24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    හැමෝම එකතු වුණොත් අපට ජයගන්න පුළුවන්

    - Advertisement -
    සැප්තැම්බර් 9, 2021

     

     

    - Advertisement -

    අන්තර්ජාතික සම්මාන දිනූ රංගවේදිනී

    නීටා ප්‍රනාන්දු

     

    - Advertisement -

     

    බොඳ මීදුම් කඳුරැල්ලේ

    සුරංගනා රජ දහනේ

    - Advertisement -

    සිතක තැවුල් සංසිඳීලා

    මිටියාවත මල් පිපිලා

    මල්වරුසා සුවඳ සමය

    හෙටත් වාසනා

    හෙටත් වාසනාවන්!

     

    එහෙම කියලා නිදුක් නීරෝගී ආයු බොහෝ වන සුබ උපන්දිනකට ආසිරි පතන්න පසුගිය පස්වැනිදා ඉරිදා අපි ආදරෙන් ඇමතුවේ සුවහසක් ප්‍රේක්ෂක ඔබේ හදවතේ දුහුළු මලක් වූ – නිලූට- ‘නීටා අක්කා’ ලෙස අපි ආදරෙන් අමතන ප්‍රවීණ රංගවේදිනී නීටා ප්‍රනාන්දුට. ඇයගේ දයාබර සිනාව මුසු වූ සෙනෙහෙවන්ත හඬින් සරසවියට මෙන්ම සුබ පැතූ සියලු දෙනාට ස්තූතිය පළ කරන ගමන් අතීතයේ සොඳුරු මතකයන් සිහිකරමින් වර්තමාන දෙස උපේක්ෂාවෙන් බලමින් අනාගතය ගැන අපේක්ෂාවන් දල්වන පුංචි අල්ලාප සල්ලාපයකත් යෙදෙන්නත් ඉඩක් වෙන් කරගත්තා.

     

    අපි මුලින්ම කතා වුණේ අද ලෝකයටම පොදු මාතෘකාව.

    ‘මේ දවස් හැමෝම, මුළු ලෝකෙම වැටිලා ඉන්න වෙලාවක්නෙ. ඒත් කොරෝනා කීවාම හරි භයානකයි කන හූරනවා වගේ ඒ නිසා අපි කොවිඩ් -19 ම කියමු.’ මුලින්ම යෝජනා කළ ඇය එහි බලපෑම දකින ආකාරය ගැන පැවසුවේ දොම්නස් හඬකින්.

    “අපි හැමෝම හිරවෙලා කියන දේ තමයි හැඟෙන්නේ. පාරෙ ගියත් වෙනදා වගේ නිදහසේ නෙවෙයි යන්නේ. ඒක ඉතින් කවුරුත් කළ දෙයක් නෙවෙයි. ස්වභාව ධර්මයෙන් අපට ලැබුණු නරක දායාදයක්. ඒකටත් හේතුවක් ඇති මොකක් හරි. අපි දන්නේ නෑ. මිනිසුන්ට තිබුණු නිදහස නැති වුණ එක තමයි කනගාටුව. ඒත් අපි තේරුම් ගත යුත්තේ ඇයි මෙහෙම වුණේ කියලා. නිරෝධායන නීති අපි පිළිපැදිය යුතුයි. කිසිම කෙනෙකුට බෑ අපිව වඩාගෙන හුරතල් කරලා මෙහෙම ඉන්න කියන්න. මොකද හැමෝම එක කණ්ඩායමක ඉන්නේ. හැම කෙනාම ප්‍රවේශම් වුණොත් අපි දිනයි. කොච්චර සංචරණ නීති දැම්මත්, එන්නත් මඟින් අපට අසාධ්‍ය වන එක නතර කරන්න පුළුවන් වුණත් මෙය සම්පූර්ණයෙන් වළක්වන්න බෑනේ. ඒ නිසා අපිම අපි ගැන බලාගන්න ඕනෙ. සීමාවන් ඇතුළත පුළුපුළුවන් විදිහට අනෙක් අයට උදවු කරගෙන පරෙස්සමින් ජීවත් වෙන එක තමයි යුතුකම. මමත් මේ දවස්වල කටුනේරියේ මහගෙදර තමයි ඉන්නේ.

    නාළිකාවලින් වැඩසටහන්වලට කතා කළා. ඒත් හිතට එකඟව මට කටුනේරියේ ඉඳන් අත්‍යාවශ්‍ය සේවා කියලා ඒ වැඩසටහන්වලට යන්න අමාරුයි. මොකද ඒ වැඩසටහන්වලට මම නැතත් තව මගේ සහෝදර කලාකරුවකු සහභාගී කරගන්න පුළුවන්. මෙච්චර මහන්සිවෙලා රජය, සෞඛ්‍ය අංශයේ, ආරක්ෂක අංශයේ අය තමන්ගේ ජීවිත පරිත්‍යාගයෙන් මෙය වළක්වන්න කටයුතු කරන වෙලාවේ අපි අපේ වගකීම තේරුම් නොගෙන සංචරණ සීමා උල්ලංඝනය කරගෙන අත්‍යවශ්‍ය නොවන කටයුතුවලට යන එක තමන්ගෙම හිතට හරි නෑ නේද? ඒ හින්දා තමයි මම ඒ වැඩසටහන්වලට මට ආරාධනා කළ අයට ස්තූතිපූර්වකව කරුණු පහදලා දීලා පුළුවන් තරම් ගමන්බිමන්වලින් වැලකිලා මේ රෝගය තුරන් කරන්න අපට දිය හැකි සහයෝගය මේ අවස්ථාවේ ලබා දෙන්න තීරණය කළේ. මම කොළඹ ගෙදරට ගියේ නෑ මාස පහකින් විතර. හැමෝම එකතු වුණොත් අපට මේ රෝගය අවසන් කරගන්න පුළුවන් කියන මතයේ තමයි මම ඉන්නේ.

    කටුනේරියේ අපේ ගෙවල් තරමක් දුරින් දුර පිහිටලා තිබෙන නිසා ළං නොවී ආශ්‍රය කරන්න පුළුවන්නේ. (සිනාසෙයි) දුරකථනයෙනුත් බොහෝ දෙනා කතාබහ කරනවා. හැබැයි ගෙවල් ඇතුළෙම නිසා තනිවුණු බව නම් හැමෝටම දැනෙනවා ඇති. අපි ඉපදුණෙත් තනිවමනේ. ලෙඩේ නිසා අපට මොනවා වෙයිද කියන දේත් හැමෝටම දැනෙන සැකයක්.

    කටුනේරියේ මහගෙදර ඇයගේ කුඩා අවදියේ දඟකාර මතකයන් බොහෝය. දොම්නස සොම්නසට හරවන්නට ඒ මතකයන්ට හැකිය.

    “අපි ඉස්කෝලෙ යන කාලේ නම් හරිම රසවත්. ඩ්‍රිල් එකේ මම තමයි ඉස්සරහින්ම ඉන්නේ. ඉස්කෝලෙ හැම නාට්‍යයකටම මාව ගන්නම ඕනෙ. ඒක අනිවාර්යයයි. දෙවැනි පන්තියෙදි අපට හිටියේ හරි සැර මිස් කෙනෙක්. මම මැහුම්වලටයි ගණන්වලටයි හරිම දුර්වලයි. ගණන් පීරියඩ් එකේ ඉද්දි මට පේනවා පණිවිඩයක් එනවා ‘මිස් කරුණාකරලා නීටාව සරඹ පුහුණුවට එවන්න කීවා’ කියලා. ඒක ඇහෙන පමාව විතරයි මම ආයේ මුකුත් නෑ පැනලාම දුවනවා අර ටීචර් බනිනවා ඇහෙනවා ‘යමං නැටිල්ලටම තමයි හැදිල තියෙන්නෙ. තිස්සේම නැටිල්ල. යමං ඉතින්’ කියලා.

    මනෝමයෙන් ගණන් හදන ක්‍රමයක් තියෙන්නේ. එකයි දෙකයි කීයද කීවාම ටක් ගාලා පොතේ ලියන්න ඕනෙ. මට ඒකත් බෑ. නොලියා හිටියොත් ගුටිනේ. ඒ නිසා ප්‍රශ්නෙට උත්තරේ මොක වුණත් මම මට හිතෙන ඕනෙම ගාණක් ලියනවා. (ඇය කෙළිලොල් සිනහවක් නඟයි)

    මැහුම්වලදි රෙදි කෑල්ලක වාටියක් මහන හැටි උගන්වන්න ගියත් මට තේරෙන්නේ නෑ. ඉතින් දැලි අල්ලපු රෙදි කෑල්ලක් වගේ ඒක කිළුටු වෙනකල් මම උත්සාහ කරලා. මැහුම් නොතේරෙනකම කොච්චරද කීවොත් අදටත් මම රෙදි කෑල්ලක දිග පළල කියන්න දන්නේ නෑ. මට ගැළපෙන පාට, මෝස්තරේ හැඩ එන්න ඕනෙ විදිහ තේරුණාට ඒක කපලා මහගන්න තමයි බැරි. කොච්චර මැහුම්වලට ආසා වුණත් තේරෙන්නෙම නැහැ ඉතින්. හැබැයි මට උයන්න පුළුවන්. සූප ශාස්ත්‍රයට, මල්වැවිල්ලට මම හොඳ හපනි.

    මම යුනිෆෝම් එක කොටට අඳීන්න හරි ආසයි. ඒ නිසා කීප වතාවක් දණ ගහගෙන ඉඳලා ගවුමේ වාටිය දිග අරින්න සිදුවුණු අවස්ථා තිබෙනවා.

    නෙට්බෝල්වලට නම් හරි බයයි. මොකද දවසක් මම වැටුණානේ. ඒ වගේම මගේ ඉලක්කෙ හරි නෑ, මම ගහක ගෙඩියකට ඉලක්ක කරලා ගලක් ගැහුවොත් ඒක වැටෙන්නේ මගේ ඔළුව උඩටමයි.

    (කුඩා කල ඇගේ කතා සාගරයකි.)

    අන්තර් පාඨශාලීය ක්‍රීඩා තරගවලට යද්දි ඩ්‍රිල් එකේ උඩටම නග්ගන්නේ මාව. මොකද මම පොඩියිනේ. පිරමීඩය වගේ හැදිලා උඩටම නැඟලා ආයුබෝවන් කියලා බිමට පනින්න ඕනෙ. වැස්ස දවසක ඉස්කෝලෙ කොරිඩෝවේ ඒක පුහුණු වෙන්න ගිහින් වැටිලා ඔළුව පැලිච්චි. දැන් ලේත් එනවා. පස්සේ සිස්ටර්ලත් බය වෙලා කීවා, දැන්ම අම්මලාට කියන්න එපා කියලා. ටිකකින් හරි ඉතින්. ආයෙත් දැඟලිල්ල.

    අපි ඉරිදාට උපදේශක පන්ති යනවානේ. මාත් එක්කම ගැළපිච්ච දෙතුන් දෙනෙක් ඉන්නවා. අපි උපදේශන පන්තිය පැත්තක තියලා කැලේ පනිනවා. තියෙන තරම් ගඩාගෙඩි කාලා කාලා තමයි අපි ආපහු ගෙදර යන්නේ. ඒ කැලෑ දැන් මුකුත් නෑ අනේ…

    අපේ නංගි හරි ආසයි මහන්න. ලොකු ගෑනියෙක් වගේ හැමදේම කරන්න එයා ආසයි. මට වඩා වෙනස් ගතිගුණ තියෙන්නෙ. එයා මට වැඩිය අවුරුදු පහක් විතර බාලයි. මට දහය වෙද්දි එයාට පහයි. ඒත් මම කියනවා ‘ආ නංගි දැන් ඔයා අම්මා වෙන්න. මම බබා. ඔයා මාව වඩාගෙන යන්න.’ කියලා අර පොඩි එකා ලව්වා මාව වඩෝගන්නවා. එයත් හරි ආසයි මාව වඩා ගන්න. ඒත් මම ලොකුයිනේ ඉතින් ඇදගෙන වගේ තමයි යන්නෙ.

    (ඇගේ හඬ තවත් දඟකාර වෙයි)

    මල්ලිලා දෙන්නත් එක්කත් මම හරියට දඟවැඩ කළා. මල්ලිලා ආසයිනේ හපංකම් පෙන්වන්න. ඒ නිසා අපේ ගෙදර තිබුණ පරණ ලොකු මැටි මුට්ටියක් පෙන්නලා මම කීවා ‘ආ ඔයාට බෑනේ අර මුට්ටියට පනින්න’ කියලා. මල්ලිත් මොකද මට බැරි කියලා ඈත ඉඳන් දුවගෙන ඇවිත් මුට්ටිය උඩට පැන්නා. හයියෝ…කකුල් තුවාල වෙලා ඉස්පිරිතාලෙ ගෙනියලා තමයි නතර වුණේ.

    වැස්ස දවසට අපේ ගෙදර පැත්තක වතුර පිරෙනවා. දවසක් තාත්තා නිදි අතරේ මම ඇහුවා මල්ලිලාගෙන් ඔයාලා පීනන්න දන්නේ නෑනේ? කියලා. ඇයි අපි දන්නෙ නැත්තේ කියලා අර දෙන්නෙ මඩේ පීනන්න ගත්තා. මම තාත්තාට ගිහින් කීවා අන්න අර දෙන්නා මඩේ පීනනවා කියලා. නිදිමතේම තාත්තා ඇවිත් දුන්නා දෙන්නට. අම්මලා දවල්ට නිදාගත්තාම අපි අල්ලපු ගෙදර ළමයි එක්ක සෙල්ලම් කරනවා. ඒ කාලේ තිබුණා නවසි කියලා පොල් ජාතියක්. ඒකේ කුරුම්බැට්ටිය හරි රසයි. ඉතින් සෙල්ලම් කරකර ඉද්දි කන්න වත්තේ පේර ගෙඩියක්, පළතුරක් මුකුත්ම නැති වුණොත් මම කරන්නේ පොල්වත්ත පුරා කුරුම්බැට්ටි හප හප බලනවා නවසිද කියලා. ඒ වගේ කාලෙකුත් තිබුණා.

    ආයෙ දවසක් ලොකු අය වගේ දුම් බොනවා කියලා, අපි හතර දෙනා ගේ පිටිපස්සට ගිහින් කොළ කෑල්ලක් අඹරලා කෙළවරට ගිනි කූරක් ගැහුවා. හුස්මත් නැතුව කැස්ස ගිහින්, තව ඩිංගෙන් මූණක් නැතුව තමයි ඉන්න වෙන්නේ.

    ඔය වගේ අහිංසක දඩබ්බර ජොලි වැඩ තමයි ගෙදරදි කළේ. දැන් මම ඊට හාත්පසින්ම වෙනස්. ඒ වයසත් නිසා වෙන්නැති ඒ තරම් දඟ වැඩ කළේ. ඒ ගෙදර තමයි මම මේ දවස්වල ඉන්නේ. කටුනේරිය හරි සුන්දර ගමක්. අන්තිමට බලද්දි අපි ඔක්කොම නෑදෑයෝ. අපි ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ වගේ තමයි ඉතින්.

    ඒ මතකයන් සියලු සාංකාවන් මොහොතකට අමතක කරන්නට සමත් විය. ඉන්පසු ඇය සැණින් දාහත්වැනි වියට පා තැබුවාය.

    “අවුරුදු දාහතෙන් මම ඒ ගම දාලා ගියාට පස්සේ සෑහෙන කාලෙකින් තමයි ආපසු ආවේ. තාත්තා නැති වුණාට පස්සේ අම්මාව බලාගත්තේ මම. තාත්තාගේ තාත්තා තමයි අපේ ගමේ මුල්ම මුල්ගුරුවරයා. තාත්තාත් විදුහල්පතිවරයෙක්නෙ. ඒ අයගේ නම ගෙනියන්න මල්ලිලාත් ලංකාවේ නෑ. නංගිත් මීගමුවේ. ඉතින් ඒ අයගේ නමත් තියාගෙන ඒ අයට පින් දීලා මහගෙදරට වෙලා මම ඉන්නවා.”

    මගේ පළමුවැනි චිත්‍රපටය කළෙත් දාහතේදී විතරනේ. 1965 කාලේම මම ගමේ කලායතනයේ උඩරට නැටුම් ඉගෙනගනිමින් හිටියේ. ඒ වගේම මාදම්පේ පැන්ඩලීන් කුරුකුල කියලා විශ්වවිද්‍යාල ආචාර්යවරයෙක් නිර්මාණය කළ නරබිල්ල කියලා ලස්සන කතා තේමාවක් තිබෙන නාට්‍යයක ප්‍රධාන චරිතෙටත් මාව තෝරාගෙන හිටියේ. අපි කතෝලික හැමෝම වගේ ගීතිකා කියන නිසා ගීත ගැයීමේ හැකියාවත් ටිකක් තිබෙනවා. ඒ අතර මගේ මාමා මගේ පින්තූරයක් පෙන්නලා තිබුණා ඩබ්ලිව්. එස්. තම්පො මහත්මයාට. ඒ අය කටුනේරියට ආවා මාව බලන්න. ඇවිත් කැමරා ටෙස්ට් එකක් ගැන කීවාම අම්මලාට ඒක හරියට තේරුණාදවත් මම දන්නේ නෑ. අම්මලා කැමති වුණේම නැහැ. ඒත් දන්නවානෙ ඒ වයසෙදි අපේ හිත්වල හැටි. ඉතින් මට ඉස්කෝලෙ ඕනෙත් නෑ වෙන මුකුත් ඕනෙත් නෑ මේවාට යන්නම තමයි ආසාව. ඒ අධිෂ්ඨානය නතර කළේම නෑ මම. මාව යැව්වෙ නැත්නම් ළිඳේ පනිනවා වගේ බොරු කිය කියා මම අම්මලාව කැමැති කරගත්තා. අන්තිමට තාත්තා කීවා එකකට යවමු ආසාව නිසා කියලා. මම ඒලෙවෙල් ඉවර නොකර තමයි ආසාවට සිනමාවට ආවේ.

    නංගීයි මල්ලිලා දෙන්නයි ගෙදර දාලා අම්මා ආවා ඉතින් මගේ පස්සෙන්. පුදුම කැපකිරීමක් කළේ මගේ ආසාව ඉෂ්ඨ කරලා දෙන්න.”

     

    ඇය මොහොතක් ස්තුතිපූර්වක කල්පනාවක නිමග්නව යළි පවසයි.

    “සතුටයි කඳුළයි කියන්නේ මම කැමරාවට මුහුණ දුන්න පළමුවැනි වතාව. ඇත්තටම කීවොත් ඒක කැමරා ටෙස්ට් එකක්. ජෝ අබේවික්‍රමයි රෝහිණී ජයකොඩියි ප්‍රධාන චරිත කළේ. ජෝ අබේවික්‍රම හීනයක් දකිනවා ගමේ කෙල්ලක් ගැන. ඒ හීනයේ ගීත දෙකක් තියෙනවා. ඒ ගමේ කෙල්ල තමයි මම. ‘පැතුම විලස මා එදා’ කියන ගීතයට ඒ කැමරා ටෙස්ට් එකේදි ගත්ත දර්ශන යොදාගෙන මාව හඳුන්වා දීමක් තමයි තම්පො මහත්මයා එදා කළේ. ජීවිතේ පළමුවැනි වතාවට සාරියක් ඇන්දෙත් එදා. ළා පාට සාරියක් නිසා කළු සුදු චිත්‍රපටයේ පේන්නේ සුදු සාරියක් වගේ.

    ඇහැලියගොඩ රූගත කිරීම්වලට ගියේ. අපි අපේ පැතිවල කූඩැල්ලෝ දැකලා තිබුණේ නෑනෙ. මම පුදුම බයක් වුණේ කූඩැල්ලෝ එල්ලෙනකොට. ෂූටින් තිබුණේ ගලක් උඩ. මම ෂූටින් ඉවර වෙලාත් ගලෙන් බහින්නේ නෑ කූඩැල්ලන්ට තියෙන බයයි අප්‍රියාවයි නිසා. අනේ ජෝ අය්යා මාව වඩාගෙන කරේ තියාගෙන ‘වරෙන් යන්න’ කියලා එතැනින් පහළට ගෙනාවේ. අනේ… මට ඒක මතක් වෙනකොට හරි සෙනෙහසක් වගේම ජෝ අය්යා දැන් අප අතර නැති එක ගැන දුකක් දැනෙනවා.

    ඊට පස්සේ ජෝ අය්යාත් එක්කම තමයි මට ‘ළඳක මහිම’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්න ලැබුණේ. ඒකෙත් මම ගමේ කෙල්ලක්. ගෑනු ළමයා කසාද බඳීන්නේ මානසික රෝගියෙක්ව කියලා දැනගන්නේ පෝරුවේදිනෙ. ජෝ අය්යාත් අනේ පොඩි ළමයෙක් වගේ ඒ දර්ශනවල දැකලා ඇති නේද පෝරුවේ සැරසිලි අදිනවා, හිනාවෙනවා. ඒ දර්ශනත් හරිම සතුටින් මම කළේ. ජෝ අය්යා හරිම විහිළුකාරයි. ඒ වගේම පුදුම රංගන හැකියාවක් තිබෙන්නේ.

    පළමුවැනි චිත්‍රපටයට පස්සේ අවුරුදු අටක් ඇතුළත මම චිත්‍රපට හතළිහක විතර රඟපෑවා. තව චිත්‍රපට දහතුනක් විතර ආවා ඒවාට මම අස්සන් කළේත් නැහැ. රට යන්න වුවමනාව තිබුණ නිසා. ඒවා මගේම සහෝදර නළුනිළියන් අතර බෙදී ගියා. ඒ ගැන මට සතුටුයි.”

     

    විදෙස්ගත ජීවිතයෙන් යළි ඇ‌ගේ මතකය ලංකාවට, සිනමාවට එයි.

    “1980 කැනඩාවෙන් ආපහු ඇවිත් අවුරුද්දකින් සූරියකාන්ත චිත්‍රපටය කළා. ඊලියන් (ඊලියන් පෙරේරා – ස්වාමිපුරුෂයා) තමයි ඇත්තටම මාව නිෂ්පාදිකාවක් කළේ. ඊට පස්සේ 1995 ‘පවුරු වළලු’ නිෂ්පාදනය කළා. ඊලියන් නැති වුණාට පස්සේ තමයි ‘නිසලගිර නිෂ්පාදනය’ කළේ. එය මාත් එක්කම ඉන්න මගේ මිතුරිය යොලැන්ඩා වීරසිංහගේ කතාවක්නේ. ඉදිරියට තිරගත වන්න නියමිත ස්වර සහ තේජා චිත්‍රපට දෙකේත් මම සම නිෂ්පාදකවරියක් ලෙස කටයුතු කළා. ඒ චිත්‍රපට තිරගත කරන්න බලාගෙන ඉන්නවා. මේ තත්ත්වය තුරන් වෙනකල් මේ හිටියා වගේ තව ටික දවසක් ඉවසාගෙන ඉමු.”

     

    ඇගේ හැරවුම් ලක්ෂ්‍යය දුහුළු මලක් යැයි කීවොත් නිවැරැදිය. පරම්පරා ගණනක් මතකයේ රැඳුණු ගීතාවලියක් මෙන්ම ආන්දෝලනාත්මක චරිතයක් සමඟ රසික හදවත්වල ඇය ලැගුම්ගත්තේ දුහුළු මලක් චිත්‍රපටයේ නිලූ නිසාය.

    “දුහුළු මලක් සින්දුවලට හරි කැමැතියි බොහොම‌ දෙනා. ඒත් ඒකේ කළ චරිතයට ‘මේ වගේ දේවල් ගෑනු කරනවාද කියලා’ මට රසිකයන් ගහන්න පවා බලාගෙන හිටියා කියලා විජය ධර්මශ්‍රී මට රට ඉද්දි හිනා වෙවී කෝල් කරලා කියනවා. චිත්‍රපට ශාලා ඇතුළෙත් ජෝඩු රණ්ඩු කරලා තියෙනවාලු මේ චරිතය නිසා. ඒත් දැන් මිනිස්සු ආදරෙත් ඒ චරිතයටමයි. රවීන්ද්‍රයි මමයි සුමිත්ත අමරසිංහයි ලයිට්බෝයිස්ලා දෙන්නකුයි එක්ක හොඳට නිදහසේ ඒ කැලෑවේ දිවුවා. ඒක දර්ශන තමයි චිත්‍රපටයට යොදාගත්තේ.”

     

    ඇයට යමක් සිහිවී සිනහව මුසු හඬකින් කියයි.

    “ආ.. ඒ කතාවේ හැටියට ප්‍රීති රවීන්ද්‍රගේ ඔෆිස් එකේ වැඩ කරන රවීන්ද්‍ර ගැන බලාපොරොත්තුවෙන් යාළු වෙන්න උත්සාහ කරන කෙනෙක්නෙ. ඉතින් ප්‍රීති මට චිත්‍රපටයේ රවන හැටියට මට වේලාවකට හිතුණා ඇත්තටම මා එක්ක තරහෙන්ද කියලා.”

    ඒක ලියුවාට කමක්නැද්ද? මම අසමි.

    “අනේ ලියන්න ප්‍රීති කියන්නේ හරිම හොඳ කාන්තාවක්. රවීන්ද්‍රගේ ජීවිතේ ලැබුණු හොඳම තෑග්ග තමයි ප්‍රීති. ඒ තරම් නිහතමානී, සාධාරණ, අවබෝධයක් සහිත බිරියක්. තවමත් රවීයි මායි හමුවුණාම කතාකරන්නේ රොහාන්, නිලූ කියලා. ඒ තරම් ඒ චරිත දෙක අපට වගේම රසිකයන්ටත් සමීප වුණා.”

     

    (මඳක් කල්පනා කර) ඇත්තටම මට හිතෙන්නේ නෑ මගේ වයස තිහකට වැඩියි කියලා. ඒ කාලේ ශක්තිය ජවය තවම මට තිබෙවනවා. මම හිතනවා රවීට, ශ්‍රියාණිට, මාලිනීට වගේ අපි ශිල්පීන් හැමෝටම ඒ ගැම්ම තාම තියෙනවා. අපට හිතෙන්නේ නෑ දැන් කාලයක් ගත වෙලා කියලා. (සිනාසෙමින්) තවමත් අපි හමුවුණාම දැනෙන්නේ ඒ මුල් කාලේ වගේ. මම ඒ සියලු සහෝදර ශිල්පී ශිල්පිනීන්ට සුබ පතනවා නිරෝගී සුවයෙන් ඉන්න ලැබෙන්න කියලා මේ කාලේ.”

     

    පවුරු වළලු චිත්‍රපටයේ වයලට් වන විට, පාංශු චිත්‍රපටයේ අතුරුදන් වන පුත්‍රයා සොයන මව වන විට මෙන්ම ඇයට ලැබෙන ඕනෑම චරිතයක් නිරූපණය කරන විට හදවතේ ඇති ඒ තාරුණ්‍යය ඉවත ලා රංගනයේ තාත්ත්විකබව ඉස්මතු කරන බව ජාතික මෙන්ම අන්තර්ජාතික වශයෙන් පිළිගන්නා කරුණක් බව ඇය මෙරටට ගෙන ආ අන්තර්ජාතික සම්මාන ත්‍රිත්වය ද සාක්ෂි දරයි. එහෙත් ඇය රංගනය පුහුණු කළේ කෙසේද?

    “මම රංගනය පිළිබඳ හැදෑරීම් කළේ රංගනයෙන්මයි. අපි කළ දෙයක් දකින්නේ ඉන්දියාවේ ගිහින් මුද්‍රණය වෙලා ආවාට පස්සේයි. අපට තිබුණු ආශාව හා උනන්දුව නිසාම අධ්‍යක්ෂවරුන්ට හොඳීන් ඇහුම්කන් දුන්නා. අපි දේවල් දන්නවා කියලා හිතන්න ගියේ නෑ. ඔවුන් කියන දේට දැඩි අවධානය යොමු කළා. ඒක තමයි හොඳම පාඩම. මේ මෑතක් වනතුරුම තිරයේ මම කළ චරිතයක් පේන කොට මම ඒ දිහා කෙළින් බැලුවේ නෑ. හැම තිස්සේම මට හිතෙනවා මේ චරිතය මට මීට වඩා හොඳට කරන්න තිබුණා කියලා. ඒක මම හිතන්නේ හැම කලාකරුවකුටම තිබෙන දෙයක්. මම ඔළුව පාත් කරලා හොරෙන් වගේ චකිතයකින් තමයි තිරය දිහා බලන්නේ.

    ඒ කොහොම වුණත් ලංකාවට මට අන්තර්ජාතික සම්මාන තුනක් ගේන්න අවස්ථාව සැලසුවාට මගේ ස්වාමීන්වහන්සේට ස්තූතිවන්ත වෙනවා. දෙවියන්වහන්සේට පමණක් නෙවෙයි දෙවියන්ට බුදුන්ට මේ සියලු ශාස්තෘවරුන්ට මම ගෞරව කරනවා. උන්වහන්සේලාගේ ආශීර්වාදය ලැබුණ නිසා තමයි මට ඒ ගෞරවය මගේ මවුබිමට ලබා දෙන්න පුළුවන් වුණේ. ඒ ගැන නිහතමානී අහිංසක ආඩම්බරයක් මගේ හිතේ තියෙනවා.

    මම දෙවියන් වගේම බෞද්ධ ධර්මයත් අදහනවා. මේ ජීවිතේ මොකක්ද කියන එකයි ඒ සෑම දහමකින්ම අපට කියා දෙන්නේ. ඉපදීම, ජීවත් වී පැවතීම සහ ඉන්පසු මොකද වෙන්නේ කියන දේ තේරුම් කරනවා වගේම කිසිම වැරැද්දක් කරන්න කියලා කිසිම ආගමකින් කියන්නෙ නෑනේ.”

     

    සිත පිරිසුදු කරගෙන සිටින ඇය නව පරපුර ගැනද සිතන්නේ පිරිසුදු සිතිනි.

    “ඇත්තටම අපේ නව පරපුරට අපේ සමහර සහෝදර නළු නිළියන් රංගනය පිළිබඳ උගන්වනවා, ඒක හොඳයි. ඒත් රජයෙන් විධිමත් ආකාරයක පාසලක් පිහිටුවූවානම් තවත් හොඳයි. අනෙක අපේ නව පරපුර ගැන මම කියන්නම ඕනෙ දේ තමයි ඔවුන්ට අපට වඩා අවස්ථා බොහෝමයක් තිබෙනවා. අන්තර්ජාලය ද, තවත් ඒ වගේ දේවලින් ඔවුන්ට මේ විෂයය පිළිබඳ අධ්‍යයනය කරන්න තාක්ෂණය, හැකියාව තිබෙනවා. තරුණ පෙළ ඒවා හොඳට ප්‍රයෝජනයට ගන්නවා කියලත් මම හිතනවා. රංගනය, ගායනය, නර්ථනය හොඳට ඉදිරිපත් කරන බොහෝ දෙනෙක් ඉන්නවා. මම ඒ අපේ අනාගත පරපුරට සුබපතනවා, ආශීර්වාද කරනවා. ඔවුන් දැක්කාම මට හරි සතුටක් දැනෙනවා. ඒ අය ඉදිරියට එන්න ඕනේ.

     

    හැබැයි සමහරු නව පරපුරේ හැසිරීම ගැන එතරම් පැහැදීමක් නෑ වගේ. මම හරස් කපමි.

    “අපි ඒ වයසේදි අපේ වැරැදි කවුද කතා කළේ. අපිත් නොදැන වැරැදි කරන්න ඇති. හැබැයි අපේ අධ්‍යාපනයේදී ලැබුණු හික්මීම සිනමාවටත් ගෙනාවා. අද අධ්‍යාපන ක්ෂේත්‍රයේත් ඒ තත්ත්වය නැතිවෙලා හින්දා එයින් නිපදවෙන දරුවන්ගෙන් අපට යම් සීමාවකට එහා ඒ දේවල් බලාපොරොත්තු වෙන්න බෑ. කාලෙත් එක්ක බොහෝ දේවල් වෙනස් වෙනවා. කලාවේදීත් තරුණයන් නිදහසේ තමන්ගේ අදහස් ප්‍රකාශ කිරීම ගැන මම එක අතකින් සතුටු වෙනවා. කලාකරුවෙක් වූ පළියට පෞද්ගලික ජීවිතයේදීත් ඒ විදිහටම ඉන්න ඕනෙ කියලා නියමයක් නෑනේ. ඔවුන් සාමාන්‍ය මිනිස්සු. අනෙක තව කෙනකුගේ පෞද්ගලිකත්වය නිර්මාණවලට අදාළ කරගන්න අවශ්‍ය නෑ කියන මතයේ තමයි මම ඉන්නේ. නිෂ්පාදනයක දර්ශන තලයේදී නව පරපුරට තිබෙන ලොකුම ප්‍රශ්නය ‘ටෙලිෆෝන් පිස්සුව’ කියලයි මම හිතන්නේ. ඒ අයගේ වැඩ ඔක්කෝම මොබයිල් ෆෝන් එකෙන් නිසයි ඔය ඔක්කොම. ඒ නිසා තමයි මම හිතන්නේ නීති රීති පද්ධතියක් හැම දේටම තිබිය යුතුයි කියලා. දැන් බලන්න හයසින්ත්ගේ මරණය! එයා ඒ රෑ එන්න ඕනේ කිව්වා වෙන්නත් ඇති. ඒත් නීති රීති පද්ධතියක් තිබුණා නම් රෑ දහයෙන් දොළහෙන් පස්සේ ගමන් යන්නේ නෑ. රියැදුරන් අනවශ්‍ය ලෙස මහන්සි කරවන්න බෑ, දර්ශන තලයේදී වැඩ කරන අතර අනවශ්‍ය පරිදි දුරකථන භාවිත කරන්න බෑ වගේ කලාකරුවන්ටත් ඒ නීතිවලට එකඟ වන්න සිදුවනවා. වෙනස් වන ලෝකයේ යමකින් අපි වෙනස් විය යුත්තේ හොඳ අතට මිස විනාශ වන පැත්තට නෙවෙයි.”

     

    අද සිනමාවට සිදු ඇති දේ ගැන ද ඇයගේ මතය වෙනස්ය.

    “සිනමාව කොරෝනාවත් සමඟ ලොක්ඩවුන් වෙලා කියලා තමයි මම කියන්න කැමැති. මම කවදාවත් හිතන්නේ නෑ අපේ සිනමාව වැටිලා කියලා. එහෙම දෙයක් වෙලා නෑ. ශාලා හිමියන් වගේ අසරණ වූ පිරිස් ඉන්නවා මේ අවස්ථාවේ ආර්ථික ප්‍රශ්න නිසා. ඒ අය ආරක්ෂා කරගන්න ඕනේ මේ තත්ත්වය පහව යනකල්.

     

    මම පිළිගන්නවා කලාත්මක සහ වාණිජ කියලා වර්ග දෙකක් සිනමාවේ තිබෙනවා කියලා. සෑම ප්‍රේක්ෂකයකුම එකම රස මට්ටමේ නැහැ. උදාහරණයකට අපේ ගම්පළාත්වල වගේ අය ගත්තොත් සියයට පනහකට වඩා වාණිජ සිනමාවට කැමැතියි. සින්දුවක් අහන්න ෆයිට් එකක් බලන්න ඔවුන් ආසයි. අපි කැමැති හෝ අකැමැති වාණිජ චිත්‍රපට තිබිය යුතුයි. සම්පූර්ණ කලාත්මක චිත්‍රපටවලට එන්නේ සීමිත කොටසක්. ඒ නිසා මට හිතෙන්නේ මැද මාවතේ චිත්‍රපටවලට ඔය ඔක්කොම ආකර්ෂණය කරගන්න පුළුවන්. හොඳම උදාහරණය දුහුළු මලක්. කලාත්මක චිත්‍රපටයක් කරන්න පුළුවන් සම්පූර්ණ වාණිජ පැත්තට බර නොවෙන්න මැද මාවතක ඉඳන් රසිකයන්ගේ සිත්වලට කාවදින ආකාරයට. මම නිෂ්පාදනයක් කරද්දිත් කැමැති ඒ වගේ චිත්‍රපටවලට. පවුරු වළලු වුණත් ඒ වගේ. මොකද ඕනෑවට වඩා නොතේරෙන චිත්‍රපටයක් වුණොත් මිනිස්සු බලන්න ඇවිත් යන්නේ ‘අයියෝ මොකක්ද මේ බැලුවේ’ කියලානෙ. එයින් ඊළඟ අවස්ථාවක සිනමාවට රසිකයන්ගේ පැමිණීම දුර්වල වෙන්න පුළුවන්.

    මමත් බලාගෙන හිටියා ළඟකදි චිත්‍රපටයක්. දෙන්නෙක් යනවා යනවා යනවා. (සිනාසෙයි) තේරුමක් නෑ අන්තිමට බලද්දි මුකුත් වෙලා නෑ, ඒ නිසා මුලින්ම තේමාව අපි තෝරාගන්න ඕනෙ. එතැනින් තමයි කතාව උපදින්නේ. ඊළඟට ඒ ඔස්සේ හොඳ තිරරචනයක් ලියා ගන්න ඕනෙ. එතකොට අපේ රටේ ඉතාම දක්ෂ නළු නිළියන් රැසක් ඉන්නවා. ඒ අය ඕනෑකෙනෙක් ලවා ඒ චරිතවලට පණ දෙන්න පුළුවන්. කොහොම හරි අවසානයේ කතාව රසිකයන්ට තේරුම්ගන්න පුළුවන් වෙන්නයි ඕනෙ.”

    ඇඳීරි නීතිය දාපු කාලයේ රූපවාහිනියට මිනිස්සු පුරුදු වුණා. ඒකෙන් ගලවන්න ලේසි නෑ. හැබැයි එහෙම ගලවන්න අවශ්‍යත් නෑ. සතුට දුක ලස්සන මේ හැම දේම තියෙන තමන්ට ආස්වාදයක් දනවන මැද මාවතේ චිත්‍රපට ශාලාවලට එනවා නම් සහ ශාලා හරියට පවත්වාගෙන යනවා නම් රසිකයන් සිනමාවට ඉබේම ඇදෙනවා. ඉන්දියාව හොඳම උදාහරණය. “

     

    මේ කතාව අතර ඇගේ සුරතලා කුකී‌ගේ බිරුම් හඬ ඇසෙයි. පාංශු කරද්දි බලු පැටියාව ගෙනාවා වගේ ළඟකදි පාරෙ ඉන්න අසරණ යාළුවෙක් එහෙම ගේන්න බැරුව යන්න ඇති මේ තත්ත්වය නිසා නේද?

    “ඒ වුණාට ළඟදි ලස්සන පූසි පැටියෙක් ගෙදර ආවා. හොරෙන් හැංගි හැංගි බයේ දුවමින් හිටියා. ඒත් මම හිමීට ඔළුව අතගෑවාම යාළු වුණා කියන්නේ හිතාගන්න බැරිතරම් යාළු වුණා. අපේ කුකී බව්වා පූසොත් එක්ක එච්චර නැතත් මොකද මන්දා මේ ‘චූටි නංගි’ එක්ක නම් යාළු වුණා. ඒත් මාස දෙකයි එයා හිටියේ. දවසක් බලද්දි තව පූසෙක් එයාව හපලා පඳුරක් අස්සේ කෑගහගහ ඉද්දි මම ගෙනත් කිරි ටිකක් බටේකින් පෙව්වා. එයා මා දිහා බලාගෙනම සදහටම යන්න ගියා. මම ඒ තරම් ඇඬුවේ නෑ කිසිම සතෙක් නැති වුණාට.”

    ඇය බිඳුණු හඬින් පවසයි. මම යළි මාතෘකාව වෙනස් කරමි. කොහොමද ලොක්ඩවුන් බර්ත්ඩේ එක?

    “අනේ… ලොක්ඩවුන් බර්ත්ඩේ එකට නංගියි එයාගෙ මහත්තයයි පුතයි ආවා. මාස පහකට පස්සේ ඒ අයවත් දැක්කේ. ප්‍රේක්ෂකයන් විශාල සංඛ්‍යාවක් මට සුබපැතුම් එව්වා. මම තනිවෙලා නෑ කියන එක හොඳටම දැනුණා.”

     

    කොවිඩ් ඉවර වුණාම මොනවාද ප්‍රේක්ෂකයන්ට දෙන තෑගි? මම ඇගේ නිර්මාණ පිළිබඳ විමසමි.

    “කොටස් හැටක විතර ටෙලි නාට්‍යයක අහිංසක පාසල් ගුරුවරියක් ලෙස රඟපාන්න ආරාධනා ලැබුණා. එයට මම කැමැති වුණා. ‘ස්වර’ සහ ‘තේජා’ චිත්‍රපටවලට අමතරව දිලූක ගුණතිලකගේ පළමුවෙනි සිනමා අධ්‍යක්ෂණය සහ විශ්ව ලංකාගේ නිෂ්පාදනයක් වන ‘ස්පර්ශ’ චිත්‍රපටයත් එන්න තිබෙනවා”

     

    සිනමාවේ වසර පනස් දෙකක් පුරා ආ ගමන ගැන නීටා අක්කාට දැනෙන්නේ කොහොමද?

    මේ රටේ කලාකරුවකු වන්න ලැබීම වාසනාවක්. ප්‍රේක්ෂකයන් අතරට අපි ගිහින් තිබෙනවා. ඔවුන් අපට ආදරය කරනවා. මෙතෙක් සිනමා ගමනේදි මට ලැබුණු ජනප්‍රියත්වය, සම්මාන මේ සියල්ල වටිනවා තමයි. ඒත් ඒ හැමදේටම වඩා මට ලැබුණු දායාදය තමයි මගේ සහෝදර ප්‍රේක්ෂකයන්, මට ආදරය කරන, මාව උනන්දු කරන, මගේ පෞද්ගලික ජීවිතයේ පවා මාව අගය කරන ඒ සහෝදර සහෝදරියන් තමයි මගේ දායාදය. ඒ නිසා මගේ ආදරණීය රසික සහෝදර සහෝදරියන්ගෙන් වගේම කලා ශිල්පී සහෝදර සහෝදරියන්ගෙන් මම ඉල්ලන්නේ ලෝකෙම වැටුණු මොහොතක අපට තනිවම නැඟිටින්න අමාරුයි තමයි. ඒත් එකා වගේ හිතුවොත් අපට දිනන්න පුළුවන්. ඒ නිසා අදට වැඩිය හෙට සුබයි කියලා හිතාගෙන මනසින් නොවැටී ඉන්න.

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.