පිළිකාව පැය­කට දෙදෙ­න­කුට මරු කැන්දයි

37
16 ඔක්තෝබර්, 2021

 

ලේ පිළිකාවට ගොදුරු වී සිටි ගුණේන්ද්‍ර බටහිර වෙදකමින් සුවපත් කළ නොහැකි බවට පවසා සිටියදී දේශීය වෙදකමින් සුවපත් කරන වෙදහාමිනේ කෙනකු අපට හමුවූයේ ජයන්ත චන්ද්‍රසිරිගේ “වෙදහාමිනේ” ටෙලි නාට්‍යයේය. එහි වෙද හාමිනේගේ චරිතයට පණ පෙව්වේ රෙබෙකා නිර්මලි රංගන ශිල්පිනියයි. එදා ඈ පිළිකා රෝගින් සුවපත් කරන වෛද්‍යවරියගේ චරිතයට රංගනයෙන් දායක වූ රෙබෙකා නිර්මලීට අවසානයේදී පිළිකා මාරයාට පරාජයට පත්වීමට සිදුවීම දෛවෝපගත සිදුවීමකි. රෙබෙකා නිර්මලී පමණක් නොව හෙන්රි ජයසේන, ට්‍රිලිෂියා ගුණවර්ධන, ධර්මසේන පතිරාජ, ජයලත් මනෝරත්න, සතිශ් පෙරේරා වැනි කලාකරුවන්ට ද දිවි සැරිය නිමා කරන්නට සිදු වූයේ පිළිකා මාරයා නිසාය.

ලංකාවේ වත්මන් තත්ත්වය සැලකිල්ලට ගැනීමේදී පැයකට නව පිළිකා රෝගින් සිවුදෙනකු (4) සොයා ගැනෙන බවත් පැයකදී පිළිකාව හේතුවෙන් දෙදෙනකු (2) මිය යන බවත් අනාවරණය වී තිබේ. දිනකට හමුවන අලුත් පිළිකා රෝගින් අතරින් දිනකට පියයුරු පිළිකා රෝගින් 12 දෙකු හමුවන බවට වාර්තා වේ.

සෑම දවසකදීම පියයුරු පිළිකා හේතුවෙන් දෙදෙනකු (2) මරණයට පත්වේ. මෙයින් පැහැදිලි වන්නේ පිළිකා රෝගින් අතර බහුලව දක්නට ලැබෙන්නේ පියයුරු පිළිකාව බව ය. 2020 වර්ෂයේ වාර්තා වූ නව පිළිකා රෝගින්ගේ දත්ත වි‍ශ්ලේෂණය කිරීමේදී ඒ බව මනාව පැහැදිලි වේ.

“පියයුරු පිළිකාව කලින් හඳුනාගෙන ප්‍රතිකාර කරනවා නම් ජීවිත ආරක්ෂා කරගන්න පුළුවන්. මෙම ඔක්තෝබර් මාසය හඳුන්වා තිබෙන්නේ පියයුරු පිළිකා මාසය කියලා. 2019 අවුරුද්දේ පියයුරු පිළිකා රෝගින් 4500ක් හම්බවෙලා තියෙනවා. සෑම අවුරුද්දකම වැඩි වශයෙන් හම්බ වෙන්නේ පියයුරු පිළිකා රෝගින්. ඒ කියන්නේ කාන්තාවන්ට 100%ක අවදානමක් තිබෙනවා.

ඒනිසා පිළිකා කලින් හඳුනාගැනීමේ සායනවලට ගිහින් හඳුනාගැනීම ඉතා වැදගත්. පියයුරු පරීක්ෂා කිරීම ස්වයං පියයුරු පරීක්ෂණය සහ සායනික පියයුරු පරීක්ෂණය වශයෙන් වෙන් කරන්න පුළුවන්. ස්වයං පියයුරු පරීක්ෂා කිරීම කාන්තාවන්ට ගෙදරදීම කරගන්න පුළුවන්. පියයුරුවල ගැටිත්තක් හසු වෙනවාද, පැහැය වෙනස් වෙලාද, තනපුඬු ඇතුළට නෙරා ගිහින් තිබෙනවාද, පියයුරුවලින් ශ්‍රාවයක් පිටවෙනවාද කියලා කාන්තාවන්ට පරීක්ෂා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි කිහිලි ප්‍රදේශ ගැනත් වැඩිපුර සැලකිලිමත් වීම අවශ්‍යයි.” යනුවෙන් පැවසුවේ ජාතික පිළිකා මර්දන වැඩසටහනේ අධ්‍යක්ෂිකා, විශේෂඥ වෛද්‍ය ජානකි විදානපතිරණ ය.

ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහජන අධ්‍යාපන නිලධාරි, මෙරිල් පෙරේරා සඳහන් කළේ ශ්‍රී ලාංකික කාන්තාවන් තුළ පවතින විලිබිය නිසා නොමිලේ සිදු කර ගත හැකි පිළිකා පරීක්ෂණවලට කාන්තාවන්ගේ සහභාගිත්වය ඉතා පසුගාමි බවය.

මෙමෝග්‍රෑම් පරීක්ෂණය සහ පැප් පරීක්ෂණය මඟින් පියයුරු පිළිකා සහ ගැබ්ගෙල පිළිකා කලින් හඳුනාගත හැකිය. දිවයින පුරා පිහිටි ප්‍රධාන රෝහල්වලින් සහ පිළිකා කලින් හඳුනාගැනීමේ මධ්‍යස්ථානවලින් මෙම පරීක්ෂණ නොමිලේ සිදු කර ගත හැකිය.

එහෙත් 2018 වර්ෂය තුළ හඳුනාගත් නව රෝගින්ගේ ගණන 23,530කි. මරණ සංඛ්‍යාව 14,013කි. 2019 වර්ෂයේ හඳුනාගත් නව රෝගින් සංඛ්‍යාව 31,800කි. 2020 වර්ෂයේ හඳුනාගත් නව රෝගින් සංඛ්‍යාව 29,604කි. එයින් 15,468ක් කාන්තාවෝ වෙති. 2020 වර්ෂයේ මිය ගිය පිළිකා රෝගින් සංඛ්‍යාව 16,691කි.

“2019 අවුරුද්දට විතරක් මහරගම අපේක්ෂා රෝහලට 70,000කට ආසන්න ප්‍රමාණයක් පිළිකා රෝගින් ඇතුළත් වී තිබෙනවා. හැබැයි මෙම 70,000 ට එකම රෝගියා කීප වාරයක් ඇතුළත් වුණු අවස්ථාත් අයිතියි. අපේ සායනවලට දවසකට 750ක් විතර එනවා.

පිළිකා රෝගින්ට ලබාදෙන විකිරණ ප්‍රතිකාර, කීමෝ ප්‍රතිකාර, ශල්‍යකර්ම ඇතුළු සියලුම ප්‍රතිකාර ලබාදෙන ප්‍රධාන මධ්‍යස්ථානය තමයි මහරගම අපේක්ෂා රෝහල. ඉතාමත් දියුණු තාක්ෂණයෙන් අනූන රසායනාගාර මෙහි තිබෙනවා. මෙතෙක් අඩුපාඩුවක්ව පැවති MRI ස්කෑනින් යන්ත්‍රයක් ලබාදීමට ජනාධිපති සහ සෞඛ්‍ය ඇමතිගේ මැදිහත් වීමෙන් කැබිනට් පත්‍රිකාවට අනුමැතිය හිමි වී තිබෙනවා. ජාන ප්‍රභේද හඳුනා ගැනී‍ෙම් රසායනාගාරයක් මේ දවස්වල ඉදිවෙමින් තිබෙනවා. ඒකට අවශ්‍ය සියලුම උපකරණ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලබා දීලා තියෙනවා. කොවිඩ් වසංගතයේදී මෙහි නේවාසික ප්‍රතිකාර ලබන පිළිකා රෝගින් 125කට විතර කොවිඩ් හැදුණා. ඒනිසා අපිට ඒ අය වෙනුවෙන් වාට්ටු 4ක් වෙන් කරන්න වුණා. ඔක්සිජන් ටැංකි වෙන් කරන්න වුණා. අදටත් කොවිඩ් හැදුණු පිළිකා ‍රෝගින් 35ක් පමණ ඉන්නවා. ” යනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර විස්තර කළේය.

දිනෙන් දින වර්ධනය වන පිළිකා රෝගින්ට ප්‍රතිකාර කිරීම සඳහා මහරගම අපේක්ෂා රෝහල සිය සේවාවන් හා පහසුකම් ඉහළ නංවද්දී ශ්‍රී ලංකා පිළිකා සංගමය ද පිළිකා රෝගින් වෙනුවෙන් සේවාවන් රැසක යෙදී සිටියි.

මහරගම අපේක්ෂා රෝහල ආසන්නයේ පිහිටි නිවහන විවෘතව තිබෙන්නේ දුරබැහැර සිට ප්‍රතිකාර කටයුතු සඳහා පැමිණෙන පිළිකා රෝගින්ගේ නවාතැන් පහසුකම් වෙනුවෙනි. එහි ඇඳන් 115ක් ඇත.

වාට්ටු 2කින් යුතු මෙම නිවහනේ නේවාසිකව සිටින පිළිකා රෝගින්ගේ ආහාරපාන, සත්කාර, රැකබලා ගැනීම් සියල්ල නොමිලේම සිදු කෙරෙන්නේ ශ්‍රී ලංකා පිළිකා සංගමය මඟිනි. ආර්ථික ගැටලුවලින් පෙළෙන පිළිකා රෝගින්ගේ ශුභසාධන කටයුතු සඳහා ද දායක වන ශ්‍රී ලංකා පිළිකා සංගමය, පිළිකාවෙන් වැළැකී සිටීම උදෙසා අධ්‍යාපනික වැඩසටහන් රාශියක් පවත්වනු ලබයි.

“අපි ආයතනවලට ගිහින් පිළිකාව කලින් හඳුනාගැනීම සහ වැළැක්වීම ගැන අධ්‍යාපනික වැඩසටහන් කරනවා. විශේෂයෙන් ඇඟලුම් කම්හල්වලට ගිහින් ඒ අය වැඩ කරන අතරවාරයේදී සවන්දෙන ආකාරයට වැඩසටහන් කරනවා. ඒත් කොවිඩ් වසංගතය නිසා අපේ වැඩසටහන් නැවතිලා තිබෙන්නේ. එය සූම් තාක්ෂණයට සීමා වෙලා.” යනුවෙන් සඳහන් කළේ ශ්‍රී ලංකා පිළිකා සංගමයේ මහජන අධ්‍යාපන නිලධාරි මෙරිල් පෙරේරා ය.

කොවිඩ් වසංගතය නිසා අධ්‍යාපනික වැඩසටහන් ඇතුළු බො‍හෝ දෑ අතරමග නැවතුණත් පිළිකා වර්ධනයේ අතරමග නැවතීමක් සිදු වන්නේ නැත. දිනෙන් දින පිළිකා රෝගින්ගේ වර්ධනයක් දක්නට ලැබෙන්නේ එබැවිනි. කොළඹ ජාතික රෝහල, රාගම, ගම්පහ, කුරුණෑගල, බදුල්ල, මහනුවර, මඩකළපුව, යාපනය ඇතුළු ලංකාවේ ප්‍රධාන පෙළේ රෝහල්වල පිළිකා ප්‍රතිකාර ඒකක ස්ථාපිත කර තිබෙන්නේ දුරබැහැර සිට මහරගම අපේක්ෂා රෝහල කරා පැමිණෙන රෝගින්ගේ පහසුව පිණිස ය.

“මේ සෑම ඒකකයකම පිළිකා රෝගින්ට අවශ්‍ය සියලුම ප්‍රතිකාර ක්‍රම, ඊට අවශ්‍ය තාක්ෂණික උපකරණ, ඖෂධ තිබෙනවා. අපේ රෝහලේ සේවය කළ පළපුරුදු කාර්ය මණ්ඩලයක් සිටිනවා. රෝගින් ඔවුන්ට ළඟම තිබෙන රෝහලකින් ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඔවුන්ගේ කාලය ඉතිරි වෙනවා. මුදල් ඉතිරි වෙනවා. මහන්සිය අඩුයි.

ඒත් රෝගින් ඒ රෝහල්වලට නොගිහින් මහරගම අපේක්ෂා රෝහලටම එනවා. මෙහෙන් මූලික ප්‍රතිකාර කරගෙන පසු විපරම් සඳහා පළාතේ රෝහලට යනවා නම් රෝගින්ටත් පහසුයි. මෙතන තදබදය අඩු කර ගැනීම අපේ රෝහලටත් පහසුවක්.

ඒත් අපේ වෛද්‍යවරුන් පළාතේ රෝහලට යන්න කියල කිව්වත් රෝගින් දිගටම මෙහේ එනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් සලසා ඇති සේවය ලබා ගැනීමට ඔවුන් සූදානම් නැහැ.” යනුවෙන් මහරගම අපේක්ෂා රෝහලේ අධ්‍යක්ෂ, විශේෂඥ වෛද්‍ය විජිත් ගුණසේකර පැවසීය.

මහරගම අපේක්ෂා රෝහලට දිනපතා පැමිණෙන රෝගින්ගේ තදබදය අඩු කර ගතහොත් මහරගම අපේක්ෂා රෝහලෙන් ඉටුවෙන සේවාවන් හී ගුණාත්මක තත්ත්වය ඉහළ නංවා ගත හැකිය. මහරගම අපේක්ෂා රෝහල පමණක් පිළිකා රෝගින්ගෙන් පිරී ඉතිරී තිබෙන විට පළාත් රෝහල් තුළ ඇති පිළිකා ප්‍රතිකාර ඒකක හිස්ව පවතින්නේ නම් එය ජාතික අපරාධයකි.

මන්ද එම රෝහල් තුළ ස්ථාපිත කර ඇති තාක්ෂණික උපකරණ, ඖෂධ හා සේවක මඬුල්ල අපේ රටේ ජාතික ධනය නිසාය. මේ පිළිබඳව ජනතාව දෙවරක් සිතා බැලිය යුතුය. එය පිළිකා රෝගීන්ගේ පමණක් නොව සමස්ත ජනතාවගේ වගකීමකි.