24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ගිහාන් පිලපිටියට එරෙහිව සාක්ෂි නැහැ

    - Advertisement -

    පොලිස්පති

    හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතා සමඟ ආන්දෝලනාත්මක දුරකතන සංවාද පැවැත්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවකු ලෙස නම් කර සිටින වැඩ තහනමට ලක්වූ මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතාට එරෙහි චෝදනා තහවුරු කිරීමට තරම් ප්‍රමාණවත් සාක්ෂි විමර්ශනවලදී අනාවරණය වී නැතැයි පොලිස්පතිවරයා ඊයේ (13) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. නීතිපති උපදෙස් මත තමාට එරෙහිව පොලිසිය විසින් ගත් ක්‍රියාමාර්ගයක් මත නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම කැඳවූ අවස්ථාවේදී එහි වගඋත්තරකරුවකු වශයෙන් නම් කර සිටි පොලිස්පතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහතා මේ බව සඳහන් කළේය. සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඬුල්ල විසින් මේ පෙත්සම කැඳවනු ලැබීය.

    - Advertisement -

    විමර්ශනවලදී තම සේවාදායකයාට එරෙහිව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණය නොවන්නේ නම් ඔහු නිදහස් කරන්නැයි නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම්කාර මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා මෙහිදී අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.

    දෙපාර්ශ්වය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල මේ පෙත්සම පිළිබඳ නියෝගය මේ මස 25 දා ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළේය.

    රන්ජන් රාමනායක මහතාගේ ආන්දෝලනාත්මක දුරකතන ඇමතුම් සිද්ධියෙන් පසුව මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා අත්අඩංගුවට ගැනීම සඳහා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර වරෙන්තුවක් ලබාගන්නා ලෙස නීතිපතිවරයා විසින් කොළඹ අපරාධ කොට්ඨාසයට මීට පෙර උපදෙස් දී තිබිණි.

    - Advertisement -

    ඒ අනුව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ මහාධිකරණ විනිසුරුවරයාට කරුණු වාර්තා කිරීමෙන් පසුව එම නඩු කටයුත්ත ආරම්භ කෙරිණි.

    නෙල්කා මැදගෙදර

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.