24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    සීදූ­වේදී එලොව ගිය තවත් අප­රා­ධ­කා­ර­යෙක්

    - Advertisement -
    24 ජූලි, 2021
    අපරාධයක් සඳහා පින්තු ඇතුළු පිරිස ගමන් කළ රථය පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට කොටුවු ස්ථානය සහ සිදුවිමෙන් පසු විශේෂ කාර්ය බළකා නිලධාරීන් පරීක්ෂණ පවත්වමින්

    සංවිධානාත්මක අපරාධකරුවන් හෙවත් පාතාල සාමාජිකයන්ගේ නිහඬියාවක් පසුගිය දිනවල දක්නට විය. ඊට අපරාධකාරයන් අත්අඩංගුවට පත්වීම නැතිනම් ආරක්ෂක අංශ මෙහෙයුම්වලින් මිය යෑම බොහෝ සේ බලපාන්නට ඇත. තිර සාර ලෙසින්ම වත්මන් රජය අපරාධකාරයන්ට එරෙහිව කිසිදු බුරුලක් නොදෙන හෙයින් ඔවුන් මේ වන විට යනඑනමං නැතිව සිටින වගක් පෙනේ. එහෙත් ඇතැම් අපරාධකාරයෝ සිය කුරුමානම් වෙනුවෙන් මාන බලද්දී රටෙන් පලා යාමටද තැත් කරමින් රට වටේ කරක් ගසන අපරාධකාරයන්ද නැත්තේම නොවේ.

     

    - Advertisement -

    එලෙස අපරාධයකට කුරුමානම් අල්ලමින් සිටින පිරිසක් ගැන හෝඩුවාවක් ලැබී තිබුණේ පොලිස් විශේෂ කාර්ය බළකායටයි. ඒ පසුගිය 17 වැනි සෙනසුරාදා දිනයි.

    එදින සවස් යාමයේ මත්ද්‍රව්‍ය වැටලීමේදී, විවිධ ජාවාරම් කොටු කරගැනීමේදී මෙන්ම අපරාධකාරයන් පසුපස හඹා යාමේදී විශිෂ්ට කාර්යභාරයක් ඉටුකරන විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාසයට එම තොරතුර ලැබී තිබිණි. එම තොරතුරෙන් කියැවුණේ සීදුව, කටුනායක, ඇවරියවත්ත ආදි ප්‍රදේශයන්හි WP CAB 1571 දරන මෙරූන් පැහැති සුඛෝපභෝගි විසෙල් වර්ගයේ මෝටර් රථයකින් අවිආයුධවලින් සන්නද්ධ පිරිසක් සැරිසරන බවයි. ඒ කවුරුන්ද, කුමන ප්‍රදේශයක පුද්ගලයන්ද යන්න හෙළි නොවිණි. එහෙත් කිසියම් අපරාධයකට අරඅඳින පිරිසක් බවනම් තොරතුරුකරුගෙන් සක්සුදක් සේ පැහැදිලි වී තිබුණේය.

    එම තොරතුර පිළිබඳව එසැණින් පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි කොට්ඨාස ස්ථානාධිපති නදික සිල්වා විසින් පොලිස් විශේෂ කාර්ය බළකා උසස් නිලධාරින් දැනුවත් කෙරිණි. විශේෂ කාර්ය බළකා ප්‍රධානී නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දරගේ සහ බුද්ධි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රෝහණ කරුණාරත්නගේ උපදෙස් මත නියෝජ්‍ය බුද්ධි අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ප්‍රසාද් උදය කොඩිතුවක්කුගේ මෙහෙයවීමෙන් නදික සිල්වාගේ ප්‍රධානත්වයෙන් එම අපරාධකාරයන් කොටුකර ගැනීමට මෙහෙයුමක් දියත් කෙරිණි.

    - Advertisement -

    ඒ අනුව පසුගිය සෙනසුරාදා රාත්‍රී 11.30ට පමණ අපරාධකාරයන් සැරිසරන බවට තොරතුර ලද ප්‍රදේශයට සිවිල් ඇඳුමෙන් සහ නිල ඇඳුම්ලා ගිය එස්ටීඑෆ් නිලධාරිහු අවේක්ෂණ රාජකාරියේ නිරත වූහ.

    අවේක්ෂණ රාජකාරියේ නිරතව සිටි නිලධාරින්ට එදින මධ්‍යම රාත්‍රිය පසුවී විනාඩි තිහක් පමණ ඉක්ම යද්දී තොරතුරුකරුගෙන් හෙළිවූ රථය සීදූව සිට ගුවන් තොටුපළ දෙසට ගමන් කරන ආකාරය දිස්විණි. සීදුව, ඇවරියවත්ත ප්‍රදේශයේදී බේස්ලයින් පාරේ, ශාන්ත පීතර මාවත අසලදී එම රථය පරයා විශේෂ කාර්ය බළකා රථයක් මඟ හරස්කොට නතර කළහ. රථය තුළ පුද්ගලයන් තිදෙනෙක් සිටින බවටද විශේෂ කාර්ය බළකා නිලධාරින්ට දිස්විණි.

    එස්ටීඑෆ් නිලධාරිහු රථය වටකරද්දී එක් නිලධාරියෙක් රථය පරීක්ෂා කිරීමට රථය අසලට ළං වූහ. එහෙත් එම නිලධාරියාට සිදු වූයේ නොසිතූවකි. ඔහු ඉදිරිපස වම්පස දොර විවෘත කිරීමට සැරසෙනවාත් සමඟම එම අසුනේ සිටි පුද්ගලයා රථයේ දොර විවරකොට පලා යාමට තැත් කෙරිණි. එසැණින් විශේෂ කාර්ය බළකා නිලධාරියා රථයේ දොර වැදී විසිවී ගොස් බිම ඇද වැටිණි.

    - Advertisement -

    රථයෙන් බැසගත් මුහුණ පුරා රැවුල වවාගත් වේට්ටියක් වැනි ඇඳුමක් හැඳ සිටි එම පුද්ගලයා පලා යාමට තැත් කරමින් ඉනේ වූ මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් ගෙන,

    “ළඟට එන්න එපා… මරාගෙන මැරෙනවා…” යැයි පවසමින් දිවයන්නට විය.

    ඔහු එස්ටීඑෆ් නිලධාරින් දෙසට ගිනිඅවිය මනාගෙන ශාන්ත පීතර මාවතේ මීටර් 25ක් පමණ දිව ගොස් තිබුණේය. එහෙත් ඔහුට විශේෂ කාර්ය බළකා නිලධාරින්ගෙන් ගැලවීමක් නොමැති බව ඒත්තු ගිය හෙයින් නිලධාරින් දෙසට වෙඩි ප්‍රහාරයක් එල්ලකර තිබිණි. ඒත් සමඟ ක්‍රියාත්මක වූ විශේෂ කාර්ය බළකා නිලධාරිහු එම පුද්ගලයා දෙසට වෙඩි තැබීමක් සිදු කළහ.

    වෙඩි වැදුණු එම පුද්ගලයා විනාඩි දහයක් වැනි කාලයකදී මීගමුව රෝහලටද ඇතුළත් කිරීමට විශේෂ කාර්ය බළකා නිලධාරිහු කටයුතු කළහ. එහෙත් මීගමුව රෝහලේදී ඔහු මරණයට පත්විණි. එම අවස්ථාවේදී පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරින් විසින් ගිනිඅවි භාවිතයෙන් අවම බලය පාවිච්චි කිරීමක් සිදුවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණද පැවැසීය.

    එලෙස මියගිය පුද්ගලයා පිළිබඳව සිදුකළ පොලිස් විමර්ශනවලදී අනාවරණය වූයේ ඔහු ප්‍රබලතම සංවිධානාත්මක අපරාධකරුවෙක් බවයි. ඔහු 44 හැවිරිදි මිහිඳුකුලසූරිය ලලිත් වසන්ත පින්තු හෙවත් ලලිත් ප්‍රසන්න පින්තු නමැත්තා බව හඳුනා ගැනිණි.

    සීදුව සහ කටුනායක විසූ ඔහුගේ නම ඉදිරියේ පසුගිය කාලයේ සිදුවූ මිනීමැරුම් සහ අපරාධ කොල්ලයන් රැසක්ම සටහන් වී තිබුණේය. ඒ අනුව 1999 වසරේ සිට පොලිස් පොත්වල සටහන්ව තිබූ මිනිස් ඝාතන සංඛ්‍යාව 6ක් පමණ විය. ඒ අතර 1999 සැප්තැම්බර් 10 වැනි දින සීදුවේදී පුද්ගලයකු පැහැරගෙන ගොස් පිහියෙන් ඇන ඝාතනය කිරීම, 2004 ජනවාරි 13 දින කටුනායකදී පොල්ලකින් පහර දී පුද්ගල ඝාතනයක් සිදු කිරීම, 2011 නොවැම්බර් 03 දා වත්තලදී වෙඩි තබා අයකු ඝාතනයකොට කොල්ලකෑමක් සිදු කිරීමත් එදිනම වත්තලදී ඉසුරු රණසිංහ නමැත්තා ඝාතනය කිරීම සහ 2011 අගෝස්තු 05 වැනිදා කටුනායක විසූ කරාටේ ශූරයකු වූ රොෂාන් ඝාතනය කිරීමද වේ.

    මුල් කාලයේ ධීවර රැකියාවේ නියුතු පින්තු 1999 වසරේ සිට සීදූව, රාගම, කටුනායක, ජාඇළ, මාතර, අලුත්ගම, මින්නේරිය, මාරවිල, පිළිමතලාව, අකුරැස්ස, බලගොල්ල ආදි පෙදෙස්වල කෝටි ගණනක මුදල් හා රන් භාණ්ඩ කොල්ලකා තිබූ අවස්ථා 20කට ආසන්න බව පොලිස් පොත්වල සටහන්ව තිබේ.

    අපරාධ ලෝකයට පිවිසි මුල් කාලයේ පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් පසු බන්ධනාගාරගතව මීගමුව බන්ධනාගාරයේ සිටියදී පින්තු හඳුනාගෙන තිබුණේ මාකඳුරේ මධුෂ්ය. කලක් මාකඳුරේ මධුෂ්ද මීගමුව බන්ධනාගාරයේ ගතකර තිබුණේ මීගමුවේ සිදුවූ කොල්ලයකට අත්අඩංගුවට පත්වයි. බන්ධනාගාරයේදී හඳුනාගත් මාකඳුරේ මධුෂ් සමඟ පින්තු සමීප ඇසුරක්ගත කර තිබුණේය. පින්තු, මාකඳුරේ මධුෂ් හා එක්ව මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු බොහෝ අපරාධ සිදුකළ අයෙකි. මධුෂ් මරණයට පත්වීමෙන් පසුවද ඩුබායිහි සිටින බවට සැල වන ගිහාන් ෆොන්සේකා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු සමඟද සම්බන්ධ වී පින්තු මීගමුව, සීදූව ආදි පෙදෙස්වල මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරතව සිටි බවකි.

    අපරාධ මැඬලීමට කැපව සිටින STF නිලධාරීහු

    මෑත කාලයේත් මීගමුව බන්ධනාගාරයේ ගත කළ පින්තු මීට මාස කිහිපයකට පෙරදී ඇප මත නිදහස්ව පැමිණ සිටියේය. බන්ධනාගාරය තුළදීත් ඔහු දුරකථන භාවිත කරමින් රිසි සේ මත්ද්‍රව්‍ය ජාවාරම්හි නිරතව සිටි අයෙකි. පින්තු මීගමුව බන්ධනාගාරය තුළ ගත කළ සුපිරි දිවිය පිළිබඳව ඉකුත් දිනවල බොහෝ සේ ආන්දෝලනාත්මක තත්ත්වයක් හටගෙන තිබුණේය.

    ශීතකරණ, විදුලි උදුන්, ඕනෑම කෑමක්බීමක් සඳහා අඩුමකුඩුමද කොට්ට, මෙට්ට සහිත ඇඳක්ද පාවිච්චි කරමින් සිටි බවට අනාවරණය වූ පින්තු නිතර නිතර මත්පැන් සාදද පවත්වමින් බන්ධනාගාරය තුළ ගතකර තිබුණේ සිරකරු දිවියක් නොව හෝටලයක ගතකරනා සුපිරි ජීවිතයකි. ඒ සියලු සැප පහසුකම් පින්තු ඇතුළු කිහිප දෙනෙක් ලබාගෙන තිබුණේ එවකට මීගමුව බන්ධනාගාර අධිකාරිවරයා ඇතුළු නිලධාරින් කිහිප දෙනෙකු මුදලට ලබාගෙනයි.

    පසුගිය කාලයේ ව්‍යාජ ගමන් විදෙස් ගමන් බලපත්‍රයක්ද ඇතුළුව විදෙස් ගමන් බලපත්‍ර දෙකක් සහිතව සිටි මෙකී අපරාධකාරයා රටින් පලා යාමට තැත් කරමින් සිටි බවට ආරක්ෂක අංශවලට තොරතුරු ලැබී තිබිණි. පින්තු යම් හෙයකින් රටින් පලා ගියේනම් තවත් මාකඳුරේ මධුෂ් කෙනෙක් නැතිනම් අංගොඩ ලොක්කා වැන්නෙක් බිහිව රට තුළට මත්ද්‍රව්‍ය තොග පිටින් එවමින් රටේ අහිංසක ජනයාගෙන් කප්පම් ගැනීම් සිදු කරමින් තවත් අපරාධකාර පිළිලයක් වන බව අපරාධ මැඬලීමේ නිරත ආරක්ෂක අංශ නිලධාරින් ඔහුව හඳුනාගෙන සිටි බවකි. පින්තු සමඟ මෝටර් රථයේ ගමන් කළ සෙසු පුද්ගලයන් දෙදෙනාද අත්අඩංගුවට ගැනිණි. ඒ ජූඩ් නිමල් හෙවත් ඉඳිකටු ජූඩ් සහ රජින්ද්‍ර ප්‍රනාන්දු යන තවත් අපරාධකාරයන් දෙදෙනෙකි. ඔවුනටද මිනීමැරුම් සහ කොල්ලකෑම් පිළිබඳ අපරාධ චෝදනා රැසක් තිබෙන බව මේ පිළිබඳ විමර්ශන සිදුකරන උසස් පොලිස් නිලධාරියෙක් කීහ.

    යම් පුද්ගලයෙක් අපරාධ ලෝකයට පිවිසියහොත් අනිවාර්යයෙන්ම සිදුවන්නෙ සිර ගෙදර කූරු ගණින්නට නැතිනම් විරුද්ධ පාර්ශ්වයකින් හෝ ආරක්ෂක අංශ වෙඩි ප්‍රහාරයකින් මියැදෙන්නටය. එම නිසා අපරාධයක් සිදුකළහොත් ගැලවීමක් නොමැති බව සක්සුදක් සේ පැහැදිලි වන සත්‍යය හෙයින් අපරාධ ලෝකයට පිවිසීමට වෙර දරන්නවුන් මෙවැනි සිදුවීම් පාඩමක් කරගත යුතුය.

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.