එල්ලේ ක්‍රීඩකයා ඝාතනයට සැක හමුදා සාමාජිකයෝ 29 දා තෙක් රිමාන්ඩ්

41
Author(s): 
සිරන්ජනි කුමාරි

තොටළඟ එල්ලේ ක්‍රීඩා කණ්ඩායමේ නායකයා මරා දැමීමේ සිද්ධියට අදාළව යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල්වරයා ඇතුළු සැකකාර යුද හමුදා සාමාජිකයන් 15 දෙනා ලබන 29 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනි අබේවික්‍රම මහත්මිය ඊයේ (15) නියෝග කළාය.

සිද්ධිය සම්බන්ධයෙන් වූ විමර්ශන තවමත් අවසන් නොමැති බැවින් සැකකරුවනට ඇප ලබා දුනහොත් සාක්ෂිවලට බලපෑම් ඇති විය හැකි බවට පොලිසිය විසින් කරනු ලැබූ ඉල්ලීමක් සැළකිල්ලට ගෙන මහේස්ත්‍රාත්වරිය මෙම නියෝගය නිකුත් කළාය . යුද හමුදා ගැමුණු හේවා බළකායේ මෝදර කඳවුරේ අණදෙන නිලධාරී ලුතිනන් කර්නල් අනූජ සමන්ත තිලකරත්න, මියගිය එල්ලේ ක්‍රීඩකයාගේ බිරිය වන ග්‍රාමනිලධාරිනිය, කෝප්‍රල්වරයා, යුද හමුදා සාමාජිකයන් ඇතුලු 15 දෙනකු මෙලෙස අධිකරණය මගින් රක්ෂිත බන්ධනාගාරගත කර තිබිණි. තොටළඟ එල්ලේ කණ්ඩායමේ නායකයා වශයෙන් සිටි රාගම බටුවත්තේ පදිංචි අකිල සම්පත් රත්නසිරි නමැති 36 හැවරිදි තිදරු පියෙක් මෙලෙස ඝාතනයට ලක්ව තිබිණි.

පසුගිය අගෝස්තු මස 17 වැනි දින සිට එම මියගිය පුද්ගලයා අතුරුදහන් වූ බවට ඔහුගේ බිරිය පොලිසිය වෙත පැමිණිල්ලක් කර ඇති අතර සිදු කළ විමර්ශන වලදී අතුරුදහන් වූ මෙම පුද්ගලයාගේ සිරුර පසුගිය 20 වැනි දින අතපය මුහුණ ගැටගසා මට්ටක්කුලිය කාක්ක දුපතේ දමා තිබියදී සොයාගෙන තිබිණි.

The article first published on dinamina.lk ⋆෴⋆