සමාජ මාධ්‍ය යුක්තිය විසඳීමේ මඟ නොවේ

22
16 ඔක්තෝබර්, 2021

 

සුගිය එකොළොස් වැනිදා පැවැත් වුණු අමාත්‍ය මණ්ඩල රැස්වීමෙදී එළඹි තීරණ අතර සයිබර් ආරක්ෂණය පිළිබඳ නීති සම්පාදනය කිරීම පිළිබඳව අවධානය යොමු කර තිබිණි. මෙහිදී ආරක්ෂක සයිබර් විධිවිධාන පනත නමින් නව පනතක් කෙටුම්පත් කිරීමේ අවශ්‍යතාව සාකච්ඡාවට ගැණිනි. ඒ අනුව විද්‍යුත් සන්නිවේදනයේ දියුණුවත් සමඟ ත්‍රස්තවාදී කණ්ඩායම් සහ අපරාධකරුවන් විසින් ත්‍රස්තවාදී ක්‍රියාකාරකම්, සංවිධානාත්මක අපරාධ සහ සමාජ විරෝධී ක්‍රියාවන් සඳහා සයිබර් අවකාශය සහ විද්‍යුත් සන්නිවේදනය භාවිත කිරීමට පෙලඹී සිටීම ඊට හේතුවය. සයිබර් අවකාශය හරහා කෙරෙන විද්‍යුත් සන්නිවේදනය ජාතික ආරක්ෂාවට සෘජුවම බලපෑම් ඇති කළ හැකි සාධකයක් බවට හඳුනාගෙන තිබේ.

සයිබර් ආරක්ෂාව සහ ඒ සඳහා වන ආයතනික ව්‍යූහයක් සකස් කිරීම තාක්ෂණ අමාත්‍යාංශයේ විෂය පථය යටතට පැවරී ඇති කාර්යයකි. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ආරක්ෂක අමාත්‍යාංශය, තාක්ෂණ අමාත්‍යාංශය සහ අදාළ අනෙකුත් පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ආරක්ෂක ක්ෂේත්‍රයට අදාළව සයිබර් ආරක්ෂා වේ විධිවිධාන ඇතුළත්ව ඉහත සඳහන් කළ පරිදි වෙනම පනත් කෙටුම්පතක් සම්පාදනය කිරීම යෝග්‍ය බව තීරණය කර ඇත.

මෙමඟින් ජාතික ආරක්ෂාවට අදාළ කරුණු හැරුණු විට ජාතික තොරතුරු සහ සයිබර් ආරක්ෂණ උපාය මාර්ගය ක්‍රියාත්මක කිරීම සඳහා වන නියාමන රාමුවක් නිර්මාණය කිරීම, එම කාර්යය සඳහා අනෙකුත් සහයෝගී ආයතන සමඟ කටයුතු කිරීම පිණිස ශ්‍රී ලංකා සයිබර් ආරක්ෂණ නියෝජිතායතනය ස්ථාපිත කිරීම පිණිස විධිවිධාන සැලසීම, රට තුළ තීරණාත්මක හා අතිශය වැදගත් තොරතුරු සම්බන්ධය යටිතල පහසුකම් ආරක්ෂා කිරීම සඳහා අවශ්‍ය නෛතික විධිවිධාන හඳුන්වාදීම, සයිබර් ආරක්ෂාවට ඇති වන අවධානම් සහිත ක්‍රියාකාරකම් වැළැක්වීම සහ රට තුළ විධිමත් සයිබර් ආරක්ෂණ පරිසරයක් නිර්මාණය කිරීම යන අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස නව නීති හඳුන්වා දීමේ අවශ්‍යතාව පැන නැඟී ඇත.

ඒ අනුව ආරක්ෂක අමාත්‍ය සහ තාක්ෂණ අමාත්‍ය වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂයන් ඉදිරිපත් කරන ලද යෝජනා සැලකිල්ලට ගෙන ඉහත සඳහන් පනත් කෙටුම්පත් දෙක සකස් කිරීම් පිණිස අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දී ඇත.

නිදහස් අදහස් දැක්වීමේ අයතිය ව්‍යවස්ථානුකූලව පිළිගෙන ඇතත් ප්‍රජතන්ත්‍රවාදයේ අර්ථයෙන් ගත් කල එය අනෙකාගේ මානව අයිතීන් උල්ලංඝනය වන තැනකට ගමන් නොකළ යුතුය. එසේ වුව වර්තමානයේ සමාජ මාධ්‍ය උපයෝගී කරගෙන කිසියම් සිද්ධියක් මුල් කරගෙන ඕනෑම අයකුට චෝදනා එල්ල කිරීම, වරදකරුවකු කිරීම පමණක් නොව ඉන් එහා ගොස් තීන්දු තීරණ ලබාදීමද සිදු කරයි. මෙනිසා ඒ සඳහා අදහස් ප්‍රකාශ කිරීමේ ප්‍රජාතන්ත්‍රවාදී අයිත­ියට යටත්ව කිසියම් නියාමනයක් සිදු කිරීම යෝග්‍ය වූවකි.

තුලනාත්මකව හා මැදහත්ව යමක් තේරුම් ගැනීමට ඇතමකුට අසීරුය. විශේෂයෙන්ම දරුණු අපරාධයක්, ලොකු අනතුරක් හෝ ත්‍රස්ත ක්‍රියාවක් සිදු වූ අවස්ථාවක, එයට වගකිව යුත්තන් ඉක්මණින් සොයා ගෙන ‘දැඩි දඬුවම්’ දිය යුතු බවට ප්‍රබල ජනමතයක් ඒ තුළින් මතු වේ. අපරාධ විමර්ශන සහ යුක්තිය පසිඳලීමේ නිල ක්‍රියාදාමයන් සිදු කිරීමේදී කල් ගත වීම සමහරකුට ඉවසුම් නොදෙන කාරණයක් විය හැකිය. ඇතැම් විට එවැනි ආවේගශීලී පුද්ගලයන් නීතිය අතට ගෙන ක්‍රියා කිරීමට පෙලඹෙන අවස්ථාද දැකිය හැකිය.

කොවිඩ් 19 තත්ත්වය හේතුවෙන් මිනිසුන් නිවසට කොටුවීම නිසා සමාජ මාධ්‍ය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්නට ඇත. ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයේ දත්තවලට අනුව 2019 වසරට (2662 සිදුවීම් වාර්තා වී ඇත) සාපේක්ෂව 2020 වර්ෂයේ (15895 සිදු වීම් වාර්තා වී ඇත) සමාජ මාධ්‍ය ආශ්‍රිත සිදු වීම් වාර්තා වීම ඉතා ඉහළ අගයක් ගෙන තිබේ. සමාජ මාධ්‍ය අවභාවිතය සඳහා මිනිසුන් යොමු වීම පිළිබඳව විමසීමේදී අදාළ මාධ්‍ය භාවිත කරන්නා විසින් නිර්මාණය කරන අන්තර්ගතය (user generated content) පිළිබඳ අවධානය යොමු කිරීම වටී.

තමන් කැමති ඕනෑම දෙයක් සමාජ මාධ්‍ය ඔස්සේ විසරණය කිරීමේ හැකියාව පවතින බැවින් වගකීම් සහගත පුරවැසියන් ලෙස කල්පනා කර මෙකී අන්තර්ගතය අප සැලසුම් කරන්නේ නිවැරදි ආකාරයෙන්ද යන්න විමසීම ඉතා වැදගත්ය. එසේ වුවත් ව්‍යාජ තොරතුරු, දුස් තොරතුරු සමාජ මාධ්‍යය ඔස්සේ විසරණය කිරීමට ඇතැමුන් පෙලඹී සිටිති. මෙනිසා ගැටලු රාශියක් ඇතිව තිබේ.

මාධ්‍යවේදීන් ලෙස ගවේෂණාත්මක වාර්තාකරණය ඔස්සේ සොයා දැන සමජාගත කළ යුතු තොරතුරු ඇතැම් දෙනා උපකල්පන ඔස්සේ ගොඩනඟන අදහස් ආශ්‍රය කරගෙන ෆේස් බුක් ඔස්සේ වාර්තා කිරීමට පෙලඹී සිටිති. එය අනෙක් අය විචාරයකින් තොරව හුවමාරු කරයි. මේ නිසා වැරදි තොරතුරු ව්‍යාප්ත වීම ද ඉහළ ගොස් තිබේ. ඉන් සමාජය නොමඟ යාමට ඇති ඉඩකඩ වැඩිය. එක් අතකට විද්‍යුත් මාධ්‍ය මඟින් ඇතැම් තොරතුරු සැඟවීමද මෙවැනි දේ සිදුවීමට හේතු වී තිබේ. කෙසේ නමුත් මේ දේවල් නීති නියාමන අනපනත් මඟින් නිවැරදි කිරීමට යාමේදී බොහෝ ගැටලු ඇති වීමට ඉඩ තිබේ. එනිසා මෙය වගකීම් සහගත මානව භාවිතාවක් ලෙස කල්පනා කරමින් කටයුතු කළ යුතු බව කැලණිය විශ්වවිද්‍යාලයේ ජනසන්නිවේදන අධ්‍යනාංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය නීතීඥ දිනිති ජයසේකර අප සමඟ පැවසීය.

අපි කිසියම් පුවත්පතකට සම්මුඛ සාකච්ඡාවක් ලබාදුන් විට එම මුද්‍රිත මාධ්‍යයේ කතුවරයා සහ උපසංස්කාරකවරු ඒ සාකච්ඡාව කියවා සමාජ ආචාරධර්ම හෝ මාධ්‍ය ආචාරධර්ම ඉන් උල්ලංඝනය වී ඇතැයි හැඟී ගියහොත් සාකච්ඡාව ලබා දුන් තැනැත්තාගේ අදහස විකෘති නොවන ලෙස එය නැවත සංස්කරණය කර පළ කරයි. එනම් කිසියම් පෙරහනක් ඒ තුළ තිබේ. නමුත් සමාජ මාධ්‍ය ඇති වීමත් සමඟ මෙම පෙරහන ඉවත් වී ඇත.

සමාජ මාධ්‍ය තුළ ඔවුන්ගේම වූ ආචාරධර්ම පද්ධතියක් තිබිය හැකි වුවත් විවිධ භාෂාවලින් අදහස් හුවමාරු කිරීමේදී ඇතිවන මෙවැනි තත්ත්වයන් පාලනය කිරීමට ඔවුන් අසමත්ය. උදාහරණයකට සිංහල මාධ්‍යයෙන් කෙනෙකු තබන සටහනක් මඟින් තවත් අයකුගේ මානව අයිතීන් උල්ලංඝනය වී ඇති බව එකී සමාජ මාධ්‍යට කරුණු පැහැදිලි කළ ද බොහෝවිට ඔවුන්ට එය වටහා දීම අසීරු වේ. අනෙක් අතට බොහෝදෙනා පිළිගන්නා හොඳ අදහසක් වුව ඔවුන් අතින් වාරණය විය හැකිය. ඊට හේතු ඔවුන් නරක යැයි පිළිගන්නා වචන කිහිපයක් ඊට ඇතුළත් වී තිබීම විය හැකිය. අප වැනි ඉංග්‍රිසි භාෂාව අඩුවෙන් යොදාගන්නා රටවලවලට එය ඉතා අසාධාරණ තත්ත්වයකි. ඉන් පෙනී යන්නේ සැමට සාධාරණ පෙරහනක් මේ තුළ ක්‍රියාත්මක නොවන බවයි. එනිසා සමාජ මාධ්‍ය අවකාශය තුළ තනිතනි ලෝකවලවල වෙසෙන ගෝත්‍රික මිනිසුන් බිහිවෙමින් ඇති බව ප්‍රවීණ මාධ්‍යවේදී සමන් ආතාවුදහෙට්ටි පවසයි.

සමාජ මාධ්‍යය නිසා ඇති වී තිබෙන ප්‍රධාන ගැටලුවක් වන්නේ දැන්වීම් ප්‍රචාරණය නිසා ඩොලර් මිලියන ගණනක් අප රටට අහිමිව යෑමයි. විශේෂයෙන් ම ෆේස්බුක් නිසා දිනකට ඩොලර් මිලියනයකට වැඩි මුදලක් අප රටට අහිමි වේ. යූටියුබ් නිසා අහිමිවන මුදල ඊටත් වඩා වැඩිය. නමුත් කිසිදු දේශපාලන අදහස් දරන්නෙකු මෙය අධිරාජ්‍යවාදී මැදිහත් වීමක් බව නොකියති. විශේෂයෙන් ම වමේ සංවිධාන මේ පිළිබඳව කිසිදු අදහසක් නොදක්වති. මීට හේතුව වන්නේ තම ආත්මීය කුණු කන්දල් මේ මත මුදා හරිමින් එය කිසිවකු විසින් කියවනවා හෝ අසනවා යන සිතු විල්ලේ පසු වීමය. වරක් ජීන් බොද්‍රිලාඩ් (Jean Baudrillard) පවසා සිටියේ “ටෙලිවිෂනය මඟින් ප්‍රවෘත්ති ප්‍රචාරය වන විට එය නැරඹීමට හෝ ඇසීමට කිසිවකු එම ස්ථානයේ නොරැඳී තම තමන්ගේ වෙනත් කටයුතුවල යෙදී සිටින අතර ප්‍රවෘත්ති ඉදිරිපත් කරන්නා එය නොදැන ප්‍රවෘත්ති ඉදිරිපත් කරන බවත්, මෙය නූතන සමාජයේ තමන් දුටු ශෝකාන්තම ජවනිකාව බවත් ය. නමුත් අද වන විට සමාජ මාධ්‍ය විසින් ඊට වඩා භයානක තත්ත්වයක් උදා කර ඇත. ලයික් ෆාම්, ශෙයාර් ෆාම් හරහා තමන් කැමති අකමැති ඕනම අයකුට තමන් විසින් ඉදිරිපත් කරන ඕනෑම දෙයකට ප්‍රතිචාර දැක්විය හැකිය. නමුත් ඒ කිසිවකු එලෙස ප්‍රතිචාර දක්වන්නේ අප ඉදිරිපත් කළ දෙයෙහි අන්තර්ගතය සලකාම නොවේ. එනිසා මෙය අද වන විට විපරිත භාවිතයකට පැමිණ ඇති බවත්, එය අනිවාර්යයෙන්ම නියාමනය කළ යුතු බවත් දේශපාලන සහ සමාජ විශ්ලේෂකයකු වන දීප්ති කුමාර ගුණරත්න පවසයි.

බිහිසුණු සිදුවීම් වාර්තාකරණයෙන් ඔබ්බට යමින් ඒවා ගැන අවසන් විනිශ්චය ලබාදීමට තැත් කිරීම කාලයක් තිස්සේ එතෙර සහ මෙතෙර ජනමාධ්‍ය විසින් සිදු කරන වරදකි. බටහිර මෙය හඳුන් වන්නේ trial by media කියාය. ඒ අනුව බලන කල මෙය අප රටට පමණක් සීමා වූවක් නොවේ. භාව ප්‍රකෝපකාරී ලෙසින් සිදුවීම් වාර්තා කරන පත්තර, රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය බොහෝ විට සැකකරුවන් ඉතා ඉක්මනින් වරදකරුවන් බවට පත් කරයි. මෙයට හේතුව ඇතැම් මාධ්‍යවේදීන්ට මෙන්ම මාධ්‍ය ග්‍රහකයන් බොහෝ දෙනකුට ද ‘දුෂ්ටයන්’ ඕනෑ වීමයි. ඊට කදිම උදාහරණය 2015 වසරේ සිදු වූ කොටදෙණියාවේ සේයා සදෙව්මිණි දැරියගේ ඝාතනයයි. එම ඝාතනයෙන් පසුව මූලික පොලිස් පරීක්ෂණ මත පදනම් වී ජනමාධ්‍ය සහ සමාජ මාධ්‍ය මුල් සැකකරුවන් මිනීමරුවන් ලෙස හංවඩු ගැසීමයි. නමුත් සැබෑ මිනීමරුවා සොයා ගත්තේ පසුවය. අද සමාජය සංකීර්ණ ය. බැලූ බැල්මට පෙනෙන මානයෙන් එහා දැකිය හැකි සහ සංවේදීව සමාජ ප්‍රශ්නවලට ප්‍රතිචාර දක්වන පරිණත මහජනතාවක් බවට අප කෙමෙන් පරිණාමය විය යුතු බව විද්‍යා ලේඛක හා මාධ්‍ය විශ්ලේෂක නාලක ගුණවර්ධන පවසයි.