24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ලොව දිනූ ලාංකික කිවිඳිය

    - Advertisement -

     

    ජීන් අර්සනායගම්

    - Advertisement -

    දහඩියෙන් පෙඟුණු

    දුහුවිලි ද වැකුණු

    මේ එක ම එක සළුව මා සතු

    - Advertisement -

    පිරිනමා තිබේ මට

    අලුත් හැඳුනුම්පතක්.

     

    - Advertisement -

    මා කවුද -කවුද මා

    එක පෙළට වාඩි වී නම් වාසගම් දොඩන

    එක ගොඩේ වලප්නා

    අප හැමට ගලප්නා නාමයයි

    ‘අනාථයො.’

     

    සිප් හලෙක මිදුල මැද

    මහා කල්දේරමක ඉදේ බත .

    දෝතින් ම දිගු වේ ය පිඟන් කොත.

    දිගු මිනිස් පෝලිමක

    කුසගින්න නිවී යත,

    අනතුරෙන් සිත සෙමෙන් නිදහස්ව.

     

    දරුවන්ගෙ ඩෙස්කුවෙන්, බංකුවෙන්

    කඳවුරේ මගේ මායිම් බැඳෙත.

    නැවූ රෙදි පටකි හිස කොට්ටයට,

    සීත වූ සිමෙන්තියෙ යහන මත

    නිදා නොනිදා නිදන නින්දකට.

     

    අවසනෙහි,

    සේසතම අහිමි වූ

    දස දහස් ගණන් වූ අප සැවොම

    සුරක්ෂිතයෝ වම් හ.

    ඒත් අපි ඔක්කෝම ‘අනාථයො.’

     

    -ජීන් අර්සනායගම්-

    පරිවර්තනය : සුනිලා විජේසිංහ

     

    ජීන් අර්සනායගම් නම් වූ ඇය ‘Apocalypse’ (හෙළිදරව්ව) නමින් ඉහත පද්‍යය ලියා තැබුවේ 83 වසරේ කළු ජූලියේදී අනාථ කඳවුරකදී ය. ඒ අවාසනාවන්ත ජූලි මාසයේදී අත්දුටු අඳුරු සිදුවීම් අලළා පබැඳූ පැදි සියල්ල එක්කොට ඇය ‘Refugee Camp’ නම් පද්‍ය ග්‍රන්ථයක් පළ කළාය.

    ඉංග්‍රීසියෙන් ගැදි පැදි දහස් ගණනක් ලියා ඒවා ලෝකයට රැගෙන ගිය ලාංකේය ඉංග්‍රීසි ලේඛක ලේඛිකාවන් සිටින්නේ අතළොස්සක් පමණකි. ඒ අතරේ ඇගේ නම ලියැවී ඇත්තේ ඉහළින් ම ය.

    ලොව නන් දෙස ඇගේ නම පතළව ඇත්තේ කිවිඳියක ලෙසට ය. එහෙත් ඒ හැරුණු විට ඇය නවකතාකාරියක සහ කෙටිකතා රචිකාවියක ද වූවාය.

    ඇගේ සාහිත්‍ය නිර්මාණ සිංහල, ප්‍රංස, ජර්මන් , ස්වීඩන්, ජපන්, දෙමළ, හින්දි, කේරළ සහ තවත් භාෂා කිහිපයකට ම පරිවර්තනය වී ඇත. ශ්‍රී ලංකාව තුළ මෙන් ම ඇමෙරිකාව, ඉන්දියාව, ස්කොට්ලන්තය වැනි ලොව පුරා නොයෙකුත් රටවල ඇගේ නිර්මාණ අගැයීමට ලක්ව ඇති වාර ගණන බොහෝ ය.

    ඇගේ කෘති ඉංග්‍රීසි පාඨකයා අමන්දානන්දයට පත් කළ අතර ඔවුන් බුද්ධියෙන් ප්‍රඥාවට රැගෙන ගියේය. මේ වන විට මුද්‍රණද්වාරයෙන් එළි දැක ඇති ඇගේ ග්‍රන්ථ සංඛ්‍යාව පනහක් පමණ වේ. 2017 වර්ෂයේදී ග්‍රේෂන් සම්මානයට පාත්‍ර වූයේ ඇයගේ ‘The Life of a Poet’ නම් වූ පද්‍ය ග්‍රන්ථයයි.

    “මගේ ලිවිසැරිය විවිධ සමාජීය සහ දේශපාලනික වාතාවරණයන් යටතේ ජීවත් වන කාන්තාවන්ගේ අනන්‍යතාව පිළිබඳ ගවේෂණයකි”.

    ඇය එලෙස සඳහන් කළේ ඇමරිකාවේ ලෝවා විශ්වවිද්‍යාලයෙහි පැවැති අන්තර්ජාතික සාහිත්‍ය සමුළුවකදී කෙරුණු සම්මුඛ සාකච්ඡාවකදී ය. ඒ 1990 වර්ෂයේදීය.

    1983 කළු ජූලිය ඇගේ ලේඛන දිවිය වෙනස් මඟකට යොමු කළේ යැයි සමහර විචාරකයෝ පැවසූහ. සුළු ජාතීන් වෙනුවෙන් අනවශ්‍ය ලෙස හඬ නඟන්නේ යැයි ඇයට සමහරකු චෝදනා නොකළා ද නොවේ.

    සැබවින් ම ඒ අසුන්දර ජූලි මාසය ඇයට අත් කරදුන් අවාසනාවන්ත අත්දැකීම් සංඛ්‍යාව අප්‍රමාණ ය. උපතින් බර්ගර් ජාතිකයකු වූ ඇය සිය පවුලේ උදවියද සමඟ මහනුවර වටපුළුවේ නිවසේ ගත කළේ ඉතා සාමකාමී දිවී පෙවෙතකි.

    ජීන් ලිනට් ක්‍රිස්ටීන් සොලමන්ස්, අර්සනායගම් කෙනකු බවට පත්වූයේ විවාහයෙන් පසූව ය. ඇය විවාපත් වූයේ යාපනයේ සම්ප්‍රදායික, කුලීනයැයි සම්මත දමිළ පවුලක උපන් ත්‍යාගරාජා අර්සනායගම් සමඟිනි.

    විවාහයෙන් පසු ආගම, ජාතිකත්වය සහ සංස්කෘතිය පිළිබඳ විවිධ හා විෂම වූ ආගන්තුක අත්දැකීම් රැසකට මුහුණ දෙන්නට ඇයට සිදු විය. ඒ බොහොමයක් අනුභූතීන් තම නිර්මාණ සඳහා වස්තු විෂය කොට ගන්නට ඇය නොපසුබට වූවාය.

    ජීන් අර්සනායගම් නම් වූ ඒ සුප්‍රකට ලේඛිකාව, අපගේ ආදරණීය සාහිත්‍ය ඇදුරුතුමිය ඒ අඳුරු ජූලි මාසය මහනුවර ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසලක පිහිටුවා තිබූ අනාථ කඳවුරක ගත කළ ආකාරය මේ මොහොතේ මට සිහිපත් වේ. බොහෝ දෑ ජීවිතයට අහිමිව තිබියදී පාර්වතී සහ දේවසුන්දරී යොවුන් දියණියන් දෙදෙනා සහ ස්වාමිපුරුෂයා සමඟ ඇය කඳවුරෙහි කර්කශ ජීවිතය ගෙවා දැමුවේ ද සුපුරුදු සිනා මුහුණින්ම ය; කඳවුරෙහි සිටි කසල ශෝධකයා සමඟ පවා ළෙන්ගතුව ය.

    විශිෂ්ට ලේඛිකාවක හැරුණු කොට ඇය වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම ගුරුතුමියක් ද වූවාය. එවන් සොඳුරු ඇදුරුතුමියකගේ ශිෂ්‍ය මානවිකාවක ලෙස මගේ කෙළිලොල් මුල් තරුණ වියේ පුරා දෙවසරක් ගෙවන්නට තරම් මම ද වාසනාවන්ත වූයෙමි. එවක ඇය පේරාදෙණිය ඉංග්‍රීසි ගුරු විදුහලෙහි ඉංග්‍රීසි සාහිත්‍යය පිළිබඳ කථිකාචාර්යවරියක ලෙස මහඟු සේවාවක් ඉටු කළාය.

    ගුරු භූමිකාව තුළ ඇය තම සිසු සිසුවියන් හට ඉතා ළෙන්ගතු, ආදරණීය ගුරු මවක වූවාය. එහෙත් දුර තියා හඬ නඟා සිනා කටක් පුරවාගෙන ඇය තම ගෝල බාලයින් ඇමතූයේ කිට්ටුවන්ත යෙහෙළියක සිහිගන්වමිනි.

    වසර විසි තිස් ගණනකට පසු කලෙක නොයෙකුත් සාහිත්‍ය සම්මාන උත්සව වලදී මුණ ගැසෙද්දී ද ඇය මා හට සුපුරුදු සුන්දර ගුරුතුමිය හා යෙහෙළිය ම වූවාය.

    මැඩම් ජීන් මට අවසන් වතාවට මුණ ගැසුණේ ඇය මෙලොව හැර යන්නට වසරකට පමණ පෙරාතුව ය. එදින ද ඇගේ පිරිපුන් සිනහව තුළින් පිළිබිඹුව පෙනුණේ ඇගේ සහෘද සහ විවෘත හදවත ම ය.

    කාන්තාව, වර්ගවාදය, යුද්ධය සහ දේශපාලනය පිළිබඳව ඉතා ගැඹුරු ගැදි පැදි පෙළ ගැස්වූ ඇය ව්‍යවහාරික ජීවිතය තුළදී ඉතා සරල ගැහැනියක වූවාය.

    “ඔයාලට සාරි අඳින්ඩ කටු කප්පරක් ඕන වුණාට මට සාරිය අඳින්ඩ කටු ඕන නෑ.”

    ඇය අප හා පැවසුවේ සාරි පොට දෙවුරෙන් ගෙනහැර පාමිනි.

    අනෙක් ගැහැනු සාරිය, ඔසරිය අඳින්නට හර්නල් කටු පැකට්ටුවක් පමණ ගසමින් බොහෝ කාලයක් වැය කරද්දී ජීන් මැඩම් විනාඩි තුන හතරෙන් ඉන්දියානු සාරිය ඇන්ඳේ එකම හර්නල් කටුවක් හෝ භාවිත නොකරමිනි.

    ඇය අබරණ නොපැළැන්දා ය. රන්වන් පැහැ ගත් ඇගේ දෑතට සහ ගෙලට කිසිදා අබරණ නොවැටුණ ද ඇය යනෙන තැන සැම දා යසට බැබලිණි .

    සිය ලේඛන කුසලතාව ඔස්සේ ලංකාවේ නම ලෝකයට රැගෙන ගිය මේ කෘතහස්ත, සම්මානිත ලේඛිකාව 2019 ජූලි මස 30 වන දා ඉතා සුවබර සදාකාලික නින්දකට පිවිසෙමින් සිය අපූර්ව වූ දිවිසැරිය නිමා කළාය.

    මට මෙන් ම ඇගේ පාඨකයන්ට, සිසු සිසුවියන්ට සහ නෑදෑ හිත මිතුරු සැමට ඇය මිහිරි මතකයක් ව ඇති බව නම් නිසැක ය.

     

    සුනිලා විජේසිංහ

    ජීන් අර්සනායගම්

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.