24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    යමා මහ වී අස්වැන්න ජෝ – රවී එපා කියූ හැටි

    - Advertisement -
    ටෝනි රණසිංහට ආදරය කළ රසිකයෙක්
    සැප්තැම්බර් 9, 2021

    යොං හෑලි

    පොරොන්දුව ඉෂ්ට කළ මිනිසෙක්

    - Advertisement -

     

    අපේ සිනමාවේ තියෙන යාං හෑලි ටිකක් ලියන්න හිතුණා. මේ යාං හෑලි කිව්වාට මේ ගොතපු කතා නොවේ. මේත් ඇසූ පිරූ තැන්වලින් ඇහුණ කතන්දර. මේ දවස්වල මේ කතා කියනකොට හිතටත් සැහැල්ලුයිනේ. ඉතින් බලමු එහෙම කතාවක් දෙකක් ලියලා.

    මේ කතාවට සම්බන්ධ වන්නේ අපේ සිනමාවේ දැවැන්ත රංගවේදින් දෙපොළක් සහ තවත් කාර්මික ශිල්පියෙක්. කාර්මික කිව්වාට තිරයෙන් පිටුපස ඉඳගෙන ඔහු කළ වැඩවලට සම්මානත් ලබල තියෙනවා. ඒ විතරක් නෙවේ. අදටත් ඉන්න ලොකු ලොකු නම් දැරූ සමහරු උන්නැහේගේ ගෝලයෝ. ඔය සෙරන්ඩිබ් සමාගමේ ගැටවරයෝ චිත්‍රපටයට තමයි උන්නැහේ මුලින් සම්බන්ධ වුණේ. ඒ වගේම තමයි තම කාර්මික ශිල්පීන්ගේ අයිතිවාසිකම් ගැන බෙහෙවින් පෙනී හිටපු කෙනෙක්. ඒ වගේම කියන්න තියන දේ මුහුණට ම දමලා ඇන්නා වගේ කියන්නත් උන්නැහේ දන්නවා. කාටත් උපකාර කරන හිත හොඳ මනුස්සයා. හැබැයි ඒ වගේම තමයි ලණු කෑම කලාවක් නම් මේ ජ්‍යෙෂ්ඨයා ඒකේ පිකාසෝ කෙනෙක් කියලා කවුරුත් දන්නවා. ඒ නිසා අන්දන්න දෙයක් නෑ. අඳීන්න නූල පෙන්වුවාම ඒක අරගෙන කියන්නෙත් අහන්නෙත් නැතුව මිම්මත් අරගෙන මහලා ඇඳගන්න ජාතියේ කෙනෙක් තමයි එයා. හැබැයි එයා කවුද කියලා අහන්න එපා. නෑ නෑ දැන් එයා මෙහේ නෑ. ඒ නිසා අද අප අතර නැතත් ඔහුගේ දක්ෂතාවන්ට ගරු කරලා නම නොකියා ලියන්නම්. ඉහළම සිනමා ශිල්පියෙක්. මේ කතාවට සම්බන්ධ අනිත් දෙන්නා අපේ මහා නළුවන් වන ජෝ අබේවික්‍රම හා රවීන්ද්‍ර රන්දෙණිය. මේ කතාව අපට බොහොම ඉස්සර කිව්වේ ජෝ මහත්තයා. මේ කතාව ලියන්න කලින් අපි ආයේ මතකය අවදි කර ගත්තේ මහා රංගවේදී රවීන්ද්‍ර රන්දෙණිය ගෙන්. මේ තුන්දෙනාම ඉස්සර චිත්‍රපටයකට සම්බ්න්ධ වුණා. හිඟන කොල්ලා. ඩබ්ලිව් ඒ. සිල්වා මහත්තයාගේ නවකතා අතරින් ඉතාම විශිෂ්ට අන්දමට සිනමාවට නැඟුණෙත් ඉහළම ආදායමක් ලැබුවෙත් හිඟන කොල්ලා . චිත්‍රපටය අධ්‍යක්ෂණය කළේ කේ. ඒ. ඩබ්ලිව්. පෙරේරා මහත්තයා. නිෂ්පාදනය කළේ සුගතදාස මාරසිංහ මහත්තයා. ලංකාවේ වැඩිම ආදායම් ලද චිත්‍රපටය හැටියට වාර්තාවක් තැබුවේ අවුරුදු 17 ක් තිස්සේ රන්මුතුදූව තිබ්බ වාර්තාව බිමට දමලා. මේ චිත්‍රපටයේ ජෝ අබේවික්‍රම කළ චරිතය දියතලන් ලෙසත් වයියා ලෙසත් හැදින්වුණා. රවීන්ද්‍ර රන්දෙණිය කළ චරිතය සර් හෙන්රි විජේකෝන්. මේ චිත්‍රපටයේ දර්ශන මාලාවක් රූ ගැන්වුණේ ගල්ගමුව ආශ්‍රිතව. 1976- 77 කාලයේ. එහේ තමයි ළමාහාමි නැත්නම් අපේ නිළි රැජන මාලිනී ෆොන්සේකා චිත්‍රපටයේ හැටියට පදිංචි ව ඉන්නේ. ඇගේ මාමා දියතලන් එක්ක. ඒ කාල‌යේ චිත්‍රපට රූපගත කරනවා කියන්නේ හරි විනෝදයෙන් කෙරෙන වැඩක්. දවසක් එක් විවේක වේලාවක අපේ මහා නළුවන් දෙන්නා ඒ පාළු පාරේ ඇවිදින්න පටන් ගත්තා අර අපේ සම්මානනීය ශිල්පියාත් මේ කට්ටියත් එක්ක. ඔය හරියේ තියෙනවා ලොකු මඩ වගුරක හොඳට හැදුණ කම්බු පන් ගස් පෙළක්. චිත්‍රපටයේත් මේ පන් ගස් කිහිපවරක්ම පේනවා. ඉරු දෙවියෝ ඉපනැල්ලේ රඟන රඟේ කියලා ළමාහාමි නටන කොට එහෙම. ඉතින් අපේ අනිත් මහත්තයා මේ වගුරේ සාර සුබාවට උක් ගහ වගේ හැදිල තියෙන ගස් ගැන දන්නේ නෑ. ඒ පාර මේ ගහක් පෙන්නලා. ජෝ මහත්තයාගෙන් අහනවා

    - Advertisement -

    ජෝ මහත්තයා මේ ගහ මොකක්ද?”

    ඉතින් ජෝ මහත්තයාත් ආයේ දෙකක් නෑ. යන්තම් ඒ දිහා බලලා මෙහෙම කියනවා.

    ‘උඔල මේ පිච්චර්වල වැඩ කර කර ඉන්නවා. රටේ ලෝකේ වෙන දේවල් ගැන මෙලෝ දෙයක් දන්නේනෑ. ඇයි බං පත්තරවල කොච්චර ගියාද මේ ගැන. නැද්ද රවී ?

    - Advertisement -

    ඉතින් මහා නළුවන් දෙන්නෙකුට පිටපත ලියලා දුන්නත් එකයි. කියලා දුන්නත් එකයි නේ. ඉතින් දැන් පිටපත් ඒ දෙන්නාම හදා ගන්නවා ඩිරෙක්ටර් කෙනෙක් නැතිවම.

    මොනවද අම්මප මේ?

    ආයෙත් අපේ ශිල්පියා අහනවා.

    යකෝ මේවාට තමයි යමාමහ වී කියන්නේ, මේ මහා සරුවට වැවෙන ගොයමක්. මේ පළාතෙනේ බං මුල්ම වතාවට වවන්නේ.

    දැන් අපේ ශිල්පියා ඒ ගස් දිහා බලා ඉන්නවා.

    ඔය බං අපේ මැතිණිට චීනයේ මාඕ සේතුං මහත්තයා දුන්න තෑග්ගක්.

    ‘ඒ උණාට යමාමහ කිව්වම ජපන් නමක් වගේ.’

    ජපන් මොකද? චීන මොකද? මේක ජපානේත් තියෙනවා. චීනා අපට දුන්නා. වටිනාම වී ජාතියක්. මුළු චීනේ ඉන්න ඔක්කොම මිනිස්සුන්ට දැන් බතට හාල් ගන්නේ ඔය වීවලින් තමයි.

    අපේ ශිල්පියාගේ ඇස් උඩ ගිහින්.

    එක අක්කරේකින් බුසල් සීයක්. එක ගහකින් බුසලකට වඩා හාල් ගත්තෑකි. තාම පීදිලා නෑ පීදුණාම කරල බිමට නැමෙනවා. ඔය හිටවපු ගමන් ඔහොම නම් හැදුණම කොහොමට තියෙයිද?

    දැන් සරු සාරට වැවුණු යමා මහ කරලින් බරවුණු කෙත් යායක් අපේ සිනමා ශිල්පියාගේ හිතේ ඇඳීලා ඉවරයි.

    ‘අපි පැළයක් දෙකක් අරං යමු ‘

    දැන් ටිකක් වෙලා ඇස් දෙක දිලිහි දිලිහි ඒ දෙස බලා හිටපු අපේ ශිල්පියා යෝජනා කළා.

    ‘පිස්සුද බං. ඔය හැම පැළයකම මුල අංකයක් දාපු සීල් එකක් දාලා එවලා තියෙන්නේ. කොහෙන් ගැලවුවත් අල්ලතෑකි. ආණ්ඩුව කියන තැන්වල විතරයි වවන්න දෙන්නේ. නිකම් හරි පැලයක් ගැලෙව්වොත්, අඩුම ගානේ මාස හයක්වත් ඇප නැතව හිරේ ඉන්ඩත් වෙනවා.

    ‘හෑබයි ඉතින් අපි හදා ගත්තොත් අපට ඇති වෙයිනේ,’

    මේ කතාව අහගෙන ඉඳලා අපේ ශිල්පියා පැවසුවා. ඉතින් රෑ බෝවුණ නිසා ඒ කතාව එදා ඉවරයි. තවත් ටික දවසකින් එහි රූ ගැන්වීම් අවසාන වුණා. පසුවදා ආපසු යන්නට නියමිතයි. පුංචි සාදයකුත් තිබුණා. මේ සාදය අතරතුර අපේ ශිල්පි මහත්තයා අතුරුදන් වුණා. කාටවත් ඒ ගැන වැඩිය හිතුණෙත් නෑ. ටික වේලාවකට පස්සේ අපේ මහා රංගවේදින් දෙන්නාගේ කාමරයට අපේ ශිල්පි මිත්‍රයා ආවා.

    ‘මේ ජෝ මහත්තයා බොරුනේ කියන්නේ.’

    ඔහු ජෝමහත්තයාට එක එල්ලේම චෝදනා කළා

    ‘මොකද්ද බං මං කිව්ව බොරුව.’

    ජෝ අබේවික්‍රමයන් එකවරම ඇසුවා.

    ‘බොරු කියන්නේ අර යමා මහ වීවල එක ගහකවත් සීල් එකක් නෑ.’

    ‘උඔ කොහොමද දන්නේ? ‘

    රවීන්ද්‍ර රන්දෙණියත් ඇසුවා.

    ‘මම දන්නේ ඔය පාටිය අස්සේ මං ගිහින් ගහක් ගලවල බැලුවා. බලන කොට එහෙම එකක් නෑ. මං පස්සේ ගස් දෙක තුනක්ම අර මඩේ බැහැල ගැලෙව්වා. ඒ එකකවත් එහම සීල් එකක් නෑ.’

    දැන් දියතලන් හා සර් හෙන්රි එකිනෙකා මුහුණ බලාගෙන.

    ‘සීල් එකක් නෑ කිව්වා?’

    ‘සීල් එකක් නෑ තමයි. අපි හෙට යන එකේ මං පැළ ටිකක් ගලෝ ගත්තා . කවුරුවත් නෑ දන්නෙත් නෑ. ඔය දෙන්නටත් මං දෙන්නං’

    අප් කාර්මික ශිල්පි මහත්තයා හිත හොඳීන්ම පැවසුවේ බෙදා ගෙන කෑමේ ආනිශංසත් මතක් කරගෙන.

    ‘ඕක හංගගෙන අරං යං . එහෙ ගිහිල්ලා වවාගන්න බැරියැ.’

    ‘අපෝ එපා. නිකං හරි මාට්ටු උනොත් ලෙඩක්.’

    රංගවේදින් දෙන්නාම එකපාර කියාපි.

    ‘එහෙනං මං ඔක්කොම ගන්නද? . මම මේක හැදුණම දෙන්නටම ගෙනත් දෙන්නම් කිරිබතක් හදන්න.’

    ඔහු ඇහුවේ හරි අහිංසක තාලෙට.

    ‘අනේ ගනිං.’

    දෙන්නාම එකපාරේ පැවසුවේ ගැලවෙන්න බලාගෙන . අපරාදේ කියන්න බෑ පහුවදා උදේ යමාමහ වී නම් ලද කම්බු පන් මිටියක් බැඳ ගෙන අපේ මහත්තයා ගෙදර අරන් ගියා. හැබැයි කවදාවත් අපේ මහා නළුවන්ට කිරිබත් උයන්න යමා මහ හාලෙන් වී ලැබුණේ නෑ. පස්සෙන් පහු එකට වැඩ කළත් කවුරුවත් ඒ ගැන මතක් කළෙත් නෑ.

    මේකත් ඒ චිත්‍රපටයේ කතාවක් තමයි. ඔය කැකිරාව හරියට යනකොට රිටිගල කන්ද පේනවා. ඒකේ එක පැත්තකට පේන්නේ යෝධයෙක් නිදා ඉන්නවා වගේ. ඒ වගේම කන්දක් තියෙනවා හපුතලේ පැත්තේ. ඇත්තටම මේ කඳු දෙක තියෙන්නේ හැතැප්ම තුන් හාරසියයක් ඈත නේ. එකක් බදුල්ල දිස්ත්‍රික්කයේ. අනෙක අනුරාධපුර දිස්ත්‍රික්කයේ. හිඟන කොල්ලා චිත්‍රපටයට කලින් ජෝ මහත්තයාත් අපේ අර කාර්මික ශිල්පියාත් අර හපුතලේ කඳු ළඟ චිත්‍රපටයකට දායක වෙලා හිටියේ.

    ඉතින් මේ කන්දත් ඒ කන්දත් අතර තිබෙන සමානකම අපේ ශිල්පියාගේ හිතේ තිබුණා.

    ‘ජෝ මහත්තයා අර කන්දේ වගේම මේ කන්දෙත් යෝධයෙක් නිදා ඉන්නවා වගේ නේ.’

    බැලුවාම ඇත්තම ඇත්ත.

    ‘ඔවු බං ඉතින් මේ ලංකාව ලොකු රටක් නෙවේනේ. ඔය හපුතලේ කන්දෙම අනිත් පැත්ත. එකම කන්ද. උඹ ඒක දන්නේ නැත්ද?’

    ජෝ මහත්තයාත් කටට දිවට නොදැනෙන්න කියාපි. . අපේ ශිල්පි මහත්තයා ක්ෂෙත්‍රයේ ඉහළම තැනකට ගිහින් අප අතරින් ගියේ මේ කතාව සිදුවෙලා අවුරුදු තිහකට විතර පස්සේ. හැබැයි මැරෙනකම් හපුතලේ කන්දේ අනිත් පැත්ත රිටිගල කියලා තමයි විශ්වාස කළේ .

    මේ කතාව තවත් අපේ මහා නළුවකු වන ටෝනි රණසිංහ එක්ක කතන්දරයක්. ටෝනි රණසිංහ දවසක් යාළුවෝ දෙන්නෙක් එක්ක බත්තරමුල්ල පැලවත්තේ අවන්හලකට ගියා . තරමක් ඉහළ අවන්හලක්. මේ අවන්හලේ හොඳ තැනක මේ මිතුරු සමාගම ආරම්භ කරද්දී එතැනට අමුත්තෙක් ආවා. ඒ අවන්හලේ අයිතිකරු, ඔහු ටෝනි රණසිංහගේ රසිකයෙක්. ඔහුට ටෝනි දුටුවාම පුදුම සතුටක්. ඉතින් දැන් මේ හිමිකරු එතැන ඉන්න හොඳම සේවකයෙක්ට මේ මේසය ගැන හොයන්න අණ දීලා වරින් වර ඇවිත් මෙතැන කතාවට එක්වෙනවා. ඒ විතරක් නෙවෙයි සංග්‍රහයට එයාගේ ගාණෙත් දේවල් දුන්නා. තරමක් වදයක් වුණත් ඒ ගැන වැඩිය හිතුවේ නැත්තේ මිනිහා ටෝනි රණසිංහයන්ගේ රසිකයෙක් නිසාමයි. කතා කරද්දීත් ඒක පෙනුණා. පස්සේ මේ සාදයට එන්න කියලා ටෝනි අය්යා මිනහාට ආරාධනා කළා. මනුස්සයාට හරි ජොලි. ඉතින් මිනිහාත් වැඩේට සෙට් වුණා.

    හැබැයි මේ මනුස්සයා ඔය මත්පැන් දාගත්තම එකපාරට එක්ස්කියුස් මී කියලා වීදුරුවත් එක්ක නැගිටලා ගිහින් ආපහු එනවා. ඒ එන්නේ වීදුරුව හිස් කරගෙන. දැන් දෙපාරක් විතර මේ දේ සිද්ධ වෙන කොට ටෝනිටත් මේක තේරිලා.

    ඒ පාර ඊළඟ වතාවේ මේ වගේ දාගත්තම ටෝනි නිකම් මෙහෙම අහනවා.

    සේයාරූව – මාලන් කරුණාරත්න

     

    ‘මල්ලි ඔයා ඩ්‍රින්ක් එක දාගත්තට අපිත් එක්ක බොන්නේ නෑනේ. එහාට ගිහින් බීලා එන්නේ ඇයි? ‘

    ඒ පාර මේ මනුස්සයා මෙහෙම කියාපි.

    ‘මේ රෙස්ටොරන්ට් එක පටන් ගත්ත වෙලාවේ මං අපේ වයි‌ෆ්ගේ ඔළුවේ අත තියලා දිවුරුවා. මං මේ වහල යටදී බොන්නේ නෑ කියලා. ඒ හින්දා මං මේ ඩ්‍රින්ක් එක දාගෙන මිදුලට ගිහින් තමයි බොන්නේ. අනේ මුකුත් හිතන්නෙපා.’

    ඒ උත්තරයට ඉතින් කවුරුවත් මුකුත් හිතුවේ නෑ. හැබැයි ටෝනි රණසිංහයන්ට ඒ වගේ රසිකයන් නම් හිටියා කියලා අපි දන්නවා. නීටා ප්‍රනාන්දු නිපදවපු ප්‍රසන්න විතානගේ හදපු පවුරු වළලු චිත්‍රපටය රූපගත කරන ලද්දේ ගාලු කොටුව ඇතුළේ. නීටා එයට අන්තර්ජාතික සම්මානයක් දිනා ගත්තා . කොහොම හරි චිත්‍රපටය හදන අතර දවසක් ලද විවේකයක ටෝනි දර්ශන තලයෙන් එහා පාරෙන් එහා තිබුණු පොඩි කඩයක් ගාවට ගිහින්. දැන් ආපහු පාර පනින කොටම බයිසිකලයක් පැදගෙන ආපු ඉලන්දාරියෙක් වටයක් කරකවලා ඇවිත් ටෝනි ළග නතරවෙලා.

    ‘අම්මේ දකින්ඩ තිබුණ ආසාවක්.’

    මිනහා කෑගැහැව්වේ බයිසිකලයේ එක් පයක් බිම තබාගෙන අනිත් පය පැඩලයේ තබාගෙන. දැන් මේ ටෝනි රණසිංහගේ රසිකයෙක්. ඒ විතරක් නෙවේ. ටෝනිගේ නොබලපු චිත්‍රපටයක් නෑ. ගාල්ලේ තිබුණ. ක්වීන්ස්, ප්‍රින්ස්. සරසවි, හෝල්වල පෙන්වපු ටෝනිගේ චිත්‍රපට ගැන විතරක් නෙවේ. ඒවායේ කෑලි ගැන දැන් මිනිහා ලවක් දෙවක් නැතිව කියවනවා. ප්‍රවේසම් වන්න, දිනුම් කනුව, අහසින් පොළොවට, වල්මත්වූවෝ, දුහුළු මලක්, ගොපළු හඬ, ඔන්න මාමේ කෙල්ල පැනපි, වගේ චිත්‍රපට ඔක්කොම බලපු රසිකයෙක්. පෝලිමේ හිටපු හැටි ඒවායෙන් ලබපු ආස්වාදය ගැන කෝච්චිය වගේ කියවනවාලු. ඉතින් ටෝනිටත් හරි සතුටුයි මේ වගේ රසිකයෙක් හමුවුණ එක ගැන. දැන් ආයෙත් දර්ශන තලයේ ඉන්න වෙලාව. ඒ පාර බොහොම අමාරුවෙන් මිනිහාගෙන් ගැලවිලා දර්ශන තලයට එන්න හදන කොට අර මනුස්සයත් බොහොම කණගාටුවෙන් සමුදීලා බයිසිකලේ ආපහු වටයක් කරකවලා එහෙම මහ හයියෙන් කිව්වලු.

    ‘අද මට හරි සන්තෝශයි. ගෙදර ගිහිනුත් කියතෑකි. අම්මේ ලයනල් දැරණියගල හම්බ වුණා කිව්වාම. කොච්චර එකක්ද?’

    අනේ ඉතින් ඇහුණ නැහූණ ගාණට ලොකේෂන් එකට රිංගුවා කියලා තමයි මේ මහා නළුවා අපට මේ කතාව කිව්වේ.

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.