24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    එළාරට සුදු හුණු ගාන්නේ ඇයි? ඔහු අදමිටු පාලකයෙකි

    - Advertisement -

     

    (පසුගිය සතියේ පළ වූ “එළාර රජු කළු චරිතයක් ද?” ලිපියට පිළිතුරුකි)

    - Advertisement -

    මෙරට වංශ කථාවලට අනුව එළාර පැමිණියේ දක්ෂිණ භාරතයේ සිට බව කියැවේ. එළාර රජු සෘජු පාලකය කු බව මහාවංසය කියයි. අභිෂේක නොලත් රජකු වූ හෙතෙම සෘජු, යහපත් අයකු බව මහාවංසය සඳහන් කළ ද ‘රාජාවලිය’ පවසන්නේ ඔහු අධර්මිෂ්ඨ පාලකයකු බවය. එය සැබෑවක් විය හැකිය.

    ‘රාජාවලිය ශාස්ත්‍රීය සංස්කරණය’ සඳහන් කරන්නේ එළාර රජු ‘දාගොප් බිඳ අධර්මයෙන් සූසාළිස් අවුරුද්දක් රාජ්ජය කළේය” යනුවෙනි. ඔහුගේ 44 අවුරුදු පාලන කාලය තුළම ඔහුට එරෙහිව රට තුළ කැරැල්ලක් පවා හට නොගත්තේ ඔහු තදබල කෲර පාලකයකු වූ නිසා බව උපමාන කළ හැකිය.

    අ‍ෙනක්, අතින් මහාවංසය දීපවංසය ඇතුළු වංශ කතා ලියවුණේ එළාර පාලනයෙන් සියවස් කීපයකට පසුවය. එබැවින් ඒවායේ එන සෑම කරුණක් ම සත්‍ය ඒවා යැයි සිතිය නොහැකිය. ඇතැම් කතා හුදු සාහිත්‍ය සංකල්ප බව උපකල්පනය කළ හැකිය.

    - Advertisement -

    සර්පයකුගේ බඩ පළා ගසකට තබා ඇණ ගැසීමේ කතාව ඉන් එකකි. සාහිත්‍ය ප්‍රලාපයකි. “දිනක් සර්පයකු, තම ලිහිණි පැටවා ගිල දැමූ බව ලිහිණියක විසින් රජුට දැන ගන්නට ඉඩ සැලැස් වූවාය. රජු තම රාජ පුරුෂයන් ලවා සර්පයා අල්ලාගෙන උගේ බඩ පළා ලිහිණි පැටවා මුදාගෙන චුදිත සර්පයා ගසකට තබා ඇණ ගැසීමට නියෝග කළේය.

    මේ අනුව ලිහිණියකට (සතෙකුට) එළාර රජුගේ “යුක්තිගරුක ධාර්මිෂ්ඨ බව” තේරුම් ගත හැකිව තිබුණේ ද යන්න ගැටලුවකි. අනික් අතින් සර්පයා ලිහිණි පැටවා මරා කෑවා මෙන්ම එළාර රජු ද සත්ව ඝාතනයක් කර ඇත. ඒ සර්පයා මරා දැමීමට අණ දීමෙනි.

    ලිහිණි පැටවා ආහාරයට ගත් පසු ඒ සර්පයා මරා දැමීමෙන් පලක් වේ ද? ඒ උගේ ආහාරයයි. මේ කුමන යුක්ති ධර්මයක් ද?

    - Advertisement -

    මිහින්තලයට ගොස් එද්දී රජුගේ රථය සෑයක ගැටුණේ රියැදුරුගේ වරදිනි. ඒ අවස්ථාවේ රියැදුරුගේ වරදට රජු පවසන්නේ තමාගේ හිස සිඳලන ලෙසය. රජු රථයෙන් බැස ‘චක්‍රයෙන් මාගේ හිස ද සිඳිව්’ යැයි පවසන්නට තරම් එළාර රජු මන්ද බුද්ධිකයෙක් දැයි සිතේ.

    එළාර රජු ක්‍රෑර, එසේ නැතිනම් මානසික රෝගයකින් පෙළුණු රජ කෙනෙක් බව සිතන්නට තවත් කරුණක් ගෙන හැර දැක්වීමට කැමැත්තෙමි.

    එළාර රජුගේ පුතු වැවට ගොස් එද්දී වසු පැටවකු ඔහුගේ රියට යට වී මැරුණු බවත්, එය දුටු මව් වැස්සිය එළාර රජුගේ යුක්තියේ ඝණ්ටාරය නාද කළ බවත්, ඒ අනුව එළාර රජු තම පුතු වසු පැටවකු මැරූ වරදට ඔහු ද රෝදයකට යට කර මරා දැමීමට අණ කළ බවත් මහාවංසය කියයි. (21:16-18 ගාථා). මෙය සිදු විය හැක්කක් ද? මේ මරණ දඬුවම කොතරම් කුරීරු එකක් ද? එවැනි තදබල දඬුවමක් තම පුතුට දෙන පියා ධර්මිෂ්ඨයකු විය හැකි ද? එබැවින් ඔහු කළු චරිතයක් නොවේ ද?

    ඝණ්ටාරයක් හැඬවීමෙන් රජුගෙන් තමාට යුක්තිය ඉටු වන බව එම වැස්සියට කියා දුන්නේ කවුරුන්දැයි යන්න ද ගැටලුවකි.

    පුතු එම වස්සා තම රියට යට කළේ සිතා මතා නොවේ. එය අතපසු වීමකි. එවන් දෙයකට පුතු මරා දමන්නැයි අණ කරන්නට නම් රජු මානසික රෝගියෙක් විය යුතුය. ඇත්තෙන්ම මෙම කතාවට සමාන පැරණි සොළී ජනකතාවක් තිබෙන බව කිව යුතුය.

    මනුචෝළ නම් සොළී රජකු වටා ගෙතුණ කතා රැසක් ද්‍රවිඩ සාහිත්‍යයේ එයි. එම කතා සඳහන් වන්නේ ‘පෙරියපුරාණම්’ සහ ‘මණිමේඛලායි’ යන ද්‍රවිඩ සාහිත්‍ය කෘති තුළය. 12 වැනි සියවසට අයත් පෙරියපුරාණම් කෘතියේ එන කතාවක එළාර මෙන්ම මනුචෝල රජු ද තම පුතා මරන්නට නියම කරයි.

    මෙම කතාව දකුණු ඉන්දියාවේ කෝවිලක ශෛලමය කැටයම් පෙළකින් දක්වා ඇතැයි ආචාර්ය හුල්ෆ් සඳහන් කරයි. කෙසේ වූව ද නොදැන කළ වරදකට නිකරුනේ තරුණයකු මරා දැමීමට අපරාධයකි. ‘කෞටිල්‍යගේ අර්ථ ශාස්ත්‍රය’ කෘතිය සඳහන් කරන්නේ පුතකු මැරීම දරුණු අපරාධයක් බවය.

    දාරක ප්‍රේමය සිතේ තිබෙන පියකු කිසි විටෙක තම පුතු මරා දමන්නට අණ කරයි ද? මෙයින් පැහැදිලි වන්නේ එළාර සුදු චරිතයක් නොව අපරාධකරුවකු බවය.

    මහාවංශයේ 21 වැනි පරිච්ඡේදයේ පාඨයක් උපුටා දක්වමින් මෙසේ කියයි.

    ‘වරක් මැහැල්ලක තම වී පැදුර වැස්සක් වැටී තෙමුණු බවට එළාර රජුට පැමිණිලි කළාය. එහෙයින් එළාර රජු දහවල් කාලයට වැසි නොදෙන මෙන් වරුණ දෙවියන්ට පූජාවක් පැවැත්වීය. ඒ හේතුවෙන් ඉන් පසුව රාත්‍රී කාලයේදී පමණක් වැසි ඇද වැටී මැහැල්ලට සහනයක් සැලසුණේය.

    මෙය ද එළාර රජුගේ හොඳ කියන්නාක් සේ මතුපිටින් පෙනුණ ද එහි යථාර්ථය ගැන මඳක් සොයා බැලුව හොත් කරුණු කිහිපයක්ම සිතට නැගේ.

    ‘දේවෝ වස්සතු කාලේන – සස්ස සම්පත්ති හේතුච – පීතෝ භවතු ලෝකෝච – රාජා භවතු ධම්මිකෝ’ යන ගාථාවෙන් පැවසෙන්නේ රජුගේ දැහැමි බව සහ නිසි කල නිසි වැසි ලැබෙන ආකාරයේ ප්‍රාර්ථනාවකි. ඉහත මහැල්ලගේ සිදුවීමෙන් පෙනී යන්නේ රජු එලෙස වැටෙන වැස්ස පවා වෙනත් ආකාරයකින් පාලනය කිරීමට උත්සාහ දැරූ බවය.

    එදත් අදත් රජරට, ගොවිතැනට මුල් තැන දෙන රාජධානියකි. වියළි කලාපයම වැව් බැඳි රාජ්‍යයකි. එබැවින් නිසි ලෙස ගොවිතැන්බත් කරන්නටත්, ගොවිතැන නිසි ලෙස කිරීම සඳහා අවශ්‍ය ජලය සැපයෙන වැව්වල වතුර පිරීම සඳහාත් රාත්‍රියට පමණක් වැසි ඇද වැටුණොත් එය සෑහේ ද? එක් මැහැල්ලකගේ වී පැදුර තෙමුණ පලියට සමස්ත ගොවි ජනතාවටම වැස්ස පාලනය කරමින් එළාර රජු එදා කළේ යුක්තිසහගත දෙයක් ද? කෙටියෙන්ම කිවහොත් අනුරාධපුර රාජධානියේ ගොවිතැනට රාත්‍රියේ පමණක් වැසි ඇද හැලුණොත් ඇති ද? රජු විසින් රාත්‍රියේ පැය කිහිපයකට වැස්ස සීමා කරවීමට යාමෙන් අනෙක් ගොවීන් (විශාල පිරිසකට) කර ඇත්තේ බලවත් අසාධාරණයක් නොවේ ද?

    අනෙක් අතින් මෙම කරුණ මහාවංසය සඳහන් කරන්නේ ‘නොකල් වැස්සක්’ (අකල් වැස්සක්) ලෙසිනි. එලෙස අකලට වැසි වසින්නේ නම් එයින් පෙන්නුම් කරන්නේ ද එළාරගේ අදමිටු පාලනයයි.

    එළාර රජු බෞද්ධයකු ද නොවේ. ‘අනුරපුර නටබුන්’ කෘතියෙන් කඹුරුපිටියේ වනරතන හිමියෝ ඒ බව සඳහන් කරති. ඉකුත් කටාරම ලිපියේ සඳහන් පරිදි එළාරගේ සේනාවේ බෞද්ධයන් සිටින්නට ඇත. එසේ සිටි පමණින් එළාර ධාර්මිකයකු වී යැයි සිතිය නොහැකිය.

    දස වසරක් මෙරට රජ කළ අසේල රජු හා සටන් කොට ඔහු මරා රජකමට පත් වූ එළාර ආක්‍රමණිකයෙකි. දුෂ්ටයෙකි. එබැවින් ඔහු සුදු චරිතයක් බව කිසිසේත්ම කිව නොහැකිය.

    එළාර සමයේ රුහුණේ රජ කළේ කාවන්තිස්ස රජුය. එළාර කුරිරු රජ කෙනකු නිසා කුමන හෝ අවස්ථාවක ඔහුගෙන් ප්‍රහාරයක් එල්ල විය හැකි යැයි කාවන්තිස්ස රජු මුල සිටම අවධානයෙන් සිටි බව ඉතිහාස ග්‍රන්ථ කියයි.

    එවැනි තර්ජනයක් ඇති වුවහොත් ඊට මුහුණ දීම සඳහා රජු විසින් ආරක්ෂක විධිවිධාන ද යෙදූ බව වංශ කථාවල සඳහන් වේ. එළාරගෙන් ආක්‍රමණයක් එල්ල වී යුද්ධයක් ඇති වුවහොත් එහිදී ආහාර හිඟයක් ඇති වීම වැළැක්වීම සඳහා කාවන්තිස්ස රජු රට ගොවිතැනින් ද සුභික්ෂ කළේය.

    සද්ධාතිස්ස කුමරු දිගාවැව ප්‍රදේශයට යැවීමට තුඩු දුන් තවත් හේතුවක් වූයේ ද ප්‍රදේශය ගොවිතැනින් පෝෂිත කිරීමය. තමාගේ මරණින් පසු සිහසුන සඳහා තම පුතුන් දෙදෙනා අතර සටනක් ඇති වුවහොත් ඒ අවස්ථාව එළාර රජු ප්‍රයෝජනයට ගෙන රුහුණු රාජධානිය ආක්‍රමණය කරනු ඇතැයි කාවන්තිස්ස රජු දැන සිටියේය. මෙයින් පැහැදිලි වන්නේ ද එළාර රජු බලලෝභයෙන් සිටි අයකු බවය. කුමන මොහොතක හෝ ආක්‍රමණයක් කිරීමට පෙර මඟ සිටි අවස්ථාවාදියකු බවය. එවැන්නකු සුදු චරිතයක් වන්නේ කෙසේ ද?

    එළාරගේ රාජ්‍ය කාලය වසර 44 කි. රුහුණේ සිටි කාවන්තිස්ස රජුගේ රාජ්‍ය කාලය ද අවුරුදු 45ක් බව මහාවංසය කියයි. කාවන්තිස්ස රජු ඒ කාලය තුළ රුහුණු ආර්ථික හා ශාසනික වශයෙන් දියුණු කළේය.

    මහාවංසයට අනුව කාවන්තිස්ස රජු විසින් ඉදිකරවන ලද වෙහෙර විහාර සංඛ්‍යාව 64 කි. මාගම තිස්ස මහා විහාරය, සේරුවිල මංගල මහා සෑය, ත්‍රිකුණාමලයේ වෙල්ගම්වෙහෙර, ජාත පබ්බත විහාරය, රුහුණු සිතුල්පව් විහාරය ඉන් කිහිපයකි. ඊට අමතරව කැලණි වෙහෙර පිළිසකර කළේ ද ඔහු බව ‘පූජාවලියෙන්’ හෙළි වේ.

    මේ අනුව බලන විට අනුරාධපුරයේ සිටි එළාර කළේ මොනවාද? ඔහු ජනතාව වෙනුවෙන් ඉටු කළ කිසිවක් ගැන කොතැනකවත් සඳහනක් නැත. වසර 44 ක් පාලනය ගෙන ගිය ද කෘෂිකාර්මික රටක් වූ ලක්බිමේ ඔහු එකම වැවක්වත් හැදුවාද? නැත. වේලි බැඳ කුඩා අගලක් කැණවූ බවටවත් සලකුණක් නැත.

    එකම දාගැබක්වත් හැදුවේ නැත. වෙනත් පුදබිමක් තැනුවේ ද නැත. ඒ බවට කිසිදු සාධකයක් නැත. එබැවින් ඔහු කිසිසේත්ම සුදු චරිතයක් නොවේ. ඔහු ආක්‍රමණිකයෙකි. රටට ජනතාවට කිසිවක් නොකළ අදමිටුවෙකි.

    ඒ අදමිටු පාලනයෙන් ජනතාව මුදාගෙන බුදුදහමත් ජනතාවත් නඟාසිටුවීමට දැවැන්ත ව්‍යාපෘතියක් ආරම්භ කළේ කාවන්තිස්ස රජු පුත් ගැමුණු කුමරුය. ඔහු උපන්නේම රට ජාතිය බේරා ගැනීමටය. එළාර නමැති අදමිටුවා පරාජය කොට ලක්බිම බුදු සසුන යළි ස්ථාපිත කිරීමටය. එබැවින් එළාර සුදු චරිතයක් නොවන බවත් ඔහුට සුදුහුණු ගෑම අනවශ්‍ය කටයුත්තක් බවත් පෙන්වා දිය යුතුව තිබේ.

     ධම්මිකා දමයන්ති රාජකරුණා

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.