මේ මාසයේ පාසල් විවෘත කළ හැකියි

46

සෞඛ්‍ය නීති රීති හා අවශ්‍ය පෙර සූදානම සමඟ ක්‍රමානුකූලව මේ මාසයේ පාසල් නැවත ආරම්භ කිරීමට හැකි බව අධ්‍යාපන ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා ජාතික ළමා දින සැමරුම් උත්සවයේදී ඊයේ (1) පැවසීය.

‘අපි සැලසුම් කරමින් තිබෙනවා දරුවන්ට පාසල් ආරම්භ කරන්න, සෞඛ්‍ය නීති රීති අවශ්‍ය පෙර සූදානම සමඟ. ඒ අනුව, මේ මාසයේ ක්‍රමානුකූලව පාසල් ආරම්භ කිරීමට පුළුවන්කම ලැබෙනවා. දරුවන්ගේ සතුට කියන්නේ මව්පියන්ගේ සතුටයි. ඒ වගේම රටක සතුටයි. ජාතියේ අනාගතය දරුවෝ. ඒ වෙනුවෙන් ඒ මහා ආරම්භය කිරීමට අප දැන් සූදානමින් සිටින්නේ‘‘ යනුවෙන්ද ඇමැතිවරයා එහිදී සඳහන් කළේය.

ලෝක ළමා දින ජාතික සැමරුම් උත්සවය ජාතික රූපවාහිනිය ඔස්සේ ඊයේ (1) සජීවීව විකාශය විය. ‘සියල්ලටම පෙර දරුවන්‘ තේමාව යටතේ මෙවර ලෝක ළමා දින සැමරුම් ජාතික උත්සවය පැවති අතර, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය හා පරිවාස හා ළමාරක්ෂක දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් එය පැවැත්විණි.

සිතාරා සේනානි

The article first published on dinamina.lk ⋆෴⋆