24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    සතිපතා පිටු පුරා ලියයි ඔහු රස කතා

    - Advertisement -

     

    කලා ලොව ළබැඳියන් එකට බඳිමින් මනා

    - Advertisement -

     

    මුද්‍රිත වේවා විද්යුත් වේවා කුමන ජනමාධ්‍යයකට වුව කලා ලෝකයේ විවිධ ක්ෂේත්‍ර හා සම්බන්ධ ජනප්‍රිය චරිත , කාලීන සිදුවීම්, නිර්මාණ, පිළිබඳ උණුසුම් තොරතුරු සඳහා විශාල ඉඩක් වෙන් කිරීම අරුමයක් නොවේ. කලා ලෝකය ක්ෂේත්‍ර රාශියකින් සැදුණක් බැවින් ඒ ලොව තොරතුරු දැන ගැනීමට අසන්නට දකින්නට පාඨක රසික පිරිස් ශ්‍රාවක හා ප්‍රේක්ෂක පිරිස් ඉමහත් කැමැත්තක් දක්වන බව මෙම මාධ්‍ය හොඳින් දනී. දිනපතා සතිපතා පුවත්පත් මතු නොව ගුවන් විදුලියේ, රූපවාහිනියේ මෙම විෂය අරබයා වෙන් වන ඉඩකඩ විශාලය. පුවත්පත් හා සංසන්දනය කරන කල්හි ගුවන් විදුලියේ හා රූපවාහිනියේ මේ ක්ෂේත්‍ර ආවරණය සඳහා වෙන් කෙරෙන ගුවන් කාලය හෝ විකාශන කාලය විශාල නොවූවත්, ඔවුන් දෙපිරිසම කලා ලොව වැඩසටහන් අමතක කොට නැති බව ඉතා පැහැදිලිය. කලා ලෝකයට අයත් වන විෂය ක්ෂේත්‍රයෙහි පුළුල් බව කෙතරම් විශාල ද කියා සිතා ගැනීමට ඊට අදාළ ප්‍රධාන නිර්මාණ ක්ෂේත්‍ර කිපයක් පමණක් සිහිපත් කරනු වටී. පාඨක, ශ්‍රාවක හා ප්‍රේක්ෂක ආකර්ෂණය වඩාත්ම යොමුවන ක්ෂේත්‍ර ලෙස සිනමාව, සංගීතය, ටෙලිනාට්‍යය, වේදිකා නාට්‍යය හැඳින්වීමට හැකිය. කලා ලෝකයෙහි නිර්මාණකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ තොරතුරු හා සිදුවීම් අයත් අනෙක් ප්‍රමුඛතා ලේඛනය තුළ අප දකින්නේ සාහිත්‍යය, ජනමාධ්‍යය, චිත්‍ර ශිල්පය, නර්තනය, මුද්‍රා නාට්‍යය, මූර්ති හා කැටයම් කලාව පාරම්පරික ජනකලා ආදී කලා ක්ෂේත්‍ර ය.

    ඉහත සඳහන් වූ කලා ලෝකයේ නිර්මාණකරුවන් හා ඔවුන්ගේ නිර්මාණ පිළිබඳ කෙරෙන කතා බහ, විචාර, සම්මුඛ සාකච්ඡා, මෙකී ක්ෂේත්‍ර නියෝජනය කරනු ලබන දේශීය මෙන්ම විදේශීය නිර්මාණ හා නිර්මාණකරුවන් පිළිබඳ වර්තමාන හා ඓතිහාසික තොරතුරු සඳහා ද මුද්‍රිත මාධ්‍ය පිටු වෙන් කෙරෙන අතර බොහෝ සති අන්ත පුවත්පත් සමඟ මේ වෙනුවෙන් පළවන ටැබ්ලොයිඩ් අතිරේක අපට අමතක කළ නොහැකිය. අද තීරුවෙහි කතා නායකයා වන්නේ ද දැනට සති අන්ත පුවත්පතක කලා ලොව තොරතුරු වෙනුවෙන් සංස්කරණය වන ටැබ්ලොයිඩයක සංස්කාරකවරයා ය. ඉරිදා ලංකාදීපයෙහි සඳැල්ල සංස්කාරක, කලා ලොව ප්‍රජාව විසින් ශකුවි නමින් හඳුන්වනු ලබන ශාන්ත කුමාර විතානගේය. සඳැල්ල මෙන්ම ප්‍රධාන සති අන්ත පුවත් පත් සියල්ල සමඟ ම කලා ලොව විෂය කොට ගත් මෙවන් ටැබ්ලොයිඩ් පළ වීම තුළින් ගම්‍ය වන මූලික කරුණ වන්නේ පාඨකයන් මෙම විෂය කෙරෙහි මොන තරම් උනන්දුවක් දක්වන්නේ ද යන්නයි. එහෙත් අවාසනාවකට මෙන් ඇතැම් ටැබ්ලොයිඩයක අපට කියවන්නට ලැබෙන්නේ කාලීන තොරතුරු සිදුවීම් හෝ පුද්ගල චරිත පිළිබඳ තොරතුරු නොව ඕපාදූප කතාය. ශාන්ත කුමාර විතාන විසින් දිගු කාලයක සිට සංස්කරණය කරනු ලබන ඉරිදා ලංකාදීප සඳැල්ල මෙන්ම අනෙකුත් ප්‍රධාන පුවත්පත් සියල්ලෙහිම කලාව වෙනුවෙන් පළ කෙරෙන ටැබ්ලොයිඩ් අතිරේක වේ. ඉරිදා මව්බිම හදගැස්ම (තිළිණි කෞශල්‍යා – අරුණි මල්ලවාරච්චි) ඉරිදා දිවයින මීවිත (දිනේශ් විතාන) සති අග අරුණ පිනිපලස (ක්‍රිෂාන්ත පුෂ්පකුමාර) සිළුමිණ රසඳුන (ටානියා මෝසස්) දේශය හදසර (සංජීවා සමරතුංග) දිනපතා පුවත්පත්හි වුව සිනමා කලා හා සාහිත්‍ය විෂයයන් සඳහා වෙන් වූ විශේෂාංග පිටු රැසක්ම ඇත්තේ ද ඒවා කෙරෙහි පාඨක අවධානය නොඅඩුව ලැබෙන බැවින් බව විශ්වාස කරමි. ලංකාදීපයෙහි සාහිත්‍ය වීමංසා (ගාමිණී කන්දෙපොළ) මව්බිම සඳහස (සුසිල් සුරවීර) දිවයින වටමඬල (රුවන් ජයවර්ධන) ලංකාදීප රසවින්දන (සමන්ත යහම්පත්) ලංකා ඉරිදා සංග්‍රහය රෝස් (විමල් කැටිපෙආරච්චි) සතිඅග අරුණ වරුණ (බියංකා නානායක්කාර) දිවයින සිනමා කලා (තිස්ස ගුණතිලක) දිනමිණ බද්දරමල්ල (දුමින්ද අලුත්ගෙදර) යනාදීන්ගේ නම්ගම් මතකයට එයි. සිනමාව වෙනුවෙන්ම පළ වන සරසවිය (අරුණ ගුණරත්න) ටැබ්ලොයිඩය හැරුණු කල පෙර දා ලක්බිම ඉරිදා සංග්‍රහය සමඟ පළ වූ රිද්ම සංග්‍රහය (නිහාල් පීරිස්, ගැමුණු රත්නායක, සමන් ප්‍රියංකර නම්මුනිගේ) නවලිය සිනමා අතිරේකය (ජයන්ත චන්ද්‍රසිරි) සිළුමිණ රසඳුන (ධර්මසිරි ගමගේ – රෝහණ වෙත්තසිංහ – සුනිල් මිහිඳුකුල – ඉඳුනිල් වීරරත්න දිවයින සිනමා කලා අතිරේකය (නාරද නිශ්ශංක – අජිත් අලහකෝන්) හා සිනමා හා කලා පිටු සම්පාදනයට දායක වූ ගාමිණී ජයලත්, අනුර බණ්ඩාර රාජගුරු, ගුණසිරි සිල්වා, ප්‍රියන්ත කොඩිප්පිලි, විමලනාත් වීරරත්න, මනුබන්ධු විද්‍යාපති, ඒ.ඩී. රංජිත් කුමාර ආදීන් ද අමතක කළ නොහේ. සිංහල මුද්‍රිත මාධ්‍ය ප්‍රකාශන පමණක් නොව ඉංග්‍රීසි පුවත්පත් පවා මේ විෂය කෙරෙහි උනන්දු වූ බවට සාක්ෂි වේ. Daily Mirror – Life Impulse (රමෙෂ් උවෙයිස් ) Ceylon Daily News – Town & Country (සචිත්‍ර මහේන්ද්‍ර) Sunday Observer – Montage (අනුරාධා කෝදාගොඩ) ඒ අතර මතකයට නැගෙන පුවත්පත් අතිරේක කීපයක් පමණි. මේ දීර්ඝ ප්‍රවේශය ඔස්සේ තීරුවෙහි කතානායක ශකුවි ස්ථානගත වන්නේ කොතැනකදැයි විමසිය යුතුය.

    - Advertisement -

    ශාන්ත කුමාර විතාන කැලණිය විශ්වවිද්‍යාලයෙන් ජනසන්නිවේදනය විෂයයක් සහිතව උපාධිය සමත් වී විජය පුවත්පත් ආයතනයේ මාධ්‍යවේදියකු ලෙස සේවයට බැඳී දීර්ඝ කාල පරිච්ජේදයකි. සඳැල්ල වර්ගයේ සිනමා කලා හා අනෙකුත් ප්‍රධාන කලා ෂානර විෂය කොටගත් ටැබ්ලොයිඩයක් සංස්කරණය කිරීම දැළි පිහියෙන් කිරි කෑම වැනි භාරදූර වගකීම් සහිත කර්තව්‍යයකි. ලංකාදීපයේ ශකුවි වසර තුනකට පමණ පෙර සිටි සංස්කාරක කාංචන දසනායකට පසුව සඳැල්ලට ගොඩ වී අද වන තෙක් කලා ලොව සහෘද ජනයා සමඟ සුහද සම්බන්ධකම් පවත්වා ගනිමින් එහි සිට කලා ලොව දෙස හා කලාකරුවන් ගේ ජීවිත, දරුවන් බිරිඳ ඇතුළු කුටුම්බ ජීවිත පිළිබඳ බොහෝ දෙනා නොදත් තතු, පාඨකයන් කියවීමට ආසා කරන ජීවන අත්දැකීම් අප අබිමුවට ගෙනෙමින් ඉටු කෙරෙන මෙහෙය මේ යැයි කියා ලියා නිම කළ නොහැකිය. එකී වගකීම් දරමින්ම මාධ්‍යයෙන් බැහැර සාහිත්‍ය ලෝකයේ ද ශකුවි සැරිසරනු දක්නට ලැබේ. ශාන්ත කුමාර විතානගේ විරචිත ජගත් පෙම් කතා පොත් පෙළ ඔහුගේ සාහිත්‍ය සම්ප්‍රදානයට නිදසුන්ය. කාම්බෝජයේ ලස්සන මල මෙම කතා මාලාවට ශකුවි විසින් එක් කරන ලද නවතම පෙම් කතාවයි. භාරත පෙම් කතා දහයක් පළ කිරීමෙන් ඇරැඹෙන ඔහුගේ සාහිත්‍ය චාරිකාව තුළ එවැනි කතා මාලා රැසක්ම හමුවේ. චීන පෙම් කතා, හිරු උදා රැජිණ (සියම් දේශයේ රාමෝතිබෝධි රජු හා යුරියෝතෝයි බිසව අතර හටගත් පෙම් පුවත්) හයිද්‍රා කුමරිය (හයිද්‍රාභාද් නුවරට එනම් තිළිණ කළ හයිද්‍රා බිසවගේ පෙම් පුවත) සිත්තර බිසෝ (තිබ්බතයට බුදු දහම රැගෙන ගිය චීන කුමරිය සහ රජුගේ පෙම්කතාව) සමුද්‍රා කුමරිය (වීදිය බණ්ඩාර සහ සමුද්‍ර දේවියගේ පෙම් පුවත) රජ මැඳුරේ තහනම් සඳ (සෙංකඩගල රජුගේ අන්තංපුර බිසවකට පෙම් කළ ලන්දේසි ආණ්ඩුකාරයාගේ අසම්මත පෙම් පුවත) ඔහුගේ සාහිත්‍ය කෘති නාමාවලිය වේ.

    කාම්බෝජයේ ලස්සන මල කාම්බෝජය බිහිසුණු මිනීමරුවකු වූ පොල්පොට්ගේ පාලන සමයේ වෛද්‍ය හෙයින්ග් නිගෝර් හා ඔහුගේ බිරිඳ වැන්ග් මයි හ්වෝයි ගේ ශෝකාන්තයකින් නිමා වූ ප්‍රේම කතාවයි. පොල්පොට් කාම්බෝජය සිය පාලනයට නතුකර ගත් පසු එරට උගතුන්ට, වෘත්තිකයන්ට මෙන්ම භික්ෂූන්ට ද අත් වූ ඉරණම, දස වධ දීමෙන් අනතුරුව ඔවුන් ඝාතනය කරනු ලැබීමේ පසුබිම් කතාව කාම්බෝජයේ ලස්සන මල කතාවෙන් නිරූපිතය. වෛද්‍ය හෙයින්ග් මරණය පෙනි පෙනී දිවි ගලවා ගැනීමට වාසනාවන්ත වූව ද ඔහුගේ බිරියගේ දරු ප්‍රසූතියේ දී ඈ මුහුණ දුන් ඛේදජනක ඉරණමින් ගලවා ගැනීමට වෛද්‍ය නිගෝර්ට හැකි නොවේ. ඈ ඇගේ මව්පියන් ගොස් සිටි ලොවටම යන්නීය. වෛද්‍ය ශිෂ්‍යයකුව සිටිය දී ඔහුට ලස්සන මල හමුවීමේ අවස්ථාව කතුවරයා විසින් රචනා කොට ඇත්තේ මෙසේය.

    ‘වැන්ග් කියන්නෙ ඔයාගෙ වාසගමද ..?’

    - Advertisement -

    මම මුලින්ම ඇගෙන් විමසුවෙමි

    ‘ඔව්’

    ඇය උත්තර දුන්නේ ලජ්ජාශීලීවය.

    ‘එතකොට මයි හ්වෝයි කියන ඔයාගෙ නමේ තෙරුම මොකක් ද? ‘

    මගේ ඊළඟ පැනය ඇය වඩාත් අසීරුවට පත් කළේය.

    ‘මයි හ්වෝයි කියන්නෙ ලස්සන මල..’

    ඇගේ අසීරුතාව නිසා මම ම කීවෙමි. (පිටුව 10)

    ශාන්ත කුමාර විතානගේ විසින් භාවිත භාෂාව ප්‍රේමාන්විත අත්දැකීමක් වර්ණනයෙහි අපූර්වත්වයක් පෙන්වයි. පාඨකයා ග්‍රහණයට නතු කර ගැනීමට එය සමත්ය.

    ‘ඔයා මොනවද ඇඟේ ගෑවෙ..?’

    මා ඇසුවේ ඇගේ කම්මුලක් සිප, සුවඳ හඳුනාගන්නට වෙහෙසෙමිනි.

    ‘මම මල් ටිකක් පොඩි කරලා වතුරට දාලා ඒ වතුරෙන් නෑවා..’

    හ්වෝයි කීවේ ළදැරියක මෙනි.

    ‘සුවඳයි..’

    මම කීවෙමි. ‘ ඒ නැතත් ඔයාගෙ දහදිය වුණත් මට සුවඳයි හ්වෝයි..’

    කුඹුරු යාය සිපගෙන හමන පවන මිදුලේ තිබූ මල් ගසක් බිම වට්ටවාගෙන හමා ගියේය. ඒ පවනේ වූයේ අපූරු සුවඳකි.

    මම හ්වෝයිගේ ගෙල, ළමැද ඔස්සේ ඇඟේ සුවඳ සෙවීමේ උත්සාහයක් ගත්තෙමි. ඇය සිහින් කෙඳිරියක් නඟමින් මගේ සිරුරට තුරුලු වූවාය.

    ‘හ්වෝයි.. මගෙ රත්තරන්.. මම ඔයාට ආදරෙයි.. මං නොමැරී බේරුණේ ඔයාට ආදරේ කරන්න..’ මම කෙඳිරීමි.

    ඇය මගේ දෙතොල මත දෙතොල තැබුවාය. (පිටුව 149)

    පොල්පොට් පාලනයේ අමානුෂීය බව කුරිරු බව ම්ලෙච්ඡ බව කතුවරයා විසින් ගොඩනඟා ඇති සිදුවීම් ඔස්සේ පාඨකයනට අත් විඳ ගැනීමට හැකිවේ. කතා රසයෙන් යුතු කාම්බෝජයේ ලස්සන මල කෙටි නවකතාව තුළ සැබෑ ප්‍රේමය හඳුනාගත් පෙම්වතුන් දෙදෙනකු, පසුව ආදරණීය අඹු සැමි යුවළකගේ අනුවේදනීය ප්‍රේම වෘත්න්තයක අත්දැකීමක් පාඨක හදට සමීප කරමින් හද සසල කරන අවසානයක් කරා පාඨකයන් රැගෙන යෑමට කතුවරයා සමත් වෙයි. මාධ්‍යවේදී ශාන්ත කුමාර විතානගේගේ සාහිත්‍ය භූමිකාව ද ඔහුගේ සංස්කාරක භූමිකාව මෙන්ම නිර්මාණශීලීය; අව්‍යාජය.

     

    බුද්ධදාස ගලප්පත්ති

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.