24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    අපේ රටේ එන්නත්කරණය ඉතා හොඳින් සිදු වනවා

    - Advertisement -
    මහාචාර්ය අර්ජුන ද සිල්වා
    මාධ්‍ය මඟින් රෝගීන්ගේ අනන්‍යතාව හෙළි නොකළ යුතුයි
    කොවිඩ් පාලනයට නිවැරැදි තොරතුරු අතිශයින් වැදගත්
    වසංගතය අතරතුරේ ආර්ථික ගැටලුත් විසඳා ගත යුතුයි
    වසංගතයට එරෙහිව හමුදාව කරන්නෙ යුද්ධයක්

    වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා ගෙන ඇති පියවර, පවත්නා තත්ත්වය යටතේ ජනතාව ක්‍රියා කළ යුතු ආකාරය, කායික හා මානසික නීරෝගිභාවය පවත්වා ගැනීමේ වැදගත්කම යන කරුණු සම්බන්ධයෙන් මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සමඟ කළ සංවාදයකි මේ.

     වසංගත ව්‍යාප්තිය පාලනය සඳහා මේ වන විට රට පුරා නිරෝධායන ඇඳිරි නීතිය පනවා තිබෙනවා. මේ තත්ත්වය වෛද්‍යවරයකු ලෙස ඔබ දකින්නේ කොහොම ද?

    - Advertisement -

    රට දින 10කට රට පුරා නිරෝධායන ඇඳිරිනීතිය පනවා තිබෙනවා. මේ තත්ත්වය, පෙර තිබුණාට වඩා හොඳයි. ලොක්ඩවුන් කිරීම තාවකාලික විසඳුමක්. ඒත් සෞඛ්‍ය පද්ධතියට දරා ගත නොහැකි තරමට රෝගීන්ගේ ධාරිතාව ඉහළ යනවා නම්, එවැනි තත්ත්වයකදී මරණ වාර්තා වීමත් වැඩියි. එවිට මෙවැනි විසඳුමකට යන්න වෙනවා. එහෙම කරලා මරණ සංඛ්‍යාව අඩු කර ගැනීමට අවශ්‍යයි. මෙවැනි ලොක්ඩවුන් කිරීමකින් බලාපොරොත්තු වන්නෙත් ඒ දේ. ඒ සමඟ ම එන්නත්කරණයත් වැඩි වේගයකින් ඉදිරියට යා යුතුයි.

    දැනට අප එන්නත්කරණය ඉතා හොඳින් කර ගෙන යනවා. පුළුවන් නම් එය තවත් වේගවත් කළ යුතුයි. මේ වන විට ඔක්සිජන් තිබෙනවා; ඖෂධ තිබෙනවා. මේ තත්ත්වය පහළට වැටෙන්න නොදී, මේ ආකාරයටම ඉදිරියට පවත්වා ගැනීම වැදගත්.

    වසංගතයේ තුන්වැනි අදියරේදී ඩෙල්ටා ප්‍රභේදය මර්දනය කිරීමට වෙලා තියෙන නිසා, ජනගහනයෙන් 67%ක් වත් එන්නත්කරණය කළ යුතුයි. එය 80% දක්වා යෑමට හැකි නම් ඉතා හොඳයි. දැනට අප ජනගහනයෙන් 50%කට පමණ එන්නත් මාත්‍රාවක් හරි දී තිබෙනවා.

    - Advertisement -

    මෙවන් අවස්ථාවකදී අප ආර්ථිකය පැත්තෙන් තියෙන ප්‍රශ්නත් විසඳා ගන්න ඕනෑ. ඒත් මං මේ කාරණය දිහා බලන්නේ වෛද්‍යවරයකු හැටියටයි. පවතින ලොක්ඩවුන් තත්ත්වය මීටත් වඩා ඉදිරියට ගෙන යෑමට වෙයි ද කියලා කියන්න බෑ. රෝහල්වල ධාරිතාවත් සැලකිල්ලට ගනිමින් දැනට අනුගමනය කරන්නේ, සංකුලතා නොපෙන්වන රෝගීන්ට නිවෙසේ සිටම ප්‍රතිකාර ලැබීමට සැලැස්වීම හා නිරෝධායනය යන ක්‍රමයි. ඔක්සිජන් අවශ්‍යතාවක් ඇති රෝගියකු නම්, රෝහල්ගත කෙරෙනවා. සුළු රෝග ලක්ෂණ සහිත අවශ්‍යතාවකදී නම්, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කරනවා. මේ වැඩපිළිවෙළ දිගටම ක්‍රියාත්මක කළ යුතුයි. එහෙම වුණොත් මේ තත්ත්වය පාලනය කර ගැනීමට හැකි වෙයි.

    රට ලොක්ඩවුන් කරන්න කියලා බොහෝ දෙනා ඉල්ලා සිටියා. හැමෝම නොවුණත්, මේ අවස්ථාවේ ජනතාව හැසිරෙමින් සිටින ආකාරය ගැන සතුටු විය හැකි ද?

    මේ ගැන මම උදාහරණයක් ඇසුරෙන් කතා කරන්නම්. අපට පැපොල හැදුණහම, ‘දෙයියන්ගේ ලෙඩ’ කියලා සති 2ක පමණ කාලයක් නිවෙසේ කොහොඹ අතු එල්ලලා, කාමරයට වෙලා පරිස්සම් වෙනවා. ‘මේ ලෙඩේ බෝ වන එකක්’ කියලා හැදුණු කෙනත්, ගෙදර අයත් දන්නවා. දැන් මේ ඩෙල්ටා ප්‍ර‍භේදයේ බෝ වීමත් පැපොල වගේ ම තමයි. එක පාරට පැපොල හැදුණු රෝගීන් 100ක් 200ක් විතර පාරට බැස්සොත් මොක ද වෙන්නෙ? පාරෙ එහෙ මෙහෙ දුවන්න, කඩේට යන්න ගියොත් වටේ පිටේ ඉන්න අය හැමෝටම මේ රෝගය බෝ වෙනවා. ඒ නිසා මිනිස්සු එහෙම වෙන්න දෙන්නෙ නැතුව පරිස්සම් වෙනවා. හැබැයි මේකත් පැපොල වගේම බෝ වනවා නම්, කොච්චර පරිස්සම් වෙන්න ඕනැ ද?

    - Advertisement -

    පැපොල හැදිලා මැරෙන්නෙ නැති වුණාට, මේ අසනීප තත්ත්වය නිසා මිනිස්සු මැරෙනවා. මේ ගැන කල්පනා කරලා අපටම ලොක්ඩවුන් වෙන්න පුළුවන්; අනවශ්‍ය ගමන් බිමන් නොගිහින්, සංචරණය සීමා කර ගන්න පුළුවන්. ‘අපි පැපොලට බයයි, හැබැයි කොරෝනාවලට බය නෑ’ වගේ සමහර අවස්ථාවල මිනිසුන් හැසිරෙනවා.

    මේ වසංගතය ආරම්භයේදී වියට්නාමයේ මරණ 3ක් 4ක් වගේ වාර්තා වුණේ. ඒ කාලෙදි ඒ රට, මේ තත්ත්වය හොඳින් පාලනය කළා. ඒත් මේ වෙද්දී ඒ රටවල තත්ත්වය මීට වඩා හාත්පසින්ම වෙනස්. ඒ රටවලුත් දැන් හමුදාව යොදවලා, කොවිඩ් පාලනය සඳහා කටයුතු කරනවා.

    වෛද්‍යවරයකු හැටියට ඔබ ආර්ථිකය ගැන කතා කරන්න අකැමැති වේවි. ඒත් ආර්ථිකයත් කළමනාකරණය කර ගෙන අපට මේ ගමන යන්න වෙලා තියෙනවා නේද?

    රටට නිරෝධායන ඇඳිරිනීතිය පැනවූවත්, අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යමින් තිබෙනවා. ආර්ථිකයට වැදගත් ඇඟලුම් කම්හල් වගේ ආයතනවල සේවක පිරිස් එන්නත්කරණය කරලා, වායුසමනය රහිතව, ජනෙල් විවෘත කරලා, ඒ පරිශ්‍රවල සෞඛ්‍යාරක්ෂිත බව සැලකිලිමත්ව පවත්වා ගෙන යෑමට වගකිව යුතු පාර්ශ්වවලට පුළුවන්. පළාත් සංචරණ සීමා ක්‍රියාත්මක වන නිසා, අනවශ්‍ය ගමන් බිමන්වලට පාලනයක් තියෙනවා. අත්‍යවශ්‍ය සේවා පවත්වා ගෙන යෑමට අවස්ථාව තිබුණත්, ඊට මුවා වෙලා එම සීමා ඉක්මවා යෑමට කිසිවකු කටයුතු නොකළ යුතුයි. ඕනෑම තැනකදී වගේම, මෙතැනදිත් අපට විනයක් තිබිය යුතුයි.

    තොරතුරු යාවත්කාලීනව පවත්වා ගැනීමේ වැදගත්කම ගැන ඔබ මීට පෙර පෙන්වා දී තිබෙනවා. පවත්නා වසංගත තත්ත්වය තුළ එහි වැදගත්කම පැහැදිලි කළොත්?

    මේ වගේ තත්ත්වයකදී තොරතුරු මොන තරම් වැදගත්ද කියන එක හමුදාව හොඳටම දන්නවා. යුද්ධයකදී බුද්ධි අංශ දෙන තොරතුරු, දත්ත බෙහෙවින්ම වැදගත්. ඒ දත්ත, තොරතුරු ඒ වෙලාවෙම ලැබෙන්න ඕනැ. ඒ දත්ත සහ තොරතුරු අනුව මෙහෙයුම් මධ්‍යස්ථානයෙන් ඒ වෙලාවෙම ගත යුතු තීන්දු තීරණ ගන්නවා. දැන් මේ වසංගතයට එරෙහිව කරන්නෙත් යුද්ධයක් වගේ කාර්යභාරයක්.

    මෙතැනදි හමුදාව වගේ ම සෞඛ්‍ය අංශ එක්ව ක්‍රියාත්මක වෙනවා. හමුදාවට තොරතුරු ලබා ගැනීමේ දියුණු ක්‍රමවේද, අත්දැකීම් තියෙනවා. සෞඛ්‍ය අංශවල ඒ තත්ත්වය තවත් දියුණු විය යුතු බව පැහැදිලියි. මේ තොරතුරු පැය 24ක් ඇතුළත ලබා ගැනීමට අසීරු නම් ප්‍රශ්නයක් තියෙනවා. ඒ සඳහා ක්‍රමවේද සැකසිය යුතුයි. ඒ මොහොත වන විට යාවත්කාලීන තොරතුරු තිබුණොත්, ක්ෂණිකව තීන්දු තීරණ ගන්න පුළුවන්. උදාහරණයක් හැටියට: ගිලන් රථ පිළිබඳ යාවත්කාලීන තොරතුරු තියෙනවා නම්, එක් රෝහලකට අවශ්‍යතාවක් ඇති වෙලා ගිලන් රථයක් නැත්නම්, ඊට ආසන්නම රෝහලෙන් ගිලන් රථයක් යැවීමේ හැකියාව තියෙනවා. ඒක නොපමාව ක්‍රියාත්මක විය යුතු තත්ත්වයක්. තොරතුරු යාවත්කාලීනව පවත්වා ගැනීම මොන තරම් වැදගත් ද? කියන එකට මේ උදාහරණය වුණත් ප්‍රමාණවත්.

    මේ සෑම තොරතුරක් ම ජනතාව දැන ගැනිම අවශ්‍යයි කියලා ඔබ හිතනවා ද?

    සෑම දෙයක්ම ජනතාවට දිය යුතු නෑ. ඒත්, බහුතරයක් දිය යුතුයි. නූතන තොරතුරු හා සන්නිවේදන තාක්ෂණයත් එක්ක තොරතුරු ලැබෙනවා. හැබැයි සත්‍ය තොරතුරු නිසි ලෙස ලැබෙන්නෙ නැති වුණොත්, අසත්‍ය තොරතුරු වැඩියෙන් සමාජගත වෙනවා. යුද්ධයකදී නම්, ඇත්තටම තොරතුරු ලබා දීමට පුළුවන්කමක් නෑ. ඒත් මේ යුද්ධයේදී, ජනතාව දැන ගත යුතු ප්‍රමාණයට නිවැරැදි තොරතුරු දැන ගැනීම වැදගත්. ඒක වසංගතය පාලනය කිරීමට උපකාරී වෙනවා.

    මාධ්‍ය හා සමාජ මාධ්‍ය ඔස්සේ අසන්න දකින්න ලැබෙන ඇතැම් තොරතුරු හා දර්ශන නිවෙස්වල සිටින ළමයින්ට, වයෝවෘද්ධ ප්‍රජාවට සහ අසනීප තත්ත්වයෙන් පෙළෙන අයට බලපාන්නෙ කොහොම ද කියන එක ගැන මාධ්‍යයට අවබෝධයක් තිබෙන බවක් පෙනෙන්නේ නෑ. මේ නිසා විය හැකි බලපෑම ඔබ දකින්නේ කොහොම ද? 

    මෙය අවධානය යොමු විය යුතුම තත්ත්වයක්. මාධ්‍ය මඟින් රෝගීන්ගේ නම් ගම් පවා කියනවා; ඒ අය පෙන්වනවා. වෛද්‍යවරුන් හැටියට, රෝගීන්ගේ නම් හෙළිදරවු කරන්නෙ නෑ කියලා අපේ ආචාරධර්මවල තියෙනවා. ඇතැම් දර්ශන මාධ්‍යවල පෙන්වද්දි, ඒ ට්‍රොලිවල ඉන්නෙ තමන්ගේ අම්මලා, තාත්තලා කියලා දැනුණොත්, පවුලේ අය තුළ පුදුම සංවේදී බවක් ඇති වෙනවා. ඒ මඟින් වෙන මානසික බලපෑම යථා තත්ත්වයට පත් වීමට, වසර ගණනාවක් ගත වෙන්න පුළුවන්.

    මේ වසංගතයට මුහුණ දීමේදී අපේ ප්‍රතිශක්තිය ඉහළ මට්ටමක පවත්වා ගැනීමත් වැදගත්. නිවෙස්වලට සීමා වෙලා සිටින අතරතුර වුණත්, කායික මානසික නීරෝගිභාවය පවත්වා ගැනීම සඳහා ශාරීරික ව්‍යායාමවල නිරත වීමේ වැදගත්කම කෙබඳු ද? 

    මේ දවස්වල ශාරීරික ව්‍යායාම කිරීමට ‘ජිම්වලට’ යන්න එපා. ඒවා දැන් වසා දමලා තියෙන්නේ. එළිමහනේ ඇවිදීම වගේ ව්‍යායාමයක යෙදීමට පුළුවන්. සාමාන්‍යයෙන් දවසකට පැය බාගයක්, සතියට දවස් පහක් වත් ඒ විදිහට ව්‍යායාමයේ යෙදිය යුතුයි. ඒ සමඟම මත් වතුර සහ දුම් පානයෙන් වැළකීම අවශ්‍යයි.

    ශරීර ප්‍රතිශක්තිය හොඳ මට්ටමකින් පවත්වා ගැනීමටත්, ලෙඩ රෝගවලින් වැළකී සිටීමටත් හෙළ වෙදකමේ සහ ආයුර්වේදයේ දැනුම ප්‍රයෝජනයට ගැනීම ගැන ඔබේ අදහස මොකක් ද?

    ලෙඩේ හැදුණට පස්සෙ නොවෙයි, ලෙඩේ හැදෙන්නෙ නැතිව ඉන්න හෙළ වෙදකමේ, ආයුර්වේදයේ තිබෙන පිළිගත් දේ කළාට වරදක් නෑ. වෛද්‍යවරු හැටියට අප බලන්නෙ, බටහිර විද්‍යාවට අනුව විද්‍යාත්මකව පරීක්ෂණ කරලා සනාථ කරගත් දේ ගැනයි. ඒ නිසා ලෙඩේ හැදු‍ණොත් ඒ ප්‍රතිකාර කරන්න වෙනවා.

    පවත්නා තත්ත්වය ලෝකයට අභියෝගයක්. රටක් හැටියට මේ අභියෝගය ජය ගැනීම සඳහා අපට ඇති හැකියාව හා ශක්තිය ගැන ඔබට හැඟෙන්නෙ මොනවා ද?

    අප ධනාත්මකව සිතිය යුතුයි. යුද්ධයක් දිනන්න වුණත් ඒ මානසිකත්වය අවශ්‍යයි. මෙතැනදිත් එහෙමයි. ඒ සමඟම සුපරීක්ෂාකාරිව සෞඛ්‍ය පිළිවෙත් හා මාර්ගෝපදේශ පිළිපැදීම කරන්න වෙනවා. ඒ සඳහා අපට විනයක් තිබිය යුතුයි. තව කාලයක් අපට ඉවසා සිටීමට සිදු වන නිසා, ඉවසීම ප්‍රගුණ කිරීම අත්‍යවශ්‍යයි. ජනගහනයෙන් 80%කට විතර එන්නත්කරණය කරන තෙක් අපට ඉවසීමෙන් කටයුතු කරන්න වෙනවා. කොහොමටත් තවත් කාලයක් අප මේ තත්ත්වයට හුරු විය යුතුයි.

    සංවාදය

    ධම්මික සෙනෙවිරත්න

     

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.