24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    දේශීය ගුණාත්මක නව නිෂ්පාදන හැකි තරම් වෙළෙඳපොළට එක් කළ යුතුයි

    - Advertisement -

    ධම්මික සමරවික්‍රම උපදේශක කමිටු සාමාජික, කර්මාන්ත අමාත්‍යාංශය.සභාපති, විදුලි හා ඉලෙක්ට්‍රොනික් සහ කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයන්ගේ සංගමය.

    මේ මොහොතේ ලාබයට වඩා ජනතාවගේ අසීරුතා ගැන හිතන්න වෙනවා
    අපේ රටේ නිපදවන සුහුරු ජංගම දුරකතනය දෙසැම්බරයේදී වෙළෙඳපොළට
    නව නිෂ්පාදකයන් දිරිමත් කිරීම අත්‍යවශ්‍යයි
    ලෝක ඉල්ලුම සපුරාලන්න අප සමත් විය යුතුයි

    - Advertisement -

    විදේශ විනිමය විශාල වශයෙන් ගෙන ඒමට කැප වී ක්‍රියා කරන අපනයනකරුවන්, අපේ රටට මහඟු සම්පතකි. ඔවුන්, ‘රට නඟන – රට රකින රට විරුවන්’ ලෙස සැලකීමේ, පිළිගැනීමේ ජාතික වැඩපිළිවෙළක් සකස් විය යුත්තේ ඒ නිසාය. මේ පිළිගැනීම ඉදිරියේදී, එතෙර – මෙතෙර වෙළෙඳාමේ නියුතු අපනයනකරුවන් ලෙස නව ව්‍යවසායකත්වය ගොඩනැඟීමට මහත් ශක්තියක් වේ. මේ පිළිබඳ, කර්මාන්ත අමාත්‍යංශයේ උපදේශක කමිටු සාමාජික, විදුලි හා ඉලෙක්ට්‍රොනික් සහ කොළඹ විදුලි උපකරණ ව්‍යාපාරිකයන්ගේ සංගමයේ සභාපති, ධම්මික සමරවික්‍රම මහතා සමඟ කළ කතාබහකි මේ.

    කොවිඩ් වසංගතය හේතුවෙන් ව්‍යාපාර, වෙළෙඳාම බිඳවැටිලා. ඔබ නියෝජනය කරන අංශයට එය දැනෙන්නේ කොහොම ද?

    අප නියෝජනය කරන්නේ කාර්මික නිෂ්පාදන අංශය. කාර්මික නිෂ්පාදන ලෙස පිටරටවලට අපේ රටෙන් ප්‍රධාන වශයෙන් අංශ දහ නවයක නිෂ්පාදන යවනවා. පතල් හා කැණීම්, ආහාර, බීම, දුම්කොළ, රෙදිපිළි, නිමි ඇඳුම්, සම් භාණ්ඩ හා බුමුතුරුණු කර්මාන්තය ආදී ලෙස එය ක්‍රියාත්මකයි. මා නියෝජනය කරන්නේ ඒ අංශ දහ නවයෙන් ඉලෙක්ට්‍රිකල් හා ඉලෙක්ට්‍රොනික් අංශය. මේ අංශයේ කටයුතු ගෝලීය සැපයුම් දාමය සමඟ බද්ධවයි සිදු කරන්නේ. එවන් තත්ත්වයක් තුළ කොවිඩ් නිසා පොදුවේ හැමෝටම වගේ අපටත් දැඩි අසීරු බලපෑම්වලට මුහුණ දීමට සිදු වී තිබෙනවා.

    - Advertisement -

    කොවිඩ් නිසා ඇතැම් අංශ බිඳ වැටුණා වුණත්, සමහර අංශ 2020 වසර වන විට වර්ධනය වුණා නේද?

    ඉදිකිරීම්, නිෂ්පාදන, පතල් හා කැණීම් වැනි අංශ දුර්වල වුණත්, ආහාර, බීම, දුම්කොළ, රසායනික නිෂ්පාදන, විශේෂයෙන් ඖෂධ නිෂ්පාදනවල වර්ධනයක් සිදු වූ බව ඇත්ත. එය වඩාත් හොඳ, යහපත් තත්ත්වයක්.

    ඔබ නියෝජනය කරන අංශයේ නිපැයුම්, වෙළෙඳපොළට යැවීම වැනි අවස්ථා දියුණු කළ යුතුව තිබෙනවා. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද?

    - Advertisement -

    අපේ රටේ නිෂ්පාදන පිටරටවලට යැවීමේදී, රටින් රටට වෙනස් ප්‍රමිති සහතික පිළිගන්නා තත්ත්වයක් තිබෙන නිසා, නිෂ්පාදකයන් විදිහට එවැනි ප්‍රමිති සහතික ලබා ගන්න ගියහම, අපේ සාම්පල් විවිධ පර්යේෂණායතනවලට දෙන්න වෙනවා. ඒ සඳහා ඇතැම් විට එක සහතිකයක් ගන්න රුපියල් මිලියන තුනක පමණ වියදමක් දරන්න වෙනවා. අපට ගැටලුවක් වෙලා තිබෙන්නේ, අපේ රටේ ප්‍රමිති සහතික ලබා දෙන ආයතනයේ නොමැති සහතික ලබා ගැනීමට සිදු වීමයි. අපේ රටේ ප්‍රමිති ආයතනයේ සේවා පිළිබඳ ගැටලුවක් නෑ. මේ ප්‍රමිති සහතික ලබා ගැනීමේ දුෂ්කරතාවට යම් සහනයක් ලබා දෙන්න පුළුවන් නම්, එය අපේ අපනයනකරුවන්ට ලොකු දිරි දීමක්.

    මේ සඳහා රජය කළ යුත්තේ කුමක් ද?

    රටක් විදිහට අප, ලෝකය පිළිගන්නා ප්‍රමිති සහතික ලබා ගත හැකි පර්යේෂණාගාරයක් අපේ රට තුළ පිහිටු විය යුතුයි. මුදල් ඇමැතිතුමා, කර්මාන්ත ඇමැතිතුමා ඇතුළු ඉහළ පෙළේ බලධාරීන් රාශියක් සමඟ අප මේ ගැන සාකච්ඡා කළා; ඔවුන් දැනුම්වත් කළා. එම සාකච්ඡාව ඉතාම ධනාත්මක ලෙස පැවතුණා. ඒ සම්බන්ධයෙන් හොඳ ප්‍රතිචාර ලැබී තිබෙනවා. එහිදී අප අපේ අපනයනය වැඩි කර ගැනීමට කළ යුතු දේ පිළිබඳ යෝජනා ඉදිරිපත් කළා. උදාහරණයක් විදිහට කිවුවොත්, යුරෝපීය රටකට අපට E 27 හෝල්ඩරයක් යවන්න ඕනෑ නම්, ඒ සඳහා යුරෝපය පිළිගන්නා C.E.E. කියන ප්‍රමිති සහතිකය අප ලබා ගත යුතුයි. ඒත්, එය ලබා දෙන පහසුකම් අපේ රටේ නැහැ. ඒ සඳහා අප අපේ සාම්පල් සිංගප්පූරුවට යවලා, එහි සේවා ලබා ගත යුතුයි. එවැනි අවස්ථාවල අපට සහතිකයක් වීමට රජය උදවු කළ යුතුයි. නව ආයතන බිහි කළ යුතුයි කියන්නේ ඒ නිසයි.

    මේ වන විට රටේ ඩොලර් හිඟයක් පවතින බව කියවෙනවා. මේ ගැන ව්‍යාපාරික ඔබගේ අදහස කුමක් ද?

    අපේ රට මුහුණ දෙන ප්‍රධාන හිඟ දෙකක් තිබෙනවා. එකක් තමයි රජයේ ආදායම්වලට වඩා රජයේ වියදම් වැඩි වීම මත ඇති වන ජාතික අය – වැය පරතරය. අනික තමයි විදේශ වෙළඳාමේදී ඇති වන ආනයන වියදම වැඩි, අපනයන ආදායම අඩු වීම නිසා ඇති වන වෙළෙඳ හිඟය. මේ මූලික පරතර හිඟ දෙක පියවා ගන්න, රටක් ලෙස අපට විශාල සටනක් දෙන්න වෙලා තිබෙනවා. මේ අවස්ථාවේ කොවිඩ් ගෝලීය වසංගතය නිසා ප්‍රශ්නය තවත් උග්‍ර වෙලා. මෙවන් සන්දර්භයක් තුළ රටේ අනිවාර්ය විදේශ ණය සේවාකරණ, අත්‍යවශ්‍ය ආනයන සඳහා වියදම් දැරීමටත් සිදු වෙලා. මේ අතර රටට විදේශ විනිමය ගෙන එන අංශත් දුර්වල වෙලා. ඒ නිසා, ඩොලර් හිඟයක් රටේ තිබෙන බව අප කවුරුත් පිළිගන්නා දෙයක්. ඒත් එය සදාකාලිකව පවතින්නක් නොවෙයි.

    මේ වන විට මතු වී ඇති දේශීය හා විදේශීය අසීරුතා ප්‍රමාණය වැඩියි. ඒ වැඩි වීම පහව යයි කියා ඔබ සිතනවද?

    මේ දුෂ්කරතා කෙටි කාලීනයි. අපේ හපන්කම විය යුත්තේ, ඒවා දිගු කාලීන ආර්ථික නවෝදයකට අපට ඇති ශක්ති බවට පරිවර්තනය කර ගැනීමයි.

    කොවිඩ් හේතුවෙන් අපේ ආනයන – අපනයනවලට සීමා පැනවිලා. ලෝක සැපයුම් දාමයේ බිඳවැටීමක් සිදු වෙලා. එවන් පසුබිමක අප කටයුතු කළ යුත්තේ කෙසේ ද?

    අප මේ වගේ බැරෑරුම් අවස්ථාවලදී ක්‍රියා කළ යුත්තේ උපායමාර්ගිකවයි. කළ යුත්තේ, අප අපේ වෙළෙඳ ක්‍රමවේදයත්, ප්‍රතිපත්තිත් අපට ගැළපෙන ලෙස ක්‍රමෝපායිකව වෙනස් කර ගනිමින් ක්‍රියා කිරීමයි. අප මෙතැනදී කටයුතු කළ යුත්තේ, වඩාත් ඥානාන්විතවයි.

    ඔබ පවසන ආකාරයට අපේ වෙළෙඳ දිශානති උපායමාර්ගිකව වෙනස් කළ යුතුයි. එය තව දුරටත් විග්‍රහ කළ හැකි ද?

    රටක් ලෙස අප මේ අවස්ථාවේ මුළු ලෝකය පුරා පවතින අපේකම, දේශීයත්වය මත පදනම් වූ නව නිෂ්පාදන සඳහා වන ඉල්ලුම වැඩි කර ගන්න කටයුතු කරන්න ඕනෑ. සාම්ප්‍රදායික ඉල්ලුම්කරුවන් මත පමණක් වැඩි බරක් තබා ක්‍රියා නොකර, අලුත් වෙළෙඳපොළ සොයා ගැනීමට මහන්සි විය යුතුයි. මේ සම්බන්ධ උදාහරණයක් කිවුවොත්, පසු ගිය 2020 අවුරුද්දේ ලොව පුරා සැපයුම් දාමවලට බාධා එල්ල වුණා. විදේශ වෙළෙඳාම අඩු වුණා. ඒත්, අපේ රටේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන්ගේ වෙනසක් සිදු වුණේ නැහැ. අපේ ප්‍රධානතම වෙළෙඳ හවුල්කරුවන් වන්නේ, ඉන්දියාව, අමෙරිකා එක්සත් ජනපදය සහ චීනයයි. මේ රටවල් සමඟ සිදු කළ මුළු වෙළෙඳ ගනුදෙනුවල ප්‍රමාණය එක්සත් ජනපද ඩොලර් බිලියන 10.5ක්.

    මේ තරම් ගනුදෙනු ගණනක් සිදු කරමින් සිටින අප, තව දුරටත් ලෝකයේ වෙනත් වෙළෙඳ ගනුදෙනුකරුවන් සොයා නොයන්නේ ඇයි? කියන එකයි මගේ ප්‍රශ්නය.

    අපේ ප්‍රධාන වෙළෙඳ හවුල්කරුවන් නැති නම් අප, අලුතින් විදේශ වෙළෙඳපොළ දිනා ගත යුතු ද?

    අප කළ යුත්තේ එයයි. මෙහිදී අප අපේ රටේ සාම්ප්‍රදායික කර්මාන්ත, කෘෂිකර්මාන්ත සේවාවලට ඉහළ ඉල්ලුමක් ලැබෙන අයුරින් වෙළෙඳාම පුළුල් කළ යුතුයි. එපමණක් නොවෙයි; ඊට අමතරව තව කළ යුතු දේ බොහෝමයි.

    අප අපේ අපනයන වැඩි කර ගන්න නම්, ඒ සඳහා ඇති බාධක දුරු කළ යුතුයි. එය කළ හැක්කේ කෙසේ ද?

    අප විදේශ වෙළෙඳාමට පිවිසි විට, අපට අවශ්‍ය අවස්ථාවල, සිතූ මතයට වෙළෙඳාම කරන්න බැහැ. ලෝක ඉල්ලුම ඇති වූ විට, ඒවා සපුරාලන්න අප සමත් විය යුතුයි. එසේම, ඉල්ලුම දිනා ගන්නත් කටයුතු කළ යුතුයි. මෙහිදී විශේෂයෙන් දුරු කළ යුතු බාධක මොනවාදැයි අප විමසා බැලිය යුතුයි.

    උදාහරණයක් විදිහට, ලෝකයේ දියුණු රටවල ගැනුම්කරුවෝ, ප්‍රමිතියෙන් ඉහළ ගුණාත්මක භාණ්ඩ මිලදී ගන්න වැඩි කැමැත්තක් දක්වනවා‍. යම් කෘෂිකාර්මික කුළුබඩු නිෂ්පාදනයක් ගැන අපි සිතමු. ඒ අය බලාපොරොත්තු වන ඉහළ ප්‍රමිතිය තිබේදැයි විද්‍යාත්මකව පරීක්ෂා කර, ප්‍රමිතිය පිළිබඳ සහතික නිකුත් කරන අපේ රටේ ආයතනයේ ප්‍රමිති සහතික පිළි ගන්න සමහර අය සූදානම් නෑ. ඒකට හේතුව, ඒ අය පිළි ගන්නා පර්යේෂණාගාර අපේ රටේ නැති නිසයි. ඒ නිසා ඇතැම් සැපයුම් සිදු කිරීමට පෙර අපට සිංගප්පූරුවට සාම්පල් යවලා ප්‍රමිතිය පිළිබඳ සහතික ගන්න වෙලා තියෙනවා. ඒ දුෂ්කරතාව මඟහැර වීමට, ලෝකයම පිළිගන්නා, ප්‍රමිති පරීක්ෂා කරන, විද්‍යාත්මක බවින් උසස් පර්යේෂණාගාරයක් අපේ රටෙත් ආරම්භ කරන ලෙස අප රජයට යෝජනා කරනවා.

    මෙවැනි පහසුකම් අපේ රටේ අපනයනකරුවන්ට ලැබුණොත්, වැඩි වැඩියෙන් විදේශ වෙළෙඳපොළ දිනා ගන්න හැකියාව ලැබෙනවා.

    අත්‍යවශ්‍ය නොවන ආනයන සීමා කිරීමට මහ බැංකුව ගත් විවිධ උපායමාර්ගික ක්‍රියාමාර්ග මේ වන විට අහෝසි කර තිබෙනවා. එය ඔබ දකින්නේ කොහොම ද?

    අපට අපේ රටේ ජනතාවට අවශ්‍ය භාණ්ඩ හා සේවා හැකි තරම් ප්‍රමාණාත්මකව සැපයීමට නම්, ඒවා පිටරටින් ගෙන්වලා හරි ඒ දේ කළ හැකියි. එසේ කරන්න පුළුවන්කම තිබෙද්දි අප විසින්ම අනවශ්‍ය තොග රට තුළට ගෙනවිත් ගොඩගසා තිබීම මතයි මේ ඩොලර් හිඟ ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේ. මෙතැනදි අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය, අන්තර් භාණ්ඩ, ප්‍රාග්ධන භාණ්ඩ, අධි සුඛෝපභෝගී පාරිභෝගික භාණ්ඩ කියා වෙනසක් නැහැ. තොග වශයෙන් මහ ලොකු ප්‍රමාණයක් රටට ගෙනවිත් තිබෙනවා. මේ මොහොතේ එය අපේ රටට කළ හැකි දෙයක් නොවෙයි. ඒ නිසා ආනයනකරුවන් රටේ වාර්ෂික, මාසික පාරිභෝගික ඉල්ලුම සපුරාලන්න අවශ්‍ය භාණ්ඩ හා සේවා රටට ගෙන ආවා නම්, මේ වාගේ ප්‍රශ්නයක් පැනනඟින්නේ නැහැ. ඒත්, අද එහි අනිත් පැත්ත සිදු වීම නිසා, රජයට, මහ බැංකුවට මේ වගේ කොන්දේසි පැනවීමට සිදු වුණා කියන එක මගේ අදහසයි. එහෙත් එය දැන් ඉවත් කර තිබීම සාධනීය තත්ත්වයක්.

    විවෘත වෙළෙඳපොළ ක්‍රමයක් තුළ මෙවැනි දේ සිදු වීම වළක්වන්න බැහැ. බාධා පැමිණ වීම, කළු ව්‍යාපාර, නැවත පෝලිම් යුගයක් ඇති වීමට බලපානවා නේද?

    එවැනි තත්ත්වයක් ඇති වෙනවා වුණත් අප, අනවශ්‍ය තොග රටට ගෙනැවිත් ගොඩ ගසලා, රටේ මූල්‍ය අර්බුදයක් ඇති වී තිබෙන විට ප්‍රශ්නය උග්‍ර කර කටයුතු කිරීම සදාචාරාත්මක ද? වෙළෙඳාමේදී අප කවුරුත්, විශේෂයෙන් කොවිඩ් වැනි ගෝලීය වසංගතයක් පවතින මොහොතක, ලාබයට වඩා ජනතාවගේ අමාරුකම්, අසීරුතා ගැන මනුෂ්‍යත්වයේ නාමයෙන් හිතන්න ඕනෑ.

    අපනයනකරුවන් තමන් විදේශවලින් ලබන ඩොලර් ආදායම් රටට ගෙන එන්නේ නැහැ කියා චෝදනාවක් තිබෙනවා. ඒ ගැන ඔබේ අදහස කුමක් ද?

    රටට ඩොලර් එකක් ගෙන ආ විට මහ බැංකුව දෙන්නේ වටිනාකම රුපියල් දෙසීයක් කියමු. බැංකු පද්ධතියෙන් අප ඩොලර් එකක් ගන්න ගියහම, රුපියල් දෙසිය තිස් පහක් පමණ ගෙවන්න වෙනවා. මේ ප්‍රශ්නය ඇති වෙන්නේ, මේ නිසයි. එයට වියදමක් ලෙස ඩොලර් එකකට ගෙවන රුපියල් ප්‍රමාණය වැඩි කරන්න නැති නම්, දිරි ගැන්වීමේ ප්‍රතිලාභයක් දෙන්න වැඩපිළිවෙළක් හදන්න ඕනෑ. දැනට සමහර බැංකු ගනුදෙනුකරුවන්ට පිටරටවල ඉඳන් එවන ඩොලර් එකකට, වැඩිපුර රුපියල් ප්‍රමාණයක් ලබා දෙන එක සාධනීය තත්ත්වයක්.

    ආනයන වියදම් අඩු කරන්න අප තව දුරටත් කළ යුත්තේ කුමක් ද?

    වඩාත් ප්‍රමිතියෙන්, ගුණාත්මක බවින් වැඩි, දේශීය නව නිෂ්පාදන හැකි තරම් වෙළෙඳපොළට එක් කිරීම කළ යුතුයි. නව තාක්ෂණය, නව කාර්මික දැනුම ලබා දීලා, අපේ රටේ සිටින අපේම අය අතින් අප අලුත් දේ නිෂ්පාදනය කළ යුතුයි. එසේ කරන අයත් ඉන්නවා. ඒ අයට අප දිරි දිය යුතුයි; ඒ අය රැක ගත යුතුයි.

    ඔබ ජංගම දුරකතනයක් නිෂ්පාදනය කිරීමට සූදානම් බව කිවුවා. ඒ ගැන කතා කළොත්?

    අපගේ සහ කොරියන් තාක්ෂණය මුසු කරලා, සුහුරු ජංගම දුරකතනයක් (ස්මාර්ට් දුරකතනයක්) අපේ රට තුළ නිෂ්පාදනය කිරීමට අප සූදානම්. ඒ සඳහා අපේ කර්මාන්ත ඇමැතිතුමා, අමාත්‍යංශයේ ලේකම්තුමා, අපට විශාල සහයෝගයක දී තිබෙනවා. මේ කටයුත්ත සිදු කිරීම සඳහා කොරියාවේ ශ්‍රී ලංකාරාමයේ වැඩ වාසය කරන කොරියාවේ ප්‍රධාන සංඝ නායක කටුවන විජිතවංශ නාහිමි, ශ්‍රී ලංකාවේ තානාපති ආචාර්ය සාජ් මෙන්ඩිස් මහතා අපට විශාල ශක්තියක් දෙනවා. දෙසැම්බර් මාසයේදී අප මේ සුහුරු ජංගම දුරකතනය එළිදක්වනවා.

    ජයසිරි මුණසිංහ

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.