24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    පිරිමි චරිතයකින් වේදිකාවට පෑයූ චාන්දනිය…

    - Advertisement -
    ලාංකේය වේදිකා නාට්‍ය කලාවේ ස්ත්‍රී භූමිකාව – 68 ලිපිය
    සැප්තැම්බර් 9, 2021

     

     

    - Advertisement -

    වත්මනෙහි මෙරට සිනමාවේ හෝ වේදිකාවේ හෝ ටෙලි නළුවේ හෝ විශිෂ්ට නිළියන් අල්පය විමසීමේදී ප්‍රවීණ නිළි චාන්දනී සෙනෙවිරත්නද නිසැකවම ඒ අතළොස්සට අයත් වන බැව් මා පැවසුවොත් ඊට එරෙහි වන්නෝ කවරහුද ? ඇය කලා ලොවට අවතීර්ණ වූයේ වේදිකාවෙනි. වේදිකාවෙහිද තමා නිරූපිත චරිත ඔස්සේ ඇගේ මුද්‍රාව එහි සුපැහැදිලි ලෙස ස්ථාපිත කිරීමට ඕ සමත් වූවාය. මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ඉගෙනුම ලැබූ සමයේ චාන්දනී වේදිකා රංගනයට පිවිසියාය.සෝමලතා සුබසිංහ නම් වූ කෘතහස්ත නාට්‍යවේදිනියගේ, ගුරුවරියගේ සේවනය එකල ඇය හට ලැබිණි. එවක සෝමලතා , ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිසුන්ගේ “මඩොල් දූව” චිත්‍රපටයේ උපාලිගේ මව ලෙස රඟපෑමෙන් විද්‍යාලයේ සිසුවියන් අතට ප්‍රකට වී සිටි බැව් පෙනේ.කොළඹ නාලන්දා විද්‍යාලයේ උගන්වමින් සිටි ඇය මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ ආර්ථික විද්‍යා ගුරුවරිය ලෙස සේවයට එක් වූයේ මේ සමයේදීය. විද්‍යාලයේ සිනමා සංගමය හා නාට්‍ය සංගමය ස්ථාපිත කිරීමට සෝමලතා සුබසිංහයෝ උත්සුක වූහ. මේ සංගම් ඔස්සේ සෝමලතා මහත්මිය චාන්දනී ඇතුළු සිසුවියන් හට උසස් ගණයේ නාට්‍ය නැරැඹීමට, චිත්‍රපට නැරැඹීමට පෙලඹ වූවාය.අසීමිතව පොත පත කියැවීමට චාන්දනී රුචි වූයේද මෙහි ප්‍රතිඵලයක් වශයෙනි. කොළඹ ආනන්ද, කොළඹ නාලන්දා යනාදී ප්‍රමුඛ විද්‍යාලවල චිත්‍රපට සංගම් සමඟද මේ සංගම් එක්ව ක්‍රියා කළ බැව් පෙනේ.

    අනේකවිධ සාරගර්භ, ශාස්ත්‍රීය සම්මන්ත්‍රණ, සම්භාෂණවලටද මේ සිසුවියන් සහභාගි කරවීමට සෝමලතා මහත්මිය අමතක නොකළාය. ආචාර්ය තිස්ස අබේසේකර, ධර්මසිරි බණ්ඩාරනායක, ධර්මසිරි ගමගේ වැනි ප්‍රවීණ කලාකරුවන්ගේ දේශනවලට වශීකෘත වී සිටි චාන්දනී එමඟින් කලාව හා ජීවිතය අරභයා නව දැනුමෙන් විකසිත වී සිටියාය. කලාව අරභයා මෙලෙස න්‍යායාත්මක දැනුමක් ලබා දීමෙන් නොනැවතුණු සෝමලතා මහත්මිය චාන්දනී ප්‍රමුඛ සිසුවියන් යොදාගෙන විද්‍යාලයේ නාට්‍ය නිෂ්පාදනයට පෙලඹිණ. චාන්දනීගේ කලා ප්‍රවිෂ්ටය මෙලෙස 1979 වසරේදී සෝමලතා සුබසිංහගේ “කතන්දර දෙකක්” නාට්‍යය ඔස්සේ සනිටුහන් විය. සෝමලතා මෙරට ළමා නාට්‍ය කලාවෙහි නව පරිච්ඡේදයකට මුලපිරූවේ මේ කාල වකවානුවේදීය.”තොප්පි වෙළෙන්දා” සහ “පුංචි අපට දැන් තේරෙයි” නාට්‍ය ද්වය “කතන්දර දෙකක්” සඳහා ඇතුළත් විය. චාන්දනී හට මුල්වරට රඟපෑමට අවස්ථාව ලැබුණේ පිරිමි චරිතයක් වීම විශේෂතාවකි.මෙහි “තොප්පි වෙළෙන්දා” නාට්‍යයහි තොප්පි වෙළෙන්දාගේ ප්‍රධාන භූමිකාව රඟපෑමට ඇයට අවස්ථාව ලැබිණි.ඊට හේතුව වරක් චාන්දනී මෙලෙස මා හට අනාවරණය කළාය.

     

    - Advertisement -

    “පාසල් කාලේ මා ඉතා කෙසඟ සිරුරක් හිමි දැරියක්. ඒ නිසා මගේ කායික ස්වරූපයෙන් ගැහැනු ළමයෙකුට වඩා පිරිමි ළමයෙකුගේ ලක්ෂණ පෙන්නුම් කළා. සෝමලතා මිස් තොප්පි වෙළෙන්දාගේ පිරිමි චරිතය රඟපාන්නට සුදුසු ගැහැනු ළමයෙක් සොයමින් හිටියා. මගේ බාහිර පෙනුම දුටු විගස ඇය මේ චරිතය සඳහා මාව තෝරා ගත්තා.”

     

    “තොප්පි වෙළෙන්දා” නාට්‍යයෙහි දක්නට ලැබුණේ දේශීය සාම්ප්‍රදායික රංගනයන්ගේ හා නූතනවාදී ආකෘතීන් හී මනා මුසුවකි. සුප්‍රකට ජනකතාවක් වූ තොප්පි වෙළෙන්දාගේ කතාව පාදක කොට ගෙන ඊට නව්‍ය අර්ථකථනයක් මේ ඔස්සේ ඉදිරිපත් කිරීමට නාට්‍යවේදිනිය සමත් වූවාය. ස්වකීය ළමා නාට්‍යවලින් ළමා පරපුරට හරවත් විනෝදාස්වාදයක් මතු නොව අධ්‍යාපනයක්ද අවට සමාජය පිළිබඳ සංවේදීතාවක්ද ඇති කිරීමට ඇය උත්සුක වූවාය. “තොප්පි වෙළෙන්දා” නාට්‍යයේ නාඩගම් ලකුණු පළට කෙරෙමින් තොප්පි වෙළෙන්දා ලෙස චාන්දනී මුල්වරට තමා නිරූපිත භුමිකාව ප්‍රේක්ෂකාගාරයට මෙලෙස හඳුන්වා දෙන්නීය.

    - Advertisement -

     

    තොප්පි වෙළෙන්දෙක් මේ මං

    තොප්පි හදාගෙන මේ මං

    ලස්සන කූඩෙක අඩුක්කරාගෙන

    තොප්පි කූඩයත් හිසේ තියාගෙන

    ගමින් ගමට ගමන් ගතෙයි

    ගමින් ගමට ගමන් ගතෙයි

     

    ජන කතාවෙහි තොප්පි සොරාගත් වඳුරන්ගෙන් තොප්පි වෙළෙන්දා උපක්‍රමශීලීව ඒවා ලබා ගෙන පලා යන නමුදු නාට්‍යයෙහිදී ළමා ප්‍රේක්ෂකයන්ගේ රසාස්වාදය හා ප්‍රතිචාරය අනුව නාට්‍යවේදිනිය මෙහි වෙනස්කම් සිදු කළාය. එනම් තොප්පි වෙළෙන්දා වඳුරන්ගෙන් තොප්පි උපක්‍රමශීලීව ලබාගෙන නැවත වඳුරන්ටම බෙදා දෙයි. වඳුරෝ ඒවා දමාගෙන සතුටෙන් නටති.

     

    “කතන්දර දෙකක්” නාට්‍යයෙහි එක් කතාවක් “තොප්පි වෙළෙන්දා”ය. “පුංචි අපට දැන් තේරෙයි” අනෙක් කතාව වේ. මේ කොටසෙහිද චාන්දනී රංගනයෙන් දායක වූවාය. මීට පාදක වූයේ විදේශීය ළමා කතාවකි. එනම් “ඊඩඥ ඹ්ඪබබතඥ අඥඤ ඩ්ඥද” නමැති සුප්‍රකට සෝවියට් රුසියානු ළමා කතාව වේ. කුකුල් හාමි මී පැටවුන්ට තම නවාතැනේ ඉඩ ලබා දෙනුයේ අනුකම්පාවෙනි. මෙසේ නවතැන් ගත් මී පැටවුන් වැඩ නොකර සිටීමෙන් සිදු කරන දඟකාරකම් මේ නාට්‍යයට වස්තු විෂය විය. මෙහි මල්පාත්තිය ගායක කණ්ඩායමක ස්වරූපය ගත් අතර එමඟින් නාට්‍යයේ රංග වින්‍යාසයට කදිම මෙහෙවරක් සැලසිණ. කුකුල් හාමිගේ භූමිකාව මැනවින් නිරූපණය කළේ වික්‍රම සෙනෙවිරත්නය. අභිරූපණ රංගනය පිළිබඳ ස්වකීය පරිචයත් ශාරීරික නම්‍යශීලීත්වය මේ සඳහා ඔහු මැනවින් ඉවහල් කොට ගත්තේය. චාන්දනී සෙනෙවිරත්න, කෞශල්‍යා ප්‍රනාන්දු සහ මල්කාන්ති ජයසිංහ පෙර කී මල් පාත්තියේ මල් බවට පත් වූහ. ප්‍රවීණ සංගීතවේදී එම්.ආර්.චූලසිංහයන්ගේ සංගීතය “කතන්දර දෙකක්” හි ආත්ම‍ය බවට පත් විය. “පුංචි අපට දැන් තේරෙයි” නාට්‍යයෙහි අවසානයේ වැඩ නොකර සිටින මී පැටවුන්ට වැඩ කිරීමෙහි අගය පෙන්වා දෙයි. එය වටහා ගන්නා මී පැටවුන්ට කැවුම් කෑමේ අවස්ථාව ලැබේ. “කතන්දර දෙකක්” නාට්‍යය අරභයා මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයෝ මෙසේ ලියූහ.

     

    “ළමා සාහිත්‍යය නිර්මාණය කළ හැක්කේ එම ළමා ලොවට කාල්පනික වශයෙන් පිවිසීමට වාසනා මහිමය ඇති කෙනෙකුට පමණි. ළමා සාහිත්‍යය නිර්මාණය කිරීම වැඩිහිටි සාහිත්‍යය නිර්මාණය කිරීමට වඩා දුෂ්කර කාර්යයකි. ඊට වඩා වගකීමක් ලේඛකයා කෙරෙහි පැවති කාර්යයකි. එහෙත් සමහරු ඒ කාර්යයට බසින්නේ ළමා සාහිත්‍යය වැඩිහිටි සාහිත්‍යයට වඩා බාල වූ ඊට වඩා පහසු කාර්යයක් යැයි සිතාගෙනය. මේ වචන මා ප්‍රකාශ කරන්නේ සෝමලතා සුබසිංහ විසින් රචනා කරන ලද ළමා නාට්‍ය දෙකක් වන පුංචි අපට දැන් තේරෙයි සහ තොප්පි වෙළෙන්දා කියවීමෙන් පසුවය. ළමා සාහිත්‍යය නිර්මාණය කිරීමට අවශ්‍ය වූ සහජ වාසනාවක් සොමලතා තුළ ඇති බව මට ඒ නාට්‍යයෙන් පසක් වේ. ළමා මනස විෂය ලෝකයේ නීරස තතු උල්ලංඝනය කරමින් තමාටම රුචි වූ ලොවක් මවා ගන්නා සැටි එයින් පෙනේ.සෝමලතා එවැනි ලොවක් මවා එහි රමණය කිරීමට අවස්ථාව ළමයින්ට සාදා දෙයි. මල් පාත්තිය සප්‍රාණික වේ.”

    සෝමලතා සුබසිංහගේ “විකෘති” (1980) මුල්වලට වේදිකාගත වූයේ මිලාගිරිය ශාන්ත පාවුළු බාලිකා විද්‍යාලයේ සිසුවියන් එක් වූ ළමා නාට්‍යයක විලාසයෙනි. එය අන්තර් පාඨශාලීය කෙටි නාට්‍ය තරඟයේ සම්මානනීය විය. චාන්දනී හට මෙහිදීද මුලින්ම තාත්තා, මනාලයා වැනි පිරිමි චරිත කිහිපයක් රඟපෑමට සිදුවිය. මෙහි උසස් පෙළ සිසු සිසුවියන්ගේ ගායන වෘන්දයටද (ඛ්ඩධපභඵ) ඇය දායක වූවාය. ඉන්පසුව “විකෘති” පාසල් නාට්‍යයක ස්වරූපයෙන් මිදී 1982 දී ප්‍රසිද්ධ වේදිකාවට පිවිසීමත් සමඟ ඇයද පිරිමි චරිතවලින් විනිර්මුක්ත වී මෙහි හිල්ඩා නමැති මවගේ භුමිකාව නිරූපණය කළ බැව් පෙනේ.

    දිගු කලක් පුරා මෙරට පැවැති සංවෘත, සුබසාධනවාදී අර්ථ ක්‍රමය 1977 දී කිසිදු පූර්ව සූදානමකින් තොරව ක්ෂණිකව ධනේශ්වර සමාජ ව්‍යුහයක විවෘත වූ අර්ථ ක්‍රමයට පෙරළිණ.ඉන් සිදුවූ සමාජ, ආර්ථික, දේශපාලනික, සංස්කෘතික විපරිණාමයෙන් මෙරට සමාජ ප්‍රකෘතියට බොහෝ විකෘතිතා එක් කළ බව පැවසීම සහේතුකය. මනුෂ්‍යත්වය වෙනුවට මුදලේ බලය, වාණිජ පරමාර්ථ, එකිනෙකා පරයා ඉස්මතුවන ආත්මාර්ථකාමී තරඟකාරීත්වය එතැන් සිට අධ්‍යාපනයට සිදු කළ බලපෑමද සුළුපටු නැත. මෙකී අධ්‍යාපනික විකෘතිය සිසු මනසට බලපෑ ආකාරය “විකෘති” ඔස්සේ මැනවින් විවරණය කෙරිණ.

     

    ඉතිරි කොටස ලබන සතියේ…

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.