24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    එන්නත්කරණයට අවනතව සාමාන්‍ය ජීවිතයට පිවිසෙමු

    - Advertisement -

    වසංගතය යම් පමණකට පාලනය වී තිබේ. ඒ පිළිබඳ පුරවැසියන් ලෙස අපට හදවතින්ම සතුටු විය හැකිය. සැබවින්ම කොරෝනා වසංගතය හේතුවෙන් අවුරුදු එක හමාරක් රට පැවතියේ එකම තැනය. ආර්ථිකය බිමටම පාත් විය. දරුවන්ගේ ඉගෙනුමට කණ කොකා හැඩවිණි යැයි සඳහන් කිරීම අතිශයෝක්තියක් නොවේ. අද වන විට ජීවිත දහතුන් දහසක් කොවිඩ් මාරයා රැගෙන ගොස් තිබේ. මෙය ලියන දිනය වන විට පවා තිහකට ආසන්න දෛනික කොවිඩ් මරණ ප්‍රමාණයක් වාර්තා වේ. ඒ අනුව ගත් කළ අපට වසංගතය සම්පූර්ණයෙන්ම පරාජය කිරීමට හැකියාව ලැබී නැති බව ද පැහැදිලිය. එහෙත් වසංගතයේ ප්‍රචණ්ඩත්වය පාලනය කිරීමට අපට පුළුවන්කම ලැබී තිබේ. ආසාධිතයන් හමුවීම තවමත් පන්සියයත්, හත් සියයත් අතර වාර්තා වේ. මෙය වසංගතය උග්‍ර වූ කාලයට සාපේක්ෂව හොද තත්ත්වයකි. මේ තත්ත්වයට රට ගෙන ඒමට සුව සේවා කාර්ය මණ්ඩලය ඉමහත් සේවාවක් කර තිබේ. එමෙන්ම වෛද්‍ය උපකරණ සහ එන්නත් ගෙන ඒමට මෙරටින් අති විශාල මුදල් ප්‍රමාණයක් වැය කර තිබේ. එසේ වියදම් කර ඇත්තේ මහජන මුදල්ය. ඒ මුදල් වසංගතය නැති නම් රටේ සංවර්ධන සදහා යෙදවිය හැකිව තිබී මුදල්ය. එනිසා ඒ වැය කළ සෑම ශතයකටම වටිනාකමක් ලබා දිය යුතුය. ඒ සඳහා තව දුරටත් හොඳ සුව පුරුදු වෙත දිගටම අනුගත විය යුතුය. එසේ නොවුණහොත් අපට නැවත මාරයා වෙත යටත් වීමට සිදුවන කාලය ඈතක නොවේ.

    සුව සේවා අවවාද

    - Advertisement -

    එනිසා අප මූලිකවම කළ යුතු දේ වන්නේ සුව සේවා අවවාද පිළිගෙන කටයුතු කිරීමය. සුව සේවා අවවාද යනු අත් සේදීම සහ මුව ආවරණ පැලඳීම පමණක් නොවේ. එහි ඉන් එහාට ගිය ලොකු කාර්ය ප්‍රමාණයක් තිබේ.

    අද වන විට වසංගත පාලනය සියතට ගැනීමට පුළුවන්කම ලැබී ඇත්තේ එන්නත්කරණය ක්‍රමවත්ව සිදුවීම හේතුවෙනි. එය කෙතෙක්ද යත් අද වන විට වයස තිහට වැඩි ජනගහනයෙන් අතිශය බහුතරයක් එන්නත ගෙන තිබේ. එය ඇත්තෙන්ම විශාල ජයග්‍රහණයකි. එබැවින් අද වන විට ආසාදිතව සිටින්නන් අඩුව තිබේ. එමෙන්ම එහි අනෙක් ප්‍රතිඵලය බවට පත්ව ඇත්තේ මරණ ප්‍රමාණය ද බොහෝ ලෙස අඩු වීමය. එහෙත් එන්නත්කරණය මුල් කර ගනිමින් මිථ්‍යා මත රැසක් ද සමාජගතව තිබේ. ඒ හේතුවෙන් පසුගිය කාලයේ දී සමහර වැඩිහිටියන් ද එන්නත මඟහැර සිටීමට උත්සාහ කළ අතර, වෙනත් විකල්ප වෛද්‍ය ක්‍රම කෙරෙහි ඇදී යාමට ද ඔවුහු උත්සුක වූහ.

    අද වන විට ලෝකයම පිළිගත් කොවිඩ් පාලනය කළ හැකි එකම ක්‍රමය බවට පත්ව ඇත්තේ එන්නත්කරණය පමණි. එමඟින් මිනිසාට අහිතකර දීර්ඝකාලීන අතුරු ආබාධ ඇති වන බවට කිසිදු පිළිගත හැකි සාක්ෂියක් හමු වී නැත. එනිසා එන්නත්කරණය ගැන නව මාධ්‍ය සහ යූ ටියුබ්වල පැතිරෙන සෑම දෙයක්ම ඇත්ත නොවේ. අප කළ යුත්තේ මෙයින් ඇත්ත නැත්ත තෝරා බලා කටයුතු කිරීමය. ලැබී ඇති තොරතුරු අනුව වැඩිහිටියෝ ලක්ෂයකට කිට්ටු පිරිසක් එන්නත නොගෙන සැඟව සිටිති. ඔවුන් කරන්නේ තමන්ගේ සමාජ වගකීම පැහැර හැරීමකි. එන්නත් නොගත් ඔවුන් හරහා නැවත වසංගතය පැතිර යෑමේ ඉඩක් තිබේ. එනිසා අප එන්නත මඟ හරිනවා යනු සමාජ වගකීම හිතාමතා පැහැර හැරීමකි. අනෙකාගේ ජීවත් වීමේ අයිතිය හිතාමතා පැහැර ගැනීමකි. ඇත්තෙන්ම අප මේ ගැන වඩාත් අවධානයෙන් සිටිය යුතුය.

    - Advertisement -

    මිථ්‍යා මත

    තරුණයෝ යනු අලුතින් යමක් සිතා මතා තීරණ ගත හැකි පිරිසකි. අද සිටින තරුණයන්ගෙන් බහුතරයක් අවම වශයෙන් උසස් පෙළ දක්වා හෝ ඉගෙනුම ලැබූ පිටිසකි. වෙනත් ආකාරයකින් කියතොත් ඔවුනට හොද සමාජ දැනුමක් මෙන්ම විෂය දැනුමක් තිබේ. එවන් පිරිසක් අතුරින් සැලකිය යුතු පිරිසක් එන්නත ගැනීම මඟ හරින බවට තොරතුරු වාර්තා වේ. එයට හේතු ලෙස ඔවුන් දක්වන්නේ එන්නත මඟින් ඔවුන් වඳ භාවයට පත් වන බවයි. එවැනි සොයා ගැනීමක් ලොව කොහේවත් කර නැත. මේ තීරණයට ඔවුන් එළැඹ ඇත්තේ තනිවමය. නව මාධ්‍ය ඔස්සේ කිසිවකු ඇති කළ පුහු මතයක් ඔවුහු හිස් මුදුනින් පිළිගෙන සිටිති. ඇත්තෙන්ම එය කනගාටුදායකය. මන්ද යත් අවුරුදු තිහට අඩු පිරිස් නිසි ලෙස එන්නත්කරණය නොකිරීම යනු අලුත් රැල්ලකට අත වැනීමකි. අවුරුදු එක හමාරක් වසංගතය නිසා හෙම්බත්ව සිටින අපට තවත් රැල්ලකට මුහුණ දීමට ශක්තියක් නැත.

    එහෙත් ඇතැමුන් පටු වාසි තකා සහ නරක මානසික තත්ත්වයන් හේතුවෙන් මෙවැනි බොරු ප්‍රචාර පතුරුවමින් සිටියි. එය කනගාටුදායකය. රටක්, ලෝකයක් වසංගතයෙන් ගොඩ එන මොහොතක එයට බාධා කිරීම නොකළ යුතු දෙයකි. එහෙත් ඇතැමුන් කරන්නේම මෙවැනි දේය.

    - Advertisement -

    මේ වන විට ගැබිනි කතුන් සඳහා එන්නත් දීම ද ක්‍රියාත්මකය. දැනටමත් වසංගතයට ගොදුරුව මව්වරුන් පනස් හතක් මරණයට පත්ව ඇත. එය ඉතාමත් බරපතළ තත්ත්වයකි. එනිසා ඔවුන් එන්නත අනිවාර්යයෙන්ම ගත යුතුය. ඒ අතරින් ද සමහරු වැරැදි අවබෝධ නිසා එන්නත මඟ හරින බවට තොරතුරු වාර්තා වේ. එම එන්නත් මඟින් ඉපදෙන්නට සිටින දරුවාට කිසිදු හානියක් නොවන බවට වෛද්‍යවරුන් සහතික කර තිබේ. එමෙන්ම මවට ද එන්නත ගැනීමෙන් හානියක් නොවන බවට වෛද්‍යවරු පවසා තිබේ. එනිසා ඔවුන් එන්නත ලබා ගැනීමට කිසිදු බියක් ඇති කර ගත යුතු නැත. සමහර මව්වරුන් ඇපයෙන් බේරීමට මෙන් එක එන්නතක් රැගෙන සිටීමට උත්සාහ කරති. එහෙත් එක් එන්නතක් පමණක් ලබා ගැනීමෙන් සම්පූර්ණ ආරක්ෂාවක් නොලැබේ. එන්නත් මාත්‍රා දෙකම අනිවාර්‍යෙන්ම ගත යුතුය.

    එන්නත් සන්නාම

    මොඩර්නා, ෆයිසර්, ඇස්ට්‍රාසෙනෙකා, සයිනොෆාම් කියා වෙන් වෙන්ව බැලීමට හේතුවක් නැත. මේ සියලු එන්නත් පිළිගත් ඒවාය. ඒවායේ ප්‍රතිඵලය සමානය. එනිසා එන්නත්වල සන්නම් නාම සොයමින් රට වටා ඇවිදීමෙන් වැඩක් නැත. අද සමහර තරුණයන් එවැනි පුරුද්දකට එළැඹ සිටිති. එනම් හොඳ යැයි සම්මත එන්නත් ගැනීමය. එහෙත් එය නිවැරැදි නොවේ. සෑම එන්නතකින්ම කොවිඩ් වසංගතයෙන් බේරීමට ආරක්ෂාවක් ලැබේ. එන්නතක් නොගෙන සිටීම නරකය. එමඟින් වන්නේ එන්නත් නොගත් පුද්ගලයා අනාරක්ෂිත පසුවීමය. ඒ අනාරක්ෂිත බව හුදෙක් එම පුද්ගලයාට පමණක් බල නොපවත්වයි. ඉන් සමාජයට ඇති විය හැකි අගතිය ද විශාලය. එනිසා අද සෑම දෙනාම කළ යුතුව ඇත්තේ එන්නත් ගැනීම මඟ හැරීම හෝ මිථ්‍යා මත පසුපස යෑම නොව විද්‍යාව විශ්වාස කොට වසංගතය පාලනය කිරීමට දායකත්වය ලබා දීමය.

    එනිසා තරුණ පිරිස් තම සමාජ වගකීම් නිසි ලෙස තේරුම් ගත යුතුය. ඔවුන් එන්නත නොගැනීම යනු නිවසේ සිටින අම්මා, තාත්තා, අත්තම්මා, සීයා අනතුරෙහි හෙළීමකි. එය ඇත්තෙන්ම කනගාටුදායක දෙයකි. තරුණයන් නොදැන හෝ කරන්නේ තම වැඩිහිටියන්ගේ වළ තමන් විසින්ම කපා දීමය. කිසිදු පදනමක් නැති මිථ්‍යා පසුපස යෑමට වඩා විද්‍යාව පිළිගැනීම වඩාත් නුවණක්කාරය. විකල්ප වෛද්‍ය ක්‍රම වෙත දොස් නැගීමක් අප නොකළ ද හදිසි අවශ්‍යතාව වන්නේ වසංගතය මෙල්ල කිරීමය. එසේ නොකරන තාක් අපට සිදු වන්නේ වසංගතය සමඟ කාලය ගත කිරීමටය.

    තිහට අඩු තරුණ පිරිස් එන්නත්කරණයට උනන්දු කිරීමට ද රජය මේ වන විට ග්‍රාම නිලධාරීන් හරහා වැඩ පිළිවෙළක් ආරම්භ කර තිබේ. එය ඉතාමත් යහපත් කටයුත්තකි. එම නිලධාරීන්ගේ දැඩි කැප වීම හේතුවෙන් තරුණ ප්‍රජාව එන්නත වෙත ආකර්ෂණය වීම වේගවත් වීම සිදු වේ. මෙතෙක් කල් බොහෝ විට සිදු වන්නේ හැමදේම විවේචනය කිරීමය. සැක සංකා පළ කිරීමය. එහෙත් එන්නත්කරණය යනු අන්තර්ජාතික ප්‍රමිතිය සහිත වැඩපිළිවෙළකි. අප රට තුළ ද සියල්ලන්ගේ ආශිර්වාදය ඇතිව ක්‍රියාත්මක වන්නකි. එනිසා තරුණයන් එන්නතට බිය විය යුතු නැත.

    එසේ නොවුණ හොත් අප අද යළිත් භුක්ති විදින නිදහස අහිමිව ලොක්ඩවුන් ජීවිතයකට යොමු වීම නොවැළැක්විය හැකිය. ලොක්ඩවුන් ජීවිතය යනු ඇති කෙනාට සුන්දර අත්දැකීමක් විය හැකි වුව ද මෙරට සියයට හැටක් වූ දෛනික ආදායම්ලාභීන්ට අසුන්දර සහ අසුබ අත්දැකීමකි. එනිසා අප කළ යුත්තේ වැටුණු තැනින් නැගිට පෙරට යෑමට අවශ්‍ය වටපිටාව සකස් කර ගැනීමය. එය එතරම් අපහසු දෙයක් නොවේ. නිසි ලෙස එන්නත් ගෙන සුව පුරුදු අනුගමනය කළ හැකි නම් එය කාටත් පහසුය. එය රජයට පමණක් තනිව කළ හැක්කක් නොවේ. පුරවැසියන් ලෙස අපට ද ලොකු වගකීමක් තිබේ. අප ඒ වගකීම අකුරට ඉටු කළ යුතුය. එවිට අපට අහිමි වූ මුව වසා නොගත් නිදහසේ සුවය නැවත අපට උදා කර ගත හැකිය.

    උදිත ගුණවර්ධන

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.