24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    ලෝකයම තිගස්සන ජනගහන වර්ධනය

    - Advertisement -
    10 ජූලි, 2021

    – මෙරට ජනගහනය වසර 10කින් මිලියන 23.8 ක්
    – 2030 වන විට ලෝක ජනගහනය බිලියන 8.5 දක්වා ඉහළට

    ලෝක ජනගහනය බිලියන 5 සපුරන ලද්දේ 1987 වසරේදීය. එම සැමරීමත් සමඟ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන විසින් 1989 වසරේදී සෑම වසරකම ජූලි මස 11 වැනිදා ලෝක ජනගහන දිනය ලෙස නිල වශයෙන් ප්‍රකාශයට පත් කරනු ලැබිණ. ඒ අනුව මෙවර ලෝක ජනගහන දින තේමාව වන්නේ ‘අයිතිවාසිකම් සහ තේරීම්’ යන්නයි. ලෝකයම කොවිඩ් වසංගතයට ගොදුරු වී සිටින තත්ත්වයක් මිනිසා තුළ ජීවිතය පිළිබඳ ආශාව අන් කවරදාකටත් වඩා වැඩි වී ඇත. එවැනි වාතාවරණයක් තුළ රටේත් ලෝකයේත් ජනගහනය හමුවේ ඇති සමාජ, ආර්ථික අභියෝග, ප්‍රක්ෂේපණ සහ කොවිඩ් වසංගතය ජනගහනයට සිදුකරමින් සිටින බලපෑම් පිළිබඳ විමසීමට අදහස් කළෙමු.

    - Advertisement -

    ˝ලෝක ජනගහනය අනාගතයේදිත් වර්ධනය වන ස්වාභාවයක් දක්නට තිබෙනවා. 2020 දී ලෝක ජන සංඛ්‍යාව බිලියන 7.6ක්. එය 2030 වන විට බිලියන 8.5ක් පමණත් 2050දී බිලියන 9.5ක් පමණ දක්වාත් වැඩිවිය හැකි බවටත් ප්‍රක්ෂේපනය කර තිබෙනවා. මේ වන විට ලෝක ජන සංඛ්‍යාව අතර වැඩිම වර්ධන වේගයක් පෙන්නුම් කරන්නේ අප්‍රිකාව. ඒ වගේම ලෝකයේ සමහර රටවල මේ වන විට ජන සංඛ්‍යාව ක්‍රමයෙන් අඩුවීමට පටන් ගෙන ඇති බවත් දැකගත හැකියි. ඇතැම් යුරෝපීය රටවල මෙන්ම ජපානයේත් ජනසංඛ්‍යාව අඩුවෙමින් තිබෙනවා. තව ටික කලක් ගතවන විට කොරියාව තුළත් එම අඩු වීම දැකිය හැකියි˝ 

    එසේ පැවසුවේ කොළඹ විශ්වවිද්‍යාලයේ ප්‍රජා විද්‍යාව පිළිබඳ සම්මානිත මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා ය. ලෝක ජනසංඛ්‍යාවේ තත්ත්වය එසේ වද්දී, 1981දී මිලියන 2.4ක්ව පැවති මෙරට ජනසංඛ්‍යාව 2012දී එය මිලියන 20.4 දක්වා 9 ගුණයකින් වැඩි වී ඇත. එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල විසින් ප්‍රකාශිත, මහාචාර්ය ඉන්ද්‍රලාල්ද සිල්වා විසින් කරන ලද ප්‍රක්ෂෙපණ අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාව තවත් වසර 10කින් එනම්, 2032දී මිලියන 23.8 ක් දක්වා වැඩිවිය හැකි බවද මහාචාර්යවරයා පැවසුවේය. 2020දී මෙරට ජන සංඛ්‍යාව මිලියන 22ක් පමණ වූ අතර ඒ අනුව ශ්‍රී ලංකාවේ ජන සංඛ්‍යාවේ වර්ධන වේගය 0.8-0.9 අතර පරාසයක විහිදී යයි. ඒ අනුව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා පවසන්නේ 2042 වන විට මෙරට ජන සංඛ්‍යාව මිලියන 25ක් දක්වා ඉහළ යා හැකි බවයි. එසේ ජනසංඛ්‍යාව ඉහළ යෑමට බලපෑ හැකි සාධක පිළිබඳව මහාචාර්යවරයා මෙසේ පැහැදිලි කළේය.

    “වත්මන් කොවිඩ් තත්ත්වයත් සමඟ මෙරටින් බැහැරව යන ශ්‍රම සංක්‍රමණිකයන්ගේ අඩුවීමක් දක්නට තිබෙනවා. 2014දී මෙරටින් විදෙස් රැකියා සඳහා ලක්ෂ 3ක් පමණ පිටත්ව ගොස් තිබුණත් 2019දී එය ලක්ෂ 2කට ආසන්න අගයක් දක්වා පහළ බැස තිබුණා. කොවිඩ් වසංගත තත්තවය තුළ 2020 වසරේදී මෙරටින් විදෙස් රැකියා සඳහා ගොස් ඇත්තේ 55,000ක් පමණයි. ඒ ප්‍රමාණය 2021,2022 වසරවලදී වුවත් ලක්ෂ 2කට වැඩිවේ යැයි සිතිය නොහැකියි. එවිට රැකියා සඳහා රටින් බැහැරව යෑමට සිටි ලක්ෂඑකහමාරක පමණ පිරිසක් මෙරටම නතර වෙනවා. ඒ වගේම කොළඹ වරාය නගර ව්‍යාපෘතියත් සමඟ ඉදිරියේදී රැකියා සඳහා විදෙස් ශ්‍රමිකයන් ලක්ෂයක් පමණ මෙරටට පැමිණීමට නියමිතයි. ඔවුන් සමඟ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ද පැමිණ කොළඹ සහ ඒ අවට පදිංචි විය හැකියි. ඒ ජනසංඛ්‍යාවත් අපේ රටේ ජන සංඛ්‍යාව විදිහටයි ගණන් ගැනෙන්නේ. එකී කරුණු දෙක මත මෙරට ජනසංඛ්‍යාව තවත් වැඩිවීමේ ප්‍රවණතාවත් වැඩිවනවා. ඒ වගේම හිතුවාට වඩා වේගයකින් අපේ ආයු අපේක්ෂාවත් වැඩිවී තිබෙනවා. ඒ නිසා මෙරට වියපත් ජනසංඛ්‍යාවත් වැඩි වෙමින් තිබෙනවා. “

    - Advertisement -

    මහාචාර්යවරයා එසේ පැවසුවද කොවිඩ් 19 ආසාදිත සමස්ත මරණ අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 60 ඉක්මවූවන්ය. එසේ නම් එය වියපත් ජනසංඛ්‍යාව අඩු වීමට හේතු වන්නේ නැද්ද? ඒ පිළිබඳව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මෙසේ පැවසුවේය.

    “බහුතර මරණ වියපත් වූවන් වුණත් එයින් සමස්ත ජනසංඛ්‍යාවේ ප්‍රමාණයට බලපෑමක් වන්නේ නැහැ. එහෙත් වියපත් ජනසංඛ්‍යාවේ අඩුවීමක් විය හැකියි. මෙහිදී තවත් කරුණක් මතුකළ හැකියි. ලංකාවේ ජනසංඛ්‍යාව තුළ ස්ත්‍රී, පුරුෂ වශයෙන් කැපී පෙනෙන වෙනසක් පෙන්නුම් කරනවා. 1981දී මෙරට ස්ත්‍රී පුරුෂ ප්‍රමාණාත්මක අනුපාතය, සෑම කාන්තාවන් 100කට පිරිමි 104ක් ලෙසයි. 2012 දී එය සෑම කාන්තාවන් 100කටම පිරිමි 93 දක්වා පහළ වැටුණා. තවත් වසර 20-30ක් ගතවුණත් ඒ පරතරයේ වෙනසක් වෙන එකක් නැහැ. 2012දී මෙරට කාන්තාවකගේ ආයු අපේක්ෂාව උපතේ සිට අවුරුදු 78ක් සහ පිරිමියකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 75ක්. 2021 දී එය කාන්තාවකගේ ආයු අපේක්ෂාව උපතේ සිය අවුරුදු 80ක් පමණ සහ පිරිමියකුගේ ආයු අපේක්ෂාව අවුරුදු 75ක් පමණ වනවා. මෙරට වියපත් ජනගහනනය වන මිලියන 3න් සියයට 18කට පමණ ප්‍රමාණයකට පමණයි විශ්‍රාම වැටුපක් ලැබෙන්නේ. ඒ වගේම වියපත් ජන සංඛ්‍යාවෙන් සියයට 60ක් පමණ කාන්තාවන්. සැමියාගේ වියෝවෙන් පසුව ඔවුන් බොහෝ දෙනකුට රැකවරණය අහිමි වෙනවා. කොවිඩ් වසංගතය තුළ ඇතිවී තිබෙන ආර්ථික අපහසුතා නිසා තරුණ ජනතාවට වියපත් මවුපියන් රැකබලාගැනීමේ බරපතළ අර්බුද ඇති වී තිබෙන තත්ත්වයක් තුළ දරුවන් විසින් වියපත් මවුපියන් නොසලකා හැරීම් ඉදිරියේදී වැඩිපුර දකින්න ලැබෙයි. එම නිසා වියපත් ජනතාවට ප්‍රීතිමත් වියපත් දිවියක් ගතකිරීම සඳහා වැඩපිළිවෙළක් හඳුන්වා දීම, ඒ සඳහා ප්‍රතිපත්ති සම්පාදනය කිරීමේ වගකීම රජයට පැවරී තිබෙනවා. ඒ වගේම අපේ රටේ ශ්‍රම බළකාය (රැකියා සහ රැකියා අපේක්ෂිත ජන සංඛ්‍යාව) මේ වන විට මිලියන 8.5ක්. ඒ සංඛ්‍යාවටම තමයි මෙරට විරැකියාවෙන් පෙළුණු ලක්ෂ 3,4ත් අයත් වුණේ. නමුත් කොවිඩ් වසංගතයත් සමඟ රැකියා විරහිත ප්‍රමාණය ඉදිරියේදී ලක්ෂ 5-6ක් දක්වා ඉහළ යා හැකියි. ඒ වගේම මේ වන විට ඌන සේවා වියුක්තියත් වැඩිවී තිබෙනවා.”

    මහාචාර්යවරයා එසේ සැකෙවින් අනාවරණය කළේ කොවිඩ් 19 ගෝලීය වසංගතය හමුවේ ශ්‍රී ලංකාවේ ජනගහනය සම්බන්ධයෙන් මතුවී තිබෙන මූලික ගැටලු කිහිපයක් පමණි. ඊට අමතරව රටත් ලෝකයත් මුහුණ දෙන විශාල ගැටලු වන ජන සංඛ්‍යාව ශීඝ්‍ර ලෙස ඉහළ යෑම, ගෝලීය උෂ්ණත්වය වැඩිවීම, රසායනික භාවිතය වැඩි වීම, වාතය අපිරිසිදු වීම, පිරිසුදු පානීය ජලය නොමැති වීම ආදී ප්‍රශ්න නිසා මිනිසුන්ගේ ආයු අපේක්ෂාව වැඩිවුවත් එම වැඩිවන ආයු කාලය නිරෝගීව ගතකළ හැකිද යන ගැටලුව මතු වේ. ඒ අනුව මහාචාර්යවරයා පවසන්නේ අනාගතයේදී මිනිසුන් වැඩි කලක් ජීවත් වුවත් ඒ ජීවිතය ලෙඩරෝග සමඟ ගතකිරීමට සිදුවන බවයි.

    - Advertisement -

    ඕනෑම රටක ජීවනාලිය වන්නේ ළමා පරපුරයි. 2012දී මෙරට අවුරුදු 15ට අඩු ළමා ජන සංඛ්‍යාව මිලියන 5.13ක් වූ අතර මේ වන විට එය මිලියන 5.3 දක්වා වැඩි වී ඇත. ඊට හේතුව සඵලතාවයේ වැඩිවීමයි. වයස අවුරුදු 15-29 අතර මෙරට තරුණ ජනගහනය 2017 වසරේදී මිලියන 4.6ක් වූ අතර 2032 වන විට එය මිලියන 5.2 දක්වා සියයට 10කින් වැඩිවෙතැයි ප්‍රක්ෂේපණය කර ඇත. 2032 දී එම ප්‍රමාණය මිලියන 4.7 දක්වා වැඩිවිය හැකි බව මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වාගේ අදහසයි. 2017 වසරේදී මිලියන 8.5ක්ව පැවති මෙරට ශ්‍රම හමුදාව 2022 වන විට මිලියන 9.4 දක්වා සහ 2032 වන විට 10.5 දක්වා වැඩිවිය හැකි බවත් මහාචාර්යවරයාගේ ප්‍රක්ෂේපණ අතර වේ.

    ගෝලීය කොවිඩ් වසංගතය සෞඛ්‍ය අංශයට සිදුකර ඇති හානිය බරපතළ බවත් කොවිඩ් වසංගතය තවත් වසරක දෙකක පමණ කාලයක් ලොව පුරා පැවතිය හැකි බැවින් ලෝකයට බරපතළ අර්බුද රැසකට මුහුණ දීමට සිදුවිය හැකි බවත් හෙතෙම වැඩිදුරටත් අනාවරණය කළේය. මේ අතර කලින් කලට ලෝක ජනගහනය ස්වාභාවිකව පාලනය වන බවට සමාජය තුළ ඇති මතය පිළිබඳ මහාචාර්ය ඉන්ද්‍රලාල් ද සිල්වා මෙසේ පැහැදිලි කළේය. 

    “එය ජනගහන විද්‍යාඥයකු වන මෝල්ටස් කලකට පෙර පැවසූ අදහසක්. එනම්, ජනසංඛ්‍යාව ශීඝ්‍ර‍ෙයන් වැඩිවේගෙන යන විට ස්වාභාවික වාරණයක් එනම් මහා විශාල ව්‍යසන තුළින් යම් ආකාරයක පාලනයක් සිදුවන බව. ඒ අදහසට මම සියයට සියයක් එකඟ නොවූවත් එහි යම් සත්‍යතාවක් තිබෙන බව පැහැදිලියි. කලින් කලට එවැනි ස්වාභාවික විපත් තුළින් ජන සංඛ්‍යාවේ කිසියම් අඩුවීමක් සිදුවී තිබෙනවා. බ්ලැක් ඩෙත් නම් වසංගතයෙන්, ඉන්ෆ්ලුවන්සාව ඇතුළු වසංගතවලින් ලෝකයේ මිලියන ගණනාවක් මිය ගියා. කොවිඩ් ආසාදිත ගෝලීය මරණ සංඛ්‍යාව මේ වන විට ලක්ෂ 40 ඉක්මවා තිබෙනවා. අවම වශයෙන් ඒ සංඛ්‍යාව ලක්ෂ 50 දක්වාවත් වැඩි වේවි. ඉදිරියෙදිත් මෙවැනි බරපතළ ස්වාභාවික ව්‍යසන ඇතිවිය හැකියි. ඇතැම් විට ඉතා බරපතළ ආකාරයේ යුද්ධ, ජෛව සංග්‍රාම වැනි දේ පවා සිදුවිය හැකියි.”

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.