24 C
Colombo
Sunday, September 19, 2021
More

    Latest Posts

    නිවෙස් ප්‍රතිකාරය රෝගීන්ට මානසික සුවයක්

    - Advertisement -
    රෝගය සඟවාගෙන සැරිසැරීම ඉතා භයානකයි
    37,448ක් නිවැසිව සුව ලැබුවා දැන් ඉන්නේ 14,223ක් පමණයි
    උපදෙස් පිළිපැද්දොත් 90%කට සංකුලතා නැතිව සුවය ලබන්න පුළුවන්

    විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන කොවිඩ් 19 නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ රෝගි සත්කාරක සේවයේ ප්‍රධානි

    කොවිඩ් 19 පොදු සතුරා පැරදවීමේ ජාතික මෙහෙයුම තුළ, සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මේ වන විට ක්‍රියාත්මක කර තිබෙන නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය, සුවිශේෂ කාර්යභාරයක් ඉටු කරමින් සිටී. ඒ අනුව කොවිඩ් වසංගතය හමුවේ මෙරට රෝහල් පද්ධතියේ ධාරිතාව සම්බන්ධයෙන් මතු කෙරෙන ගැටලුවට ද ඉදිරිපත් කෙරෙන්නේ, යම් ආකාරයක සහනදායි පිළිතුරකි. මේ වැඩසටහන දියත් කෙරෙන ආකාරය පිළිබඳ මෙන්ම, මේ ඔස්සේ ප්‍රතිකාර කෙරෙන ආකාරය සම්බන්ධයෙක් කොවිඩ් 19 නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයේ රෝගි සත්කාරක සේවයේ ප්‍රධානි, විශේෂඥ වෛද්‍ය මල්කාන්ති ගල්හේන සමඟ ‘දිනමිණ’ කළ කතාබහකි.

    - Advertisement -

    l කොවිඩ් -19 නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය පිළිබඳ කතා කළොත්?

    කොවිඩ් සුළු රෝග ලක්ෂණ තිබෙන රෝගීන් හෝ ඇතැම් විට රෝග ලක්ෂණ නැති වුවත්, පීසීආර් හෝ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණයකින් වයිරසය ශරීරගත වී ඇති බව තහවුරු වූ රෝගීන් මුල් අවස්ථාවේදීම හඳුනා ගෙන, නිවෙස්වල රඳවා තබමින් ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර කිරීමේ ක්‍රමයයි.

    l මේ ප්‍රතිකාර ක්‍රමයේ ආරම්භය සිදු වුණේ කොහොමද?

    - Advertisement -

    කළුතර දිස්ත්‍රික්කයේ නියමු ව්‍යාපෘතියක් විදිහට, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්තුමාගේ උපදෙස් මත මේ වැඩසටහන පසුගිය ජූනි 6 දා ආරම්භ වුණා. එම නියමු ව්‍යාපෘතිය සාර්ථක වීමත් සමඟ අප මේ වැඩසටහන බස්නාහිර පළාත පුරා ව්‍යාප්ත කළා. ක්‍රමයෙන් ව්‍යාප්ත වෙලා, මේ වන විට එය දිවයින පුරා ක්‍රියාත්මක වන සාර්ථක ප්‍රතිකාර ක්‍රමයක් බවට පත්ව තිබෙනවා.

    l මේ ඔස්සේ ප්‍රතිකාර කෙරෙන්නේ කොහොම ද?

    නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළු කර ගත යුතු රෝගීන් හඳුනා ගෙන, අපේ පද්ධතියට භාර දීම කරන්නේ ප්‍රදේශයේ සිටින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිතුමා. ඒ අනුව පීසීආර් හෝ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් හෝ ආසාදිතයකු බවට තහවුරු වූ පසු, ඒ පිළිබඳ තම ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා හෝ එම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ කාර්ය මණ්ඩලයේ අයකු දැනුම්වත් කළ යුතුයි. මේ අවස්ථාවේ බොහෝ විට ඔවුන්ගේ දුරකතන පද්ධතිය කාර්යබහුල නිසා, ඇතැම් විට ඔවුන් දුරකතනයෙන් සම්බන්ධ කර ගැනීම අපහසු කාර්යයක් වෙන්න පුළුවන්. කෙසේ වෙතත් ආසාදිතයකු නොවන රෝගියාගේ ඥාතියකු හෝ සමීපතමයකු අදාළ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය වෙත යෑමෙන්, මේ කාර්යය කර ගැනීමට පහසු වනවා. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට රෝගීන් ඇතුළත් කර ගන්නේ, සෞඛ්‍ය අමාත්‍යංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කළ මාර්ගෝපදේශ මාලාවකට අනුවයි. එයට අනුව, මේ පද්ධතියට ඇතුළත් කර ගත යුත්තේ කෙබඳු රෝග ලක්ෂණ තිබෙන රෝගීන් ද යන කාරණාවත්, එයට අදාළ නොවන රෝගීන් රෝහල් පද්ධතියකට ඇතුළත් කළ යුතු බවත් පැහැදිලිව සඳහන් කර තිබෙනවා.

    - Advertisement -

    නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය සඳහා සුදුසු රෝගීන් ඒ ඒ ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් විසින් හඳුනා ගෙන, අපේ පද්ධතියට යොමු කරවනවා. එවිට එම රෝගියාට පැය 24 පුරා ක්‍රියාත්මක දුරකතන අංකයක් තිබිය යුතුයි. එසේ ම ඊට අමතරව පවුලේ සාමාජිකයෙක්ගේ දුරකථන අංකයක් අප ලබා ගන්නවා. මේ පද්ධතියට ඇතුළත් කර ගන්නා විට, රෝගියාට පවුලේ සෙසු සාමාජිකයන් ගෙන් වෙන්ව සිටිමින්, දින 14ක පමණ කාලයක් තම කටයුතු වෙනම සිදු කර ගත හැකි වන පරිදි නිවසේ වෙනම කාමරයක් තිබෙනවා ද? යන කාරණාව ගැන අප අනිවාර්යෙන්ම සොයා බලනවා.

    රෝගියා පද්ධතියට ඇතුළත් කර ගත් පසු, ඒ බව දන්වමින් රෝගියාගේ දුරකතන අංකයට කෙටි පණිවිඩයක් ලැබෙනවා. එතැන් පටන් එම රෝගියාට 1390 දුරකතන අංකය විවෘතයි. මේ පද්ධතිය තුළ රෝගීන්ට ප්‍රතිකාර කරන්නේ පවුල් වෛද්‍ය විද්‍යා විශේෂඥ වෛද්‍යවරුන්ගේ කණ්ඩායමක්. ඔවුන්ගේ අධීක්ෂණය සහ ඍජු සබඳතා රෝගියා සමඟ ඇති වෙනවා. පුහුණු කරන ලද වෛද්‍ය කණ්ඩායමක් මේ සඳහා බඳවා ගෙන තිබෙනවා. එම පුහුණු කරන ලද වෛද්‍යවරයකු විසින්, රෝගියාට තමාගේ ලියාපදිංචිය පිළිබඳ කෙටි පණිවිඩය ලැබී දිනක් ඇතුළත ඔහු දුරකතනය ඔස්සේ සම්බන්ධ කර ගන්නවා. සෞඛ්‍ය අමාත්‍යංශය මඟින් නිකුත් කර තිබෙන මාර්ගෝපදේශවලට අනුව යමින්, ඉතා සුහදශීලි ලෙස කතාබහ කරමින්, දුරකතනය ඔස්සේ රෝගියාගේ තත්ත්වය පරික්ෂා කරනවා. දින 14ක් පුරා ඒ රෝගියා පරීක්ෂා කරන්නේ සහ වෛද්‍ය උපදෙස් දෙන්නේ රෝගියා හා මුලින් සම්බන්ධ වූ වෛද්‍යවරයාමයි. ඊට අමතරව එම රෝගියාගේ පවුලේ සාමාජිකයකු කොවිඩ් ආසාදනය වෙලා මේ පද්ධතියට ඇතුළු වුව හොත්, ඔවුන් මේ පද්ධතියෙන් මුදාහරින තුරු ඔහු හෝ ඇය වෙනුවෙන් කටයුතු කරන්නෙත් එම වෛද්‍යවරයාමයි. එකම පවුලේ ආසාදිතයන් වෙනුවෙන් කටයුතු කිරීම බාර වෙන්නේ එක් වෛද්‍යවරයකුටයි. රෝගියාගේ රෝග ලක්ෂණ අනුව ඇතැම් විට විශේෂඥ වෛද්‍යවරුන් රෝගියා හා දුරකතනයෙන් සම්බන්ධ වනවා. විශේෂඥ වෛද්‍යවරුන් අදාළ රෝගියා වෙනම සම්බන්ධ කර ගෙන විමසා බලන්නේ, එම රෝගියා සංකුලතා සඳහා අවදානමක සිටිනවා ද? යන කාරණයයි. රෝගය සුව අතට හැරීම වෙනුවට රෝගියාගේ තත්ත්වය නරක අතට හැරෙන්නේ නම්, එවිට ලැබෙන පළමු අවස්ථාවේදීම ගිලන් රථයක් මඟින් රෝගියා සුදුසු රෝහලක් වෙත යොමු කිරීමත් මේ පද්ධතිය හරහාම සිදු වෙනවා. මේ ප්‍රතිකාර ක්‍රමය තුළ වෛද්‍යවරුන් රෝගීන් සම්බන්ධ කර ගෙන, රෝගීන්ගේ තත්ත්වය අධීක්ෂණය කිරීම සහ වෛද්‍ය උපදෙස් දීමට අමතරව, ඕනෑම හදිසි තත්ත්වයකදී මේ පද්ධතිය තුළ ඔහුගේ වෛද්‍යවරයා හා දුරකතනය ඔස්සේ සම්බන්ධ වීමට රෝගියාට ද හැකියාව තිබෙනවා. පපුවේ කැක්කුම, ක්ලාන්තය වැනි යම් යම් වෙනස්කම් දැනුණොත්, ඕනෑම අවස්ථාවක නොපමාව 1390 දුරකතන අංකය ඔස්සේ සිය වෛද්‍යවරයා හා සම්බන්ධ වන ලෙසට අප රෝගීන් දැනුම්වත් කර තිබෙනවා. එවිට වෛද්‍යවරයා අදාළ රෝගියා හා කතාබහ කරලා, ඔහු අවදානම් තත්ත්වයක සිටී නම්, රෝහල්ගත කළ යුතු නම්, අනිවාර්යයෙන්ම විශේෂඥ වෛද්‍යවරයාගේ නිර්දේශය මත එම රෝගියා කිසිදු ප්‍රමාදයකින් තොරව රෝහලක් වෙත යොමු කිරීමට කටයුතු කරනවා.

    l මේ පද්ධතියට ඇතුළත් වීම තුළ රෝගියා අත්කර ගන්නා සහනය කුමනාකාර ද?

    මෙහි ඇති විශේෂත්වයක් වන්නේ රෝගියාට තමාගේ පවුලේ සාමාජිකයන් සමඟ නිවසේම රැඳී සිටිමින් ප්‍රතිකාර ගැනීමට හැකියාව ලැබීමයි. පසුගිය කාලයේ කොවිඩ් ආසාදිතයන්, රෝග ලක්ෂණ නැති සහ සුළු රෝග ලක්ෂණ පෙන්වන අවස්ථාවල පවා නිරෝධායන මධ්‍යස්ථාන, අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථාන සහ රෝහල්වලට ගෙන ගොස් රඳවා තැබුවා. එවැනි අවස්ථාවල මේ රෝගයේ සංකුලතා පිළිබඳ අවදියෙන් සිටින බොහෝ රෝගීන් නැවත සිය නිවෙස සහ නිවැසියන් වෙත යෑමට හැකි වේවි ද? නැති ද? යන්න පිළිබඳ සිතමින්, දැඩි මානසික පීඩනයකට ලක් වුණා. මානසික පීඩනය කියන්නේ මේ රෝගයේදී සංකුලතා ඇති වීමට තදින් ම බලපෑ හැකි කාරණයක්. එහෙත් මේ අවස්ථාවේ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය තුළ නිවෙසේ රැඳෙමින්, තම පවුලේ සාමාජිකයන්ගේ ආදරය, කරුණාව සහ ඔවුන් විසින්ම සලසන සත්කාර සේවයක් මැද ප්‍රතිකාර ලැබීමට රෝගියාට අවස්ථාව ලැබෙනවා. එවිට රෝගියාගේ මානසික මට්ටම ඉතා ඉහළ තත්ත්වයක තිබෙනවා. ඒ නිසා මානසික තත්ත්වය පිරිහීම නිසා රෝගියා සංකුලතාවලට ලක් වීමට තිබෙන අවස්ථා අවම වනවා.

    l රෝගියා වෙනුවෙන් සත්කාර කිරීමට යොදා ගන්නා සාමාජිකයාටත් මෙහිදී අවදානමක් තිබෙනවා නේද?

    රෝගියා වෙනුවෙන් සත්කාර කිරීමට අප පවුලේ සිටින නීරෝගි සාමාජිකයකු තෝරා ගන්නවා. වයෝවෘද්ධ හෝ මේ රෝගය ආසාදනය වීම තුළ සංකුලතා ඇති විය හැකි අන්දමේ නිධන්ගත රෝගවලින් පෙළෙන සාමාජිකයන් හෝ ඒ සඳහා යොදා ගන්නේ නැහැ. රෝගියාට ආහාර පාන, ඖෂධ සැපයීමට වගේම, රෝගියා කන බොන භාජනවලින් රෝගය සෙසු සාමාජිකයන්ට පැතිර යෑමේ අවදානම වැළකීම පිළිබඳ වගකීම ගැනීමට, සත්කාරක සේවය සිදු කරන සාමාජිකයාට සිදු වනවා. ඒ නිසා, පවුලේ සාමාජිකයන් අතුරින් නීරෝගි සාමාජිකයකු තෝරා ගෙන සත්කාරක සේවය සඳහා යොමු කරන්නේ, රෝගියා සංකුලතා ඇති නොවන අන්දමින් රැක බලා ගන්නා ආකාරයත්, තමන්ට සහ පවුලේ සෙසු සාමාජිකයන්ට රෝගය ආසාදනය වීමට ඇති අවදානම අවම කර ගත හැකි ආකාරයත් පිළිබඳ මනා දැනුම්වත් කිරීමකින් අනතුරුවයි.

    l නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමය මේ වන විට අත් කර ගෙන ඇති සාර්ථකත්වය පිළිබඳ කිව හැක්කේ කුමක් ද?

    මේ රෝගය ආසාදනය වූ විට සති දෙකක් පමණ රෝගය ශරීරයේ පවතිනවා. පළමු සතිය ඇතුළත රෝගියා හොඳින් රැක බලා ගත්තොත්, මේ වයිරසය ආසාදනයෙන් සංකූලතාවලට යෑමේ අවදානම අවම කර ගත හැකියි. මේ දක්වා මේ පද්ධතියේ ලියාපදිංචි වී ඇති රෝගීන් සංඛ්‍යාව 52,368ක්. ඒ අතුරින් රෝහල්ගත කර තිබෙන්නේ 607ක් වැනි රෝගීන් සංඛ්‍යාවක් පමණයි. 37,448ක් මේ වන ප්‍රතිකාර අවසන් කර පද්ධතියෙන් මුදාහැර තිබෙනවා. ඊට අමතරව දැනට අපත් සමඟ රැඳී සිටිමින් 14,223ක් පමණ දෙනා ප්‍රතිකාර ලබමින් සිටිනවා.

    l නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට අන්තර්ගත වූවන් අතුරින් මියයෑම් වාර්තා වනවා ද?

    මේ දක්වා මියගොස් තිබෙන්නේ එක් රෝගියකු පමණයි. එම රෝගියා මිය ගිහින් තිබෙන්නේ, ඔහු අපේ පද්ධතියට ඇතුළත් වී පැය තුනක් ඇතුළත. ඔහු ඇදුම රෝගයෙන් පෙළුණු අයෙක්. අපේ පද්ධතියට ඇතුළත් කර ගන්නේ සුළු රෝග ලක්ෂණ සහිත රෝගින් වුණත්, ඔහු පද්ධතියට ඇතුළත් වන විටත් සංකුලතාවලට ලක්ව සිටි රෝගියකු බව අනුමාන කරනවා.

    l රෝගය ආසාදිත වගේ ම, ඒ බව පරීක්ෂණ මඟින් තහවුරු වෙලා තිබෙන ඇතැම් පුද්ගලයන්, රෝහල්ගත වීමකින්, නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයකට යොමු වීමකින් හෝ කිසියම් ආකාරයක වෛද්‍ය උපදෙස් පැතීමකින් තොරව රිසි සේ සමාජයේ සරමින් සිටිනවා. මෙවැනි පුද්ගලයන් නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමේ වැදගත්කම කුමක් ද?

    වෛද්‍ය උපදෙස්වලට අනුගත වුව හොත්, මේ රෝගය ආසාදනය වන 90%ක් දෙනා සංකුලතා නැතුව සුව කර ගත හැකියි. නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට ඇතුළත් වීම හෝ රෝහල්ගත වීම තුළ වෛද්‍ය උපදෙස් ලැබෙනවා. එම උපදෙස්වලට අනුගත වීමෙන් රෝගීන්ට තිබෙන අවදානම සහ සංකූලතා ඇති වීම අනිවාර්යයෙන් ම අවම කර ගත හැකියි. ඒ නිසා, රෝගියා තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් වගකීමෙන් කටයුතු කළ යුතුයි. ඇතැම්විට එන්නත ලබා ගෙන තිබුණත්, රෝගය වැලඳීමට ඉඩ තිබෙනවා. එහෙත් වෛද්‍ය උපදෙස් පිළිපැදීම තුළ රෝගියා සංකුලතා ඇති වීමකින් තොරව සුව වීමට ඇති හැකියාව ඉතා ඉහළයි.

    ඒ නිසා හැම අවස්ථාවකම තමන්ගේ වගකීමක් විදිහට සලකමින්, රෝග ලක්ෂණ අනුව සුදුසු පරිදි රෝහල්ගත වීමට හෝ නිවෙස්ගත ප්‍රතිකාර ක්‍රමයට යොමු වීමට කටයුතු කිරීම වැදගත්. එසේ සිදු නොකර, ඇතැම් පිරිස් මේ රෝගය පිළිබඳ සඟවා ගෙන, කිසිදු ප්‍රතිකාර ක්‍රමයකට යොමු නොවී, සමාජයේ සැරිසරමින් සිටින විට සිදු වන්නේ බරපතළ සමාජ ඛේදවාචකයක්. එක් අතකින් රෝගියාට විවේකය අවශ්‍යයි. අනවශ්‍ය ලෙස අවිවේකී වෙමින් සංචරණය කිරීම තුළ සංකුලතා ඇති විය හැකියි. ඊට අමතරව රෝගියාගේ ඥාතීන්ට සහ සමාජයට මේ රෝගය ඉතා වේගයෙන් පැතිර යා හැකියි. මේ රෝගය වේගයෙන් පැතිරෙන තරමට, නව ප්‍රභේද ඇතිවීමේ අවදානමත් වැඩියි. එලෙස ඇති වන ප්‍රභේද මාරාන්තික ප්‍රභේද වීමටත් හැකියාව තිබෙනවා. රෝගය පතුරවා හැරීමට දායක වීම තුළ අප අතිශය දරුණු නව ප්‍රභේද ඇති වීමට ඉඩ සලසා දෙන බව සිහි තබා ගත යුතුයි.

    කාංචනා සිරිවර්ධන

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.