්න පිළිබඳව ඔහුගෙන් විමසා ඇත. රූඩොල්ෆ් සක්යිනර් ද ඉන්දියානු ගොවිතැන් ක්‍රමවේදය පිළිබඳව යම් මට්ටමක දැනීමක් තිබුණු අතර යුරෝපයේ පවතින මෙම ගැටලු සම්බන්ධව පර්යේෂණ කිරිම සඳහා පෙලැඹී තිබේ. ඉන්පසු ඔහු පැළෑටි සහ මිනිිසා අතර සම්බන්ධය පිළිබඳ අලුත් මතයක් යුරෝපය තුළට ගෙනැවිත් තිබේ. එනම් පැළෑටි සහ පුද්ගලයන්ට නොපෙනන ග්‍රහ ලෝකයක බලපෑමක් තිබෙන බවය. පැළෑටියක වැඩීමට හිරුගේ සහ සඳුගේ බලපැමක් තිබෙන බව ඔහු විසින් ප්‍රකාශ කොට තිබේ. මෙහිදී සඳ නැඟ එන කාලයේදී සහ සඳ බැස යන කාලයේදී පැළෑටිවල වෙනස්කම් ඇති වන බව ඔහු කියා තිබේ.

    - Advertisement -

    ඉන් ටික කලකට පසු ඔහු යුරෝපයට සම්පූර්ණ ගොවිතැන් ක්‍රමවේදයක් හඳුන්වා දී තිබේ. Bio Dynamic Farming (ජෛව ගතික ගොවිතැන) ලෙස මෙම ගොවිතැන් ක්‍රමය හැඳින්විනි. ජර්මනිය, ඕස්ට්‍රියාව වැනි රටවල් හරහා මෙම ජෛව ගතික ගොවිතැන මුලින්ම ආරම්භ වී තිබේ. ඒ වන විට 1914දී පළමු ලෝක යුද්ධය යුරෝපයේ ආරම්භ වී ඇවිළි ගිය පසු යුරෝපය පෙනී යන්නේ සිය රටේ සෙබළුන් මිය යනු ලබන්නේ යුද්ධයෙන් නොව මැලේරියාවෙන් බවය. නිවර්තන කලාපීය රටවලට යෑම මේ නිසා අවදානමක් පවතින බව ඔවුන් කල්පනා කොට තිබේ. ඉන්දියාව වැනි රටවලට පැමිණීමට ද යුරෝපීය සෙබළුන් අකැමැත්ත පළ කොට තිබේ. එවිට පෝල් මුලර් නම් තවත් විශේෂ පුද්ගලයකු, DDT නම් රසායනිකය ලොවට හඳුන්වා දී තිබේ. මෙය මැලේරියා වසංගතය සඳහා හඳුනා ගත් රසායනිකයයි. මෙම DDT රසායනිකය හඳුනාගනු ලැබුවේ 1939දීය. මේ වෙනුවෙන් වෛද්‍ය විද්‍යාවට පිරිනමනු ලබනු නොබෙල් ත්‍යාගය ද 1949දී පෝල් මුලර්ට ලැබී තිබේ.

    ඉන්පසු 1944දී පමණ දෙවැනි ලෝක යුද්ධය ඇවිළි යන විට යුරෝපය ඇතුළු ඇතැම් රටවල ද ගොවිතැනට හානි කරන කෘමීන් මර්දනය සඳහා ද මදුරුවන් මර්දනය සඳහා යොදා ගත් DDT වැනි කෘමිනාශක වර්ග භාවිතයට පෙළැඹිනි. යුරෝපයේ රසායනික වර්ග භාවිතයේ ආරම්භය වන්නේ මෙයය. ඉන්පසු 40 දශකය පමණ වන විට ලෝකය ගොඩනැඟිම සඳහා කිසියම් ක්‍රියාමාර්ග ගත යුතු බව කල්පනා කරන අතර එහි ප්‍රතිඵලයක් ලෙස තිරිඟු පැළෑටිය දියුණු කරන්නට පටන් ගෙන තිබේ. නෝමන් බ්ලොක්ට මෙහි වගකීම පැවරේ. ඔහු තිරිඟු පැළෑටියෙන් අට ගුණයක් වැඩි ප්‍රමාණයෙන් ඵලදාව ගැනීම සඳහා රසායනික පොහොර සහ කෘමිනාශක යොදා තිරිඟු පැළෑටිය අභිජනනය කර ඇත.

    යුරෝපයේ දියුණුව ඇති වන්නේ මෙමඟිනි. මේ සමඟම හරිත විප්ලවය (Green Revolution) ඇති විය. මෙහි මූලිකත්වය ගනු ලැබුවේ ලෝක ආහාර කෘෂිකර්ම සංවිධානයය. මෙම ආයතනයේ ප්‍රධාන වගකීම වූයේ ලෝකයේ කෘෂිකාර්මික දියුණුව ඇති කිරීමය. මේ හා සමඟම කෘෂිකර්මය හා සම්බන්ධ ආයතන ගොඩනැඟිනි.

    - Advertisement -

    හරිත විප්ලවය

    ලෝකයේ කෘෂිකර්මය හා සම්බන්ධ ආයතන තුනක් තිබේ. එනම්, ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය, ලෝක ආහාර සංවිධානය, අන්තර්ජාතික කෘෂිකාර්මික අරමුදලයි. මෙම ආයතන ත්‍රිත්වය එකතු වී Green Revolution ලෝකය පුරාම ගෙන ගොස් තිබේ. තිරිඟු පැළෑටිය දියුණු කළ ආකාරයෙන්ම එක්සත් ජාතීන්ගේ සංවිධානය ඇතුළු කණ්ඩායම ලෝකයේ දෙවැනි පැළෑටිය ලෙස වී පැළෑටිය දියුණු කිරීමට උත්සුක වී ඇත. මේ සඳහා ඔවුන් අන්තර්ජාතික සහල් පර්යේෂණ ආයතනය පිලිපීනයේ මැනිලා නුවර දී පිහිටුවනු ලැබීය. මෙම ආතනය විසින් IR 8 යනුවෙන් වී ප්‍රභේදයක් හඳුන්වා දී තිබේ. මෙය ලෝකයේ මුල්ම දෙමුහුම් වී පැළෑටියයි. මේ නිසා වැඩි අස්වනු තාක්ෂණය පිළිබඳව ලෝකයම කතා කරන්නට පටන් ගෙන තිබේ. බඩගින්නට සහ ආහාර අහේනියට පත් වුණු මිලියන700 ක ජනතාවට ආහාර සැපයීම සඳහා මෙම තාක්ෂණය පටන් ගත් බව ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය ලෝකයට ප්‍රකාශ කොට තිබේ.

    මේ අතර අමෙරිකාවේ තවත් දෙයක් සිදු වී තිබේ. තිරිඟු පැළෑටිය අට ගුණයක් අස්වැන්න ගත හැකි ආකාරයට දියුණු කළ ආකාරයටම අමෙරිකාවේ ද මෙය වවන්නට පටන් ගෙන තිබේ. එතෙක් සත්ව පාලනයට නතුව තිබූ ගොවි බිම් මෙම තිරිඟු වගාවට යොමු කොට තිබේ. මේ නිසා ලෝකයේ තිරිඟු වගාව වැඩි විණි. ඉන්පසු මේ සඳහා වෙළෙඳ උපක්‍රමයක අවශ්‍යතාව මතු විණි. ඒ සඳහා අමෙරිකාව විසින් PL 480 නම් ගිවිසුමක් ලෝකය සමඟ අත්සන් කෙරිණි. ශ්‍රී ලංකාව ද මෙහි අත්සන් කළ අතර තිරිඟු ගබඩා කිරීම සඳහා ත්‍රිකුණාමලයේ ගබඩා සංකීර්ණයක් ද නොමිලේ ලැබිණි. තිරිඟු ඇට අඹරා පොත්ත කොටස කුකුළු කෑම සහ සත්ව ආහාර සඳහා ද, මැද කොටස නැවත අපනයනය සඳහා ද පිටි වැඩි කොටස අඹරා පාන් පිටි සඳහා මෙරට පරිභෝජනයට ද යොදා ගනු ලැබිණි. එහෙත් එකල ජනතාව පාන් පිටි ආහාරයට ගැනීමට වැඩි කැමැත්තක් නොදැක්වූහ. ඉන්පසු බිස්කට් සාදා පාසල්වලට එවීමට පටන් ගෙන තිබේ.

    මේ නිසා අමෙරිකාවේ මෙම වෙළෙඳාම සාර්ථකව කෙරී ගෙන ගොස් තිබෙන අතර අක්කර සිය ගණනක තිරිඟු වගාවන්ට රසායනික පොහොර ඉසින්නට පටන් ගෙන ඇත්තේ හෙලිකොප්ටර් යානා වලිනි. මේ නිසා එහි දිය කඩිතිවල ජීවත් වුණු මත්ස්‍ය්‍යින්, කැලෑවල ජිවත් වුණු කුරුල්ලන් ද මිය යන්නට පටන් ගෙන තිබේ. 1960 වර්ෂයේදි පමණ මෙය දුටු අමෙරිකාවේ විද්‍යාඥවරියක වන රැචල් කාසන් විසින් මේ පිළිබඳව කරන ලද පර්යේෂණයකින් පසුව ඇය විසින් පොතක් පළ කර තිබේ. එහි සඳහන්ව ඇත්තේ අමෙරිකාව වසන්තය ගෙන ආවද සෙමින් මරණය ගෙන එන බවයි. මෙම හෙළිදරව්වත් සමඟම එංගලන්තයේ විද්‍යාඥවරුන්, ප්‍රංශයේ සහ ජර්මනියේ විද්‍යාඥයින් ද මේ පිළිබඳව වඩාත් සෝදිසි කිරීමට පටන් ගෙන තිබේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස යුරෝපයේ කෘෂිකර්මය පිළිබඳව ප්‍රශ්නාර්ථයක් පැන නැඟිනි. වස විස පිළිබඳව කතා කරන්නට පටන් ගැනිණි. මේ අතර රැචල් කාසන් විද්‍යාඥවරිය 1964දී පිළිකාවකින් මිය යෑමත් සමඟ ලෝකයේම මිනිසුන් වස විස පිළිබඳව සොයා බලන්නට පෙළැඹිනි. 1968 වන විට ප්‍රංශයේ මේ පිළිබඳ විශේෂ සම්මන්ත්‍රණ ද ඇති විණි.

    1972 වන විට යුරෝපයේ ගොවියන් එකතු වී IFORM (International Federation of Organic Agriculture Movements) නම් ආයතනයක් බිහි කොට තිබේ. ලෝකයේ කාබනික කෘෂිකර්මය පිළිබඳව ඇති වුණු පුළුල් සංධානය මෙයයි. මේ සඳහා මූලිකත්වය ගනු ලැබුවේ ප්‍රංශය, ජර්මනිය සහ එංගලන්තයේ සිටි ගොවීන්ය. මේ ආකාරයට තවදුරටත් ගිය හොත් ලෝකය විනාශ වන බව කල්පනා කළ ඔවුහු ලෝකයෙන්ම මෙම රසායනික ද්‍රව්‍ය භාවිතය නතර කළ යුතු බවට තීරණයකට පැමිණියහ. ඒ සමඟම 1949 වෛද්‍ය විද්‍යාව සඳහා නොබෙල් සාම ත්‍යාගය දිනා ගන්නා ලද පෝල් මුලර්ගේ වික්‍රමය ලෝකය පුරා ප්‍රශ්නාර්ථයක් බවට පත් විණි. DDT යනු මාරාන්තික විස සහිත දිගු කාලීන කාබනික දූෂ්‍යකාරක (POP – Persisitent Organic Pollution) ලෙස හඳුනාගැනිණි. මෙම DDT වස පොළොවට එකතු කළ විට ආහාර දාම දිගේ ඉහළට යා හැකි රසායනිකයක් බව ඔවුන් විසින් වටහා ගෙන කිබිණි. මදුරුවන් මැරීමට ඉසිනු ලබන මෙම DDT තණකොළ මත පතිත වී තණකොළ මඟින් ගවයින්ගේ ශරීරයට ද, ඉන්පසු පැටවුන්ට ද මෙම විෂ රසායනිකය ඇතුළු වේ. එළකිරි හරහා මිනිසුන්ට ද මෙම විෂ ශරීරගත වීම සිදු වේ. මේ නිසා 1960 දශකය අවසානය වන විට DDT ලෝකයෙන්ම තහනම් කෙරිණි.

    පළිබෝධනාශක පනත

    ඉන්පසු 80 දශකය පමණ වන විට රසායනික ද්‍රව්‍ය පාලනය කළ යුතු යැයි නීති සම්මත විණි. ඒ අනුව 1980 දී පළිබෝධනාශක පනත ශ්‍රී ලංකාවේ ද සම්ම්ත විය.

    1972 වර්ෂයේදී ඇරැඹි ලෝක කාබනික කෘෂිකර්ම ව්‍යාපාරය මුලින්ම යුරෝපයේ පටන් ගෙන ඇත. අමෙරිකානු මහද්වීපය තුළ පැරැණි ගොවියෝ මායාවරුන්ගේ කෘෂීකර්මය නමැති ඉතා දියුණු වත් පිළිවෙත් සමඟ පැරැණි කෘෂි ක්‍රම වේද ඔස්සේ වර්තමානයේ ද මෙම කාබනික ගොවිතැනෙහි නිරත වෙති. හිරු, සඳු, තාරකා සමඟ ගනුදෙනු කරනු ලබන කෘෂිකර්මයක් එහිද තවමත් පවතී. මේ ආකාරයෙන් යුරෝපය තුළ කාබනික කෘෂිකර්මය ජනප්‍රිය වන විට අමෙරිකාවේ ද මෙය ජනප්‍රිය වන්නට පටන් ගැනිණි. මේ නිසා අමෙරිකානුවෝ ද වස විස කැම පිළිබඳව දෙවරක් සිතන්නට පටන් ගත්හ.

    එමෙන්ම කිසියම් රටක කෘෂිකර්මයක් කිරීමේදී එම රටෙහි කෘෂිකාර්මික ප්‍රමිතියක් තිබිය යුතු වේ. යුරෝපය තුළ ඊට වෙනම ප්‍රමිතියක් තිබේ. EU Organic Standard යනුවෙනි. අමෙරිකාවට වෙනම ප්‍රමිතියක් තිබේ. (National Organic Program). ජපානයට වෙනම ප්‍රමිතියක් තිබේ. එය Japanese Agricultural Standard යනුවෙන් හැඳින්වේ. කැනඩාවට ද එසේමය. Canadian Organic Regime යනුවෙනි. ශ්‍රී ලංකාවේ එය 1324 ශ්‍රී ලංකාවේ කාබනික වගා කිරීම සහ නිෂ්පාදන සකස් කිරීම පිළිබඳ ප්‍රමිතියයි. මේ ආකාරයෙන් ලෝකයේ සෑම රටකටම එවැනි ප්‍රමිතීන් තිබේ.

    ශ්‍රී ලංකාවේ පුද්ගලයකු යුරෝපයට කිසියම් කාබනික ද්‍රව්‍යයක් යවන්නේ නම් එය ශ්‍රි ලංකාවේ ප්‍රමිතියට නොව යුරෝපයට ගැළපෙන ප්‍රමිතියට යැවිය යුතු වේ.

    ලෝකයේ සෑම රටකම මේ වන විට කාබනික වෙළෙඳපොළ ව්‍යාප්ත වීමක් දක්නට ලැබේ. ඉන්දියාවේ සිකීන් ප්‍රාන්තය 2017දී 100%ක්ම කාබනික නිෂ්පාදනයන් කරනු ලබන ප්‍රාන්තයක් ලෙස ප්‍රකාශයට පත් කොට තිබේ. එමෙන්ම භූතානය ද 2030 වන විට 100%ක් කාබනික ගොවිතැනට අවතීර්ණ විමට බලාපොරොත්තුවෙන් සිටී. බොලිවියාවේ එක් කොටසක් මේ වන විට ද 100%ක් කාබනික වගාව ද, නේපාලයේ මෙලන් කලාපය ද කාබනික වගාවට 100%ක් අවතීර්ණ වී තිබේ. මේ ආකාරයට ලෝකයේ 100%ක්ම කාබනික ගොවිතැන කෙරෙන රට ශ්‍රී ලංකාව බවට පත් වේ යැයි මුළු ලොව තුළම විශ්වාසයක් පවතී.

    තිලක් කාරි­ය­ව­සම් සභා­පති
    ශ්‍රී ලංකා කාබ­නික කෘෂි­කර්ම ව්‍යාපා­රය

    චතුමී පිටිපන

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.