24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    කට පාලනය කර නොගත්තොත්…

    - Advertisement -

    වාතේ-පිත්තේ සහ සෙංගේ

     

    - Advertisement -

    වාතය, සෙම් හෝ සෙංග හා පිත්ත (පිත) වූකලි සත්ව සිරුර සාධ්‍ය වීමට හෝ අසාධ්‍ය වීමට ප්‍රබලව බලපාන සංඝටක ත්‍රිත්වයකි. මේ ත්‍රිත්වය සාම්‍ය වූ කල සිරුර ආරෝගී වන බවත්, උක්ත ත්‍රිත්වය කුපිත වූ කල සිරුර රෝගී වන බවත්, එදා වෙදවරු මැනවින් පසක් කර ගෙන වෛද්‍ය සේවයේ නිරත වූහ.

    මෙසේ වූ වාත පිත හා සෙම යන ත්‍රිත්ව සංඝටක පිළිබඳව තායිවානයේ ප්‍රධාන සංඝනායක ත්‍රිපිටකවේදී බෝදාගම චන්දිම නාහිමි විසින් සම්පාදනය කළ පිරුවානා පොත් වහන්සේ පුස්තිකාවේ “ජිනපඤ්ජර පිරිතෙහි 13 වෙනි පිටුවේ දැක්වෙන්නේ වාත පිත්තාදී සඤ්ජාතා” ලෙසිනි.

    එය ආර්. බුද්ධදාස ආයුර්වේද ශාස්ත්‍රී භිෂග්රත්න වෛද්‍යාචාර්යතුමා විසින් අනුවාදිත “චරක සංහිතාවේ” 07 වෙනි පිටුවේ ඇත්තේ වායුව, පිත්ත හා සෙම් වශයෙන් වූ නාමයන් වාතෝදර, පිත්තෝදර හා කථෝදර ලෙසිනි.

    - Advertisement -

    ඒ අතර වාතේ, පිත්තේ හා සෙංගේ ලෙස අපේ ග්‍රාමීය වෙදවරු එසම සංඝටක තුන නම් වහරනු ඇසේ. එසේම එය පිළිකුල් භාවනාවේ යෙදෙන්නේ පිත්තං, සෙම්හම් පුබ්බෝ ලෙසින්ය. මෙසේ වු නාමයෙන් සියල්ලෙන් ම පසක් වන්නේ මතු සඳහන් සංඝටක ත්‍රිත්වයමය.

    බෙහෙවින්ම වාතය දැඩි සංවේදීවන ආහාරපාන පිත් සෙම් ද්විත්වයටම අහිතකරය. පිතට දැඩි සම්බන්ධිත ආහාරපාන වා සෙම් දෙකටම අගුණය. එමෙන්ම සෙම් කේන්ද්‍රගත කරගෙන ගන්නා ආහාර පානයන් වාත පිත දෙවර්ගයටම අහිතයෝවෙත්. මෙම ප්‍රතිවිරුද්ධතා නිසා සිරුර රෝගී වෙයි. මේ නිසාමය මේ තත්ත්වය තුන්දොස් ලෙස වෙදවරු පවසනුයේ. චරක සංහිතාවේ “ත්‍රිදෝෂ” ලෙස නම් වන්නේත් තුන්දොස්මය. එය සාරාර්ථසංග්‍රහයේ ත්‍රිවිධ ව්‍යාධි ලෙස නම්ය.

    එම තුන්දොස් සමනය කරගත හැක්කේ කට පාලනය කරගත හොත් පමණකැයි කියා අපේ ගමේ වෙද ඇත්තන් පවසන අත්දැකීම් පාදක කියමනේ යථාර්ථය වන්නේත් වාපිත් සෙම් රෝගයෙන් ශරීරය ගිලන් කරනුයේ තමා ගන්නා ආහාර පානවලින් බවයි. බොහෝ කොට එදා අපේ ගම්බිම්වල ඇත්තන් තුන්දොස්වලින් රැකුණේද, නිරෝගීමත්ව තම ජීවනෝපායන් කරගෙන ගියේද, දිගායු වැලඳුවේද, තම වත්තෙන් පිටියෙන් උපයා සපයාගත් පාරිසරික ආහාරපාන වලින්මය. නුවරකලාවීය ගැමියන්ට ශාරීරික අභ්‍යාස උපකරණ වුයේ ගොවි උපකාරණයි. ගැමිලියන් භාවිත කළේ ඇඹුල් කැත්ත, හිරමනය, වංගෙඩිය, මෝල, මිරිස් ඇඹරුම් දෙගල (මෝගල – දාගල) කුරක්කන් ඇට ඇඹරුම් ගල වූ කුරහන්ගල, බිම්ගල හා දරලිප ඇතුළු මුල්තැන් ගේ මෙවලම්ය. මේ මෙවලම් හා උපකරණ ඔවුන්ගේ ශරීරාංගයෝ වර්ධනය කළහ. එපමණක් නොව, වගාවන්ගෙන් යාන්වීගිය (සාරඅස්වනු පිරි) බව බෝගවල සමෘද්ධියෙන් හා ඇළේ- පිලේ ගැයුණූ ගී සීපද රාවයෙන්ද, තොටිලි පොදියේ පැද්දුම් ලතාවනට අනුගතව ඉතිර – පැතිර ගිය නැළවුම් පද වියමන්වලින්ද ඔව්හූ මානසික වින්දන වැලඳූහ. ගමේ වෙදරාලලා මානසික සුවය එළවූයේ ගිලනුන් සුවපත් වූ විටයි.

    - Advertisement -

    නුවරකලාවියන්ගේ ආහාර “රටාපත” වියැවී තිබුණේද පාරසරික විධිමත් ආහාර දාමයන්ගෙනි. ඒ අනුව “හීල් පිහමන” (උදා ආහාරය) කුරක්කන් රොටී, පිට්ටු, තලප ආදියෙන් හෝ තණ තිරිබත්, මෙනේරි කිරිබත්, කැඩුම් සහල් (සුන්සහල්) කිරිබත් හෝ පිට්ටු වැන්නකින් හෝ මුං, කව්පි, අවර ආදි ඇට වර්ගයකින් හෝ වත්තෙන් පිටියෙන් සපයා ගන්නා අල වර්ගයකිනි, ඔවුන්් “හීල්පිහමන” සරිවරිකර ගත්තේ. ඇතැම්විට පට්ටියේ දෙනුන්ගෙන් දොවාගත් කිරි මුදවාගෙන ඒවා හා හීල්බතින්ද, හීල් (අලුයම්වේල) පිරිමසාගත් අවස්ථා බොහෝය. ඇරත් හීල්බත් හා පොල්සම්බෝලයද “පෙරබතට (අලුයම බතට) වළදන්නට ඔව්හූ මනාපී වූහ. එලෙසම සතියකට වරක් දෙකක් හීල්පිහමන ලෙස දියබපත් වැළදීමට වග බලාගත්හ. එසේම මැදිබත, මහවේල හෙවත් දිවා වේලද, රාත්‍රි වේලද ගැමියා වැළඳුවේ වෙල්බත්ය. දිවාබත සමඟ එළවළුවක්, මසෑ මාංශයක් (මස් හෝ මාළු) ද, හොද්දක්, ඇඹුලක් හා මැල්ලුමක් ද වූ අතර රාත්‍රි ආහාරය බත් සමග ව්‍යංජන දෙකක් හා බැදුමක් (වියළි මස් හෝ මාළු) ද විය. මෙම බැදුමට භාවිත කළේ මීතෙල් හෝ දූන්තෙල් පමණි.

    තවද, උදා පානය සඳහා දොවාගත් එළකිරි හෝ යාගුවක් (බත් කැඳක්) ද, දිවා පානයට පොල්පලා, ඉරමුසු හෝ රනෝරා හෝ බෙලිමල් කොළ තැම්බු පානයන්ද, රාත්‍රි දිවා ආහාරයට පෙර කොත්තමල්ලි, ඉගුරු හා වෙනිවැල් ආදීය තැම්බු ඖෂධීය පානයක්ද විය. එදා ගෘහනියන් මාළුපිනි (එළවළු, මස් මාළු ඇතුළු සියලු ව්‍යංජනම) රසවත් කිරීම සඳහා “නවටික්ක” නමින් වැහැරූ රසකාරයන් නව වර්ගයක් භාවිතා කළහ. එම නමය මෙහිලා දැක්වීම උචිත යැයි සිතමි. ඒ අනුව ලුණු, මිරිස්, ඇඹුල් (සියඹලා හෝ ගොරක හෝ දෙහි ඇඹුල් අදාළ පරිදි) කහ, දුරු, කුරුඳු, කරපිංචා හෝ සේර (වත්මනේ සේර නම් වන්නේ “රම්පේ” ලෙසින් බව කරුණාවෙන් සලකන්න.) පොල් හා වතුර ආදී වූ නව වර්ගය වෙයි.

    මෙවන් පාරසරික ආහාර රටාව නිසාවෙන්, අපේ අතීත මිති ප්‍රජාව ආයුරෝග සම්පත්තින් යුතුව දීර්ඝායු සම්පත් වැළඳවේය. එදා මේ නිරෝගී බව ‘ආරෝග්‍යා පරමාලභා’ ලෙස බුදුවදනේ ද වෙයි. බු. ව. 90, ක්‍රි. ව. 370 වසරේ අනුරාධපුර රාජධානිය කරගත් වෛද්‍ය ශිරෝමණි බුද්ධදාස රාජ්‍ය සමයේ සිටම පරපුරෙන් පරපුරට දායාද වෙමින් අඩුවැඩි වශයෙන් දේශය පුරා ගලාගන – ගලාගන එන දේශීය ප්‍රාරම්භක ‘චිකිත්සාඥානය’ බවත්, පෙරදිග වෛද්‍ය වේදයන්ගේ ඉතාම වැදගත් ඵලදායි වෛද්‍ය ක්‍රමය ආයුර්වේදය බවත්, චරකසන්හිතාවේ අනුවාදික ආයුර්වේද ශාස්ත්‍රිභිෂග්රත්න, ආර්. බුද්ධාසයෝ පවසති. ඇරත් කායචිකිත්සාව පිළිබඳ මනා ඇගයීමක් බ්‍රිතාන්‍ය ජාතික රොබට් නොක්ස් Historical Relation of the Island of Ceylon නමැති ග්‍රන්ථයේ පහදයි.( පිටුව 67 – 68) මහාවංශයට අනුගතව බුද්දධාස රජතුමා මානවයින් පමණක්ම නොව සත්ව වර්ගයාද සුවපත් කළ ප්‍රබුද්ධ කායික මානසික චිකිත්සා ඥානයෙන් පිරිපුන් රජතුමෙකු බව මහාවංශයෙන් මොනවට පැහැදිලිය. එහි දිගුවකි වත්මන් ආයුර්වේද වෛද්‍ය ශාස්ත්‍රය. (මහාවංශය පිටු අංක 296 – ගුණපාල වීරසේකර – පරි. මහාවංශය 1955)

    ඒ තුළින් පැනෙන (වෛද්‍ය ශිරොමණි බුදුදසුන්ගෙන් පැවත ආ) අතුරු චිකිත්සා ලෙසින් නම්වන චිකිත්සාවන් රැසකි. වෛද්‍යාචාර්ය ග්‍රන්ථවිශාරද පණ්ඩිත ආරියදාස කුමාරසිංහයන් 1987 දී බුද්ධදාස රජතුමාගේ ගැඹුරු වෛද්‍ය ශාස්ත්‍රයේ විවිධ පැතිමාන අලළා සංස්කරණය කරන ලද අනර්ඝතම වෛද ග්‍රන්ථය වන වෛද්‍යක සරාර්ථ සංග්‍රහයේ දැක්වෙන පරිදි බෞද්ධ යුගාරම්භයේ පටන්ම ආර්ය වර්ගයා අතර නොකැඩී පැවත ආ වෛද්‍ය ප්‍රතිකර්ම විධි ලක්දිව වෙදදුරන් අතරට පත්වූයේ කායික චිකිත්සාවේ උපාංග මූර්තිමත් කරමිනි. මතු කී පරිදි අතුරු චිකිත්සා ලෙස දැක්වෙන්නේද මෙම කායික චිකිත්සාවේ උපාංගයක් බව සුපැහැදිලිය. (සාරාර්ථ සංග්‍රහය)

    එම උපාංග පැරණි වෙදපොත්වල දැක්වෙන නාමයන් වෙනුවට අපේ ගමේ වෙදරාලලා වහරන නාමයන් මා මෙහිලා දක්වනුයේ වෛද්‍යක ග්‍රන්ථාරූඪ නාමයන් වඩා සරල හෙයිනි. ඒ අනුව කායික චිකිත්සාව සර්වාංග වෙදකම වේ. අස්ථිභග්න චිකිත්සාව කැඩුම්බිඳුම් වෙදකමයි. විසෝපාද්‍ර චිකිත්සාව සර්පවිෂ වෙදකමය. අක්ෂි චිකිත්සාව වහරන්නේ ඇස් වෙදකම ලෙසටයි. ගර්භණි චිකිත්සාව ගැබිනිමාතා වෙදකම නමි. කුමාර චිකිත්සාවටය ඔවුන් ළමාරෝග වෙදකම කියන්නේ.

    නුවරකලාවියේ අපේ වෙදරාලලාගේ වෙදකම්වලින් ඉස්මතුවන ඇතැම් වෛද්‍ය ක්‍රම බටහිර වෛද්‍ය ක්‍රමවලට ද සමානතා පවතින බව මෙම ලිපිමාලාව අතරතුර දැක්වෙයි. උක්ත උපාංග සඳහා ගමේ වෙදරාලලා කීිපදෙනෙක් වෙති. නමුත් කායික චිකිත්සාව (සර්වාංග වෙදකම) කළේ ඇතැම් විට එකම වෙදවරයෙකි. ඔහු නම් වූයේද සර්වාංග වෙදරාල නමින්ය.

    අපේ දේශීය වෙදකම්වල ප්‍රතිකාර සඳහා යොදා ගැනෙන්නේ පාරිසරික වෘක්ෂලතා පංචාංග හා පරිසර සත්ව මෙන්ම පරිසර භෞමික ද්‍රව්‍යයන් ය. මෙම ලිපිමාලාව තුළින් ඒ බව සනාථවන බව සලකනු මැන. මේ උත්තම වෙදකම ‘ගොඩවෙදකම’ ලෙස නම් කරන නරුමයන් ද අප අතර නැතිවා නොවෙයි.

    දේශීය ආයුර්වේද වෙදහෙදකම, නුවරකලාවියේ වෙද ඇත්තන් පවත්වාගෙන ගිය ක්‍රමවේද විමසුමට බඳුන් කළ කල්හී ගමේ වෙදවරු තමාට තම පරපුරෙන් හෝ වෙද ගුරු පරපුරකින් හෝ මෙම සාස්තරය හිමිවිය. එය මානව ගුණන සමුදායකින්ම පෝෂණය වූ ශික්ෂණයකින් පවත්වාගෙන ආ බව මනාව පසක් වේ. ඔවුන්ගේ හදගැඹරේ පැළවී තිබු මිනිස් ගුණය ‘අත්ගුණයක්’ කරගනිමින් කරන ලද වෙදහෙද සේවය එක්තරා අයුරකින් සමාධියකට සමවැදීමකි. එය එක්තරාකාර උපෝශිත ශීලයකි.

    ගිලන් මිනිස් දිවියක් සුවපත් කිරීමේ මහානුභාසම්පන්න ජීවකයෙකි වෙදදුරා. සාම්ප්‍රදායික වෛද්‍ය ප්‍රජාවක් වශයෙන් බුලත් අතකින් පමණක් සෑහීමකට පත්වන අපේ ගම්වල උදාරතර වෙදවරුවරුන් විසින් ඇතැම් අවස්ථාවල ජීවිතයත් මරණයත් අතර අසරණවෙන ගිලනුන්ගේ ජීවිතයක් බේරාගැනීමේ පරම පවිත්‍ර චේතනාවෙන් දිවා රෑ නොබලා කරනු ලබන වෙදහෙදකම් සටන දේවත්වයෙන් සැලකූවත් මදි තරම්ය. ඒ අනුව අපේ වෙද උත්තමයෝ මිනිස් පුරයට පහළ වූ දෙවිදේවතාවියෝ නොවෙතිද ?

    එක්තරා වෛද්‍යවරයකු අත්දැකීම් මඟින් පහදා දුන් ශරීරයට එල්ලවන රෝග පීඩා අතුරු අන්ත්‍රා සිදුවන ආකාරයන් දැක්වූයේ මෙයාකාරයෙනි. “මේ මිහිපිට ලෙඩක්, අතුරු ආන්ත්‍රාවක් සිදුනොවන ඇත්තෙක් නැතිතරම්. වහින කොට සෙම කෝපවෙනවා. පායනකොට “පිත” කෝප වෙනවා. සුළඟ වැඩිවුණාම ‘වාතේ කිපෙනවා‘. එතකොට තුන්දොස් කටිනවා. කෑමක්, බීමක් නරක් වුණොත් අදීරණ රෝග. ඒ වගේම වැටුණෙත් හතර හන්දි බිඳෙනවා. කැපුණොත් ‘වන’ වෙනවා. පිච්චුණොත් ‘දිය පොක්කලං’ හැදෙනවා. ඒවා විතරක් නෙවෙයි මුළුතැන්ගේ හිරමණේ ඇනුනොත් පොළොං විස, ඇඹුල් කැත්තෙන් කැපුණෙෘත් නයිවිස. ඇයි තණ ගොල්ලේ කුඩැල්ලෝ, දොර මුල්ලේ මැසිමදුරුවෝ, මඬ පල්ලේ දියමිටියෝ”

    “ඒ විතරක් යෑ ලන්දේ සතා සරුපයෝ, කන්දේ ගුහාවල කොටි, වලස්සු, මහහිමේ අලි ඇත්තු, ඔය අතරවාරේ ඉරමුදුන් ජාමේ ‘අබිමානා’, ගොම්මන් ජාමේ “මෝහිණි”, මහ රෑ ජාමේ ‘මහසෝනා’, මේවාගේ යක්සාවුල් ද බොහොමයි.”

    “ඒ හින්දා තමයි මේ රාගරෝග, අතුරු අන්ත්‍රා, යක්සාවුල් වලින් බේරිලා ඉන්ඩ මොළේ කල්පනා කොරලා කටයුතු කොරන්ඩ කියන්නේ.” මේ කියමනේ දැක්වෙන ආකාරයට “බණේ සඳහන් වී ඇති ජීවිතං අනියතං – මරණං නියතං” යන බුදු වදනේ සත්‍ය මනාව පසක් වෙයි. කෙබඳු රෝගයකින් හෝ ගිලන්වෙන ඇත්තන් යක්ෂාවුල් මගින් ‘ආතුරවන ඇත්තන්’ සුවකිරීම අපේ ගමේ බිමේ දෙවිවරු වැනි වෙදඇත්තන් එදා සිටීම අපේ ගැමියාගේ භාග්‍යයක්ම වූයේ ය.

    ත්‍රිදෝෂ හෝ තුන්දොස් හෙවත් ත්‍රිවිධ ව්‍යාධි ලක්‍ෂණ පිළිබඳව සාරාර්ථ සංග්‍රහයේ සඳහන් වන්නේ වාත රෝග ලක්‍ෂණ 80ක්, පිත්ත රෝග ලක්‍ෂණ 40ක් හා සෙම් හෙවත් කථෝ රෝග ලක්‍ෂණ 20ක් ලෙසයි. කෙසේ නමුදු බොහෝ කොට ගැමියනට බහුතරව වැල‍ෙඳන්නෙකි සෙම් රෝග. එයින් ද සෙම්ප්‍රතිෂ්‍යාව ප්‍රමුඛ වෙයි. නුවරකලාවියේ ඇත්තෝ සෙම්ප්‍රතිශ්‍යාවට ‘කෝලේගාය’, ‘තඩියාගාය’ හෝ ‘හෙම්බිරිස්සාව’ යැයි වහරති. මේ සඳහා ගමේ සර්වාංග වෛද්‍යවරයාගේ උපදෙස් මත ඉඟුරු කොත්තමල්ලි කසාය පාවිච්චියට හා දුමාරයට මුහුණ ඇල්ලීමට ගැමියෝ පුරුදුව සිටිති. මෙම සෙම්ප්‍රතිශ්‍යාව දිගාමඩුල්ලේ ජනයා වහරනුයේ ’සෙංගාය’ කියා ය. (දිගාමඩුල්ල ජනවහර පි. 133) ඒ අතර ලග්ගල ඇත්තෝ ඊට ‘ලෙම්බාගාය’ යැයි ද වහරති. (ලග්ගල ජනවහර පිටුව 403) බක් වෙසක් මාසවල .සෙම් කිපීම අධිකවේ. ඊට හේතුව එම මාස වසන්ත සමයට අයත් නිසා ශ්ලේෂ්මත හෙවත් සෙම් කෝපය වේ. එය සරාර්ථ සංග්‍රහයේ දැක්වෙන්නේ ශ්ලේෂ්මා ප්‍රකෝපමයාති තථා වසත් මද ලෙසිනි. (පිටුව 23) සෙම්ප්‍රතිශ්‍යාව අධිකවීමෙන් හෝ සිරුර ප්‍රමාණයට වඩා වෙහෙසකර වීමෙන් උණගතියක් ඇතිවේ. එපමණක් නොව විශාදියක් (තුවාලාදියක්) නිසාද එසේ විය හැකිය. ඇරත් දැඩිලෙස ‘බියට’ පත්වීම (හොල්මන) නිසාද ඇතමුන්ට උණක් ඇතිවිම දැකිය හැකිය. ඒ සියල්ලටම මතුකී කසායට වෙනිවැල් ආදී ඖෂධ මිශ්‍රකර පානය කිරීමත්, බියක් ඇතිවී පවතින උණට ගමේ කට්ටඩිරාළාගේ ගුරුකමක්ද ගැමියෝ ලබාගනිති.

    මෙසේ වූ උණ ගැමියන් සරලව සිතුවත් තුන්දා උණ හා වසංගතයන් නිසා ඇතිවන උණ (වසංගත උණ) පිළිබඳව ඔවුන් චකිතයකින් යුතුව වෙදහෙදකම් හි යෙදෙන්නේය. තුන්දා උණ මාරාන්තික උණකි. ඒනිසාම එයින් සුවවීමට කල්යනු ඇත. ඒ අතර සෙම්ප්‍රතිශ්‍යාව නරක්වීමෙන් ඇතිවන්නේ “උණසන්නිපාතය” නමැති දරුණු රෝගී තත්ත්වයකි. එසේම මෙම උණ ගමේ වෙදරාලගේ වහරින්නම් “කෝල සන්නියයි”. එවන් දරුණු උණ රෝගයන් ද එදා ගමේ වෙදවරයා සුව කළේ වල් ඖෂධ මාර්ගයෙනි.

    වත්මනේ බටහිර වෛද්‍ය ක්‍රමයට ගැමියා හුරුපුරුදු වුයේ මෑතකදීය. එතෙක් ඔව්හු දේශීය වෙදහෙදකමෙන් ම රෝගී තත්ත්වයන් සුවපත් කරගත්හ.

    එසේම වසංගත රෝග පැතිරීම වළක්වාලීමේ විවිධ ක්‍රම එදා ගැමියා ද සුබුද්ධිදායකව දියත් කළ බව නොරහසකි. එදා බහුලව ගැමි සමාජයේ දක්නට ලැබුණේ සරම්ප, පැපොල, වසුරිය, කක්කල් කැස්ස, උණසන්නිපාතය හා කොළරාව ආදී බෝවන රෝගයන්ය. ඒ අතර සෙම්ප්‍රතිශ්‍යා තත්ත්වයන්ද විය. එනමුදු සෙම්ප්‍රතිශ්‍යාව හා කක්කල්කැස්ස ඔවුන් සුවකර ගනු ලැබුයේ කෙම්ක්‍රම භාවිතයෙනි. ළමුන්ට සෙම්ප්‍රතිශ්‍යාව බහුලව පවතින විට වෛද්‍යවරයා විසින් කෙමක් වශයෙන් නියම කරන ලද්දේ බෙහෙත් ගැටයකි. එය ඉතා ළදරු වියේ පසුවන දරුවන්ගේ අතේ මැණික් කටුව හන්දියෙහි (අත්කරෙහි) බෙහෙත් යොදා ගැටයක් (පඬුරක් සෙයින්) බඳිනු ලබන අතර, ඉඟුරු කොත්තමල්ලි කසාය බීමට අකමැති බාලකයන්ගේ කරෙහි එම බෙහෙත් ගැටය එල්ලනුයේ එය බාලකයාට නිතර ආග්‍රානය වන අයුරිනි. එසේම කක්කල් කැස්ස වැලඳී ඇති සමාජයේ පසුවන බාලකයින්ගේ කරෙහි එල්ලනුයේ ‘දිවිසම්’ කැබෙල්ලකි. එම කෙම් ක්‍රම නිසා ඔවුන්ගේ කක්කල්කැහි රෝගි තත්ත්වයන් දුරුවී යයි. අනිකුත් වසංගත රෝගයන් පැතිරීම වැළැක්වීම සඳහා ගැමීහූ තම නිවසේ බලවත් වසංගතවලින් ගිලන් වුවන් සුවවනතෙක් ම රඳවා තබන ලද්දේ නිවසට තරමක් දුරින් සාදන ලද තාවකාලික පැලකය. එය ඔවුන් නම් කළේ “ගිලන් පැල” ලෙසිනි. එදා අපේ ගැමියන් සෑදු “ගිලන් පැල” භාවිත කළේ දරුණුතම වසංගතවලින් නිවසේ සෙස්සන් ආරක්ෂෘ කර ගැනීම පරමාර්ථ කරගෙන දුරදර්ශිවයි. එද ඇපේ ගමේ ඇත්තන් වසංගත රෝගයෙන් නිරෝධායනය සඳහා “ජුල ගිලන් පැල්” නිර්මාණය කළ අතර, වත්මනේ කොරෝනා වසංගතයේදී සුවසල් ගිලන්හල් රට පුරා මහා පරිමාණයෙන් ඉදිව ඇත. අපේ ගමේ ගැමියාගේ ගිලන් පැල් අනුගමනය කරමින්දෝ මෙදා ගිලන්හල් ඉදිවූයේ ? කෙසේ නමුදු ගැමි විඥානයේ උදාරත්වය එමඟින් මොනවට පසක් වෙයි.

    එදා ගිලන් පැල් සාදා තිබුණේ පොල් අතුවලින් වට කරමිනි. වහල ද පොල් අතු සෙවිලිකර තිබුණ අතර, ගිලන් පැල්වල ගිලන් වූවාට නිදා ගැනීමට තිබුණේ ඇකිලිය හැකි ඇඳකි. (බූරු ඇද)මෙම ඇඳෙහි ආවරණය වූයේ ඝනකම් රෙදිවලින් හෝ ගෝනි රෙදිවලින් සකසාගත් ආවරණයකි. එම ආවරණය පුරා අතුරා තිබුණේ කොහොඹකොළ ආස්තරණයකි. මෙම ආස්තරණය රෙදි ඇතිරිල්ලකින් වසා (ඇඳ ඇතිරියකින් වසා) ඒ මතය ගිලන් වූවා නිදා ගත්තේ. එමෙන්ම ගිලන් පැලේ වහලේ එල්ලා තිබුණේද කොහොඹ හා නික අතුයි. එසේම බූරු ඇඳට තබා තිබුණ කොට්ටය ද කොහොඹ කොළවලිනි පිරී පැවතියේ. එදා විෂබීජ පැතිරීම වළකාලූයේ මෙම ඖෂධ වලින්ම බව දත යුතුය. තවද ගිලනුන්ගේ ආහාරවේල් වශයෙන් උදා ආහාරයට ඖෂධීය බත් කැඳකි, දිවා ආහාරයට පිළිහුඩු හෝ තෙල් හෝ නොයෙදු එළවළු දෙකක් හා පලාමැල්ලුමකින් යුතු විය. රාත්‍රි ආහාරයට ඔවුන් ගිලනුන් සඳහා භාවිත කළේ සැහැල්ලු කැඳකි. වත්මනේ අපේ දේශීය වෙදකම මේ ආකාරයෙන් දිගෙලි වෙද්දී එහි ඇති විවිධ හාස්කම් හා වෙදක්‍රමවේද ඉදිරි ලිපි මඟින් විටින් විට දැනගත හැකි බව කරුණාවෙන් සලකනු මැන.

     

     කේ. බී. මානෑව

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.