24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    නූපන් පරපුරටත් හිමි වන ජයක්

    - Advertisement -

    ඈත අතීතයේ දිසාපාමොක්ලාගේ සිට ගුරුවරුන් දෙවිවරුන්ය. ඒ නිසයි ඔවුන්ට ගුරු දෙවිවරුන් කියන්නේ. අද වන විට කොතරම් වෘත්තීන් බිහි වුණ ද ඒ සියල්ලන්හි මව් වෘත්තිය ගුරු වෘත්තියයි. තවත් පැත්තකින් ගත් කළ එය වෘත්තීයකින් එහා ගිය වන්දනීය ගෞරවාන්විත සේවාවකි.ලොව බිහිවන විශිෂ්ටතමයා, ශ්‍රේෂ්ඨතමයා මෙන්ම බලවත්ම පුද්ගලයාද කිසියම් ගුරුවරයකුගෙන් උගත අයෙකි. මේ නිසා ලොව සෑම රටකම ගුරුවරුනට ඉහළ ගෞරවාන්විත බවක් හිමි වේ.අප ද රටක් ලෙස අතීතයේ සිට වර්තමානය දක්වා ඒ ගෞරවයට, වන්දනීයත්වයට අබමල් රේණුවක හෝ අඩුවක් ලබා නොදේ. තනතුර තරාතිරම කොතරම් උසස් වුව ද සමාජයේ බොහෝ දෙනකු තමන් උගත ගුරුවරයකු මහමග දුටු විට පවා දණ නමා ආචාර කරයි. අපේ සමාජය ඒ තරම් වන්දනීය වූ සංස්කෘතික බැඳීමකින් ගුරුවරයා දෙස බලනු ලබන්නේ අපිට ම ආවේනික සංස්කෘතික වටිනාකම්ද සමඟිනි. කොවිඩි ව්‍යවසනය මධ්‍යයේ පසුගිය දිනවල වැඩිම කතාබහට ලක් වූයේද ගුරුවරුන්ය, නැත්නම් ගුරු සේවාවය. අවුරුදු 24ක් එක දිගට ආ ගුරු ගැටලු එක පොදියට සමහරක් ලිහන්න උත්සාහ කෙළේ ලොවම වෙළාගත් කොවිඩි අර්බුදය මධ්‍යයේය. එක පැත්තකින් සමහර වෘත්තීය සමිති ගුරුවරුන් උකසට තබා අර්බුදය තමන්ගේ පැත්තට ඇද ගත්තා කියලයි සමහර වැඩවලින් තේරෙන්නේ.

    දහස් ගණනින් පිරිස් මහමගට ඇද දමා උද්ඝෝෂණ පිකටින් විරෝධතා කරමින් ඒ වෘත්තීය සමිති ගෙන ගිය ක්‍රියාමාර්ග බොහෝ විට දැඩි විවේචනයන්ට ලක් විය. කොවිඩි හේතුවෙන් සංචරණ සීමා දැඩි කැර තිබිය දී ඒ කිසිවක් තැකීමකට ලක් නොකර සෞඛ්‍යය මාර්ගෝපදේශ අමු අමුවේ උල්ලංඝණය කරමින් ඔවුන් ඔවුන්ගේ අරගලයේ නිරත විණි.දවසින් දවස වැඩි වූ රෝගීන් ප්‍රමාණයට ඇඟිල්ල දිගු වූයේ එකා දෙන්නා වූ වෘත්තීය සමිති නාමයෙන් පෙනී සිටිනා සමහරක් පුද්ගලයන් දෙසටය.

    - Advertisement -

    ආණ්ඩුව මේ වෙනුවෙන් අැමැති අනුකමිටුව පත් කෙළේය. එම අනු කමිටුව අවස්ථා කිහිපයකදීම රැස්විය. ඔවුන් මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කෙළේය. වෘත්තීය සමිති එකිනෙක කැඳවිය.එක එක මත දරන වෘත්තීය සමිති එකට කැඳවේය.එක වේලාවක ප්‍රසන්න රණතුංග අැමැතිවරයා කමිටුවට පැමිණි වෘත්තීය සමිති නායකයන්ට පෙන්වා දුන්නේ, අපට මේ ප්‍රශ්නය විසඳන්න ඉහළම වුවමනාවක් තියෙනවා කියාය.

    “මේ කමිටුවේ ඉන්න හතර දෙනාගෙන් තුන් දෙනකුගේම අම්මා නැත්නම් තාත්තා ගුරුවරු. අපිටත් මේක ඉක්මනට විසඳන්න ඕනෑ. වෘත්තීය සමිති නායකයන්ට ඇමැති අනුකමිටුව පැහැදිලි කැර දුන්නාය. ඇමැති අනුකමිටුවේ යෝජනා අැමැති මණ්ඩලයට පසුගියදා යොමු කෙළේය.

    ඒ අනුව ගුරු ගැටලුව වෙනුවෙන් සාධනීය විසඳුම් රැසක් මේ වන විට ලැබී තිබෙනවා.අවුරුදු විසි හතරක් නොලැබුණු විසඳුම් රටට අමාරුම වේලාවක ලැබුණු එකට කොන්දේසි විරහිතව ඒ අය සතුටු වෙන්න ඕනෑ. මේ වගේ අසීරු වේලාවක වෘත්තීය ගැටලු වෙනුවෙන් මේ තරම් සාධනීය විසඳුම් දුන්න එකම රට අප වෙන්න පුළුවන්.

    - Advertisement -

    දෙලක්ෂ හතළිස් තුන් දහසක් වන ගුරුවරුන් වෙනුවෙන් ආණ්ඩුව මේ තරම් සාධනීය විදිහට බලන විට රටේ තවත් මිලියන සංඛ්‍යාත ජනතාවක් වෙනුවෙන් මේ මොහොතේ කළ යුතු කාර්ය භාරය ඉමහත්ය.එක පැත්තකින් ඒ කාර්යභාරය අමතක කරලා ගුරුවරුන්ගේ ප්‍රශ්නයට විතරක් අත ගහන්න බැහැ.මේ මොහොතේ රටේ දැවෙනම ප්‍රශ්නය විසඳන්න හැම අතින්ම ක්‍රියාකරන මොහොතකයි ආණ්ඩුව ගුරුවරුන්ගේ ප්‍රශ්න දිහා බලා ඒ වෙනුවෙන් සාධනීය විසඳුම් ගෙනල්ලා තියෙන්නේ.මේ වේලාවේ මස් රාත්තලම ඉල්ලන ෂයිලොක්ලා නොවී මේ ප්‍රශ්නය දිහා වගේම රටේ ලෝකෙ තත්ත්වය ගැන හදවතිනුයි බුද්ධියෙනුයි දෙකෙන්ම බලන්න ඕනෑ.

    අපට තවත් රටේ දරුවෝ උකසට තියන්න බෑ. දරුවෝ ටික තමයි රටේ අනාගතය.ගුරුවරු කියන්නෙත් දරුවෝ ඉන්න අම්මලා තාත්තලා.ඒ වගේම කෝවිඩි නිසා අසරණව සිටින මිලියන 22ක ජනතාවගෙන් තවත් කොටසක් මේ අය . ඒ නිසා මේ ප්‍රශ්නය වෘත්තීය සමිති නමින් පෙනී ඉන්න එකා දෙන්නාට බාර දීලා රටයි ,රටේ අනාගතයයි ගැන නොසිතා වැඩ කළොත් ගුරුවරු හදන දරුවන්ට,ගුරුවරු ගොඩනඟන දරුවන්ට,ගුරුවරු දෑස් පාදන දරු පරපුරට අනාගතයක් ඉතිරි නොවෙයි.

    එක පැත්තකින් මේ ගැටලුව විසඳන්න ආණ්ඩුව කොතනකවත් බැහැයි කියා නැහැ. පවතින තත්ත්වය තුළ ආණ්ඩුව ලබාදිය හැකි විසඳුම් පෙන්වා දී තිබෙනවා. ඒවා කළ හැකි ක්‍රමවේද පැහැදිලි කර තිබෙනවා.මේ වේලාවේ මස් රාත්තලම ඉල්ලන්න යන ෂයිලොක්ලා වුණොත් ඒක එක පැත්තකින් වැරදි පූර්වාදර්ශයක් තවත් පැත්තකින් සමස්ත සමාජයේම දෝෂදර්ශනයට ලක් වෙන්න පුළුවන් තත්ත්වයක් පාරට බැහැලා උද්ඝෝෂණ, පිකටිං කරලා ආණ්ඩු මට්ටු කරන්න පුළුවන්.එහෙම කරන්න පුළුවන් කාල ඕනෑ තරම් තිබෙනවා. ඉතිහාසයේ එහෙම කරපු අවස්ථාද එමටයි.ඒත් මේ වේලාවේ ලෝකයම දුවන්නේ වෘත්තීය අරගල පසුපසවත්,වැඩි පඩි ඉල්ලලාවත් නොවේ. ලෝකයම දිවයන්නේ එකම අරමුණක් වෙනුවෙන්. ඒ කොවිඩි සතුරා පරාජය කිරීමටය. මේ මොහොතේ කවුරු කවුරුත් අරගල කළ යුත්තේ කොවිඩි සතුරා පරාජය කිරීමටය. ඉන් ලබන ජය එක් කොටසකට හිමි වන ජයක් නොව රටත් රටට උපන් නූපන් පරපුරටත් හිමි වන ජයක් වන නිසාය.

    - Advertisement -

    Indika Polkotuwa

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.