24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    හකුළා ගනිව්

    - Advertisement -

     

    ඇම්බන් මහත්තයා. ඔය බූරු ඇඳ අකුළා ගන්නවකෝ. අනිත් අය ගැන කිසිම හැඟීමක් නෑ නේද?” කියා ටොම්සන් මහත්තයා බොහොම කේන්තියෙන් කීවේය.

    - Advertisement -

    ඇම්බන් මහත්තයා කලබල වී ඉඳ ගෙන සිටි ඉරියව්ව වෙනස් කළේ දෙපා හකුළා ගනිමිනි.

    “ටොම්සන් මහත්තයාට බොහොම තද වෙලා වාගේ නේද? මොකෝ ටොම්සන් මහත්තයා. මොකක් හරි අලකලංචියක් වෙලාද?”

    “අලකලංචි නේන්නම්. පාරේ යන්න බෑ. අකුළා ගනිව්. අකුලා ගනිව්. අකුලා ගනිව්. වෙන කිසි දෙයක් නෑ. අකුළා ගත්තම ඔක්කොම හරි යයි.” කියා කියමින් ටොම්සන් මහත්තයා සාලමේ ඒ පැත්තටත්, මේ පැත්තටත් ඇවිදින්නට පටන් ගත්තේය.

    - Advertisement -

    “මට නම් තේරෙන්නේ නෑ ටොම්සන් මහත්තයා. කියන දෙයක් හරියට කියන්නකෝ. නිකම් ප්‍රහේලිකා වගේ කියන්නේ නැතිව.” උන්නැහේ කීවේය.

    ටොම්සන් මහත්තයා කිසිවක් නොකියා ඇඳි පුටුවේ ඉඳ ගෙන දෙපා දිග හැර ගත්තේය.

    “මං කොහොම තෝරන්නද ඇම්බන් මහත්තයා. අකුළා ගනිව් කියලා රට පුරා ගහන උන්ටත් හරියට තේරෙන්නේ නැති කොට. නිදහසෙන් පස්සේ මේ රටේ ඉතිහාසය පුරාම තියෙන්නේ කකුලෙන් ඇදිල්ල. ඒක තමයි අකුලා ගනිව් කියන්නේ. එහෙම බැලුවම නිදහසෙන් පස්සේ මේ රටේ මොනවා හරි කරල තියෙනවා නම් කරල තියෙන්නේ අකුළා ගත්තේ නැති ඒවා විතරයි.” කියා ටොම්සන් මහත්තයා කීවේය.

    - Advertisement -

    “අනේ නිකම් ඉන්න ටොම්සන් මහත්තයා. ඔය කියන්නේ මේ ලොකු ලොක්කෝ ගැනද? උන්දැලා මොනවද මේ රටට කරලා තියෙන්නේ. උන්ටම කර ගත්තා මිසක්. ඔය අකුළා ගත්තු ඒවා අකුළා ගත්තේ නැත්නම් මේ රටට මොනවද වෙන්නේ. විනාසයි නේ. නැද්ද මං අහන්නේ’? ” කියා උන්නැහේ කීවේ ටොම්සන් මහත්තයා කෝචොක් එකටය.

    “විනාසයි. විනාසයි. මොකක් අලුතෙන් කරන්න ගියත් විනාසයි. අර ප්‍රාග් වෘත්තිය විෂය ගෙනාපු වෙලාවේ අර ඉස්කෝලවල හිටපු ළමයිනුත් පාරට බැස්සෙව්වා. අන්තිමට ප්‍රාග් වෘත්තිය විෂය අයින් කළා. අධිවේග මාර්ග හදන කොට කිව්වේ කිරි පැණි ගේන්න හදනවා කියලා. කොමිස් ගහන්න හදනවා කියලා. එතකොට නිදහස හම්බ වෙන කොට තිබුණේ එක විශ්වවිද්‍යාලයයි. අද වෙන කොට විශ්වවිද්‍යාලම කීයක්ද? ඒ විතරක්ද විවෘත විශ්වවිද්‍යාලය. එතකොට තාක්ෂණ විශ්වවිද්‍යාලය. මේවායින් ඉගෙන ගන්නේ මේ රටේ දරුවෝ නේද? එතකොට ඉස්සර පාරේ බස් එකක යන්න බෑ කොන්දෙ අමාරුව හැදෙනවා ගැස්සිලාම. දැන් මොකද ඕනැ කබල් වාහනයකට යන්න පුළුවන් පාරවල් රට පුරාම. එච්චරද? අද තියෙන ඉස්පිරිතාල බලපුවාම ඒ කාලේ තිබුණු ගඳ ගහන ඉස්පිරිතාල ගැන කාටවත් මතක නෑ.”

    උන්නැහේ විපරීත වී ඒ මේ අත බැලුවේය.

    “ඒ වුණාට ඕවයින් ගහපු ගැහිලි. ඉස්සර පාරේ බස් එකේ ආපු උන් ඇවිල්ලා අවුරුද්ද දෙක යනකොට යාන වාහන. දෙමහල් තුන් මහල් නිවාස. සමහරුන්ට පිට රටවලත් වතු. ඕක තමයි ඔය අලුත් වැඩවල පිටි පස්සේ තියෙන ගැහිල්ල.” උන්නැහේ කීවේ ඔලොක්කුවටය.

    “උන්නැහේ කියන එකත් ඇත්ත තමයි ටොම්සන් මහත්තයා. ඔය වැඩ අස්සේ ගැහැලිත් ඉවරයක් නෑ. ඒවා අපේ මේ මහජන මුදල් නේ… නැද්ද මං අහන්නේ?” කියා ඇම්බන් මහත්තයා කීවේය.

    “මේ උන්නැහේ. මේ ඇම්බන් මහත්තයා. ඔය කටට ආවාට කියන කතා හින්දා තමයි මේ රට මේ තරම් විනාසෙට යන්නේ. සංවර්ධන පිටි පස්සේ දූෂණයත්, ගැහැලිත් තියෙනවා තමයි. ඒවා නැති කරන්න පුළුවන් එක ක්‍රමයක් තමයි හොඳ මිනිස්සු තෝරලා කවුන්සිලේට යවන එක. අනික තමයි දූෂණ වංචා වළකවන්ට පුළුවන් යාන්ත්‍රණයක් හදන එක. ඒකට තමයි ඔය පෝස්ටර් ගහන්න ඕනෑ. හැබැයි ඒවට කිසි එකෙක් නෑ. හොඳ දෙයක් කරන්න යෝජනා කරන කිසි එකෙක් නෑ. ඔය සන්නිවේදනය එතකොට මාධ්‍ය තියෙනවා නේද? මහජනතාව රවට්ටන්න, මහජනතාව ගොනාට අන්දවන්න යොදා ගන්න හොඳම උපකරණ තමයි ඒවා. තමන් දකින්නේ මොකක්ද? තමන්ට ඇහෙන්නේ මොනවද? තමන් කියවන්නේ මොනවද? කියලා මහජනයාට තේරෙන්නේ නෑ. ඒ හින්දා මහජනතාව ගොනාට අන්දවන එක තමයි අද කාලේ අරගල කියන්නේ. මේවා ඇත්තටම මහජනයාගේ යහපත සඳහා කරන ඒවා නෙවෙයි. තමන්ගේම යහපත සඳහා කරන ඒවා. හැබැයි පෙන්නන්නේ මහජනයාගේ යහපතට කරන ඒවා කියලා.”

    “හරි ටොම්සන් මහත්තයා. උදාහරණයක් කියන්න බැරිද? නැතිනම් අපට ඔය කියන දේ තේරෙන්නේ නෑ.” කියා ඇම්බන් මහත්තයා කීවේය.

    “හරි. අපි මෙහෙම හිතමුකෝ. දැන් ඔය අකුලා ගනිව්. අකුළා ගනිව් කියන මොකක හරි ඇත්ත විස්තරයක් කොතනක හරි ඉදිරිපත් කරලා තියෙනවද මහජනයාට විශ්වාස කරන්න. ඒවා මොකුත් නෑ. ඇම්බන් මහත්තයා දන්නවද රුපියලට සත සීයේ කතාව.?”

    “ඒ මොකක්ද ටොම්සන් මහත්තයා.?”

    “ඇයි කාලෙකට ඉස්සෙල්ලා අර එක මහාචාරියෙක් දේශපාලන වේදිකාවක කෑ ගහලා කිව්වා අහල තියෙනවද කවුද කියන්නේ රුපියලේ අගය අඩු වෙලා කියලා. එදත් රුපියලට සත සීයයි. අදත් රුපියලට සත සීයයි. කියලා. එහෙම තමයි මහජනතාව රවට්ටන්නේ. එතකොට ඔය අකුළා ගනිව් කියන ඒවත් එහෙම තමයි. මොකක් හරි දෝෂයක් තියෙනවා නම් ඒක නිවැරදි කර ගන්න තමයි විවාද තියන්නේ. අනික ඒකට තමයි මහජන නියෝජිතයෝ පත් කරලා තියෙන්නේ. විරුද්ධ පක්ෂයක් තියෙන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය පැත්තකට තියලා, චණ්ඩිකමට ඉඩ දෙන්න නේ දැන් වෙලා තියෙන්නේ. මේක කොයි කාලෙටත් වැරදියි. මීට වඩා ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රම තියෙන්න ඕනෑ රටක යමක් කරන කොට.”

    “හරි ටොම්සන් මහත්තයා. ඕකට හොඳ වචනයක් තියෙනවා.”

    “ඒ මොකක්ද ඇම්බන් මහත්තයා.?”

    “ඒකට තමයි කියන්නේ ‘හුඹස් බය’ කියලා. ඒකට හේතුව තමයි. රටේ පොදු මහජන උගත්කම අඩු වීම. වෙන විදිහකට කීවොත් පොදු මහජන නූගත්කම. ඒ කියන්නේ ඔය විභාග පාස් කරලා නෑ කියන එක නෙවෙයි. යමක් හරි හැටි තේරුම් ගන්න. හරි හැටි සාක්ෂි සහිතව අවබෝධ කර ගන්න අවශ්‍ය සමාජ සාක්ෂරතාව නැති එක. ඒ විදිහටම සමාජය තියා ගන්න තමයි ඔය අකුළා ගනිව් කට්ටිය කැමති. එතකොට හුඹස් බිය ඇති කරන්න පහසුයි. සමහර දේවල් බැලු බැල්මට ටිකක් ගැටලු සහගත වෙන්න පුළුවන්. ඒ වුණාට ඒවා හදා ගෙන රට ඉස්සරහට යන්න ඕනෑ. ඒකට අලුත් අලුත් දේ කරන්න ඕනෑ. වෙනස්කම් කරන්න ඕනෑ. වෙනස්කම්වලට මුහුණ දෙන්න ඕනෑ.” කියා ටොම්සන් මහත්තයා කියන විට එයට අන්තිම අදහස කීවේ ඇම්බන් මහත්තයාය.

    “ඒකට ඉතින් මහජනයාගේ හුඹස් බය නැති කරන්න ඕනෑ. ඒක තමයි මේ සමාජයට ඕනැ කරන එකම දේ. මේ රට සංවර්ධනය කරන්න අවශ්‍ය දේ. පොදු මහජනයා එකතු කර ගන්නේ නැතිව රටක් සංවර්ධනය කරන්න බෑ. ඒකට ඔය කියන කියන හැටියට අකුළා ගෙන බෑ. මට නම් තේරෙන්නේ එච්චරයි.” කියා ඇම්බන් මහත්තයා කීවේය.

     

    බන්දුල පී. දයාරත්න

     

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.