24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    කිතුනුවකු විසින් රචිත හටන් කාව්‍යය

    - Advertisement -

     

    උඩරට සෙනරත් රජ දවස පෘතුගීසි සේනාංකයක් භාරව සිටි දොන් කුස්තන්තීනු ද සා වර්ෂ 1618 සිට 1620 දක්වාත්, 1623 සිට 1630 දක්වාත් මෙරට මුහුදුබඩ පළාත්වල පාලකයකු ලෙස කටයුතු කර ඇතැයි ඉතිහාස ග්‍රන්ථවල සඳහන් වෙයි.

    - Advertisement -

    ඔහු මෙරටදී කළ සටන් ගැන “කුස්තන්තීනු හටන” සිංහල හටන් කාව්‍යයේ දැක්වෙයි. එම කාව්‍යයේ ලක්ෂණ දැක්වෙන සංක්ෂිප්ත සටහනකි මේ.

    සීතාවක යුගයට අයත් “කුස්තන්තීනු හටන” 1618-1620 අතර කාලයේ අලගියවන්න කවියා විසින් රචනා කරන ලද හටන් කාව්‍යයකි. දොන් කුස්තන්තීනු ද සා මෙනෙසෙස් ද නොරෙඤ්ඤා නම් වූ පෘතුගීසි සෙන්පතියා දිවයිනයට පැමිණ අන්තෝනි බරෙන්තු හෙවත් කුරුවිටරාල සමඟ මැද්දේගම නගරයේ දී කරන ලද සටන වර්ණනා කරමින් කුස්තන්තීනු හටන රචනා කර ඇත.

    බරෙන්තු ආදීන් පෘතුගිසීන්ට විරුද්ධව අරඹා තිබූ කැරලි මැඩ පවත්වමින් ඔහු කළ දිග්විජය ගුණස්තවයෙන් සිහිකිරීම මෙහි අරමුණය. පෘතුගීසින්ට පක්ෂපාතීව විශේෂයෙන් කුස්තන්තීනු ද සා නමැති සොල්දාදුවාට සමීපව සිටි බව ඔහු ගැන කර ඇති ප්‍රශස්ත ගුණ ගැයීමෙන් පෙනෙයි. විදේශිකයින්ගේ රට බේරා ගැනීමට සේනා මෙහෙය වූ රජුන්ගේ බලපරාක්‍රමය, රණශුරත්වය හා සේනා සංවිධාන දක්ෂතාව ගැන උද්දාමයට ලත් ජන සමාජයක හද ගැස්ම මින් මතු කර දක්වා තිබේ.

    - Advertisement -

    මෙය ප්‍රධාන තැනක් ගන්නේ එක ම හටනක් ගැන ලියවුණ හටන් කාව්‍යයක් වශයෙනි. ගත්කරු ක්‍රිස්තු සමය ගත් අයෙකු බව කෘතිය මුල දී ම පෙනෙයි. කවියා කෘතිය ආරම්භ කරන්නේ කිතුනු දහමේ ත්‍රිමූර්තිය නමස්කාර කිරීමෙනි. මෙතෙක් ලියැ වී ආ කෘති රචනා වූයේ තෙරුවන් නමස්කාර කිරීමෙනි. එය වෙනස් කළ පළමු කෘතිය මෙය වන අතර, ක්‍රිස්තු භක්තිකයකුගේ ප්‍රථම කාව්‍ය කෘතිය ද මෙය වෙයි. කවියා තුළ වූ බෞද්ධ ආභාසය කෘතිය ඇතැම් තැනක දැකිය හැකි ය.

    මෙහි සංග්‍රාම විස්තරය අංග සම්පූර්ණ වුවක් ලෙස සඳහන් කළ හැකි ය. හටන් කාව්‍යයේ වැදගත් ම අංගය වූ මෙම යුද වැනුම ස්වදේශික විමුක්තිකාමීන්ගේත් පෘතුගීසී ආක්‍රමණිකයන්ගේත් ගැටුමෙහි තීව්‍ර අවස්ථා පළ කරයි. හටන් කවක තිබිය යුතු කායකාභ්‍යුදය වීර, භය, බීභත්ස රසයෙන් උද්දීපන, වහසි බස් දෙඩීම, සතුරාගේ ශක්තිය වර්ණනා කිරීම යනාදිය මැනවින් නිරූපණය වී තිබේ. මෙහි කතා නායකයාගේ ගුණ කීමත්, ගමන් විස්තරයත්, දිග්විජයත්, ස්තෝත්‍ර, සන්දේශ හා යුද වැනුම් එක්තැන් කළ රචනාවක් බව පෙනෙයි. මෙම හටනේ බස් වහර සරල ය.

    සමස්ත කෘතිය පුරා ම කවියාගේ ආදීන ප්‍රතිභාව මතු නොවුණත් සමහර තැනක පුරාතන අලංකාර උචිත ලෙස යොදා ධ්වනිතාර්ථ නැංවීමෙන් රසවත් කවි සංකල්පනා ඉදිරිපත් කොට ඇති බව සනාථ වෙයි. කෝලාහල දැඩි වූ ලක්බිමට කුස්තන්තීනු ද සා පැමිණිමෙන් ඇති වු සැනසිලිදායක තත්ත්වය කවියා භාවිතාර්ථවත් ලෙස වර්ණනා කොට ඇත්තේ මෙසේ ය.

    - Advertisement -

    මහත් නියගින් ත ද

    සස් කෙතක් නස්නා ස ඳ

    ගනගුම් කර නොම ඳ

    වැසපු මහ මේ කුළක් ලෙසට ද වශයෙනි.

    මෙම කෘතිය සියුම්ව විමසීමේ දී පැහැදිලි වන්නේ ගැමි කාව්‍ය වර්ගයක් වන ගැටුම මූලික කරගත් කාව්‍ය සම්ප්‍රදායට මෙය අයත් වන බවකි. මෙහි නොයෙක් වර පළමුවන රාජසිංහ රජු ශක්‍රයා හා සමාන කෙරෙන අතර, සටන් බිමේ තත්ත්වය ගැන ජනයාගෙන් විමසන අවස්ථාවේ කවියා දෙව්ලොව ගැන දීර්ඝ විස්තරයක් කරයි. ජන කවියේ ඇති අද්භුතාත්මක බව මින් මතු වේ.

    නරනිඳු සඳ අසමින් සිත තොසි නා

    සක්පුර කොයි සැටි කිය මට ලසි නා

    මැතිවරු වැඳ සිට ගන නොවලසි නා

    පවසති දැනෙනා පමණින් සොඳ නා

    රාජසිංහ රජ ලක්දිව්තලය එක්සත් කළ බැවින් ඔහු අසුරයන් ජය ගත් ශක්‍රයාට සම කළ හැකි බව පැවසේ. ගැමියා අතර පවතින අනාවැකි කීමේ සංකල්පය ද කවියා මෙහිදී භාවිත කර තිබේ. මායාදුන්නේ පුත් කුමරු අසුරසුර ජය ගන්නා, කුඩා කල සිට ම යුදයට යන බව නැකත්කරුවන් කියයි.

    ගැමි කවියේ එක් ලක්ෂණයක් ලෙස වස් කවි කියමින් තම සතුරන්ට දෙස් තබයි. ඉන් අවස්ථාවක් මෙහි ද වේ. සිය සතුරන්ට කඩුවෙන් හෙල්ලෙන් ඇන ඇත්තේ වහසි බස් කියමිනි.

    කියමින් මිග බස නින්දා රුපු හ ට

    අනිමින් ලන්සෙන් රුපු කළ සිදු(රු) කො ට

    කවියා බුදු දහමින් මිදීමට උත්සහ කළ ද එම චින්තන ධාරාවෙන් මිදීමට නොහැකි වූ බව පහත පරිදි මතු කෙරේ.

    තෙරුවන් මහිමෙනු ත් – සුරවරුන් අනුහසින් ත්

    එපුර බලෙනු ත් – උවදුරක් නොමවීය මඳකු ත්

    සිංහල බෞද්ධ සාහිත්‍යය කෙරෙහි කවියාගේ තිබූ ඇල්මත්, ජන කාව්‍යාත්මක බවත් මින් මතු වේ. සෙනරත් රජු මැරවීමට අන්තෝනි බරෙන්තු උත්සාහ කළ නමුත් එය වැරදී ගිය සැටි සඳහන් කරන්නේ ද පිරිසිදු බෞද්ධ පිරිසිදු මුහුණුවරකිනි.

     

    මෙම හටනේ වස්තු විෂය වී ඇත්තේ ඓතිහාසික සිද්ධියක් වන කුස්තන්තීනු ද සා නමැති පෘතුගීසි ජනරාල්වරයා විසින් කරන ලද සටනය. මෙසේ ඉතිහාසගත සිදුවීමක් වස්තු වීම ද, ජන කාව්‍යයක් ලෙස දැක්වීමේ ලක්ෂණයකි. ඉතිහාස කතා පුවත් විස්තර කිරීම නැතිනම් කතා පුවත් තිබීම ජන කවියේ එන ලක්ෂණයකි. මෙම හටනෙහි ද කුස්තන්තීනු ද සා සේනාව සමඟ මෙරටට ගොඩබට මායාදුන්නේ සහ මල්වානේ දී කරන ලද ඉතිහාස පුවත ද විස්තර කර ඇත.

    යුද කාව්‍යයක් වන මෙය යුද දක්ෂතා වර්ණනා කරයි. එසේ වර්ණනා කිරීම ජන කාව්‍යය මෙන් ගැමි ජනයා තුළ පවතින ගැටුම් අවස්ථා ජන කවියෙන් පවසා ඇත. මෙහි තවත් විශේෂ ලක්ෂණයක් නම් බහුශ්‍රැති ප්‍රතිභාපූර්ණ නොවන යෙදුම් භාවිත කිරීමය.

    එමෙන්ම මෙහි බොහෝ කවි එළිවැට, (එළිසමය) රැකෙමින් රචනා කර ඇත.කුස්තන්තීනු හටන වනාහි ජන කාව්‍යාත්මක ලක්ෂණ රැගෙන රචනා කරන ලද කෘතියක් බව හැ‍ඟේ. මෙහි දී කාව්‍යයේ මතු වූ සරල සුගම බස් වහර, සිවුපද ආකෘතිය, සජීවී බව, හෘදයාංගම බව යුදයේ නාට්‍යරූපී බව, වියරණ නොතකා රචනා වීමෙන් කවියෙහි රසය මතු කිරීමද, විරිත් භාවිතයේ විවිධත්වය ද ආදි වශයෙන් බොහෝ ලක්ෂණ රැසක් දැක ගත හැකි වේ.

     

    ජේ. පී. ජීවනී පුෂ්පකුමාරි

    සහකාර කථිකාචාර්ය

    පේරාදෙණිය විශ්වවිද්‍යාලය

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.