24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    චෙන්නායි මුම්බායි හෙට ඩුබායිහිදී ගැටෙයි

    - Advertisement -
    Author(s): 
    නිරෝෂාන් ප්‍රියංකර

    කොරෝනා වසංගතය හේතුවෙන් අතරමඟ අත්හිටුවූ 2021 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ඉතිරි කොටසේ තරග හෙට (19) එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී ආරම්භ වෙයි.

    පසුගිය මැයි මස 2 වැනිදා අතරමඟ නැවැත්වූ තරගාවලියේ දෙවැනි අදියර ආරම්භ කරමින් හෙට පසුගිය වසරේ ශූරයන් වූ රෝහිත් ශර්මා මෙහෙයවන මුම්බායි ඉන්දියන්ස් සහ මහේන්ද්‍ර සිං දෝනි නායකත්වය දරන චෙන්නායි සුපර් කිංග්ස් අතර තරගය ඩුබායිහිදී පැවැත්වේ.

    - Advertisement -

    එය තරගාවලියේ 30 වැනි තරගය වන අතර, එම තරගයත් සමඟ තවත් තරග 31ක් පැවැත්වීමට නියමිතය. එම තරග ඩුබායි, සාජා සහ අබුඩාබිහිදී පැවැත්වේ.

    මූලික වටයේ තරග ඔක්තෝබර් 8 දා නිමා වන අතර, අවසන් මහා තරගය ඔක්තෝබර් 15 දා පැවැත්වීමට සැලසුම් කර ඇත.

    මෙවර තරගාවලිය පසුගිය අප්‍රේල් 9 දා ඉන්දියාවේදී ආරම්භ වූ අතර, තරග 29ක් නිමා වීමෙන් පසු කණ්ඩායම්වල ජෛව ආරක්ෂිත බුබුළු තුළට කොරෝනා වයිරසය ඇතුළු වීම හේතුවෙන් තරගාවලිය අත්හිටුවීමට සංවිධායකයන්ට සිදු විය.

    - Advertisement -

    මේ අතර, තරගාවලිය නිමා වීමෙන් දින දෙකකට පසු එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදීම විස්සයි20 ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන බැවින් විදෙස් ක්‍රීඩකයන් රැසක් තරගාවලියේ දෙවැනි අදියරෙන් ඉවත් වීමට කටයුතු කළහ. ඒ නිසා අලුත් ක්‍රීඩකයන් එක් කර ගැනීමට කණ්ඩායම් කටයුතු කළේය.

    ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායමේ තුන් ඉරියව් ක්‍රීඩක වනිඳු හසරංගට සහ වෙිග පන්දු යවන දුෂ්මන්ත චමීරට මේ තරගාවලියට එක් වීමේ අවස්ථාව උදා විණි.

    ක්‍රීඩකයන් වැඩිම සංඛ්‍යාව ඉවත් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායමට වනිඳු සහ චමීර එක් වූ අතර, එම කණ්ඩායමෙන් ක්‍රීඩකයන් 5 දෙනකු ඉවත් වී ඇත. රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමෙන් ක්‍රීඩකයන් සිව්දෙනෙක්, පන්ජාබ් කිංග්ස් සහ දිල්ලි කැපිටල්ස් ක්‍රීඩකයන් තිදෙනකු බැගින් සහ කොල්කටා නයිට් රයිඩර්ස්, සන්රයිසස් හයිද්‍රාබාද් සහ චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම්වලින් ක්‍රීඩකයකු බැගින් ඉවත් වූ අතර, මහේල ජයවර්ධන ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේ පමණක් වෙනසක් සිදුව නැත.

    - Advertisement -

    මෙතෙක් පැවති තරග අනුව ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ ගැනීමට දිල්ලි කැපිටල්ස් පිල සමත්ව ඇති අතර, ඔවුහු තරග 8කින් 6ක් ජය ගෙන ලකුණු 12කට හිමිකම් කියති. චෙන්නායි සහ බැංගලෝර් කණ්ඩායම් තරග 7කින් 5 බැගින් ජය ගෙන පිළිවෙළින් දෙවැනි සහ තෙවැනි තැන්වල පසු වන අතර, මුම්බායි පිල සිව්වැනි තැන පසු වන්නේ තරග 7කින් 4ක් ජය ගනිමිනි.

    රාජස්ථාන් රෝයල්ස් සහ පන්ජාබ් කිංග්ස් තරග 3 බැගින් සහ කොල්කටා පිල තරග 2ක් දිනා ඇති අතර, අවසන් ස්ථානයේ පසු වන හයිද්‍රාබාද් පිල ජය ගෙන ඇත්තේ තරග 7කින් එකක් පමණි.

    දිල්ලි කණ්ඩායමේ ශිකර් ධවාන් තරග 8කදී ලකුණු 380ක් රැස් කරමින් වැඩිම ලකුණු ලාභියා බවට පත්ව ඇති අතර, තරග 7කදී කඩුලු 17ක් බිඳ දමමින් වැඩිම කඩුලු ලාභියා වී ඇත්තේ බැංගලෝර් කණ්ඩායමේ හර්ෂාල් පටෙල්ය.

    The article first published on dinamina.lk <a href="Read More” target=”_blank”>⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.