24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    නෙල්සන් මාවතේ නිහාල් එක්ක ජමාරේ කපිරිඤ්ඤා ගැන කතා කරමු

    - Advertisement -
    සැප්තැම්බර් 16, 2021

     

    සිරිලක බයිලා පොළේ ඉහළින් රඟදෙනා

    - Advertisement -

    ජමාරේ කපිරිඤ්ඤා තාලෙට වෙන වයා

    ගී ලොව රසික දනන් සිත් තුළ වැජඹෙනා

    මොරටුවේ බයිලා සොමිය දස දිග පැතිරෙනා

    - Advertisement -

    තරුණ මහලු සැමදෙන බයිලාවෙන් පිනවනා

    තරුණ මහලු සැමදෙන බයිලාවෙන් සැනසෙනා

    මොරටුව බයිලා සරය දස දිග පැතිරෙනා

    - Advertisement -

     

    දනමන පිනවන තාලෙට ගහමින් පද පේළි

    පඬි වියතුන් මැද ගෙනගිය බයිලා ගී මිහිරි

    කැපිලි කෙටිලි මැද ගෙනගිය ජනතා සම්මානේ

    ලස්සනට පිපුණු වනමල් පෙති සුවඳයි හැමවේලේ

    මොරටුව බයිලා සොමිය දස දිග පැතිරෙන

    තරුන මහලු සැමදෙන බයිලාවෙන් පිනවන

    තරුණ මහලු සැමදෙන බයිලාවෙන් සැනසෙන

    මොරටුව බයිලා සොමිය දස දිග පැතිරෙන

     

    නවතරු නිවි නිවි දිලුණත් ගී ලොව රජ දහනේ

    තණ අග පිනි හිරු දුටු කල සැඟවි යන්නා සේ

    සුකිරි බටිල්ලන් එක්කලා නෑ කිසිදා වාදේ

    කරුණා සුවඳ පතුරමු අපි එක් වී හැම වේලේ

    මොරටුව බයිලා සොමිය දස දිග රැව්දෙනා

    තරු පරදා පුන්සඳ නිල් අහසේ දිදුලනා

    තරු පරදා පුන්සඳ නිල් අහසේ පැතිරෙනා

    මොරටුව බයිලා සරය දස දිග පැතිරෙනා

     

    මේ ඊයේ පෙරේදා දිනයක ප්‍රවීණ , ජනප්‍රිය ගායනවේදී නිහාල් නෙල්සන් විසින් නිකුත් කරන ලද නවතම ගීතයයි. මේ දිනවල යූ ටියුබ් නාළිකාවේ ඉහළම ප්‍රතිචාර ලබමින් තිබෙන මේ ගීතය සවනට යොමු වන විටම කල්පනා වූයේ නිහාල් නෙල්සන් නම් ගායකයාගේ ස්වරයේ පවතින සදාකල් නොබිඳෙන , ජව සම්පන්න හඬ පෞරුෂයයි. අපි අතීතයට ගියහොත් නිහාල් නෙල්සන් නම් ගායකයා මෙරට සංගීත ත්ෂේත්‍රය ආක්‍රමණය කර මේ වනවිට වසර 58කට ආසන්න කාලයක් ගත වී හමාරය. අඩසිය වසකටත් එහා ගිය කාල පරාසයක් තුළ මෙකී හඬ නොවෙනස්ව පැවතීම එක්තරා අන්දමක ආශ්චර්යයකි. වාසනා මහිමයකි. නිහාල් අයියාගේ සුපිරිසුදු මතකයන්ට අනුව ඔහුගේ ප්‍රථම ගීතය ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවෙන් ප්‍රචාරය වී ඇත්තේ 1963 මාර්තු 31 වැනිදාවක දහවල් 11.20ටය. ඒ එදා මෙදා තුර අප කාගේත් හද බැඳගත් ‘ලස්සනට පිපුණු වනමල් ගල් ‘ ගීතයය. නිහාල් අයියා පිළිබඳ මෙවන් ලිපියක් පළවන මොහොතක මේ ගීතයේ ගී පද රචනය කළ එවකට සරත් මුණසිංහ නම් වූ වර්තමානයේ මීගහවෙල සුමනශාන්ත හිමියන් මෙලොව හැර යෑමද අතිශයින්ම කනගාටුදායත සිද්ධියකි. නිහාල් අයියාගේ මතකයන්ට අනුව එවකට සරත් මුණසිංහ නම් වූ ඔහු 1960 දශකයේ මුල භාගයේදී ඔහුට හමුවි ඇත. ඔහු ලියා දුන් මේ ගීතයෙන් එක් රැයකින් ජනතාව වසඟයට පත් නිහාල් නෙල්සන් නම් ගායකයා යොවුන් වියේ තරුණයකු වශයෙන් ‘ ලස්සනට පිපුණු ‘ ගීතය ගායනා කරනා ජවයෙන්ම මෙදා ‘ සිරිලක බයිලා‘ ගීතයද ගයනු දැකීම , ඔහුට ආදරය කරනු ලබන සුවහසක් රසික ජනතාවට සැබැවින්ම සතුටට කරුණකි. මේ ජවය, මේ පෞරුෂය , මේ හඩ රැක ගැනීම පිළිබඳව ඔහු පැවසුවේ ජනතාවාදි ගායකයෙකු වශයෙන් ආදරණීය කතාවකි.

    ‘‘පුරා අවුරුදු 58 ක් තිස්සේ ජනතාවගේ ආදරය දිනා ගනිමින් කළ ගායන දිවිය තුළ මම මේ රටට යම් සේවයක් කර තිබෙනවා කියන එක තමයි මේකෙන් මට තේරෙන්නේ. මහජනතාව මාව පිළිගන්නා මට්ටමකට මම ඒ සේවය කරලා තිබෙනවා. ඒ නිසා තමයි මට ඒ ජනතා ආදරය ලැබෙන්නේ . ඉතින් ඒ මහජනතාවගේ ආදරය නොබිඳී පවත්වා ගෙන යන්න , ඒ ආදරය දිනෙන් දින වැඩිවන ආකාරයෙන් කටයුතු කරන්න මේ ගෙවුණු කාලය තුළ මට පුළුවන් වෙලා තිබෙනවා. ඇත්තටම කිව්වොත් අපි දැනගන්න ඕනෑ ජනතාවගේ ආදරය ආරක්ෂා වන ආකාරයට කටයුතු කරන්න. අපේ පැවැත්ම අපි නිවැරැදි කර ගත යුතුයි. මෙකී කාරණා මැද අපේ හඬ පෞරුෂය අපි ආරක්ෂා කර ගත යුතුයි. එහෙම වුණාම ජනතා ආදරය මැද්දේ අපේ හඬ සදාකාලිකව රැකෙනවා. මම ඒක රැකගත්තු නිසා තමයි අදටත් එදා වගේම , එදාටත් වැඩියෙන් අද ජනතා ආදරය , ගෞරවය මට ලැබෙන්නේ.‘‘

    නිහාල් අයියාගේ අනුමානයන්ට අනුව මේ වනවිට ඔහු ගීත පන්දහසකට අධික සංඛ්‍යාවක් ගායනා කර ඇත. ඒ අතර නවතම ගීතය වනුයේ ‘සිරිලක බයිලා පොළේ’ ගීතයයි. පුරා වසර 4ට පමණ පසු එළි දකින මේ නවතම ගීතයේ පද රචකයා වනුයේ නලින් අතුලවංශය. ඔහු ඇමෙරිකාවේ කැලිෆෝර්නියා හි පදිංචිකරුවෙකි. නිහාල් අයියාගේ නව පදරචනා ගොන්නට ඔහුද නිරන්තර ගීත යොමු කරන්නෙකි. මෙවර ඔහු යොමු කළ මේ පදරචනය නිහාල් අයියාගේ සිත එක්වරම පැහැර ගත්තේය. ඒ අනුව ගීතය ගැන විමසද්දී ඒ වනවිටත් එම ගීතයට ගී තනු නිර්මාණයක් සකස්කොට ඇති බව ඔහුට දැන ගන්නට ලැබුණි. ඒ තනු නිර්මාපකයා වූයේ අනුර වන්නිආරච්චි ය. මේ අපුරු බයිලා කපිරිඤ්ඤා ගීතය නිම වූයේ ඒ ආකාරයෙනි. මේ ගීතයේ අඩංගු ‘ ජමාරේ කපිරිඤ්ඤා ‘ යන වචනය පිළිබඳ නිහාල් අයියා අදහස් දක්වමින් කියා සිටියේ ‘ ජමාරේ ‘ යනු බයිලා රාගයක් බවය.

    ‘‘ ඇත්තටම මේ ගීතයට මගේ හිත එකවරම ඇදිලා ගියා. පස්සේ මම අනුර වන්නිආරච්චිට කතා කරලා මෙලඩි එක ගෙන්න ගෙන සින්දුව රෙකෝඩ් කළා. ගෙවුණු කාල වකවානුව පුරාම අපට අලුත් යමක් කරන්න ඉඩ කඩක් කොවිඩ් වසංගතය නිසා තිබුණේ නෑ. මේ කාලය වන විටත් එහි අඩුවක් නොමැති වුවත් , දැඩි සෞඛ්‍ය නීතීන්ට අනුගතව මේ ගීතය රෙකෝඩ් කර ගන්න අපට අවස්ථාව ලැබුණා. අඳුරට ශාප නොකරමින් එක් පහනක් හෝ දල්වන්න කියලනේ කියලා තියෙන්නේ.ඉතින් ඒ අනුව අමාරුවෙන් හරි මේ කරපු කාර්යය අද සාර්ථකත්වයට පත්වෙලා තියෙනවා. මේ ගීතය නිදහස් කරලා ඉතාම කෙටි කාලයයි ගතවෙලා තියෙන්නේ. ඒත් ඉතාම ඉහළ ගණයේ ප්‍රතිචාර මේ වෙනකොටත් ලැබෙමින් පවතිනවා. මේ වෙලාවේ විශේෂයෙන් සඳහන් කරන්න ඕන ගීතය රෙකෝඩ් කරද්දි මහින්ද බණ්ඩාරගේ කැපවීම.‘‘

     

    කලාකරුවෙකුට තම නිර්මාණ කාර්යය හරියටම තම දරුවෙකු හා සමානය. එබැවින් නව නිර්මාණයක් තුළින් හැමවිටම කලාකරුවෙකු විඳීන්නේ අසීමිත සතුටකි. නිහාල් අයියාටද ඒ සතුට පොදුය. ඒ සතුට අතරම සිය සිත කම්පා කරවන දුක් රාශියක්ද ඔහු සම සිතින් ඉවසමින් සිටියි. ඉන් ප්‍රධානම කරුණ වන්නේ සිය ජීවිතයේ ආදරණීයම අත්වැල මින් වසරකට පමණ ඉහතදී බිඳී යාමය. ජීවන අත්වැල බිඳී යෑමෙන් පසු ඔහු කළ ප්‍රථම ගීතයද මෙයයි.

    ‘‘මාලි නැතිවෙලා දැන් අවුරුද්දකට වැඩි කාලයක් ගතවෙලා. මගේ නිර්මාණ ජිවිතේ, මගේ පෞද්ගලික ජීවිතේ ආදරණීයම අත්වැල මට අහිමිවෙලා ඉවරයි. ඇය සිටියා නම් මේ අලුත් ගීතයත් ඉතාමත් ආදරයෙන් රසවිඳීවි. සතුටු වේවි. ඒ වගේම පසුගිය කාලයේ මම පදිංචිව සිටිනා පාර මගේ නමින් නම් වුණා. ඒක දකින්නටත් ඇයට වාසනාව නැති වුණා. මගේ ජිවිතේ ඇතිවුණ ඒ අඩුව පිරිමහන්න කවදාවත්ම බැරිවෙයි. ඇය නැති ඒ පාළුව , පාඩුව තියෙන්නේ මට. මගේ දරුවට. මගේ පවුලේ අයට. ඒත් ඉතින් ලෝක ධර්මතාවට අනුව අපි මේ ලෝකෙට ආවා වගේම යන්නත් ඕනෙ. ඒ අනුව ඇයත් ගියා. ධර්මය ගැන හිතමින් ඒ කනගාටුව තුනී කරගන්න මම උත්සාහ ගන්නවා. ඒ වගේම මගේ ජිවිතේ මෙතෙක් කල් මම සවි ශක්තිමත්ව ගොඩ නඟා ගෙන ආව ගමන ඒ විදියටම තබා ගන්න උත්සාහ කරනවා. ඇය නැති මොහොතේ මම කඩා වැටුණොත් ඇයට අගෞරවයක් වෙයි කියන එක ගැන මම විශේෂයෙන් හිතනවා. අදටත් මම මටම පොරොන්දුවක් දීගෙන තිබෙනවා ඇයට අගෞරවයක් වන සිතිවිල්ලක් වත් සිතන්නේ නැති බවට.‘‘

    දෙදෙනෙක් අතර පවතින ආදරය , බැඳීම, විශ්වාසය , සෙනෙහෙවන්තකම කොයි තරම්ද කියන්නට ඒ වචනම ප්‍රමාණවත්. නිහාල් අයියාගේ වත්මන් ජීවිතයේ පාළු කපන්නිය බවට පත් වි ඇත්තේ ඔහුගේ සුරතල් මිණිබිරියයි. සිය පුත් තරංගගේ ආදරණීය දියණියගෙන් තොර ලොවක් දැන් ඔහුට නැති තරම්. තවමත් වයස අවුරුදු 2ක සිඟිත්තියක වන ‘ කයිලි අමේලියා නෙල්සන් ‘ නිරන්තර සිය සීයාගේ උණුසුම සොයයි. ඔහු කලක සිය බිරිය මාලිට ආදරබර සැමියෙකු වූවා සේම , කලෙක සිය සෙනෙහෙවන්ත පුතුට දයාබර පියෙකු වූවා සේම දැන් ඔහු සිය කුඩා මිණිබිරියට ආදරණීයම සීයා කෙනකු වී සිටියි.

    ‘‘ මගේ ජිවිතේ කඩා වැටෙනවා නම් කඩාවැටෙන්න ඕනෙ ලොකුම දේ තමයි මාලිගේ සමුගැනීම. එහෙත් මගේ ජීවිතේ ධර්මානුකූලව ගත කරන නිසා ප්‍රියයන්ගෙන් වෙන්වීම දුකක්, ලෝක සත්‍යයට මුහුණ දෙන්න ඕනෙ කියන තැන ඉඳගෙන කඩා නොවැටි ජීවත් වෙන්න මට පුළුවන් වෙලා තියෙනවා. ‘

    ප්‍රියයන්ගෙන් වෙන්වීම කියනකොට ඉතාම කිට්ටු දිනයක මට මගේ ජීවිතේ ළඟම , හොඳම මිතුරාගෙන් වෙන්වෙන්නට සිද්ධ වුණා. ඒ මගේ පළමු ගීතය මෙන්ම මගේ ජිවිතේ තවත් එක් සුවිශේෂී සන්ධිස්ථානයක් වුණු ‘ එපා එපා මස් කන්නට කිරි අම්මාගේ ‘ ගීතය ලියූ ගිහි කල සරත් මුණසිංහ නම් වු මීගහවෙල සුමනශාන්ත හිමියන්ගේ වියෝවයි. එතුමන්ගේ විවාහ දිනයේ දෙවැනි මනමාලයා වුණෙත් මමයි. ‘ලස්සනට පිපුණු’ ගීතය ලියලා වසර 23 ට පස්සේ තමයි මට ‘ එපා එපා මස් කන්නට ‘ ගීතය ලියලා දුන්නේ.මේ ගීතය මේ වනවිට මම කී වාරයක් නම් ගයලා ඇත්ද? මේ ගීතය අහලා කී දෙනෙක් නම් ගව මස් කෑමෙන් වලකින්න ඇත්ද? හරක් මස් කඩ කීයක් නම් වැහෙන්න ඇත්ද? ඒ වගේ යහපත් දේ කරන්න පුළුවන් වුණු ගීතයක් ඒක.

    සරත් මුණසිංහයන් දිර්ඝ කාලයක් ඇමරිකාවේ ජීවත් වුණා. ඔහු කාලයකට පස්සේ ලංකාවට ආවේ 2004 දෙසැම්බර් 24 වැනිදා. හරියටම සුනාමි ආව දවසේ. කටුනායක ගුවන්තොටුපළින් ගොඩ බසින විට ගුවන්තොටුපළේ රූපවාහිනී යන්ත්‍රවල විකාශය වෙමින් තිබුණේ සුනාමිය ඇවිත් මිනිස් ජීවිත විනාශ කරපු හැටි. සරත් මුණසිංහ තමන්ගේ ගමන් මලු ටිකත් සමඟ මේ දිහා බලාගෙන හිටියා. ඒ දර්ශන පෙළම ඔහුට ගිහි ජීවිතය අතහැර යන්න හේතුවක් වුණා. ඔහු ගමන් මලු ටිකත් ගුවන්තොටේම තබා තම හිත මිත්‍ර ස්වාමින් වහන්සේ සොයා ගිරිඋල්ල බෝ පිටිය සුදර්ශනාරාමයට ගියා. ඊට පස්සේ තමයි මීගහවෙල සුමනශාන්ත නමින් පැවිදි දිවියට ඇතුළත් වෙන්නේ . උන්වහන්සේ සමඟ එකතු වෙලා අපි ශ්‍රී සුමන අභයදාන සංගමය හැදුවා. මේ ගෙවුණ අවුරුදු ගණනට අපි විශාල පින්කම් රැසක් කර ගත්තා. අපි අතරින් වියෝවුණු උන්වහන්සේට නිර්වාණාවබෝධයම ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.‘

     

     

    The article first published on sarasaviya.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.