24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    නයිඳුගේ නාඩගම

    - Advertisement -

     

    නාට්‍ය නමින් කලාවක් පුරාණ ලංකාවේ තිබුණාදැ යි පැවැසීමට නිශ්චිත සාක්‍ෂි තවමත් නැත. පුරාණ සිරිලක සමාජය තුළ නාට්‍ය කලාවක් නොතිබෙන්න හේතුවක් හිතා ගන්නට නො හැකිය. මන්ද? නාට්‍ය කලාවේ පෙරදිග හදබිම වූ භාරතය සමඟ මෙන්ම අපරදිග හදබිම වු ග්‍රීක – රෝම දේශයන් සමඟ සමීප බැඳියාවක් අතීත ලක්දිවට තිබූ බැවිනි.

    - Advertisement -

    එසේ නම් අතීත නාට්‍ය කලාව අරබයා කිසිදු තතු විත්තියක් නූතනයට ශේෂ නො වුණේ මන්ද? මේ නම් ගැඹුරු සිතිවිල්ලක් ලෙස ගෙන අවධානයට බඳුන් කළ යුතු තරම් ප්‍රබල කරුණකි. ගීත, කාව්‍ය, ගද්‍ය සිත්තම් ලෙස විවිධ කලා මාධ්‍යවල නිරත වූ සිංහල සමාජය අතීතයේ නාට්‍ය කලාව භාවිත නොකළේදැයි කෙසේ සිතන්න ද? නොවේ නම් නාට්‍ය කලාවේ සාධක සියල්ල ලිඛිත ඉතිහාසයට ඇතුළත් නොවී යටපත් විණි ද?

    කෙසේ නමුත් මෙම ගැටලුව නිසා ම සිංහල නාට්‍ය කලාවේ ආරම්භය ක්‍රි . ව . 1750 මහනුවර රජ පද සමයට සීමා වන්නේය. එය ද අහම්බයක් බව කියවේ.

    සිංහල රජුගේ අගබිසව් පදවිය දෙමළ ප්‍රභූ පෙළපත් අත්පත් කර ගැනීමත් සමඟ මහනුවරට පැමිණි නායක්කර් කුල කතුන් පිනවීමට රජුට සිදු විය. එබැවින් දකුණු භාරතීය කලාකරුවන් මෙහි කැඳවන්නට ද සිදු විය. ඒ අනුව ‘නයිඳු’ සිරිලකට පැමිණියේය. ‘නයිඳු’ නායක්කර කුල කතුන් තුටුබර කරලීමට කරළියට නැඟු නාඩගම සිංහල නාඩගම් කලාවේ ආරම්භය ලෙස හමුවන පැරණිම ලිඛිත සාක්‍ෂිය වේ. ඒ අනුව නයිඳුගේ නාඩගම් වේගයෙන් ජනගත වන්නට පටන් ගත්තේය.

    - Advertisement -

    ‘නයිඳු’ නාට්‍ය විශාරදයෙක් ද විය. මහනුවර රැඳී සිටි සමයේ නයිඳුගෙන් රජ වාසල සේවයට පැමිණි නුවර ශිල්පී කුලවල ජනයා නාට්‍ය ශාස්ත්‍රය හැදෑරූහ.

    විශේෂයෙන් ම ‘නයිඳු’ අතින් සරල නාඩගම් කරළියට පැමිණීම හුදී ජන සිත් වඩාත් නාට්‍ය කලාවට ළංවීමට හේතුවක් විය. නයිඳුගේ නාඩගම්වල රස දැනුන එක් තරුණයෙක් සියලු කටයුතු අතහැර නයිඳුගේ අතවැසියා වූයේය. ඔහු තෙමේ ‘ජාන්චි සිංඤෝ ‘ ය.

    ‘ජාන්චි සිංඤෝ’ හඟුරන්කෙතින් මහනුවර රජ වාසලට පැමිණ සිටි නවන්දන්න (නවන්දණ්ඩ) කුල පරම්පරාවේ කම්හල් ශිල්ප පරපුරක අයෙකි. තම පියා සමඟ මහනුවර පැමිණි ඔහුට අහම්බෙන් නයිඳුගේ නාඩගම් ඇස ගැටුණේය. විශේෂයෙන් අතිරමණීය නිදහස්වාදී රජකු වූ ශ්‍රී වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ, කලා ලෝලියෙකි. නයිඳුගේ නාඩගම් කලාව තම දැසි දැස්සන් සමඟ රස විඳින්නට තරම් රසික හදවතක් රජුට තිබුණේය. අනෙක ජනතාව ‘ සෙල්ලං නිරිඳු’ ලෙස නරේන්ද්‍රසිංහ රජුට පටබැඳි නාමයකින් ඇමතුවේ නයිඳුගේ නිරිඳු නිසා බවට ද ජනගත කතාවක් වෙයි.

    - Advertisement -

    නයිඳු මෙන්ම නිරිඳු ද එක් භාවමය රස බන්ධයක වෙළී සිටි බව කියවේ. සරාගීත්වයෙන් ද, දාර්ශනිකත්වයෙන් ද පිරි කලාකාමී සෙල්ලක්කාරයකු වූ මෙතුමන්ගේ පාලන සමය මෙවන් රස උත්පාදන කලා නිර්මාණ බිහි වීමට තෝතැන්න සකස්කර දුන්නේය.

    කෙසේ නමුත් නයිඳු සමඟ ‘ජාන්චි සිංඤෝ’ බැඳී ගිය අතර, ජාන්චි සිංඤෝ ද නයිඳු සමග බැඳී ගියේය. එහි ප්‍රතිඵලය වන්නේ ‘නයිඳු’ මහනුවර අතහැර ජාන්චිගේ ගම වූ හඟුරන්කෙත පදිංචියට යෑමය.

    මෙම දෙදෙනාගේ බැඳුම නිසා සිදු වූයේ තම හද බැඳි නාඩගම්කරුවා රජතුමාගෙන් දුරස්ථ වීමය. සිදුවූයේ රජතුමා ද හඟුරන්කෙත මාලිගාවක් තනා එහි පදිංචියට යාමය. සිංහල නාට්‍ය කලාවේ උත්පත්තියට මෙම තුන් ඈඳුණු බැඳීම හේතු වූයේය.

    හඟුරන්කෙතට පැමිණි වීර පරාක්‍රම නරේන්ද්‍රසිංහ රජුත් නයිඳුත් ජාන්චි සිංඤෝගේත් නාඩගම්වලට ඇලුම් කරද්දී මහනුවර රාජ්‍ය පාලනය රජුගේ බිසව් පංතිය වූ නායක්කර දෙමළ පෙළපතේ ආනූභාවයට යටත් වීම සිදු විය. අනෙක් අතින් මහනුවර පදිංචි වී සිටි ‘ජාවේස් ගොන්සාල්වේස්’ වැනි කිතුනු පූජකවරයන්ගේ බලය දෙගුණ තෙගුණ වීමට මෙම සිදුවීම් ද බලපෑවේය.

    මහනුවර රාජධානියේ සොඳුරු ඉසවුවක් වූ හඟුරන්කෙත නිල්වන් කඳු සෙවණෙහි සිංහල නාඩගම් කලාව දෙමළ නාඩගම් කලාව හා මුසු වී උපත ලබන කල සිංහල රජ සිරිත ද්‍රවිඩ ඌරුවට මාරු වීම ද සිදු විය.

    කෙසේ නමුත් නයිඳු සහ ජාන්චි නාට්‍ය කලාවෙන් මුසු වී ගිය අතර, කාලය ගලා යාමත් සමඟ නයිඳු සහ ජාන්චිගේ අවසානය ගැන පැවසීමට තොරතුරු අපට ශේෂව නැත. නරේන්ද්‍රසිංහ රජු පුතුන් නැති රජකු ලෙස මිය ගියේය. රජ කිරුළ නායක්කර්වරුන්ට උරුම විය.

    එහෙත් ජාන්චි සිංඤෝ යළිත් ඉතිහාස පොතින් නැඟී සිටින්නේ ක්‍රි. ව. 1832 දීය. ඒ කොළඹ කොටහේනේදීය. ඔහු යළිත් ජීවමාන වන්නේ ‘ඇහැලේපොළ නාඩගම’ රඟ දැක්වීමත් සමඟය.

    ‘ඇහැලේපොළ නාඩගම’ මුල් ම සිංහල වේදිකා නාට්‍යය ලෙස නාමමාත්‍රිකව මෙන්ම පිටපතක් ද සහිතව ශේෂව තිබෙන පුරාණතම නාඩගම වේ.

    ඇහැලේපොළ නාඩගම නිර්මාණය කළේ ‘පිලිප්පු සිංඤෝ ’ ය. ඔහු නරේන්ද්‍රසිංහ රජතුමා විසින් මෙරට නාට්‍ය කලාව ප්‍රචලිත කිරීමට යෙදවූ නයිඳු සමඟ ඇතවැසිව නාඩගම් කලාව හැදෑරූ ජාන්චි සිංඤෝගේ පුත්‍රයාය.

    ජාන්චි සිංඤෝගේ පුත්‍රයා වූ පිලිප්පු සිංඤෝ විසින් රචනා කරන ලද ‘ඇහැලේපොළ නාඩගම’ ට උඩරට රාජධානියේ ඇදවැටීමේ අනුවේදනාත්මක පුවත විෂය කොට ගෙන තිබේ. මහනුවර රජ මැඳුර සහ හඟුරක්කෙත අවට පැතිර ගිය නාඩගම් කලාව ද කොළඹට පැමිණියේය.

    අගනුවර මහනුවරින් කොළඹට ගෙන ඒමත් සමඟ පිලිප්පු සිංඤෝ ද නාඩගම් කලාව කොළඹට රැගෙන ආවේය. නාඩගම් කලාව මහජන අවධානයට පත් වූ අතර, පසු කලෙක එය වියත් නිර්මාණවේදීන් අතින් සම්භාව්‍ය නාට්‍ය කලාවක් බවට පරිවර්තනය වූයේය.

    විශේෂයෙන් ම පිලිප්පු සිංඤෝ තම පියාගෙන් උකහා ගත් නාඩගම් කලාව ජනතාව අතරට ගෙන ගිය අතර ජෝන් ද සිල්වා සූරීන් එය සම්භාව්‍ය නාට්‍ය කලාවක් බවට පත් කිරීමේ ගමන ආරම්භ කළේය.

    එහෙත් නාට්‍ය ඉතිහාසය සොයා යන බොහෝ නිර්මාණවේදීන්ට ජාන්චි සිංඤෝ අමතකව ඇත. එබැවින් නයිඳු සූරීන් ද ඔහු හද මිතුරු ජාන්චි සිංඤෝගේ ද ජීවන නාට්‍ය සෙවීම සංවේදී ඉතිහාස පුවතක් වේ. එවන් හද බැඳි ඉතිහාස සරණියකට ඔවුහු දෙදෙනා නිමිත්තකි.

     සුජිත් අක්කරවත්ත

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.