24 C
Colombo
Saturday, October 16, 2021
More

    Latest Posts

    ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි සියයේ අතීත කතාව

    - Advertisement -

     

    මීට සියවස් හතරකට එහා මෙරටට පැමිණි පෘතුගීසි සෙබළකු වූ රිබෙයිරෝ එදා එරට රජුට ලියා දන්වා ඇත්තේ ‘ලක්බිම’ සිතූ පැතූ සම්පත් ගෙන දෙන පාරාදීසයක් බවය. එය සැබෑවකි. ශ්‍රී ලංකා භූමිය සැබවින්ම වාසනාවන්ත දිවයිනකි. ක්‍රිස්තු පූර්වයේ සිටම මුළු ලෝකයේම ඇස් මේ රන් දිවයින කෙරෙහි යොමු වූයේ එනිසාය. ලොව අනගිතම කුළුබඩු, ලොව වටිනාම කුරුඳු, ලොව මිලෙන් අධිකම ඇත් දළ, හිරු නොබසින අධිරාජ්‍යයේ රජ කිරුළ සැරසූ මුතු මැණික් මෙන්ම ඓතිහාසික ප්‍රෞඪ ඉතිහාසයක් ද ඇත්තේ මේ සොබා සෞන්දර්යයෙන් සපිරි ලක්බිමටය.

    - Advertisement -

    එදා මෙන්ම අදත් ලොව ප්‍රබල රටවල් පවා ශ්‍රී ලංකාව දෙස දෑස් විශාල කර බලා සිටින්නේ ලොව කොතැනකවත් නැති සම්පතක් දෙස බලා සිටින්නාක් මෙනි. ඒ අතරින් මෙරට ස්වාභාවික වරායක් වූ ත්‍රිකුණාමලය දෙස බොහෝ රටවල් විමසිල්ල යොමු කරන බව නොරහසකි. මෙවර ‘කටාරම’ එක් පිටුවක් වෙන් කරන්නේ අද කාගේත් කතාබහට ලක්ව ඇති ත්‍රිකුණාමල වරාය අසල පිහිටි පැරැණි තෙල් ටැංකි 101 පිළිබඳව අතීතය සොයා බැලීමටය.

    දහඅට වැනි සියවසේ දී ත්‍රිකුණාමලය අයත්ව තිබුණේ ලන්දේසි ග්‍රහණයටය. එය වර්ෂ 1782 ජනවාරි 08 වැනිදා බ්‍රිතාන්‍යයන් විසින් අත්පත් කර ගන්නා ලදී. එහෙත් එම වසරේම අගෝස්තු 29 දා ත්‍රිකුණාමලය ප්‍රංස හමුදාවන්ට නතු විය. 1883 දී ප්‍රංශය නැවත වතාවක් එය මහා බ්‍රිතාන්‍යයට පවරා දුන්නේය. පැරිස් සාම ගිවිසුම (වර්සේල්ස්) යටතේ ත්‍රිකුණාමලය යළි බ්‍රිතාන්‍යය විසින් ලන්දේසීන්ට පවරා දුන්නේය. වර්ෂ 1795 දී බ්‍රිතාන්‍යය නැවතත් ත්‍රිකුණාමලය අත්පත් කර ගත් අතර 1948 ශ්‍රී ලංකාවට නිදහස දීමට ක්‍රියා කරන තුරුම එහි පාලනය ගෙන ගියේය. ත්‍රිකුණාමලය හරහා ඉන්දියාවේ කොරමැන්ඩල් වෙරළ ප්‍රදේශය මෙන්ම ඉන්දියානු සාගරයේ සෙසු ප්‍රදේශවලත් පාලනය ශක්තිමත් නාවුක හමුදාවකට පවත්වා ගෙන යා හැකි යැයි බ්‍රිතාන්‍යයන්ගේ විශ්වාසය විය.

    එනිසා අද්මිරාල් හොරැටියෝ බ්‍රිතාන්‍යයේ පළමු වංශාධිපති නෙල්සන්ට දන්වා සිටියේ ත්‍රිකුණාමලය වනාහී ලොව අතිවිශිෂ්ටම වරාය බවය. එවක බ්‍රිතාන්‍ය අගමැති විලියම් පිට් එය හැඳින්වූයේ “ලොව ඇති ඉතාම වටිනා යටත් විජිත හිමිකම” එය බවය.

    - Advertisement -

    ලක්බිම ඉංග්‍රීසින්ගේ යටත් විජිතයක් වී සියවසක් ගත වනවිට ත්‍රිකුණාමලයේ මුල් වරට ගුවන් යාත්‍රාංගණයක් ඉදිකෙරිණි. ඒ දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරඹීමටත් පෙරය. චීන බොක්ක (CHINA BAY) නමින් හැඳින්වෙන ස්ථානයේ බ්‍රිතාන්‍ය රාජකීය ගුවන් හමුදාව (RAF) ස්ථාපිත කළ අතර බ්‍රිතාන්‍ය හමුදා නාවුක බළඇණි සඳහා ඉන්ධන ගබඩා කිරීම ඇතුළු ආධාරක පහසුකම් එහි දී සැපයීම ද ආරම්භ කෙරිණි.

    ත්‍රිකුණාමලය – කින්නියා මහා මාර්ගයේ එක් පසෙකින් දක්නට ලැබෙන්නේ චීන බොක්ක ප්‍රදේශයයි. 1927 දී එම ප්‍රදේශයේ මුලින්ම තෙල් ටැංකි කිහිපයක් ඉදිකිරීම ආරම්භ කෙරිණි. බ්‍රිතාන්‍ය නාවුක හමුදා කඳවුර පිහිටුවා තිබුණේ ත්‍රිකුණාමල ස්වභාවික වරාය පසෙකය. අනෙක් පසින් ඉදි කෙරුණේ ආරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය භාණ්ඩ ගබඩා සහිත කඳවුරකි.

    මුලදි අක්කර 67ක් පුරා පැතිරුණු ප්‍රදේශයක තෙල් ටැංකි ඉදිකිරීම ඇරැඹිණි. ක්‍රමයෙන් ඉහළ කොටසේ තෙල් ටැංකි 86ක් ද, පහළ කොටසේ ටැංකි 15 ක් ද වශයෙන් තෙල් ටැංකි 101ක් ඉදිකිරීමට සැලසුම් කළ අතර 100 වැනි ඉදිකිරීම කිසියම් හේතුවක් නිසා නොකෙරිණි. එබැවින් අද දක්නට ලැබෙන්නේ තෙල් ටැංකි සියයක් පමණි. ඊට අයත් සම්පූර්ණ භූමි ප්‍රමාණය අක්කර 850 කි.

    - Advertisement -

    මෙම ටැංකි ඉදිකෙරුණේ අඟලක ඝනකමක් ඇති ඝන වානේ තහඩුවලිනි. වරාය අසල ඇති ටැංකි අඩියක් ඝනකමැති කොන්ක්‍රීට් වළලුවලින් ආවරණය කර ඇත. ඒවා ඉදිකිරීම සඳහා එදා බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයට අයත්ව තිබූ අප්‍රිකානු ජනපදවලින් කම්කරුවන් ගෙන්වා ගත් බව සඳහන් වේ.

    1930 වසර වන විට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයේ මිත්‍ර හමුදාවන්ට අයත් නැව්වලට ඉන්දීය සාගරයේදී තෙල් සැපයූවේ ත්‍රිකුණාමලයේ පිහිටි මෙම තෙල් ටැංකිවලිනි. ඒ වනවිට මේ කාර්යයෙහිලා මූලිකත්වය ගෙන කටයුතු කළේ මවුන්ට් බැටන් සාමිවරයාය.

    මෙම ටැංකි සංකීර්ණයේ එක් ටැංකියක් තුළ තෙල් මෙට්‍රික් ටොන් 12,100 ක් ගබඩා කළ හැකි බව ගණන් බලා තිබේ. ඒ අනුව එදා මෙම තෙල් ටැංකි 100 තුළ පිරිපහදු කරන ලද ඉන්ධන මෙට්‍රික් ටොන් දස ලක්ෂයකට මඳක් වැඩි සංඛ්‍යාවක් ගබඩා කර තිබූ බව පැවසේ.

    1939 සැප්තැම්බර් මාසයේදී දෙවන ලෝක මහා සංග්‍රාමය ඇරඹිණි. එහිදී බ්‍රිතාන්‍ය මිත්‍ර හමුදා නෞකාවට තෙල් සැපයුණු මධ්‍යස්ථානය වූයේ ත්‍රිකුණාමලයයි. එදා ඈත පෙරදිග ප්‍රධානතම සැපයුම් කඳවුර ලෙස සැලකුණේ ද ත්‍රිකුණාමලයයි. සිංගප්පූරුවේ නාවික ආධාරක සහාය අහිමිවීමෙන් පසු ත්‍රිකුණාමලය රාජකීය නාවික හමුදාවේ නැගෙනහිර බළඇණියේ සහ ඕලන්ද නාවික හමුදාවේ සබ්මැරින වරාය බවට ද පත් විය.

    1942 අප්‍රේල් මාසයේදී ජපන් හමුදාව ඉන්දීය සාගරය ආක්‍රමණය කරමින් බ්‍රිතාන්‍ය හා අමෙරිකානු කඳවුරු පිහිටි ස්ථානවලට ගුවන් ප්‍රහාර එල්ල කළේය. අප්‍රේල් 09 වැනිදා අලුයම ත්‍රිකුණාමලයට එක් ප්‍රහාරයක් එල්ල වූයේ ශ්‍රී ලංකාව භෞමික, නාවුක හා අහස් යුද්ධ බලස්ථානයක් ලෙස ලොවටම වැදගත් වූ නිසාය.

    එක් ජපන් ප්‍රහාරක යානයක් පදවාගෙන ආවේ ෂිගෙනොරි වටනබේ නමැති නියමුවාය. එම යානයට ගුවන් යානා නාශක වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීම නිසා එම යානය ත්‍රිකුණාමලයේ 91 වැනි තෙල් ටැංකිය මතට වැටී කිමිද ගියේය. (එසේ විනාශ වූ තෙල් ටැංකිය යළි පිළිසකර කෙරුණේ නැත.)

    තෙල් ටැංකියට වැටුණු ගුවන් යානය නිසා හටගත් ගින්න සතියක් පුරා ඇවිළිණි. යානය ද තෙල් ටැංකිය ද පිලිස්සී ඇඹරී ගියේය. ගින්නෙන් උණු වී ගිය ලෝහ අවශේෂ සමඟ එහිම සුන්බුන් වී පිලිස්සී ගිය යානයේ සැකිල්ල පමණක් ඉතිරි විය. එම සුන්බුන් අතර දැවී ගිය නැවියකුගේ යැයි සැලකෙන හිස් කබලක් පසුකලෙක කොළඹ ගුවන් හමුදා කෞතුකාගාරය වෙත ගෙන ආවේය.

    1948 ශ්‍රී ලංකාවට බ්‍රිතාන්‍ය අධිරාජ්‍යයෙන් නිදහස ලැබීමෙන් පසු එම තෙල් ටැංකි පූර්ණ වශයෙන් භාවිතයට නොගැනිණි. ඇතැම් තෙල් ටැංකි ප්‍රයෝජනයට නොගෙන අතහැර දැමිණි. ක්‍රමයෙන් එම තෙල් ටැංකි මහජන අවධානයෙන් ගිලිහී ගිය අතර බොහෝ ටැංකි වටා වනගහනය පැතිරිණි.

    1960 දශකයේ මුල් කාලයේ දිනෙක රාජකීය ලංකා ගුවන් හමුදාවට අයත් යානයක් ද අනතුරකට ලක් වී තෙල් ටැංකියක් මතට ඇද වැටීමෙන් වැනසී ගියේය.

    මෙම තෙල් ටැංකි සංකීර්ණය 1955 වසරේ දී පවුම් දෙලක්ෂ පනස් දහසක් ගෙවා බ්‍රිතාන්‍යයෙන් ලංකා ඛනිජ තෙල් සංස්ථාව වෙත පවරා ගත්තේය. එදා සිට 1984 වසර වන තුරුම මෙම තෙල් ටැංකි පාලනය වූයේ ඛනිජ තෙල් සංස්ථාව යටතේය.

    ඉන් ටැංකි හයක් 1980 දශකය මුලදී ප්‍රතිසංස්කරණය කර ඛනිජ තෙල් සංස්ථාව එහි පිරිපහදු කළ තෙල් සහ වායු ඉන්ධන ගබඩා කර තැබීමට ඒවා භාවිත කළේය. ඒ දක්වා මෙම තෙල් ටැංකිවලට යාබදව ඉන්ධන සපයන ජැටියේ යාත්‍රා 30000ක් නවතා තැබීමට හැකිව තිබිණි.

    කෙසේ වූව ද මෙම තෙල් ගබඩා සංකීර්ණය බදු දීම පිළිබඳව 1980 දශකයේ සිටම විවිධ ගැටලු පැනනැගිණි. ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා ලෙස ක්‍රියා කරද්දී මෙම තෙල් ගබඩා බදු දීම සඳහා කරුණු සොයා බැලීමට ඛනිජ තෙල් සංස්ථාවේ සභාපතිවරයා ද ඇතුළත් කමිටුවක් පත් කළේය. ඒ අනුව විදෙස් සමාගම් සඳහා තෙල් ටැංකි බදු දීමේ ක්‍රියාවලිය එතැන් සිට ඇරඹිණි.

     

    (ත්‍රිකුණාමලය තෙල් ටැංකි ලබා ගැනීමේ ලංසුවෙන් ඉන්දියාව පැරදුණ කතාව ඇතුළත් තෙල් ටැංකිවල දේශපාලනයේ කතාව සඳහා හෙට ‘දිනමිණ’ සමඟ පළ කෙරෙන ‘දේශවංශය’ කියවන්න.)

     

    බන්ධුල ගුණරත්න

     ඡායරූප අන්තර්ජාලයෙනි

     

    The article first published on dinamina.lk ⋆෴⋆

    - Advertisement -

    Latest Posts

    Don't Miss

    Stay in touch

    To be updated with all the latest news, offers and special announcements.