රඟන නටන චරිත අතර

    46

    බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව මිනිසකුට ලැබිය හැකි උතුම්ම ධනය වනුයේ සතුටයි. සතුට යනු සරලව විග්‍රහ කළ නොහැකි සංකීර්ණ දෙයකි. පුද්ගලයකු හට තම ජීවිත කාලය පුරාවට සතුට මෙන් ම දුක ද සමව විඳ දරා ගැනීමට සිදු වෙයි. සතුට යනු මේ යැයි නිර්වචනය කළ නොහැක්කේ එය පුද්ගල බද්ධ වීම නිසාවෙනි. එනම් එය එක් එක් පුද්ගලයන් පිළිගනු ලබන්නේ එක් එක් ආකාරයෙනි. එක් අයකු සතුටු වන දෙයක් තව අයකු හට අසතුටක් ගෙන දිය හැක.

    ඇතැමෙක් තවකකු හට යමක් දී සතුටු වෙයි. ඇතැමෙක් තවකකුගෙන් යමක් ලබාගෙන සතුටු වෙයි. ඇතැමෙක් තවකෙකු රිදවා සතුටු වෙයි. ඇතැමෙක් තවකකු හට මෛත්‍රී කර සතුටු වෙයි. එසේනම් සමාජයේ සෑම අයෙක්ම සිටින්නේ සතුටින් ද? එය මැනිය හැක්කේ කෙසේ ද? සතුට යනු පුද්ගලයෙකුගේ සිනහවකින් මැනිය හැක්කක් නොවේ. එය මැනිය හැක්කේ එම පුද්ගලයාගේ ආධ්‍යාත්මයට කිඳා බැසීමෙන් පමණි.

    පුද්ගලයා සෑම විටම සමාජය තුළ කිසියම් රංගනයක නියැළෙමින් සිටියි. ඔහු සෑම විටම උත්සාහ කරනු ලබන්නේ වෙනත් කෙනකු අනුකරණය කිරීමටයි. එහිදී තමාට ළඟා කරගත නොහැකි දේවල් පසුපස හඹා යෑමට ඔවුන් පෙළඹෙයි. පුද්ගලයකුගෙන් සතුට ගිලිහී යෑමේ මූලාරම්භය මෙයයි. පුද්ගලයා කිසිවිටෙක ලද දෙයින් සතුටු වනනේ නැත. ඔවුන් තමාට නොලැබුණු හා තමාගෙන් දුරස් වූ දේ පිළිබඳ සිතමින් පසුතැවෙයි. එවිට ඔවුන්ගෙන් සතුට දුරස් වේ.

    බොහෝ පුද්ගලයන් සතුට ලෙස පිළිගනු ලබන්නේ අධික ධනයක් රැස් කර ගැනීමයි. ඒ සඳහා ඔවුන් දිවා රෑ වෙහෙසෙයි. තමාට කොපමණ ධනයක් ලැබුණත් ඔවුන් එයින් සතුටු වන්නේ නැත. තම ජීවිත කාලය පුරාවටම ධනය රැස් කරගැනීම සඳහා ඔවුන් වෙහෙස දරයි. ඇතැම් විට ජීවිතයේ සතුටු විය හැකි වෙනත් අවස්ථා ඔවුන්ගෙන් මඟහැරී යයි.

    පුද්ගලයන් සෑම විටම අන් අයට ඊර්ෂ්‍යා කරමින්, වෛර කරමින් ජීවත් වීමට උත්සහ දරයි. තමාට වැදගත්කමක් නැති දේවල් පිළිබඳ සිතමින් පසුතැවෙමින් සිටියි. එවන් පුද්ගලයන්ගෙන් සතුට දුරස් වේ කුඩා දරුවන් හට මෙවන් ප්‍රශ්න නැත. එම නිසා ඔවුන් සෑම විටම සිටින්නේ සතුටෙනි. එනමුත් පුද්ගලයා කෙමෙන් පරිණත වන විට පැමිණෙන අභියෝග හමුවේ පුද්ගලයාගෙන් සතුට දුරස් වේ. පුද්ගලයකු තම ජීවිතයට ළං කරගනු ලබන පුද්ගලයන් මඟින් ද ඇතැම් විට සතුට ගිලිහී යා හැකිය. සෑම විටම තමා ලද දෙයින් සෑහීමකට පත් වීමට හැකිනම් එම පුද්ගලයා සතුව සතුට පවතියි. තමන්ට සරිලන ලෙස සරල ජීවිතයක් ගත කරමින් ජීවත් වන පුද්ගලයා සතුව ද සතුට පවතියි. එම නිසා සෑම විටම ඔබ, ඔබම වන්න. එවිට සතුටින් සිටීමේ මාර්ගය ඉබේම උදා වනු ඇත.

    රුවන්ති චතුර්යා

    The article first published on dinamina.lk ⋆෴⋆